අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලයට සංස්ථාවෙන් ඉන්ධන නැහැ

(30.06.2019 – 07:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය සදහා අලුතින් නළ එලීමේදී මෝදර – මහවත්ත, ප්‍රදේශයේ ඇති වූ ගැටලුවට අමාත්‍ය රවී කරුණානායක වගකිව යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා.

මෙම ගැටලුව සදහා විසදුම් ලබානොදුනහොත් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අමාත්‍ය රවී කරුණානායක යටතේ ඇති විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික විදුලි බලාගාර සඳහා ඉන්ධන සැපයීම නවතා දමන බවයි වෘත්තීය සමිති කියා සිටියේ.

කොළඹ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළ මේ වනවිට අබලන් තත්ත්වයක පවතිනවා.

මෙම නල මාර්ගය මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී දින 3 කින් ප්‍රවාහනය කළ හැකි ඉන්ධන තොග, කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය වෙත රැගෙන යාමට දින 6 ක් පමණ ගත වන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මෙරටට ඉන්ධන ප්‍රවාහනය කරන නැව් සදහා අතිරේක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව ඇතැයි ද සඳහන්.

මීට වසර 80 කට පමණ පෙර ඉදිකළ අගල් 10 ක නල මාර්ගය ඉවත් කර, අගල් 12 ප්‍රමාණයේ නව නල මාර්ගයක් එලීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ මෙම අබලන් නල මාර්ගය හේතුවෙන් සිදුවිය හැකි අවදානම් හේතුවෙන් බවට ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

මෙම නල මාර්ගය මෝදර මහවත්ත ප්‍රදේශය හරහා දිවෙන අතර, එම ප්‍රදේශයේ පදිංචිකරුවන් මේ සදහා බාධා එල්ල කරන බවටයි ඛනිජ තෙල් සංස්ථාව චෝදනා කරන්නේ.

මේ අතර, ඛණිජ තෙල් සංස්ථාවට අයත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, ඛනිජ තෙල් කර්මාන්ත සේවක සංගමය, ඉංජිනේරු සංගමය, විධායක නිලධාරින්ගේ සංගමය සහ ලංකා පොදු සේවක සංගමය එක්වයි විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබානොදීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සූදානම් වන්නේ ෴

***************************************

අධි බලැති විදුලි නිසා පාරිභෝගිකයන් රැසකගේ විදුලි උපකරණ විනාශයි.. පාර වසා විරෝධතා..

(29.06.2019 – 12:40 +0530 – lankacnews.com)

අධි බලැති විදුලි ධාරිතාවක් හේතුවෙන් ලක්ෂපාන ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රැසකගේ ගෘහස්ථ විදුලි උපකරණ වලට අලාභ හානි සිදු වු බව හා දින තුනක් තිස්සේ තම නිවාස වලට විදුලි බලය නොමැති බව පවසමින් ලක්ෂපාන ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි පාරිභෝගිකයන් කළුගල ලක්ෂපාන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනය කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (29) උදැසන 7 සිට 8.30 දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

ගිනිගත්හේන පොල්පිටිය හරහා ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ මොරහේනගම ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි පාරිභොගිකයන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනය කිරිම නිසා ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සේවා මුරයට යන විදුලි සේවකයන් මෙන්ම එම මාර්ගයේ ගමන් ගන්නා මගින්ද පැය 2 කට ආසන්න කාලයක් දැඩි අසිරුතාවයට පත් වුණ.

උද්ඝෝෂනය සිදු කල විදුලි පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ ඉකුත් 27 දින පස්වරුවේ එක් වරම අධි බැලැති විදුලි ධාරිතාවක් තම නිවාස වලට පැමිණිම හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා ලක්ෂපාන රෝහලට ඇතුලත් කර ඇති බවත්, අධි බැලැති විදුලි ධාරිතාවක් ගලා ඒම හේතුවෙන් තම ගම්මානයට විදුලි බලය ලබා දුන් විදුලි ට්‍රාන්ස්ෆෝමරය, දුරකථන සම්බන්ධතා ලබාදෙන උපකරණයක් ,විනාශ වි ඇති බවත්, ඒ තුලින් තම නිවාස වල තිබු ගෘහස්ථ විදුලි උපකරණ රැසක්ම පිලිස්සි දින තුනක් තිස්සේ තම නිවාස වලට විදුලි බලය ඇණ හිට ඇති බවයි.

පිලිස්සි ගිය විදුලි උපකරන වලට වන්දි ලබාදෙන ලෙසත් ඇණ හිට තිබෙන විදුලි බලය යලිත් ලබාදෙන ලෙස ඉල්ලමන ලක්ෂපාන මොරහේනගම, කිරිවැල්හින්න ගම, ඉහල හම්මාව, පාහල හම්මාව, පොල්හේන, මහවැල්පොල සහ වක්ගම යන ප්‍රදේශවල ජනතාව උද්ඝෝෂනය කරමින් කියා සිටියේය.

එම ගම්මන වල විදුලි පාරිභෝගිකයන් 900 කට පමණ දින තුනක් තිස්සේ විදුලිය ඇණ හිට ඇති බව උද්ඝෝෂනයේ නියැලි සිටි විදුලි පාරිභෝගිකයන් කියා සිටි.

උද්ඝෝෂනයේ නියැලි සිටි විදුලි පාරිභෝගිකයන් හමුවට පැමිණි නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උඩුගම මහතා කියා සිටියේ විදුලි ඉන්ජිනේරුවන් සමග සාකච්ඡා කිරිමට අවස්තාවක් ලබාදෙන බවයි.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ පොරොන්දු විමත් සමග ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා නොවන සේ උද්ඝෝෂනය සිදු කිරිමට විදුලිපාරිභෝගිකයන් කටයුතු කලා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අප ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉන්ජිනේරු පුෂ්පික දිසානායක මහතා ගෙන් අපකල විමසුකමකට ඔහු කියා සිටියේ පසුගිය දිනවල පොල්පිටිය ප්‍රදේශය හරහා ගමන් කල දැඩි සුලං තත්ත්වයක් හේතුවෙන් ගස් අතු කැපිමේදි පොල්පිටියේ සිට ලක්ෂපාන දක්වා ඇද ඇති එක්ලක්ෂ තිස්තුන්දහසක විදුලි ධාරිතාවකින් යුක්ත විදුලි රැහන් එම ගම්මාන වලට විදුලි පාරිභෝගිකයන්ට ලබාදෙන විදුලි රැහන් පද්ධතියක් මතට අධි බලැති විදුලි රැහන් පද්ධතිය ගැටිමෙන් විදුලි පාරිභෝගිකයන්ගේ ගෘහස්ථ විදුලි උපකරණ වලට අලාභ හානි සිදු වි විදුලි බලය ඇණ හිට ඇති බවයි .

විනාශ වි ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරය වෙනුවට නව විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් සවි කර අද දිනය තුල විදුලි බලය ලබා දිමටත් විනාශ වි ඇති විදුලි උපකරණ සම්බන්ධයෙන් වාර්තාවක් කැදවා තක්සේරු කර එම විදුලි පාරිභෝගිකයන්ට වන්දි ගෙවිමටද කටයුතු කරන බව විදුලි ඉන්ජිනේරුවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

***************************************

මහල් දෙකකින් ඇද වැටුණු බිළිඳියකගේ ජීවිතය බේරාගත් තරුණයා

(29.06.2019 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටුණු බිළිඳියකගේ ජීවිතය බේරාගත් තරුණයෙකු පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍යවල කතාබහට ලක්ව තිබෙනවා.

තුර්කියේ ස්තාන්බුල් නගරයේ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙම වීර ක්‍රියාව සිදුකර ඇත්තේ ෆියුසි සබාත් නැමැති දාහත් හැවිරිදි තරුණයෙක්.

සිය මව මුළුතැන්ගේ ආහාර පිසිමින් සිටන අවස්ථාවේ ඇයගේ වයස අවුරුදු දෙකක් වන දියණිය නිවසේ සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

ගොඩනැගිල්ලක දෙවන මහලේ අදාල නිවස පිහිටා ඇති අතර නිවසේ සෙල්ලම් කරමින් සිටි දැරිය ජනේලයකින් බිමට ඇද වැටී ඇති බව සඳහන්.

එම අවස්ථවේ දැරිය දෙවන මහලේ සිට බිමිට වැටෙනු දුටු මාර්ගයේ රැඳී සිටි ෆියුසි ඇයව බිම පතිතවීමට නොදී සුරැකිව අල්ලා ගැනීමට සමත් වනවා.

මෙම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

සිය දියණියගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් දැරියගේ දෙමව්පියන් විසින් ෆියුසි හට ලීරා 200 ක ත්‍යාග මුදලක් පිරිනමා ඇති බව වාර්තා වනවා.

***************************************

හිටපු විගණකාධිපතිගේ මීළඟ පියවර

(30.06.2019 – 07:35 +0530 – hirunews.lk/sinhala)

වත්මන් දූෂිත දේශපාලන ක්‍රමය හරහා රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට ඉදිරියේදීත් ක්‍රියාකරන බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා.

තම විශ්‍රාම යාම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු විගණකාධිපතිවරයා මේ බව කියා සිටියා.

***************************************

රටේ පාලනය භාරදිය යුතු පුද්ගලයා ගැන මල්වතු පාර්ශවයෙන් ප්‍රකාශයක්

(29.06.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්ව ඉදිරිපත් කරන යෝජනා මාලාවකට එකඟවන පුද්ගලයෙකුට රටේ පාලනය භාරදිය යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මතුගම ප්‍රදේශයේ අද පැවති මහා සඟ සමුළුව අමතමින්.

දැයේ සමයේ සුරක්ෂාව උදෙසා මෙම සංඝ සමුළුව පැවැත්වුණේ මතුගම ශ්‍රවණාගාරයේදී.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වෛද්‍ය සාෆි හාබ්දීන් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

අධිකරණයටත් ඇමරිකානු මැදිහත්වීම් – විපක්ෂ නායක

(29.06.2019 – 19:41 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ පද්ධතියට ද ඇමරිකානු මැදිහත්වීම් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්, නීතිඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ මාතරදී එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *