මව් සෙනෙහස අහිමි දැරියන් දෙදෙනෙකුට මවක් වූ මව් සෙනෙහස අහිමි ඇය

(02.07.2019 – 13:34 +0530 – sinhala.adaderana.lk)

දිළිදුකම තුරන් කිරීම රජයේ අපේක්ෂාව වූවත් අද වන විටත් කුසට අහරක් , පිපාසයට ජල බිඳක් නොමැති අසරණ පිරිස් මෙරට තුළ නැතිවාම නොවෙයි.

එවැනි පුවතක් අද දෙරණට වාර්තා වුණේ මහියංගනය ප්‍රදේශයේය.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුකුලාපොළ ගිනිහිටියාවෙළ ප්‍රදේශයේ ජීවත් වෙන මිහිරි ප්‍රසාදනී කුකුලාපොළ කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍යයාවක්.

බැලූ බැල්මට කුඩා වපසරියකින් යුත් මේ පැල්පත ඇයගේ නිවහනයි.

මිහිරිගේ මව, දියණිය සහ සැමියා අත්හැර ගියේ මීට වසර 12 කට පෙරයි.

එදා සිට මිහිරිට මව නැති අඩුව නොදැනෙන්නට පියා රැකවරණය ලබාදෙන්න මෙලොව අන් සියලු දේට වඩා සිය දියණිය වටිනා බව සැමට පසක් කරමින්.

එහෙත් අද වන විට ආබාධිත තත්ත්වයට පත්ව සිටින මිහිරිගේ පියාට ජීවිතය ගෙන යාම සිහිනයක් වී තිබේ.

එබැවින් පවුලේ සියලු වගකීම් අද වන විට මිහිරිගේ කරපිට පැටවී අවසන්.

තමාට ලැබෙන සලාක මුදල්වලින් කෑම ටික සරි කර ගන්නා බව පවසන මිහිරිගේ පියා පවසයි.

තමාට ඉන්න තැනක් හදා දෙන්න හැකි නම් කෙසේ හෝ ජීවත් විය හැකි බැවින් මිහිරි කඳුළු සලමින් තම නැතිබැරිකම අප හමුවේ කියා සිටියේය.

කෙසේ හෝ ගුරුවරියක් වීමේ අපේක්ෂාවෙන් සිටින මිහිරි තම පවුල පමණක් නොව තවත් පවුලක් රැක ගන්නා අයුරු අප කැමරා කාචයේ සනිටුහන් විය.

මවකගේ උණුහුම නොලද ඇය අසල්වැසි නිවසෙහි මව නොමැතිව සිටින තවත් සහෝදරියන් දෙදෙනෙකුට මව නැති අඩුව පුරවන්නටත් අමතකර කර නැහැ.

කුසට අහරක් , පිපාසයට ජලය පොදක්වත් නොමැතිව ජීවත් වන මේ අසරණ පවුලෙත් පුංචි දියණියන් දෙදෙනාගේත් පාසල් ගමන අතර මඟ නතර වන දවස වැඩි ඈතක් නොවනු ඇති.

සැපසම්පත්වලින් ආසාධ්‍ය නොවූ මේ පුංචි පැල්පතේ කඳුළු අතරින් අකුරු කර ජීවිතය දිනන්ට වෙර දරන මිහිරිටත්, අසල්වැසි මේ පුංචි දියණියන් දෙදෙනාටත් අත්වැල්ලක් වන්නට ඔබටත් හැකිනම් එය මේ පුංචි ජීවිතවලට යම් හෝ අස්වැසිල්ලක් වනු බව නම් නොරහසකි.

Contact Us :

Derana Macro Entertainment (Pvt) Ltd
No. 320, T.B. Jayah Mawatha,
Colombo 10. Sri Lanka.

• Web Editor (Sinhala) : poornima@derana.lk
• Web Editor (English) : yusuf@derana.lk
• Web Editor (Tamil) : bavan@derana.lk

Tel : +94 115300800
Fax : +94 112680417

+++++++++++++++++++++

******************************************

විමල් ඇමරිකා තානාපතිනිය හා හැප්පෙයි.. ඒක බොරුනම් ඇත්ත කුමක්දැයි අසයි..

(02.07.2019 – 18:48 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු තානාපතිනිය පැහැදිළි කළ යුතුයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විසින් නිකුත් කර ඇති ට්වීටර් පණිවිඩයක, ‘ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිඳු සැලසුමක් හෝ වුවමනාවක් නැහැ.’ යනුවෙන් සඳහන් කර ඇත. එසේ ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමේ සැලසුමක් හෝ වුවමනාවක් නැත්නම් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත එවා ඇති හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුමට (SOFA – Status Of Forces Agreement) අදාළ ලේඛනයෙහි සඳහන් කරුණු මොනවාදැයි අපි දැන ගැනීමට කැමැත්තෙමු. එසේම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ ඇමරිකානු තානාපතිනිය මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති සාකච්ඡාවලදී පැමිණි එකඟතාවන් කවරාකාරදැයි දැන ගැනීමට ද අපි කැමැත්තෙමු.

මේ වන විට රට හමුවේ සෝෆා ගිවිසුම (SOFA) යැයි අනාවරණය වී ඇති ලේඛනයෙහි අඩංගු කරුණු සැකවින් රට හමුවේ තැබීමට කැමැත්තෙමු. ඒ අනුව මෙම ගිවිසුම අදාළ වන්නේ ඇමරිකානු හමුදාවන්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් නිලධාරීන්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත වන කොන්ත්‍රාත්කරුවන්ට ය. ඒ සියලුදෙනාටම ‘තානාපති සබඳතා පිළිබඳ වියානා සම්මුතියට’ අනුව තානාපති මුක්තිය ලැබෙනු ඇත. ඔවුනට වරප්‍රසාද සහිතව ශ්‍රී ලංකාව තුළ පරීක්ෂා කිරීම්වලින් තොරව අධි ආරක්ෂිත කලාප ඇතුළු ඕනෑම ස්ථානයකට ඇතුළු වීමට හැකි ය. එසේම ඔවුනට ශ්‍රී ලංකාවේ නීතිය අදාළ නොවන අතර ඔවුන් සිදු කරන නීති විරෝධී හෝ සාපරාධී ක්‍රියාවන් සඳහා ඇමරිකානු නීතිය පමණක් අදාළ වෙයි.

එසේම ශ්‍රී ලංකාව තුළ පනවා ඇති බදුවලට හෝ කිසිදු ගෙවීමකට එම ඇමරිකානු පුද්ගලයන් යටත් වන්නේ නැත. ඔවුනට අවශ්‍ය දේපළ, උපකරණ, සැපයීම්, අමුද්‍රව්‍ය හා තාක්ෂණ පුහුණුවීම්වලට අදාළ දේවල් ආනයනය කිරීමට අයිතිය ලැබේ. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉහත සන්නද්ධ පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා සියලු යාත්‍රා සහ වාහනවලට ශ්‍රී ලංකා භූමියට ඇතුළුවීමට හා පිටවීමට, නිදහසේ ගමන් කිරීමට අයිතිය ලැබේ. ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේම විදුලි සංදේශ ජාලයක් කිසිඳු ගෙවීමකින් තොරව භාවිතා කිරීමට අයිතිය ලැබේ.

මෙවැනි කරුණු ඇතුළත් ගිවිසුමක් බලාත්මක වුවහොත් ඇමරිකානු කඳවුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ වුවමනාවක් නැත. මක් නිසාද යත්, එමගින් මුළුමහත් ශ්‍රී ලංකාවම ඇමරිකානු එක්සත් ජනපදයේ යුද තිප්පොළක් වන නිසා ය.

ඒ නිසා අප ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙතෙක් සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සමඟ සිදුකර ඇති සාකච්ඡා, ඒ සම්බන්ධයෙන් ඇති වී තිබෙන එකඟතා, කෙටුම්පත් හා ලේඛන මොනවාදැයි විවෘතව හා විනිවිද පෙනෙනසුලු ආකාරයෙන් අනාවරණය කරන ලෙස ය. එසේ නොමැතිව මෙසේ වරින් වර ට්වීටර් පණිවිඩ නිකුත් කිරීමෙන් මේ ගැටළුව නිරාකරණය නොවන බව ද සඳහන් කරනු කැමැත්තෙමු.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.

+++++++++++++++++++++

02.07.2019

+++++++++++++++++++++++++++++++++++

සෝෆා ගිවිසුම

(02.07.2019 – 12:05 +0530 – lankadeepa.lk)

පහත දැක්වෙන්නේ සෝෆා ගිවිසුමේ සිංහල පරිවර්තනයකි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අවසන්වරට නිල වශයෙන් සාකච්ඡා පැවත්වුණේ පසුගිය මැයි මාසයේය. රටේ ආරක්ෂක කටයුතු පිළිබඳ සම්පූර්ණ වගකීම ආරක්ෂක අමාත්‍යාංශය සතුවුවත්, එම විෂයට අදාළ වන මෙම ගිවිසුම සම්බන්ධ සියලු සාකච්ඡා කටයුතු සිදුව තිබෙන්නේ කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතරය.

2018 අගෝස්තු 28

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සිය සුභාසිංශන එකතු කරයි.එක්සත් ජනපද ආරක්ෂක අංශ සහ සිවිල් පුරවැසියන් (මෙතැන් සිට ඇමරිකා අයවලුන් ලෙස සඳහන් කරයි) අරබයා වන ගැටලු සම්බන්ධයෙන් ද, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ගිවිසුම් ගතව සිටින, මෙරටට පැමිණි නෞකාවල සිටින, පුහුණු කටයුතු සඳහා, වැඩසටහන් සඳහා, මානවවාදී ක්‍රියාකාරකම් සඳහා සහ අන්‍යොන්‍ය එකඟතාවය මත වන වෙනත් ක්‍රියාකාරකම් සඳහා, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් (ශ්‍රී ලංකා නොවන සමාගම් සහ ආයතන, ශ්‍රී ලංකා පුරවැසියන් නොවන ඔවුන්ගේ සේවකයන්) පිළිබඳව වන ගැටලු සම්බන්ධයෙන් ද, වර්තමානයේ අප දෙරටේ රජයන් අතර පැවැත්වෙන සාකච්ඡාවට අවධානය යොමු කිරීමට අප කැමැතිය. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ගිවිසුම්ගතව නොමැති සමාගම් සහ ආයතන, ඔවුන්ගේ සේවකයන්, මෙම ගිවිසුම යටතේ හිමිවන කිසිදු වරප්‍රසාදයකට යටත් නොවන අතර, ඔවුන් මෙම ගිවිසුමට අදාළ නොවේ.

මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද අයවලුන්ට, රාජ්‍යතාන්ත්‍රික සබදතා සම්බන්ධයෙන් 1961 අප්‍රේල් මස 18 වැනිදා ඇතිකරගත් වියානා සම්මුතිය ප්‍රකාරව, තානාපති කාර්යාලවල පරිපාලන සහ තාක්ෂණික කාර්යමණ්ඩලයන්ට හිමි වරදාන, වරප්‍රසාදයන් සහ අවසරයන් ලබාදෙන ලෙසට තානාපති කාර්යාලය යෝජනා කරයි. එක්සත් ජනපද අයවලුන්ට තනිව හෝ කණ්ඩායමක් ලෙස ඇමරිකා හැඳුනුම්පතක් යටතේ ශ්‍රී ලංකාවට ඇතුලුවීමට සහ පිටවීමට අවසරය හිමිවනු ඇත.එක්සත් ජනපදය, එහි දේශපාලන උප අංශ සහ එක්සත් ජනපදයේ ප්‍රාන්තයන්, ඇමරිකා අයවලුන්ට නිකුත් කර තිබෙන වෘත්තිමය යැයි සැලකිය හැකි සියලුම බලපත්‍ර – බලයලත් ඇමරිකා අයවලුන්ට සේවා සැපයීම සඳහා වලංගු බවට ශ්‍රී ලංකා බලධරයින් සලකනු ඇත. රිය පැදවීම සහා අදාළ එක්සත් ජනපද බලධරයන් ඇමරිකා අයවලුන්ට නිකුත් කර තිබෙන රියදුරු බලපත්‍රයන් ශ්‍රී ලංකාව පිළිගනු ඇත. එය අයවලුන්ව රිය පැදවීමේ පුහුණුවලට හෝ රිය පැදවීම සඳහා වන බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන ගෙවීමකට හෝ යටත් නොකෙරෙනු ඇත. නිල රාජකාරිවල නියැලෙන අවස්ථාවන්හි දී ඇමරිකා පුරවැසියන්ට නිල ඇඳුමින් සැරසී සිටීම සඳහා, ලැබී තිබෙන නියෝගවල සඳහන් වන්නේ නම් ඔවුන්ට අවි රැගෙන යා හැකිවීම සඳහා, ඔවුන්ට අවසරය ලැබිය යුතු බවට තානාපති කාර්යාලය වැඩිදුරටත් යෝජනා කරයි.

එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ විනය පාලන කටයුතු එක්සත් ජනපද ආරක්ෂක බලධරයින් යටතේ සිදුවිය යුතුවීමේ වැදගත්කම ශ්‍රී ලංකා රජය පිළිගනී. ඒ අනුව, එම පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ගතකරන කාලය අතරතුර ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ඇත්තේ එක්සත් ජනපද රජයයි.

එක්සත් ජනපද අයවලුන් මෙරට ක්‍රියාත්මක බදු හෝ වෙනත් ගෙවීම්වලට යටත් නොවේ. ඔවුන්ගේ දේපළ, උපකරණ, වාර්තා සහ නිල මට්ටමේ වෙනත් තොරතුරු ආරක්ෂා කිරීම අරබයා වන පියවර ගැනීම සදහා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත. අපනයනය කිරීම්, ආනයනය කිරීම් සහ ඒවායේ භාවිතයන් කිසිදු අයුරක විමර්ශනයකට, බලපත්‍ර ලබාගැනීමකට, වෙනත් සීමාවකට, රේගු බදුවලට, බදු හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනත් ගෙවීම්වලට යටත් නොවනු ඇත. ඇමරිකා අයවලුන්, දේපළ, උපකරණ, වාර්තා සහ නිල මට්ටමේ වෙනත් තොරතුරු ආරක්ෂා කිරීම අරබයා වන පියවර ගැනීම සඳහා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

භාවිතයට ගැනෙන හෝ අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන යාත්‍රා සහ වාහනවලට ශ්‍රී ලංකාවෙන් පිටවීමට සහ මෙරට නිදහසේ සැරිසැරීමට අවසරය හිමිවිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.එවැනි වාහන ගෙවීම් හෝ අයකිරීම්වලට යටත් නොවේ. එම සියලු වාහන මාර්ග ගාස්තු ගෙවීම්වලින් නිදහස්ය. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් හෝ එම දෙපාර්තමේන්තුව යටතේ භාවිතයට ගැනෙන යාත්‍රා හෝ ගුවන්යානා, ශ්‍රී ලංකා රජය යටතේ පාලනය කෙරෙන ගුවන්තොටුපලවලට ගොඩබැස්වීමේ දී ගෙවිය යුතු වන ගාස්තුවලට, වරාය ගාස්තුවලට, නියමු ගාස්තුවලට, යටත් නොවේ.අයත් හෝ, භාවිතයට ගැනෙන හෝ, අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන හෝ, යාත්‍රා හෝ ගුවන්යානා ශ්‍රී ලංකාවේ දේශසීමාව ඇතුළත සිදුකරන යාත්‍රා කිරීමකට, පියාසැරියකට, නවතා තැබීම්වලට, යනා දී කිසිදු කටයුත්තකට අදාළ කිසිදු ගෙවීමකට යටත් නොවනු ඇත. ඉල්ලා සිටින සහ ලැබෙන සේවාවන් සඳහා, එම සේවාවන්වලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිදුකරන ගෙවීම්වලට නොඅඩුව, සාධාරණ ගෙවීමක් සිදුකිරීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇත. එක්සත් ජනපදයට අයත් ගුවන්යානා සහ යාත්‍රා ගොඩවීමෙන් සහ පරීක්ෂාවට ලක්වීමෙන් ද නිදහස්ය.

ඕනෑම වර්ගයේ අමුද්‍රව්‍යයක්, භාණ්ඩ, උපකරණයන්, සහ සේවාවන් (කොන්ත්‍රාත්තු ඇතුලුව) ලබාගැනීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව කොන්ත්‍රාත් කැඳවනු ඇත. මෙම කටයුතුවලට අදාළව කොන්ත්‍රාත්කරුවා, භාණ්ඩ සපයන්නා හෝ එවැනි අමුද්‍රව්‍ය, භාණ්ඩ හෝ සේවා සපයන්නා තෝරාගැනීමේ දී කිසිදු සීමාවකට යටත් නොවී එම තෝරාගැනීම් සිදුකිරීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවසරය හිමිය. කොන්ත්‍රාත්කරුවා තෝරා ගැනෙන්නේ, කොන්ත්‍රාත්තුව පිරිනැමෙන්නේ සහ එහි කටයුතු පරිපාලනය කෙරෙන්නේ එක්සත් ජනපද රජයේ නීතිවලට යටත්වය. මෙම කටයුතු අරබයා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා සේවා හා වෙනත් දේවල් මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවෙන් පනවන කිසිදු බද්දකට හෝ වෙනත් ගෙවීමකට යටත් නොවේ.

දෙපාර්තමෙන්තුව ඇතුළත් වන ගිවිසුම්වලට යටත්ව එම ගිවිසුම්වල සදහන් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා වන කොන්ත්‍රාත්කරුවන් සිදුකරන ආනයනයන්ට, අපනයනයන්ට, ශ්‍රී ලංකාවෙන් ඕනෑම පෞද්ගලික දේපළක්, උපකරණයන්, භාණ්ඩ, අමුද්‍රව්‍ය, තාක්ෂණය, පුහුණුව, හෝ සේවාවන් ලබාගැනීමකට කිසිදු බද්දක් හෝ එවැනි කිසිදු ගෙවීමක් නොපැනවිය යුතු බව තානාපති කාර්යාලය වැඩිදුරටත් නිර්දේශ කරයි.එවන් ආනයනය කිරීමක්, අපනයනය කිරීමක්, සාමාන්‍ය අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ අනුගමනය කැරෙන බලපත්‍රගත කිරීමකින්, රේගු බදු පැනවීමකින්, බදු හෝ වෙනත් ගාස්තු පැනවීමකින් හෝ වෙනත් සීමා කිරීමකින් නිදහස් වනු ඇත.

වෘත්තිකත්වය අඟවන බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර අදාළව එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන්ට, එක්සත් ජනපද අයවලුන් හා සමානවම සැලකිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම ගිවිසුම යටතේ පවතින ක්‍රියාකාරකම්වලට අදාළව අන්‍යයෝන්‍ය වශයෙන් ඇතිකරගත් එකඟතාව යටතේ ප්‍රවාහන පහසුකම්, ගබඩා කිරීම් පහසුකම්, පුහුණු පහසුකම් සහ අනෙක් පහසුකම් භාවිතා කිරීමට සහ නිදහසේ ශ්‍රී ලංකාවේ සැරීමට එක්සත් ජනපද අයවලුන්ට අවකාශය තිබිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

එක්සත් ජනපද ආරක්ෂක අංශවලට ඔවුන්ටම වෙන්වූ ගුවන්විදුලි සංඛ්‍යාතයක් තිබීමේ අවශ්‍යතාවයක් පැවැතිය හැකි බව ශ්‍රී ලංකා රජය හඳුනාගෙන තිබේ.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුවට ඔවුන්ගේම තොරතුරු සන්නිවේදන උපකරණ භාවිතා කිරීමට අවසරය හිමිවනු ඇත (1992 අන්තර්ජාතික ජනසන්නිවේදන සංගමය විස්තර කර ඇති පරිදි). එම උපකරණවල ක්‍රියාකාරීත්වයට අදාළ වන ඉහත අවශ්‍යතාවය සහ වෙනත් සේවා සපුරාගැනීමේ අයිතිය ද මේ හාම ඔවුනට හිමිවනු ඇත. වෙන්කෙරෙන රේඩියෝ සංඛ්‍යාතයට එක්සත් ජනපද රජය කිසිදු ගෙවීමක් සිදුකළ යුතු නැත.

මෙම ගිවිසුම යටතේ වන ක්‍රියාකාරකම්වලට අදාළව එක් පාර්ශ්වයක දේපළවලට සිදුවන අලාභ, අහිමිවීම්, සහ එක් පාර්ශවයක ආරක්ෂක අංශවල සිටින හෝ සිවිල් අංශය නියෝජනය කරන පුද්ගලයකු මරණයට පත්වීම හෝ අදාළව අනෙක් පාර්ශවයට එල්ල විය හැකි චෝදනා සියල්ල ඉවත් කරගත යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි (කොන්ත්‍රාත් කටයුතුවලට අදාළ චෝදනා හැර). එක්සත් ජනපද අයවලුන්ගෙන් තෙවැනි පාර්ශවයන්ට සිදුවන අලාභ හෝ අහිමිවීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නීති හා රෙගුලාසිවලට යටත්ව එක්සත් ජනපද රජය අදාළ පරිදි කටයුතු කරනු ඇත.

1995 වසරේ මැයි මස 16 වැනිදා ඇති කොළඹ දී ඇති කර ගැනුනු දෙපාර්ශවය අතර සටහන් හුවමාරු කරගැනීමේ ගිවිසුමට ඉහළින්, මෙම ගිවිසුම, එය බලාත්මක වූවායින් පසුව, එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සහ සිවිල් සේවකයින්ගේ මෙරට කටයුතු සහ වෙනත් නිල රාජකාරි සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බවට තානාපති කාර්යාලය වැඩිදුරටත් යෝජනා කරයි. අපගේ රජයන් ද්විත්වය, හෝ එම රජයන් තමන් වෙනුවෙන් පත්කරන ලද නියෝජිතයින්, මෙම ගිවිසුමේ අන්තර්ගත ප්‍රසම්පාදනයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආරම්භ කළ යුතුව ඇති බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම කරුණු ශ්‍රී ලංකා රජයේ එකඟතාවය අනුව වේ නම් මෙම සටහන, මෙම සටහනට පක්ෂව අමාත්‍යවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරය හා එක්ව, රජයන් දෙක ගිවිසුමට එළැඹි බව තීරණය කරන්නක් වන බවට සහ අමාත්‍යවරයාගේ පිළිතුර ලැබෙන දිනයේ සිට බලාත්මක වන බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම කාරණයට ඉහළම අවධානයක් යොමුකළ යුතුව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිහිපත් කරදීමේ අවස්ථාවක් බවට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙය පත්කර ගනී.

පරිවර්තනය – කෝවිද ගුණසේකර

+++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ගැන සහතික විය හැකිද

(02.07.2019 – 11:48 +0530 – lankadeepa.lk)

ස්වභාවික ව්‍යසනයන් හා සමානම හානියක් දේශපාලන ව්‍යසනවලින් සිදුවුවත්, ශ්‍රී ලංකාව සැලකීමේ දී නම් දකින්නට තිබෙන්නේ එහි අනෙක් පැත්තය.

ගෙවුණු 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක් රැයකින් ඔහුගේ ධූරයෙන් ඉවත් කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඔහු වෙනුවට නව අගමැතිවරයා ලෙස සිය පූර්වගාමියා සහ පරම දේශපාලන සතුරා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කළේ ය. ඒ හා සමගම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලබාගැනීම සදහා ඔහු පාර්ලිමේන්තුව විසිරුවා හැරිය ද, ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහිව සිටිමින් ජනපතිවරයාගේ එම පියවර ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කළේය. පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඉල්ලා සිටිය ද නැවතත් රනිල් වික්‍රමසිංහට නම් අගමැතිකම ලබානොදෙන බව ප්‍රසිද්ධියේම නැවත නැවතත් කියා සිටින්නට යෙදුන ද, අවසන ජනපති සිරිසේන සිදුකළේ ද එයමය.මෙයත් සමග ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසයේ අදුරුතම පරිච්ඡේදයක් නිමාවට පත්විය. එහෙත් එහි මතකයන්, විශේෂයෙන්ම ජනපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ මෙරට මෙන්ම ලෝකයාගේ ද කතාබහට ලක්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා පුරවැසියන් බොහෝ දෙනෙක් නොදැනම එම සමයේ දී තවත් අදුරු පරිච්ඡේදයක් දිග හැරෙමින් තිබිණ. එවක විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතාට කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය පිටු 5කින් සමන්විත වූ ලියැවිල්ලක් එවීය. අගෝස්තු 28 වැනිදා දාතමින් යුතු වූ එය, වොෂින්ටනය ශ්‍රී ලංකාව හා අත්සන් තැබීමට පුලපුලා බලා සිටි භට කණ්ඩයම්වල තත්ත්වය, නොඑසේ නම් සෝෆා ගිවිසුමේ කෙටුම්පතක් විය. ගිවිසුමේ නම අරබයා මතුවිය හැකි සැකසංකා දුරුකිරීමේ අරමුණින් දෝ, මෙරටට පැමිණෙන භට කණ්ඩයම් සම්බන්ධ ගිවිසුම (විසිටින්ග් ෆොර්සස් ඇග්‍රීමන්ට් – වීඑස්ඒ) ලෙස ද එම ගිවිසුම හදුන්වා දී තිබිණ. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රසාද් කාරියවසම්ගේ සහාය යටතේ සාකච්ඡා ආරම්භ විය. ගිවිසුමට එළැඹීමට එක්සත් ජනපදය කොතරම් කලබලයකින් සිටියේ ද යත්, ඔවුනට එය අත්සන් තැබීමට කාලය වැය කිරීමට පවා වුවමනාවක් නොතිබිණ.ඒ වෙනුවට, ගිවිසුම් කෙටුම්පතෙහි සදහන්ව තිබුණේ එම කෙටුම්පතින් රජයන් දෙක අතර එකගතාවයක් ඇතිවන බව සැලකෙන බවත්, අමාත්‍යවරයාගේ පිළිතුර ලැබෙන දිනයේ සිට එය බලාත්මක වන බවත්ය.රටේ ආරක්ෂක කටයුතුවල ප්‍රධාන වගකීම දරන ආරක්ෂක අමාත්‍යංශය මෙම කටයුතු එකකට හෝ සම්බන්ධ කර නොගැනිණ. කෙසේවුවත් ජනපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය 2018 ඔක්තෝබර් මස 31 වැනිදා ඔහු යටතට පවරා ගැනීම නිසා කාරියවසම්ට ඔහුගේ ධූරය අහිමි විය. මේ නිසා සෝෆා ව්‍යාපෘතිය තාවකාලිකව නතර විය.

සමරවීරගේ පැහැදිලි කිරීම

පසුගිය බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කවදත් සෘජු පිළිතුරු ලබාදෙන්නෙක් ලෙස ප්‍රකට සමරවීර සෝෆා ගිවිසුම සහ පවරාගැනීමේ සහ හරස් සේවා සැපයීමේ ගිවිසුම (ඇක්සා) සාධාරණීකරනය කරමින් අදහස් දැක්වූයේ ය. ඇක්සා ගිවිසුමට මේ වන විටත් අත්සන් තබා අවසන් අතර, ආරක්ෂක අංශවලට සීමාවන මෙවැනි ගිවිසුම්වලට එරෙහි ව්‍යාපාරයක් විපක්ෂය මේ වන විට ආරම්භ කර තිබෙන බවට චෝදනා කළ ඔහු, ශ්‍රී ලංකාවට මෙම ගිවිසුම්වලින් කිසිදු අවදානමක් එල්ල නොවන බව අවධාරණය කර කියා සිටියේය. ඔහුගේම සහාය යටතේ ඉදිරියට ගිය මෙම ගිවිසුම් තවදුරටත් සාධාරණීකරණය කළ අමාත්‍යවරයා, ඒවාට අත්සන් තැබීමට හේතු වූ කාරණා පැහැදිලි කරමින්, ඇමරිකාවට සිදුකෙරෙන අපනයන මත ශ්‍රී ලංකාව රදා පැවැතීම සහ ඔවුන් හා සහයෝගයෙන් කටයුතු නොකළහොත් රැකියා අවස්ථා අහිමිවන්නට තිබෙන අවදානම ගෙන හැර දැක්වූයේ ය.

අමාත්‍යවරයා පවසන්නේ සත්‍යම යැයි කෙනෙකුට සිතෙන්නට හැකි වුවත්, 2017 අගෝස්තු මස 4 වැනිදා අත්සන් තැබුණු ඇක්සා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ ඇයි? එසේ කිරීමට බිය වූයේ ඇයි? ජනතාවගෙන් මේ සියල්ල සගවාගෙන සිටින්නේ ඇයි? ඇක්සා ගිවිසුම අහිංසක හා මෙවර හා ගියවර අත්සන් තැබුණු ගිවිසුම් අතර කිසිදු වෙනසක් නොමැති බව ඔහු කියතත්, මෙම තීරුවෙන් පසුගිය සමයේ අනාවරණය කළ කරුණු සැලකීමේ දී අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයෙන් බොහෝ දුරය. එය ඔහු ද දන්නා බව නොරහසකි. දැන් සමරවීරට සිදුව තිබෙන්නේ ගැටලුවට තුඩු දී තිබෙන ඔහුගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරනු වස් කරුණු දැක්වීමටය.

අද ඔහු ආරක්ෂක අංශ පිළිබඳ සඳහන් කිරීම ගැන අවධානය යොමු කළ යුතු මනාය. එදා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස, මෙරටට එරෙහිව එක්සත් ජනපදය ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දැක්වූයේ මේ සමරවීරම නොවේ ද? ඇමරිකාව එම යෝජනාව ඉදිරිපත් කළේ සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන මානව හිමිකම් කඩවීමේ, අන්තර්ජාතික මානවවාදී නීතිය කඩවීමේ, පමණක් සිදුව ඇතැයි ඔවුන් තවදුරටත් චෝදනා කරන යුද අපරාධවලට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සහ පොලිසියට දඬුවම් පැමිණවීමට නොවේ ද? සමරවීරගේම ජනපතිවරයා, ජනපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රසිද්ධියේම කියා තිබෙන්නේ මෙසේ සම අනුග්‍රාකත්වය දැක්වීම පිළිබදව තමන්ගේ උපදෙස් විමසීමට හෝ තමන්ව දැනුම්වත් කිරීමට හෝ කිසිදු පියවරක් නොගැනුණු බවය. දැන් අමාත්‍ය සමරවීරට වුවමනා වී තිබෙන්නේ එක්සත් ජනපද ආරක්ෂක අංශ ලවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට මානව හිමිකම් ඒ හා අදාළ අනෙක් කාරණා ඉගැන්වීමටය. ඔහු දැඩි ඇමරිකා හිතවාදියකු බව රහසක් නොවේ. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දරමින් සිටි තනතුරින් ඉවත් කර මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුව පත්කිරීම සඳහා ජනපති සිරිසේන දැඩි බලපෑමක් එල්ල කළේ ද මේ නිසාමය.

ඇමරිකා තානාපති කාර්යාලයේ ශාඛාවක් සිය ගම් ප්‍රදේශය වන මාතර ස්ථාපිත කර තිබීමට තරම් සමරවීර වාසනාවන්තය. මෙය සමරවීරගේ අමාත්‍ය සගයින් පවා ඔහු කෙරේ ඊර්ෂ්‍යාව උපදවීමට හේතු වී තිබෙන කාරණයකි. මාධ්‍ය හමුවේ දී ඔහු පසෙකින් අසුන් ගෙන සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු සම්බන්ධයෙන් වන අංශයේ අධ්‍යක්ෂිකා මහේෂිනී කොලොන්නේ මහත්මියයි. මුදල් අමාතාංශයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඇයට අද නව තනතුරක් ද හිමිය. කොලොන්නේගේ හිටපු ප්‍රධානියා වන කාරියවසම්ට ද, ඇය හා සමානම තනතුරක් වර්තමානයේ හිමිව තිබෙන අතර, අන්තර්ජාතික සබදතා සම්බන්ධයෙන් කතානායකවරයාගේ උපදේශක ලෙස ඔහු කටයුතු කරමින් සිටී.කෙසේනමුත් ඔහුට වැටුප් ගෙවනුයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වන ඇමරිකා ඒජන්සියයි (යූඑස්එයිඞ්). බ්‍රහස්පතින්දා මාධ්‍ය සාකච්ඡාවේ දී, සෝෆා ගිවිසුම ගැන ද අදහස් දැක්වූ සමරවීර එයින් ද රටට කිසිදු හානියක් සිදුනොවන බව අවධාරණය කළේ ය. එසේවුවත් රජයේ සිටින ඔහුගේම සගයින් බොහෝ දෙනෙක් එය හා එකඟ නැත.

උදෑසන ආහාරය ද පිළිගන්වමින් පසුගිය බදාදා උදෑසන පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ජනපති සිරිසේන, ‘‘යෝජිත සෝෆා ගිවිසුමට මම විරුද්ධයි. ඒ බව මම කැබිනට් මණ්ඩලයටත් දැනුම් දී තිබෙනවා’’ යැයි පැවසුවේ ය.

සිකුරාදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ද මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්, ‘‘රටට මහා ද්‍රෝහීකමක් සිදුකිරීමට එක්සත් ජාතික පෙරමුණු රජය සූදානමින් සිටිනවා. ඇක්සා ගිවිසුමට අත්සන් තබලා. දැන් සෝෆා ගිවිසුමට අත්සන් තබන්න ලෑස්ති වෙනවා.’’ යැයි කීවේ ය. ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයන්ට අනුව අමරවීර එවැනි ප්‍රකාශයක් සිදුකර තිබෙන්නේ ජනපතිවරයාගේ අනුදැනුම යටතේය.

පිටු 5 කින් සමන්විත සෝෆා ගිවිසුම ප්‍රථම වතාවට ඔබ හමුවේ අනාවරණය කිරීමට සන්ඬේ ටයිම්ස් හට හැකිය. පහත දක්වා තිබෙන ගිවිසුමෙහි සඳහන් වැදගත් කරුණුවල සංක්ෂිප්තය අධ්‍යයනය කිරීමෙන්, මෙම ගිවිසුමෙන් රටට හානියක් සිදුවන්නේ නැතැයි අමාත්‍ය සමරවීර කරන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය ඔබටම විමසා සිටිය හැකිය.

එක්සත් ජනපද පුරවැසියන්ට (හමුදා, කොන්ත්‍රාත්කරුවන් ආදී) මෙරට ඇමරිකා තානාපති කාර්යාලයට අනුයුක්ත කර සිටින පරිපාලන හා තාක්ෂණ කාර්යමණ්ඩලයට හා සමාන වරප්‍රසාද, අවසර, සහ සාමාන්‍ය නීතියෙන් නිදහස් වීම්, ලබාදිය යුතුය.ඇමරිකාවෙන් නිකුත් කර තිබෙන හැදුනුම්පත් අතැතිව තනිව හෝ කණ්ඩායමක් ලෙස හෝ ශ්‍රී ලංකාවට ඇතුලුවීමට සහ ශ්‍රී ලංකාවෙන් පිට වීමට ඔවුනට හැකිය. (සටහන — මෙයින් අදහස් වන්නේ ගමන් බලපත්‍ර හෝ වීසා හෝ නොමැතිව ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවය)

ඔවුන්ව මෙරට දී රිය පැදවීමේ පුහුණුවකට හෝ ගෙවීමකට හෝ යටත් නොකොට, ඒ වෙනුවට ඇමරිකාවේ අදාළ බලධරයන් ඔවුන් වෙනුවෙන් නිකුත් කොට ඇති රිය පැදවීමේ බලපත් හෝ අවසර පත්‍රයන් ශ්‍රී ලංකාව පිළිගනු ඇත. නිල වශයෙන් පැවරී තිබෙන රාජකාරි ඉටුකරනාතරවාරයේ නිල ඇඳුමින් සැරසී සිටීමටත්, රාජකාරියේ යෙදෙමින් සිටින විට දී ගිනිඅවි අතැතිව සිටීමටත්, ඔවුන්ට අවසරය හිමිය.

එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ විනය පාලන කටයුතු එක්සත් ජනපද ආරක්ෂක බලධරයින් යටතේ සිදුවිය යුතුවීමේ වැදගත්කම ශ්‍රී ලංකා රජය පිළිගනී. ඒ අනුව, එම පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ගතකරන කාලය අතරතුර ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ඇත්තේ එක්සත් ජනපද රජයයි. (සටහන — මෙයින් පැහැදිලිව අදහස් වන්නේ ශ්‍රී ලංකා නීති ඔවුන් මත බලනොපැවැත්වෙන බවය) එක්සත් ජනපද අය මෙරට ක්‍රියාත්මක බදු හෝ වෙනත් ගෙවීම්වලට යටත් නොවේ. ඔවුන්ගේ දේපළ, උපකරණ, වාර්තා සහ නිල මට්ටමේ වෙනත් තොරතුරු ආරක්ෂා කිරීම අරබයා වන පියවර ගැනීම සදහා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත. (සටහන — ඔවුන්ට වුවමනා වී තිබෙන්නේ ශ්‍රී ලංකා රජය ලවා ඔවුන්ගේ දේපළ නොමිලයේම ආරක්ෂා කරගැනීමටය) භාවිතයට ගැනෙන හෝ අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන හෝ යාත්‍රා සහ වාහනවලට ශ්‍රී ලංකාවෙන් පිටවීමට සහ මෙරට නිදහසේ සැරිසැරීමට අවසරය හිමිය. එවැනි වාහන ගෙවීම් හෝ අයකිරීම්වලට යටත් නොවේ.අයත් හෝ, භාවිතයට ගැනෙන හෝ, අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන හෝ, යාත්‍රා හෝ ගුවන්යානා ශ්‍රී ලංකාවේ දේශසීමාව ඇතුළත සිදුකරන යාත්‍රා කිරීමකට, පියාසැරියකට, නවතා තැබීම්වලට, යනා දී කිසිදු කටයුත්තකට අදාළ කිසිදු ගෙවීමකට යටත් නොවනු ඇත.ඉල්ලා සිටින සහ ලැබෙන සේවාවන් සදහා, එම සේවාවන්වලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිදුකරන ගෙවීම්වලට නොඅඩුව, සාධාරණ ගෙවීමක් සිදුකිරීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇත. (සටහන — මෙය ජාතික ස්වෛරී අයිතිය අමුඅමුවේම උල්ලංඝණය කිරීමකි)

ඕනෑම වර්ගයේ අමුද්‍රව්‍යයක්, භාණ්ඩ, උපකරණ සහ සේවා (කොන්ත්‍රාත්තු ඇතුලුව) ලබාගැනීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව කොන්ත්‍රාත් කැඳවනු ඇත. මෙම කොන්ත්‍රාත් දේශීය බදුවලට යටත් නොවනු ඇත. (ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවයක් ඔවුනට තිබෙන බව මෙයින් පැහැදිලිය. ඉදිකළ යුතුයැයි ඔවුන් සිතා සිටින්නේ මොනවා ද?) එක්සත් ජනපදයේ කොන්ත්‍රාත්කරුවන් කිසිදු බද්දකට හෝ ඒ හා සමාන ගෙවීමකට හෝ යටත් නොවේ.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුවෙහි දේපළ, උපකරණ, භාණ්ඩ, අමුද්‍රව්‍යයන්, තාක්ෂණ පුහුණු සහ වෙනත් සේවාවල අවශ්‍යතා සපුරාගැනීම සදහා කැදවෙන කොන්ත්‍රාත්තු, ඒවාට අදාළ අවසර පත්‍ර ලබාගත යුතුවීම්වලින්, වෙනත් සීමාවලින්, රේගු බදුවලින්, ශ්‍රී ලංකාවේ පැනවෙන බදු හෝ වෙනත් ගෙවීම්වලින් නිදහස් කෙරෙනු ඇත. (සටහන — මෙය ද තම රටට පැමිණෙන වෙනත් පාර්ශ්වයක් මත, ඔවුන් රටෙහි නීති නිසි පරිදි අනුගමනය කරන බව තහවුරු කිරීම සඳහා බදු පැනවීමට ස්වෛරී ජාතියකට තිබෙන අයිතිය අමුඅමුවේම උල්ලංඝණය කරන්නකි) එක්සත් ජනපද ආරක්ෂක අංශවලට ඔවුන්ටම වෙන්වූ ගුවන්විදුලි සංඛ්‍යාතයක් තිබීමේ අවශ්‍යතාවයක් පැවැතිය හැකි බව ශ්‍රී ලංකා රජය පිළිගනී. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඔවුන්ගේම තොරතුරු සන්නිවේදන උපකරණ භාවිත කිරීමට අවසරය හිමිවනු ඇත. එම උපකරණවල ක්‍රියාකාරීත්වයට අදාළ වන ඉහත අවශ්‍යතාව සහ වෙනත් සේවා සපුරාගැනීමේ අයිතිය ද මේ හා ම ඔවුනට හිමිවනු ඇත. වෙන්කෙරෙන රේඩියෝ සංඛ්‍යාතයට එක්සත් ජනපද රජය කිසිදු ගෙවීමක් සිදුකළ යුතු නැත. (සටහන — මෙයින් සරලවම අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ හමුදාව, නාවික හමුදාව, පොලිසිය සහ වෙරළාරක්ෂක හමුදාව භාවිත කරන ඔවුනොවුන්ටම වෙන් වූ රේඩියෝ සන්නිවේදන ජාලයන් හා සමාන සන්නිවේදන ජාලයක් මොවුන්ට ද වෙනම හිමිවන බවය) සියලු පාර්ශ්වයන් මත බලපැවැත්වෙන ගෙවීම් ඉවත් කිරීම (කොන්ත්‍රාත්තු කටයුතුවලට හැර). අලාභ හානි හෝ අහිමිවීම් සිදුවන අවස්ථාවල දී එක්සත් ජනපදයේ නීති හා රෙගුලාසිවලට යටත්ව එක්සත් ජනපද රජය අදාළ ගෙවීම් සිදුකරනු ඇත. (සටහන — මෙයද ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝණය කරන්නකි. එක්සත් ජනපද ආරක්ෂක අංශ සහ ඔවුන් හා සම්බන්ධව සිටින අයවලුන් මත ශ්‍රී ලංකාවේ නීතිය බලනොපැවැත්වෙනු ඇත. මේ හමුවේ ඔවුනට ශ්‍රී ලංකාවේ සිටීම යනු සිය මව්රටේ සිටිනවා වැනිම වනු ඇත)

ඇක්සා බන්දේසියක් මත තබා පිළිගැන්වීම

ප්‍රසාද් කාරියවසම්ට ඔහුගේ තනතුර අහිමිවීම හමුවේ සති ගණනාවක් ගතවන තෙක්ම සෝෆා සාකච්ඡා පැවතුනේ කොට උඩය. කෙසේවුවත් ඇක්සා ගිවිසුමට සාර්ථකව එළැඹ ගැනීම සැලකිල්ලට ගත් ඇමරිකාව, සෝෆා ගිවිසුම ද ඒ අයුරින්ම සාර්ථක කරගැනීම සඳහා මෙරට ඇමරිකා තානාපති කාර්යාලය ඔස්සේ දිගින් දිගටම පීඩනය යෙදවූවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේ මැයි මස 15 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැති තෙවන ශ්‍රී ලංකා – එක්සත් ජනපද සහයෝගීතා සංවාදයේ දී සාකච්ඡාවට ගැනීම සඳහා වූ කාරණා ලැයිස්තුවට සෝෆා ගිවිසුම ද එක් කෙරිණ. ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සෝෆා කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළේ ය.

චීන සංචාරයක යෙදුණු ජනපති සිරිසේන මැයි මස 19 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන විට ද මාරපන සිටියේ වොෂින්ටන් නුවරය. චීන ජනපති ෂි ජින්ග් පින්ග් ද හමුවී තිබුණු ජනපති සිරිසේන, එරට දී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන ගිවිසුමකට ද අත්සන් තබා තිබිණ. එහි අන්තර්ගතය තවමත් ඔහුගේ කැබිනට් මණ්ඩලය පවා නොදනී. වහාම මාරපනව ඇමතූ ඔහු, ආරක්ෂක අමාත්‍යවරයා වන තමාගේ අදහස් විමසීමකින් තොරව සෝෆා ගිවිසුමට එළැඹීමෙන් වළකින ලෙස අමාත්‍යවරයාට උපදෙස් දුන්නේ ය. මේ හමුවේ කාරණයට තවදුරටත් ප්‍රමාදව තිබෙන මුත්, එක්සත් ජනපදය එල්ල කරමින් සිටින පීඩනය තවමත් එලෙසමය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව දැනගත් ජනපති සිරිසේන, ඔහුව මගහැරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටව සිටීමට සැලසුම් කළ අතර, කැම්බෝඩියාවේ සහ ලාඕසයේ සංචාරයක් ඔහු වෙනුවෙන් පිළියෙල කෙරිණ. මෙය සහ ඇමරිකා රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම මුල් කොට ගනිමින් මෙරට දියත් කෙරුණු විරෝධතා සැලකිල්ලට ගත් එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා දැන් ගෙවෙමින් තිබෙන කාලය එතරම් සුදුසු නොවන බව පොම්පෙඕට දැන්වූයේ ය. ඒ අනුව ඔහු සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළේ ය. එය දැනගත් ජනපති සිරිසේන ද ඔහුගේ කැම්බෝඩියා – ලාඕස සංචාරය අවලංගු කළේ ය.

වොෂින්ටනයේ දී අමාත්‍ය තිලක් මාරපන සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සමග සාකච්ඡා කළේ ය. එහි සඳහන් ඇතැම් කරුණු ශ්‍රී ලංකාවේ අවධානයට ලක්ව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේ ය. පසුව මැයි මස 23 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනා විවාදයක දී අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේ ය. සෝෆා ගිවිසුමේ ඡේද 15ක් තිබෙන බව කියා සිටි ඔහු, විදේශ කටයුතු අමාත්‍යවරයා එහි සඳහන් කරුණු දෙකක් සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකළ යුතු වීමේ අවශ්‍යතාවයක් පවතින බව වොෂින්ටන් නුවර පැවැති සාකච්ඡාවල දී අවධානයට යොමු කළ බව පැවසුවේ ය. මෙරටට පැමිණෙන එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාදයන් ලබාදීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් එක්සත් ජනපද නීතියට පමණක් යටත් කිරීම යනු එම කරුණු දෙක විය. එක්සත් ජනපදයට අයත් යාත්‍රා පරීක්ෂා කිරීමක් සිදුනොවනා බව ද, ඔවුනට බදු සහන හිමිවන බව ද, නිල ඇඳුම් පිටින් සහ ඇමරිකාවෙන් නිකුත් කර තිබෙන හැඳුනුම්පත් දරා ඔවුන්ට මෙරට සංචාරය කළ හැකි බව ද, අවි සහ සන්නිවේදන උපකරණ රැගෙන යා හැකි බව ද, කිරිඇල්ල වැඩිදුරටත් විස්තර කළේ ය. වෙනත් වචනවලින් කියතොත්, එක්සත් ජාතික පෙරමුණු රජය ඒ සියල්ලට පක්ෂය.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය නැසීගිය ලක්ෂ්මන් කදිරගාමර් මහතා වොෂින්ටනය බලා ගිය අවස්ථාවක, එහිදී ඔහු සහ ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නායකයින් අතර පවත්වන්නට යෙදී තිබුණු සාකච්ඡාවල න්‍යාය පත්‍රයට ඇක්සා ගිවිසුම ඇතුළත් නොවන බව සහතික කරන්නට පියවර ගත්තේ ය. එවක ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිවරයා වූයේ දේවින්ද සුබසිංහ මහතාය.

ජනපතිවරයා පසුගිය බදාදා පවත්වන්නට යෙදුණු මාධ්‍ය සාකච්ඡාවේදී ද ඇක්සා ගිවිසුම අවධානයට ලක්විය.

ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, රජයේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. 2017 වසරේ දී එක්සත් ජනපදය සමග ඇක්සා ගිවිසුම අත්සන් තැබීමට විරුද්ධ වූ බව ඔබ සඳහන් කළා. එහෙම නම් මේ වගකීම කවුරුන් ගත යුතු ද? මාධ්‍යවේදියකු ජනපතිවරයාගෙන් විමසා සිටියේ ය. වගකීම ගැන කියනවා නම්, අදාළ පුද්ගලයා තමයි වගකිව යුත්තේ. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ නව ගිවිසුම්වල. ඒවායේ අලුත් කාරණා තිබෙනවා. ජනපතිවරයා පිළිතුරු දුන්නේ ය.

එසේ නම් මේ වගකිව යුත්තා කවුරුන් ද? ඔහු හිටපු විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රසාද් කාරියවසම් ද? එසේත් නැතිනම් හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ද? නොඑසේ නම් දෙදෙනාම ද? මෙම ගිවිසුම අරබයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැරුණු සිංහල භාෂා කැබිනට් පත්‍රිකාවේ, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වුව ද, ඇක්සා ගිවිසුමෙන් ආවරණය වන ගණනින් 50 ඉක්මවන ඇමරිකා ආරක්ෂක ව්‍යුහයන් පිළිබඳව පරිවර්තනයන් අන්තර්ගතව තිබී නොමැති බව දැන් අනාවරණයව තිබේ. ජනපතිවරයා 2017 ජූනි මස 30 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන මෙම ගිවිසුම සම්බන්ධ කාරණා ඇතුළත් කැබිනට් පත්‍රිකාව සීමාවී තිබී ඇත්තේ යන්තම් පිටු 9කට ය. ගිවිසුමෙන් ආවරණය වන ඇමරිකා ආරක්ෂක ව්‍යුහයන්ගේ ලැයිස්තුවක් එයට එක්කර තිබී නොමැත.කෙසේනමුත් මෙම කැබිනට් පත්‍රිකාවේ ඉංග්‍රීසි සංස්කරණය පිටු 83කින් සමන්විතව තිබූ අතර, ඉහත ලැයිස්තුව ද එයට එක්කර තිබිණ.

පරිවර්තන කටයුතුවල ප්‍රමාදය නිසා පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙන්නේ ඇමුණුම් නොමැතිව බව දැන් පැහැදිලිය. මෙහි පසුබිම මැයි මස 26 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කළේ මෙසේය.

2017 වසරේ කිසියම් දිනක ඒසීඑස්ඒ ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාදවෙමින් තිබෙන්නේ මන්දැයි විමසීමට ජනපති සිරිසේන විශේෂ රැස්වීමක් කැඳවා ඇත. එහිදී ඔහුට දැනගත හැකිව තිබෙන්නේ ගිවිසුම අරබයා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ අදහස් තවමත් ලැබී නොමැති බවය. ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රමාදය ත්‍රිවිධ හමුදාපතිවරුන් මත නොපටවන්නැයි කියා සිටි ජනපතිවරයා, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්ව ජනපති ලේකම් කාර්යාලයට කැදවා ප්‍රමාදය සම්බන්ධයෙන් ඔහුගෙන් ද විමසා තිබේ. ගිවිසුමේ කෙටුම්පතට ඇමුණුම් කිහිපයක් එක්කර ඇතැයි එහිදී ඔහුව දැනුම්වත් කර ඇත.

මට ඒකෙන් වැඩක් නැහැ. වහාම අත්සන් කරන්න ලෑස්ති වෙන්න, යැයි ජනපති සිරිසේන නොඉවසිලිමත්ව පවසා තිබේ.

ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ප්‍රමාද කළේ යැයි චෝදනාව එල්ල වූයේ සිංගප්පූරුවේ වර්තමාන ශ්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මියටය. මෙම රැස්වීමෙන් පසුව කාරියවසම් ඇයව ආරක්ෂක අමාත්‍යාංශයේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශයට මාරු කළේය.

පරිවර්තනය – කෝවිද ගුණසේකර

******************************************

මරණ දඬුවම කෲර තීන්දුවක්

(02.07.2019 – 20:33 +0530 – sinhala.adaderana.lk)

මරණ දඩුවම නැවත පැනවීමට උත්සාහ කිරීම, ඉතාමත් කෲර තීන්දුවක් බවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ වැලැක්වීමට හැකි යැයි තමා විශ්වාස නොකරන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (02) කොළඹදී ප්‍රකාශ කළේය.

අධිකරණයට වුණත් වැරදිය හැකි බවත් අලුගෝසුවන් සූදානම් කර අලුගෝසු තීන්දුවක් නොගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් මෛත්‍රියෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති ජාතික වෘත්තීය සුදුසුකම්හි සංකල්පීය රාමුව පිළිබදව ඇගයීම් වැඩ මුළුවට සහභාගි වෙමින් පරණවිතාන මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දුක්වූ කරුණාරත්න පරණවිතාන මහතා,

“මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කළ මංගල කතාවේදීම මරණ දඩුවමට එරෙහිව අදහස් දක්වා තිබෙනවා. මේ විෂය කරළියට ආව හැම වෙලාවෙම මම මගේ මතය ඉදිරිපත් කළා.

ඒ සෑම විටම මරණ දඩුවමට විරුද්ධ ස්ථාවරයක මම හිටියා. ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කල ප්‍රයත්නයට ගරු කරනවා. නමුත් ඒකෙ පියවරක් විදියට මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම මේ රටේ ගෞරවය කෙළසීමක්.

දැනට මරණ දඩුවම ක්‍රියාත්මක වෙන විදිහ නීති පොතේ තිබෙනවා. උසාවියකින් නියෝග කළාට පස්සෙ මරණ දඩුවමට ලක්වූ තැනැත්තා මරණයට පත්කරන්නේ නැතුව ජීවිතාන්තය දක්වා සිර දඩුවමට ලක්කර තබනවා.

ලෝකයේ බොහෝ රටවල දැන් මේ තත්ත්වයි තිබෙන්නේ. එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ දෙවැනි වෛකල්පිත ‘ප්‍රොටෝකෝලය’ අත්සන් කරපු කිසිදු රටක් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නෙ නැහැ. අපි ඒක අත්සන් කරලා නැහැ.

නමුත් අපි ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරන ඒ ජාත්‍යන්තර නීතියේ කොටස්කාරයෝ වෙලා තිබෙනවා. ඒ සෑම පැතිකඩයක් ඔස්සේම බැලුවම අපි ශිෂ්ට සම්පන්න මාවත දිගේ ගමන් කරමින් සිටිනවා.

මරණ දඩුවම නැවත පැනවීමට ගත්ත තීරණය අපි දකින්නේ ඉතාමත් කෲර තීන්දුවක් හැටියටයි. එය රටේ ගෞරවය කෙළසන තීන්දුවක්. මේකෙන් අපරාධ වළක්වන්න පුළුවන් කියලා අපි කිසිසේත් විශ්වාස කරන්නෙ නැහැ.

ලෝකයේ ආනුභවික සංඛ්‍යා දත්ත අරන් බලන්න. මේ වගේ මරණ දඩුවම් ක්‍රියාත්මක කරන රටවල අපරාධ වැඩිවෙලාද? අඩුවෙලාද? කියල. විවිධ පරමාර්ථ වලින් දණ්ඩ නීති එන්න පුළුවන්. දණ්ඩනයේ පරමාර්ථය වන්නේ පලිගැනීම, සමාජයට පාඩමක් ඉගැන්වීම ආදියයි.

තව විදියකට කිව්වොත් අපරාධකරුවන් සමාජයෙන් ඈත්කර තැබීම හා අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීම යනුවෙන්ද අර්ථ දැක්විය හැකියි. ඔය අරමුණු හතරම සාක්ෂාත් කර ගන්න දඩුවම් පැමිණුවත් ඒ සදහා මරණ දඩුවම සුදුසු නැති බවයි, අපි විශ්වාස කරන්නේ. ඒක අවසානාත්මක දඩුවමක්. උසාවියට වුනත් වරදින්න පුළුවන්.

මරණ දඩුවම මගින් රාජ්‍ය විසින් කෙනෙකුගේ ජීවිතය අහිමි කිරීමක් කරනවා. දැන් ප්‍රවෘත්තිවල අහන්න ලැබෙන්නේ පෝරකය සූදානම්. ඇඳුම් පැළඳුම් ගෙනත් තිබෙනවා. අලුගෝසුවෝ ටික සූදානම් කියලා. මට හිතෙන්නේ අලුගෝසු තීන්දුවක් ගන්න හදනවා කියලයි. ජනාධිපතිතුමාගෙන් ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉල්ලා සිටිනවා මේ ගන්න තීන්දුව ආපස්සට හරවා ගන්න කියලා. ඒක අපිට රටක් විදියට හොඳ නැහැ.

ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලට අපි උපරිමයෙන් සහය දුන්නා. ගම් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම ජාතික තලයේ වැඩසටහන්වලදී අපි සෑම ආකාරයෙන්ම එතුමාට උපරිම සහයෝගය ලබා දුන්නා. ඒක ජනාධිපතිතුමාත් හොඳට දන්නවා.

එතුමා එක්කම තමයි අපි වැඩසටහන්වලට ගියේ. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩීම වෙනුවෙන් ගත්ත සෑම පියවරක් සම්බන්ධයෙන්ම එතුමාට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් එතුමා මරණ දඩුවම ලබාදීමට ගත් තීන්දුව නිසා රටේ ගෞරවය කෙළෙසෙනවා.”

+++++++++++++++++++++++++++++++++++

ජනපතිට ජීවිත තර්ජන පවතින බව බුද්ධි අංශ වාර්තා කරයි

(02.07.2019 – 16:57 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙල හේතුවෙන් තමන්ට ජීවිත තර්ජන පවතින බව බුද්ධි අංශ වාර්තා කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහවැලි ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට අද පොළොන්නරුව සිරිපුර මධ්‍යමහා විද්‍යාලයේදී එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධීපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද දිනයේ තමා වෙත ලැබුණු බවයි.

එමඟින් අනාවරණ කර ඇති සියලු කරුණු තමා ඉදිරියේදී පාර්ලිමේන්තුවටත් ජනතාවටත් හෙළි කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *