අන්තවාදයේ ගොඳුරක් වූ ෆාතිමා

(02.07.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් අද (02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක්ද අද මාධ්‍ය හමුවට සහභාගී විය.

කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන මෙම යුවලක් වන මෙම කාන්තාව ලෙස බලා ‘බලාපල්ලා මිනිසුනේ කොතනද ජාතිවාදය තියෙන්නේ ’ යනුවෙන් මෙහිදී ඥානසාර හිමියන් ප්‍රශ්න කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නැමැත්තිය කියා සිටියේ, තමා සිංහල අයෙක් සමඟ විවාහ වු බවයි.

2008 විවාහ වු බවත්, සුනාමියට ලැබුණු ගෙවල්වල ජීවත් වු බවත්, එම කාලයේ දී පල්ලියේ අය ඇවිත් සිංහල මිනිහෙක් බැඳලා ඉන්නේ කියලා මහත්තයාට තර්ජනය කල බව ද ඇය වැඩිදුරටත් මෙහිදී පැවසීය.

පසුව සැමියා සමඟ ගොස් පොලීසියේ පැමිණිල්ලක් දැමු බවත් මාලඹේ ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටිය දී තමා මවක් වීමට සුදානමින් සිටි බව ද පැවසු ඇය, තමා ගැබ් ගත් නිසාවෙන් නැවතත් අටලුගම ප්‍රදේශයට ගිය බව සඳහන් කළේය.

ආයෙත් පල්ලියෙන් පිරිසක් ඇවිත් සැමියාට ඉන්න දෙන්න බැරි බව ප්‍රකාශ කළ බව ද සඳහන් කළ මෙම කාන්තාව , බාබාට හම්බෙන්න ඉන්න නිසා තමාට ගමේ සිටිය හැකි බවත්, සිංහල කොල්ලෙක් තබා ගත නොහැකි යැයි පවසා සැමියා එලවා දැමූ බව ද පැවසීය.

සැමියා තමා මවගේ නිවසේ රඳවා ගොස් ළමයා ලැබෙන තුරු මාලඹේ සිට හොරෙන් පැමිණ තමා දැක බලා ගත් බව ද ඇය පැවසීය.

ඔහුට ආගමට එන්න කියලා තර්ජනය කල බවත්, හැමදාම ගෙවල් දෙන්නම් වාහන දෙන්නම් කියලා සැමියාට කරදර කරන බව ද පැවසු ෆාතිමා, පසුව සැමියා රට ගිය බවත්, පල්ලියේ පරිසක් ඇවිල්ලා කිව්වා මෙයා ගැන හොයන්න එපා කියලා බව ද පැවසීය.

ළමයා එකක් සැමියා අතහැර ආවොත් මුස්ලිම් අයෙක් බන්දලා දෙන බව පැවසු බවත් කියා සිටියේය.

මාර්තු මස 24 වන දා පල්ලියේ පිරිසක් ගෙදරට කඩා වැදුණ බවත්, පොලීසියේ අය ඉන්න කොටම තමාට හා සැමියාට පහර දුන් බවද කියා සිටි ෆාතිමා ළමයි අඩන කොට ගල් ගැසූ බව ද පැවසීය.

පොලිසියට ගෙනිහින් පහුවදා වෙනකම්ම කූඩුවේ දැමු බවත්, බණ්ඩාරගම පොලිසියට දාපු කිසිම පැමිණිල්ලක් විභාග කළේ නැති බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

මාරාව නැමති පල්ලියෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බව ද ඇය හෙළි කර සිටියේය.

මිනිත්තු 04

+++++++++++++++++++++

මිනිත්තු 22

+++++++++++++++++++++

03.07.2019

+++++++++++++++++++++

මුස්ලිම් ආගම හැර ගිය බණ්ඩාරගම කාන්තාවට බලපෑම් කළ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

(04.07.2019 – colombotoday.com)

සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මාරව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මිය විසින් බණ්ඩාරගම පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත ගොනු කරන ලද B 64499/19 දරණ නඩුව අද (4) දිනයේ පානදුර අධිකරණයේදී නැවත කැඳවන ලදි.

පසුගිය ජූනි 20 වැනිදා බණ්ඩාරගම පොලිසිය විසින් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔවුන් ජුනි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එම නඩුව යලි පසුගිය ජූනි මස 27 වනදා කැඳවන ලද අතර එම සැකකරුවන් අද (4) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අද (4) දිනයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරණ ලදි.

අද දිනයේදී බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කළ බවත් එයින් සැකකරුවන් 9 දෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිටින බවත්, ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගෙන් කටඋත්තර ලබාගෙන ඇති බවත් සඳහන් කරණ ලදි.

පැමිණිලිකාරිය වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මියගේ මව රාජකාරි කටයුත්තක් සඳහා ග්‍රාම නිලධාරිවරයා මුණ ගැසීම සඳහා ගිය අවස්ථාවේදී ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඉමිතියාස් නැමැත්තා තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කරුණු වාර්තා කරණ ලදි.

ඊයේ (3) දින මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පැමිණිලිකාරියගේ නිවසට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී යලිත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉමිතියාස් පැමිණිලිකාරියගේ ස්වාමි පුරුෂයාට පහර දීමට උත්සහ කළ බවට පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව කටඋත්තර දෙපාර්ශවයෙන් ලබාගෙන ඇති බවත් ඔහු සඳහන් කරණ ලදි.

මෙහිදී අගතියට පත් කාන්තාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙන්වා දුන්නේ පැමිණිලිකාරියගේ මවට සහ ස්වාමි පුරුෂයාට තර්ජනය කළ ඉමිතියාස් නැමැත්තාගේ සොහොයුරෙකු බන්ධනාගාර ගත කර සිටින බවත් පොලීසිය වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට නොගැනීම පිළිගත නොහැකි බවත් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට ඇප පනතේ 14 වන වගන්තිය යටතේ ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා, ඇප ලබා දුනහොත් අගතියට පත් පාර්ශවයට අගතියක් සිදුවීමට ඉඩ කඩ ඇති බවත් මහජන කැළඹිලි ඇතිවීමට හේතු විය හැකි බවත් පෙන්වා දුන්නා.

මෙම සිද්ධිය හුදකලා සිද්ධියක් නොවන බවත් සිංහල ජාතික පුරුෂයකු සමග විවාහ වීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ අනුදැනුම මත මෙය සිදුව ඇති බවත් “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” (ICCPR) පනත මගින් සැකකරුවන්ට විරුද්ධව ක්‍රියා කරණ ලෙසත් ටිරන්ත වලලියද්ද මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය, පැමිණිලිකාරිය මාධ්‍යයට කරුණු පැවසීම තුලින් ඇය නොසන්සුන් තාවයක් ඇති කල බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි “මෙවැනි සිදුවීම් නැවැත්විය යුතුයි. නැත්නම් සහරන්ලා බිහිවේවි” යැයි පැවසීම තුලින් ජාතිවාදය ඇවිස්සීමට ඉඩකඩ ඇති බවත් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැක කරුවන්ට ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ පානදුර මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා, සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර ජූලි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර සිටියා.

එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඉමිතියාස් නැමැත්තා මෙම සිද්ධියට අදාළව කණ්ඩායමක් මෙහෙයවා ඇති බව අධිකරණයට හැගී යන බවත් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් නියෝග කර සිටි මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවට අදාළ සැකකරුවන් පිළිබඳව වෙන වෙනම වාර්තා අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් නියෝග කර සිටියා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා සමග නීතිඥ සංජය ආරියදාස මහතා සහ නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මහතා පෙනී සිටියහ.

මෙම සිද්ධියට මුහුණදුන් අබ්දුල් හසන් ෆාතුමා හයිෆා පවසන්නේ “ෂරියා නීතිය යටතේ මට වද දීලා, ඇඳුම් ඉරලා, සෙනග පිරුණු පාරේ ඇදගෙන ගියා” යනුවෙනි.

සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවත්, මේ සම්බන්දයෙන් 2019/03/03 වන දින CIB 2 22/327, 2019/03/25 දින CIB 128/19, 2019/03/26 දින CIB 3 162/146, 2019/03/30 දින CIB 1 340/358 සහ 2019/03/29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවත් ඇය පවසයි. එම පැමිණිලි පිළිබඳව කඩිනම් විභාගයක් සිදුනොවුණු බැවින් 2019/05/24 වන දින සහ 2019/06/12 කලුතර ජේෂ්ඨ පොලිස්පති වෙත පැමිණිලි කල බවත් එහිදී ජේෂ්ඨ පොලිස් පතිවරයා ප්‍රදේශයේ පල්ලියට අවනත වන ලෙස තමාට ප්‍රකාශ කල බවත් අබ්දුල් හසන් ෆාතුමා හයිෆා සඳහන් කර සිටිනවා ෴

+++++++++++++++++++++

06.07.2019

+++++++++++++++++++++

“කෝල් කරලා සිද්ධිය වහන්න අවශ්‍ය දේ අහනවා” – ෆාතිමා හෙළිකරයි

(07.07.2019 – nethnews.lk)

මුස්ලිම් අන්තවාදීන්ගෙන් වු හිංසන පිළිබඳව තමන් මාධ්‍ය හමුවේ කල අනාවරණයත් සමග සිය සැමියා සහ දරු දෙදෙනාගේ මෙන්ම තමන්ගේ ද ආරක්ෂාව අවදානමකට ලක්ව ඇති බව අබ්දුල් හසන් ෆාතිමා මහත්මිය පවසනවා.

ඇය ඉකුත් දා පැවති මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කර තිබුණේ සිංහල පුද්ගලයෙකු සමග විවාහ වීම නිසා අටලුගම මුස්ලිම් පල්ලියෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ඊයේ (06) පැය හයහමාරක කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත්තා.

සිය ආරක්ෂාව සම්බන්ධයෙන් අබ්දුල් හසන් ෆාතිමා මහත්මිය නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ “අපේ ජීවිත ලොකු අවදානමක තියෙන්නේ… ළමයිව පාසලට යවන්න බයයි. අපිට ගොඩාක් අපහාස කරනවා..” යනුවෙනි.

තමන් ගොනුකර ඇති නඩුවෙන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා දුරකතන ඇමතුම්ද ලැබෙන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

හමුදාපති බදියුදීන්ට බය වෙලා.. සියළු කුණු හෝදා ඇමතිකමේ යලි දිවුරන්න සූට් මහයි..

(04.07.2019 – 03:22 +0530 – lankacnews.com)

2015 ජනවාරි 15 දින සිට 2018 දෙසැම්බර් 31 දිණ දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂණ් සභාව ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් :

රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අයට මන්නාරමේ අක්කර 3000 කට අධික දේපලක් තිබෙන බවට වන සාක්ෂි මා ළඟ තිබෙන බවට ආණ්ඩුවේ දූෂණ සොයන කොමිසමට තොරතුරු ආරංචි වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අද දින මට කොමිසම ඉදිරියේ පෙනී සිටින්න යැයි දැනුම් දීමක් කළා. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අය 2011 ඔක්තෝම්බර් මාසයේ සිට 2014 ජූලි මාසය කියන තෙ වසරකටත් අඩු කාලයක් තුලදී මන්නාරමේ අක්කර 3000 කට අධික ප්‍රමාණයක් ඔප්පු හැට අටක් හරහා ලබාගෙන තියෙනවා. ඔප්පුවල වටිනාකමට අනුව නම් මිලියන දෙසිය හතළිහක් ඒ සඳහා වියදම් කර තිබෙනවා. අප මෙහිදී පෙන්වා දුන්නා මේ ඔප්පුවල නම් සඳහන් පුද්ගලයන් රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ නෑදෑයන් වන්නේ කොහොමද කියන එක. එමෙන්ම සමාගම් දෙකක් විසින් ද මෙහි දී පළ අත්පත්කරගෙන තිබුණා. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අයට ඒ සමාගම් අයිති වන්නේ කොහොමද, ඒ සමාගම් වල කොටස් හිමියන් විදිහට ඉන්නේ කොහොමද කියන සියලුම විස්තර අද දින මේ දූෂණ විමර්ශන කොමිසම වෙත අප ලබා දුන්නා.

මේ තොරතුරු මට ලැබුනෙ මන්නාරම් ජනතාවගෙන්. නමුත් මන්නාරම් ජනතාව තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති වී තිබෙන ගැටළුත් සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති නිසා, ඔවුන් මා හරහා මේ තොරතුරු දූෂණ විමර්ශන කොමිසම වෙත භාරදීමට කටයුතු කර තියෙනවා.

අපට ආරංචිය රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිතුමා යළිත් ඇමතිතුමා වෙන්න අලුතෙන් සූට් මහනවා කියලා. එක් කුණු ලොන්ඩරියක් වෙච්ච තේරීම් කාරක සභාවත් අනිත් කුණු ලොන්ඩරිය වෙච්ච පොලිසිය හරහාත් අවශ්‍ය ප්‍රමාණයට කුණු හෝදගෙන කියලා තමයි එතුමන්ලා හිතාගෙන ඉන්නේ. නමුත් මේ චෝදනා විමර්ශනය කරලා අවසන් වෙන්නට කලින් රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා නැවත අමාත්‍යවරයෙක් වුනොත් එය ඍජුවම විමර්ශනවලට බාධාවක් බව අපට පැහැදිලියි. අපේ බය නැති කරන්නට ඉන්න රටේ යුද හමුදාපතිතුමා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිතුමාට බය වෙලා තියෙන බවයි පෙනෙන්නේ. තේරීම් කාරක සභාව ඉදිරියට ගිහිල්ලා, ඊට කලින් තමන්ට බලපෑම් කළා යැයි කියපු රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා බලපෑම් කළේ නැහැ නමක් ගැන ඇහුවා විතරයි කියලා එතුමා කියන්නේ ඒකයි. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට රටේ හමුදාපතිවරයාත් මෙතරම් බය නම් අහිංසක පොලිස් නිලධාරීන් ගැන කවර කතාද? ඒ නිසා මේ පරීක්ෂණ ස්වාධීනව අපක්ෂපාතීව සිදුවීම සඳහා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා ඇතුළු ඔහුගේ පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් අමාත්‍ය ධුර භාර නොගත යුතුයි කියන මතයේයි අප සිටින්නේ.

මේ බිය ඉතාම සාධාරණයි. ඊයේ දින අප දැක්කා පුවතක් අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් සිංහල කෙනෙකු කසාද බැඳලා එම විවාහ කරගත් පුද්ගලයා ඉස්ලාම් ආගමට එක්කර ගැනීමට මෙම කාන්තාව අසමත් වූවාය කියලා එම කාන්තාවට පහර දීලා. ඒ විතරක් නොවෙයි ඇඳුම් ඉරා දාලා, පාර දිගේ ඇදගෙන ගිහින් තියෙනවා පොලිසිය බලා සිටියදී. මිනිසුන් සිය ගණනක් මෙම කාරණයට සම්බන්ධ වී තියෙනවා. මේක සිදුවුණේ බණ්ඩාරගම අටලුගමයි. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් හා විවාහ වෙන්න සිංහල කෙනෙකුට බැරි නම් කාන්තන්කුඩි ප්‍රදේශයේ තත්වය කෙසේ ද කියලා අපට හිතාගන්න පුළුවන්.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහවන වගන්තියෙ ඕනෑම පුද්ගලයෙකුට කැමති ආගමක් ඇදහීමට හා කැමති ආගමක් වැලඳගැනීමට නිදහස ලබා දී තිබෙනවා. එම නිදහස මෙලෙස බරපතළ විදියට උල්ලංඝණය වෙනවා නම් එය බරපතළ ප්‍රශ්නයක්. ඒ ආගමත් ප්‍රශ්නයක්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයේ ආගම් මෙරට පවතින්නට බැහැ. එක් එක් ආගම් වලට අනුව රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට අපට බැහැ. රටේ ව්‍යවස්ථාව අනුව ඒ ආගම් හැඩගස්වා ගැනීමයි සිදුකළ යුත්තේ. එවැනි විශ්වාසයන් තිබෙන පිරිස් කොපමණක් මේ රටේ ඉන්නවද කියා අප දන්නෙ නැහැ. කුමන ආගමක් ඇදහුවත් රටේ මූලික නීතිය ද එම පිරිස් ගරු කළ යුතුයි.

මේ නිසා තමයි වහාබ් අන්තවාදයට එරෙහිව මෙරට ජනතාව පෙළ ගැස්සවීමේ අවශ්‍යතාවයක් තිබෙන්නේ. ඉතින් අපට දැන් ලැබෙන තොරතුරු අනුව නම් වහාබ් අන්තවාදීන්ගේ වැඩිම පීඩනයකට ලක්ව තිබේන්නේ මුස්ලිම් ජනතාව. විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන්. ඒ නිසා වහාබ් අන්තවාදයට එරෙහිව අප සිදුකරගෙන යන ජනතා ව්‍යාපාරයට අපත් සමග එකතු වෙන්න කියලා මේ වහාබ් අන්තවාදයෙන් පීඩාවට පත්ව සිටින මුස්ලිම් ජනතාවට අප විශේෂ ආයාචනාවක් කරනවා.

ප්‍රශ්නය හා පිළිතුරු :

ප්‍රශ්නය

මේ වන විට පොලිස්පතිතුමන් සහ හිටපු ආරක්ෂක ලේකම්තුමන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔබතුමන් මෙය දකින්නේ කොහොමද ?

පිළිතුර

වත්මන් නීතිපතිතුමන් කොන්ද කෙලින් තියාගෙන දේශපාලන බලපෑම්වලට යට නොවී රටේ නීතිය ක්‍රියාත්මක කරන නීතිපතිවරයෙකු කියලා යළිත් වතාවක් ඔප්පු කරලා තිබෙනවා. නමුත් පොලිස්පතිවරයාගෙන් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් මෙම ක්‍රියාවලිය අවසන් නැහැ. මේ සිද්ධිය දැන දැනත් සිතාමතා මේ අපරාධය සිදු වෙන්න ඉඩ හළ සියලුම දෙනා මේ මහා මිනිස් ඝාතනයට වගකිව යුතුයි. තොරතුරු දැනගෙන එය නොසලකා හැරිය යම් දේශපාලකයෙක් සිටිනවා නම් නිලධාරියෙක් සිටිනවා නම් සහරාන් තරමටම ඔවුන් සියල්ලත් මේ මිනීමැරුමේ වරදට දඬුවම් ලැබිය යුතුයි. ඔවුන්ටද නීතිය ක්‍රියාත්මක කරන තුරු අප අවදියෙන්.

ප්‍රශ්නය

ඔවුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කිව්වහම රෝහලට යනවා. ඇයි එහෙම වෙන්නේ?

පිළිතුර

මේකට කියන්නේ ‘රිමාන්ඩ් ෆෝබියා’ කියලා. උසාවියෙන් වරෙන්තුවක් නිකුත් වෙනකොටම පොලිසියෙන් එන්න කියනකොටම බොහෝ දෙනෙක් ගිහිල්ලා රෝහල් වලට ඇතුලත් වෙනවා. රටේ පොලිස්පතිත් එහෙම නම් අන් අය ගැන කවර කතාද. යකඩ මල්ලට ගුල්ලො ගහලා නම් වී මල්ල නොබලාම විසිකරන්න කියලා රටේ කතාවක් තියෙන්නේ ඒකයි.

ප්‍රශ්නය

ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි පොලිස්පති වරයෙක් මෙසේය අත්අඩංගුවට පත් වන්නේ. ඒ ගැන මොකද කියන්නේ ?

පිළිතුර

මේ වගේ පිස්සු කෝලමක් මීට පෙර පොලිස්පති වෙලා නැහැ. මේ පොලිස්පතිවරයාට ඔය තනතුර භාර දුන් ව්‍යවස්ථාදායක සභාව තමන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් හැරී බලන්නට ඕනෑ. මෙවැනි පොලිස්පතිවරයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව ලැජ්ජා විය යුතුයි. ඒ වගේම කරු ජයසූරිය මහතා ඇතුළු ව්‍යවස්ථාදායක සභාව ද මේ වන විට ඉල්ලා අස්විය යුතුයි.

ප්‍රශ්නය

‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ සමාගම සමග අත්සන් කරන ගිවිසුම් සම්බන්ධයෙන් බොරු බිල්ලෙක් මවන බවට හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා චෝදනා කරනවා. ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ.

පිළිතුර

අප කියන්නේ බොරු නම් ඇත්ත කුමක්දැයි ඒ අය රටට හෙළි කරා නම් ඉවරයි. අපේ ආණ්ඩුව කාලේ අප පිටු අටක ‘ඇක්සා’ ගිවිසුමක් අත්සන් කළා. අපි එය ප්‍රසිද්ධ කළා වගේම අදටත් එය ඕනෑම කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. මොකද එය පාර්ලිමේන්තුවේ තියෙනවා. නමුත් මේ ආණ්ඩුව අත්සන් කළ පිටු 83 ක ඇක්සා ගිවිසුම අද වන තුරුත් දැක්ක කෙනෙක් නැහැ. රටේ ජනාධිපතිතුමන් වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වත් එම ගිවිසුමේ අන්තර්ගතය කුමක් දැයි දන්නේ නැහැ. මේ ගිවිසුම් වල රටේ ජනතාවගෙන් හංගන්නට දෙයක් නැත්නම් ඇයි මේ ගිවිසුම් ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ. මේ ගිවිසුම් සියල්ල එළියට දාන්න රටේ ජනතාවට බලන්න. අපි කියන්නේ බොරු නම් ඇත්ත මොකක්ද කියලා දැනගන්න එවිට ජනතාවට අවස්ථාවක් තියෙනවා. ලේඛනය එළියට ආ දවසට බොරු කියන්නෙ අපද මා මිත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා ද කියන එක කාටත් බලාගන්නට පුළුවන්.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ ගිණුමේ කෝටි ගණනක් – පරීක්ෂණ ඇරඹේ

(03.07.2019 – 07:50 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳවන කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයිෂා නැමැත්තියට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට සැක කටයුතු ලෙස රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් බැරවීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම කොට්ඨාශය ඒ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළා.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් මෙම ගිණුම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කළ පැමිණිල්ලකට අනුවයි.

එම කොට්ඨාශය ඊට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ පෙරේදා කරුණු දක්වනු ලැබුවා.

කොළඹ හත – බෞද්ධාලෝක මාවතේ පදිංචි කිදෙර් මොහොමඩ් සහබ්දීන්ගේ අයිෂා නැමැත්තියට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට, පෞද්ගලික මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද චෙක් පත් මගින් රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් බැර කර ඇති බවත්, එම මුදල් අවස්ථා කිහිපයකදී සැකකටයුතු ලෙස ලබාගෙන ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එම කොට්ඨාශය වැඩිදුරටත් කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙම තැනැත්තිය ඉදිකිරීම් සමාගම් 3 ක අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කරන බවයි.

එමෙන්ම ඇයට ජාතික හැඳුනුම්පතට අදාළව විදෙස් ගමන් බලපත්‍ර දෙකක් නිකුත් වී ඇති බවත් ඉන් එක් බලපත්‍රයක් කොළඹ හත සහ අනෙක් ගමන් බලපත්‍රය පුත්තලම – තිල්ලඩිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහා නිකුත් කර ඇති බවත් එම කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම තැනැත්තියගේ ජාතික හැඳුනුම්පතට සහ විදෙස් ගමන් බලපත්‍රවලට අදාළව ඇය අධ්‍යක්‍ෂ ධුර දරණ සමාගම් මගින් කොළඹ කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ඇත්දැයි සවිස්තර වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයිෂා නමින් සහ ඇගේ ජාතික හැඳුනුම්පත් අංකයට හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකවලට අදාළව කොටස් වෙළඳපොලේ සිදුකර ඇති මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලබාදෙන ලෙස අධිකරණය කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට නියෝග කළා.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත ඊයේ කැඳවා තිබුණා. ඒ, ඔහු විසින් සිදුකරන ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටයි ෴

+++++++++++++++++++++

***************************************

අසාද් සාලිගේ ප්‍රකාශය රතන හිමියන්ට තර්ජනයක් බව රුහුණු රට භික්ෂු පෙරමුණ කියයි

(03.07.2019 – 20:56 +0530 – hirunews.lk/sinhala)

හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පිළිබඳව කරන ලද ප්‍රකාශය උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් බව රුහුණු රට භික්ෂු පෙරමුණ පවසනවා.

අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි නියෝජිත හිමිවරුන් මේ බව සඳහන් කළා.

මේ අතර, පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් උන්වහන්සේ සමග පසුගියදා මහනුවරදී මරාන්තික උපවාසයට එක්වූ කුරුක්කල්තුමා අද පස්වරුවේ මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

***************************************

පූජිත් සහ හේමසිරි ගැන විවිධ අදහස්

(03.07.2019 – 20:47 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගත කළ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

***************************************

මන්ත්‍රී කණ්ඩායමක් ගෝඨාගේ සුව දුක් බලන්න සිංගප්පුරු යති

(03.07.2019 – 15:53 +0530 – lankadeepa.lk)

ඒකාබද්ධ විපක්‍ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් සිංගප්පූරුවේදී අද (03) එරට රෝහලක ප‍්‍රතිකාර ලබන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප‍්‍රසන්න රණතුංග, තේනුක විදානගමගේ, ප‍්‍රියංකර ජයරත්න, ප‍්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ හා කෙහෙලිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිස මේ සඳහා එක්ව ඇත.

මේ වනවිට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බවත් හැකි ඉක්මණින් ලංකාවට පැමිණ ජනතා බලාපොරොත්තු වෙනුවෙන් කැප වන බවද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මන්ත‍්‍රීවරුන් පිරිසට කියා ඇතැයිද වාර්තාවේ.

කිසිදු කරුණක් හේතුවෙන් පසුබැසීමට තමන් සූදානම් නැති බවත් ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ සොහොයුරන්ගේ ආශීර්වාදයෙන් අභියෝග ජයගනිමින් ඉදිරියට යෑමට තමන් සූදානම් බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කර ඇත.

එමෙන්ම සිංගප්පූරු විදේශ ඇමතිවරයාද තමන්ගේ සුවදුක් විමසා බැලීමට පැමිණි බවද ඔහු මන්ත‍්‍රීවරුන් පිරිසට පවසා තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේ සංවිධායක කටයුතු පිළිබඳව මන්ත‍්‍රීවරුන් පිරිස ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැනුවත් කර තිබෙන අතර ජනාධිපතිවරණ නාම යෝජනා බාරදීමෙන් පසුව ප‍්‍රචාරක වැඩසටහන් ක‍්‍රියාවට නංවන ආකාරය පිළිබඳවද මන්ත‍්‍රීවරුන් පිරිස හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට පැහැදිලි කර ඇතැයිද වාර්තාවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *