වැඩ බලන පොලිස්පතිට මහින්දානන්දගෙන් අනතුරු ඇඟවීමක්

(03.07.2019 – 20:47 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට ව්‍යාජ වාර්තා ලබා දී රිෂාඩ් බදියුදීන් මහතා චෝදනා වලින් නිදහස් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඉදිරියේදී වැඩබලන පොලිස්පතිවරයාට ද එහි ප්‍රතිඵල විඳීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (03) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි පුවත්පතක් කළ වාර්තාවක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රනයක් තිබෙන බවයි.

එවැනි කුමන්ත්‍රණයක් තිබේ නම් ජනාධිපතිවරයා එය දැනුම්වත් නම් එය රටට හෙළි කළ යුතු බවද පැවසු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අවාසනාවකට හො ජනාධිපතිවරයාට යම් අනතුරක් සිදුවවහොත් ව්‍යවස්ථාවෙන් ඊළඟට ජනපති වන්නේ අග්‍රාමාත්‍යවරයා බවයි.

එහිද මාධ්‍යවේදින නැගු පැනයකට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ දේශපාලනඥයෝ බලාගෙන සිටින්නේ රටට වුණ විනාශය නොවන බවත් ජනාධිපතිවරණයේදී ඡන්ද ලබා ගන්න හැකි වන්නේ කෙසේද යන්න බවත් ඒ සඳහා ඕනෑම නොහොබිනා කටයුත්තක් සිදු කිරිමට සුදානම් බවත් ය.

***************************************

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්

(03.07.2019 – 19:31 +0530 – sinhala.adaderana.lk)

සියලුම ශ්‍රේණිගත දුම්රිය වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂවලට අනුබද්ධ වෘත්තිය සමිති අද (03) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වේ.

අද (03) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා මේ බව සඳහන් කළේය.

+++++++++++++++++++++

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ ඇරඹුණු දුම්රිය වර්ජනය තවදුරටත්

(04.07.2019 – 07:02 +0530 – hirunews.lk/sinhala)

බීමත් සේවකයෙකුට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගනු ලැබූ විනය පියවරක් වළක්වාලීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අඛන්ඩව සිදුවන බලපෑම්වලට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළා.

ඊයේ (03) වාර්තා පළවූයේ මෙම බලපෑම් හේතුවෙන් දුම්රිය සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවටයි.

රාජකාරි කාලය තුළදී මත්පැන් පානය කිරිම හේතුවෙන් වැඩ තහනම් කෙරුණු දුම්රිය වෘත්තිය සමිති සාමාජිකයෙකු යළි සේවයට ගන්නා ලෙසට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා බලපෑම් එල්ල කළ බව කියන සිද්ධියක් හේතුවෙන්.

පෙරේදා මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරින් අතර සාකච්ඡාවක් ද පවත්වා තිබුණා.

එහිදී සමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සිය ධුරයේ රාජකාරි නිසි අයුරින් සිදු කිරිමට බළධාරින් ඉඩ ලබා නොදෙන්නේ නම් තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

ඇතිවී තිබෙන මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් මහතා සඳහන් කළේ.

මෙම වර්ජනය හේතුවෙන් අද උදෑසන කාර්යාලීය දුම්රිය කිසිවක් ධාවනය නොවූ බව ප්‍රධාන පාලක මැදිරිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වන මගීන් වෙනුවෙන් අවශ්‍ය පරිදි බස් රථ යොදවා ඇති බවයි ෴

+++++++++++++++++++++

04.07.2019

***************************************

මතභේදයට තුඩුදුන් තෙල් නලයේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට (04) සිට

(03.07.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

මතභේදයට තුඩුදුන් මෝදර මහවත්ත ප්‍රදේශයේ තෙල් නලයේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට (04) උදෑසන ආරම්භ කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ, විෂයභාර අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය රවී කරුණානායක සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා එක්ව අද (03) පැවැත්වූ සාකච්ඡාවකින් පසුවයි.

කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය දක්වා දිවෙන කිලෝමීටර 05 ක් පමණ වන තෙල් ප්‍රවාහන නල මාර්ගයේ, ප්‍රතිසංස්කරණය කිරීමට ඉතිරිව තිබෙන මීටර 140 ක දුර ප්‍රමාණය අතරමග නතර වී තිබුණේ අනවසර පදිංචිකරුවන් එම ස්ථානවලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ලංකා ඛනිජතෙල් සමාගම විසින් පළමු අදියර යටතේ මෙහි අනවසර පදිංචිකරුවන්ට ලබාදිය යුතු රුපියල් මිලියන 80 ක වන්දි මුදල් ගෙවා අවසන් කර තිබියදීත් නලයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් නොකිරීමට ඉඩ නොදීම අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම මත සිදුව ඇති බවට ඛනිජතෙල් වෘත්තීය සමිති චෝදනා කළේය.

මේ හේතුවෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ පවතින ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ද ඛනිජතෙල් වෘත්තීය සමිති පියවර ගෙන තිබුණි.

මෙවන් පසුබිමක මුදල් අමාත්‍ය මංගල සමරවීර, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්,විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක සහ කොළොන්නාව තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී පවත්වා තිබේ.

එහිදී තීරණය වී තිබෙන්නේ අදාළ තෙල් නලයේ අතරමග නතර කළ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට (04) උදෑසන යළි ආරම්භ කිරීමටයි.

***************************************

සරසවි සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ලවූ STF සෙබලුන් නිදහස්

(03.07.2019 – 21:22 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලයේ ගාන්ධි වට රවුමේදී මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 12 දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු අදාළ චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

ඒ, මීට අදාළ නඩුවේ තීන්දුව ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. හම්සා විසින් අද (03) ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදියි.

ඝාතනයට අදාළව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් සැකකරුවන් නිදහස් කරන බවයි එහිදී විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම විශ්වවිද්‍යාල සිසුන් වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2006 වසරේ ජනවාරි මස 7 වනදායි ෴

***************************************

හිස්බුල්ලාගෙන් පැය 4 ක් ප්‍රකාශ ලබාගනී

(03.07.2019 – 19:47 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.

ඒ, පුනරුත්ථාපනය වූ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයෙකුට දුරකථනය ඔස්සේ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.

මේ අතර, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ප්‍රකාශයක් ලබාදිම සඳහා අද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණියා.

ඒ චීන ජාතිකයින් දෙදෙනෙකු යොදා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සිදුකරන බව කියන මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් උන්වහන්සේ පසුගිය මස 17 වනදා පොලිස්පතිවරයාට සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.

එහිදී උන්වහන්සේගෙන් පැය 2 කට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශය ලබා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, 2015 – 2018 රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා සාක්ෂි ලබාදුන්නා.

ඒ එම කොමිසම හමුවේ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විදේශීය පුරවැසියන්ට ග්‍රාම නිලධාරීන් ලවා ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර ඔවුන් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති බවට උන්වහන්සේ මෙම පැමිණිල්ලේ සදහන් කර තිබුණා.

එමෙන්ම ඔහුට මන්නාරමෙන් ඉඩම් අක්කර 3,000 ක් පමණ ඇති බවද එහි දැක්වෙනවා.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් දක්වා තිබුණේ තමන් සිදුකළ පැමිණිල්ලට අදාළ වැඩිදුර තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව පවතින බවයි.

ඒ අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා මෙම කොමිසම හමුවට කැදවනු ලැබුවේ. පැයක පමණ කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඔහු පිටතට පැමිණියා.

***************************************

CCTV කැමරාවේ සටහන් වූ යතුරුපැදි අනතුර

(03.07.2019 – 18:28 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල ගොවිජන සේවා මධ්‍යස්ථානය ආසන්නයේදී අද දහවල් යතුරුපැදියක් කැබ් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුනා.

බදුල්ල දෙස සිට හාලිඇල දක්වා ධාවනය වූ යතුරුපැදියක් පිටුපසින් පැමිණි කැබ් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් පසු යතුරුපැදියේ ගමන් කළ කාන්තාව කැබ් රථයේ රියදුරා සමග වචන හුවමාරුවක නිරතවන ආකාරයක් ද දක්නට ලැබුනා.

මෙම අනතුර ඒ ආසන්නයේ වෙළඳසැලක සවිකර තිබු කැමරාවක සටහන් වී තිබුනා.

https://www.youtube.com/watch?v=i7wklKj5wgo#t=5

***************************************

පිටකොටුවේ පළතුරු බීම අලෙවිසැල්වල වැටලීමක්

(03.07.2019 – 15:45 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පළතුරු යොදා ගනිමින් පළතුරු බීම සකස් කළ වෙළඳසැල් දෙකක් මුද්‍රා තබා තිබෙනවා.

අද දහවල් මෙම වැටලීම සිදුකර ඇත්තේ මහජනතාවගෙන් ලැබුනු පැමිණිලිවලට අනුවයි.

අදාළ වෙළඳසැල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *