වඳ සැත්කමට රාජ්‍ය අනුග්‍රහයත් තියෙනවා – ගම්මන්පිල

(24.06.2019 – 16:00 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පැහැදිලි කරමින් පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවන බවයි.

බලහත්කාරයෙන් ජාතියක් වඳ කිරිම සමූල ඝාතනයක් බවත් ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතු බවත් මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තුරු හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද ඒ මහතා පවසයි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා,

“ජනතාව දකින විධියට සහරාන්ට වඩා ත්‍රස්තවාදියා ශාෆි ශිහාබ්දින් කියන වෛද්‍යවරයා. දැනට තමන් බලහත්කාරයෙන් වඳභාවයට පත් කළ බවට දහසකට අධික පැමිණිලි සංඛ්‍යාවක් ශාෆිට එරෙහිව ලැබී තිබෙනවා.

තවම මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ කරලා නෑ. රෝහල් ආරංචිමාර්ගවලට අනුව මොහු කරන ලද සැත්කම් ප්‍රමාණය 4000 ක් නම් 4,000 ක් කරන විට 1,000 ක් වඳ වෙනවා කියන්නේ සැත්කම් කළ අයගෙන් 25% ක් වඳ වෙලා කියන චෝදනවාව එල්ල වෙනවා. ශාෆි කියන විධියට සැත්කම් 8,000 ක් කළා කියමුකො. ඒත් 12.5%ක් වඳභාවයට පත් වෙලා. මොන පැත්තෙන් ගත්තත් සැක කටයුතුයි.

නමුත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවේ. ඒ නිසා ඔහුට චෝදනා නැගිය හැක්කේ බරපතල තුවාල සිදු කිරීම කියන වරදට. බරපතල තුවාලයක් කියන්නේ සදාකාලිකව පවතින තුවාලයක්.

ඒ සඳහා උපරිම දඬුවම වසර 7 යි. බරපතල තුවාල සිදු කිරීම ඇප ලැබිය හැකි වරදක් නේද? සාෆිට ඇප ගන්න පුළුවන් නේද කියල කාට හරි හිතෙන්නට පුළුවන්. නමුත් ඇප පනතේ ඉතාම පැහැදිලිව කියනවා මහජන කැලඹීමකට තුඩු දිය හැකි පුද්ගලයෙකුට ඇප ලබාදෙන්න එපා කියලා.

බලහත්කාරයෙන් ජාතියක් වඳ කරනවා කියන්නේ සමූල ඝාතනයක්. ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතුයි. පාරලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තෙක් හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපති කටයුතු කළ යුතුයි.

සිංහල ජාතිය වඳ වෙන බවට ආණ්ඩුවේ නිල ලේඛණ අනුව අපි පෙන්වා දුන්නාට පස්සේ වඳ කිරීමේ ජාවාරමක් පිළිබඳ අපිට තොරතුරු ලැබුණා. දෙවන දරුවා ලබන්න මවක් රෝහල් ගත වුණාට පස්සේ ඇයට වඳ සැත්කමකට යොමු වෙන්න කියලා රෝහලෙන් දැඩි බලපෑමක් එල්ල වෙනවා.

තුන්වන දරුවා ලැබෙන්න රෝහල් ගත වුණු ගුරුවරියකට හෙදියක් පුදුම විධියට ඇවිටිලි කරනවා වඳ සැත්කම කර ගන්න කියලා. ඒකට අදිමදි කළාම සැමියාට දුරකතන ඇමතුමක් බලෙන්ම අරගෙන පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම ගැන සැමියාටත් උපදෙස් දෙනවා. වඳ සැත්කම් කිරීමට හෙදිය මෙතරම් උනන්දු ඇයි කියලා මට ප්‍රශ්නයක් වුණා.

වඳ සැත්කම් සිදු කරනවාට කවුරු හරි අන්තවාදි සංවිධානයකින් මුදල් ගෙවනවා ද කියන සැකයක් ඇති වුණා. මේ ගැන සොයා බලද්දි තමයි හොරේ හෙලි වුණේ. වඳ සැත්කම් කරනවාට මුදල් ගෙවන්නේ දිරි දීමනා ගෙවන්නේ අන්තවාදි සංවිධානයකින් නොවේ. ආණ්ඩුවමයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාරයාංශයයි. වඳ සැත්කම් කරගන්න අයටයි ඒ සදහා පොළඹවන අයටයි දිරි දීමනා ලබා දෙන්නේ.

1980 දශකයේ දී ‘පුංචි පවුල රත්තරන්’ කියන සංකල්පය යටතේ ‘අපි දෙන්නයි – දරු දෙන්නයි’ කියන තේමාව ප්‍රචලිත කලේ ලංකාවේ 2% ආසන්න ජනගහන වර්ධන වේගයක් පැවැති නිසා. දැන් ජනගහන වර්වධන වේගය 0.8% යි. සිංහලයින්ගේ නම් 0.5% යි.

ජර්මනිය වැනි ජනගහන වර්ධනය ඇද ගෙන වැටුණු රටවල් දිරි දීමනාව ගෙවන්නේ වඳ සැත්කමට නොවේ. දරු ප්‍රසූතියටයි. ලංකාවත් පීල්ල මාරු කරන්න කාලය උදා වෙලා කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට සිහිපත් කරනවා.

දැන් තේමාව විය යුත්තේ ‘පුංචි පවුල රත්තරන්’ නොවෙයි ‘වැඩුණු පවුල ඉස්තරම්’ කියන එකයි. ඒ නිසා තව දුරටත් ආණ්ඩුවෙන් දිරි දීමනා ගෙවලා වඳ සැත්කම් සිදු කිරීම අවශ්‍ය නෑ. ඕනෑ කෙනෙකුට වඳ සැත්කම කර ගන්න පුළුවන් සිය කැමැත්තෙන්. හැබැයි දිරි දීමනා ගෙවීම අවශ්‍ය නෑ.

19 වන සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකම ඉවත් කළ යුතු බවට ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළා. සක් පිඹලා හේවිසි ගහලා සුදු පාවඩ දාලා 19 වන සංශෝධනය ධාතු කරඬුවක් වගේ වඩම්මන විට මුළු රටම ඒකත් එක්ක හිට ගත්තා. නමුත් අපි 19 වන සංශෝධනයට එරෙහිව හුදකලා සටනක් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ 19 වන සංශෝධනය අභියෝගයට ලක් කරලා එය එයාකාරයෙන්ම සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා තීන්දුවක් ගන්නත් අපට පුළුවන් වුණා. නැති නම් 19 වන සංශෝධනය මීට වඩා විනාශයක් රටට කරනවා. වසර හතරකට පසු 19 සංශෝධනය ගෙනා ජනාධිපතිතුමාම අපේ ස්ථාවරය නිවැරදි බව පිලිගැනීම සතුටුයි.

ජනාධිපතිතුමා 18 වන සංශෝධනය ඒකාධිපති සංශෝධනයක් බවට කළ ප්‍රකාශයට නම් එකඟ වෙන්න බෑ. 18 වන සංශෝධනය අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදි සංශෝධනයක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යම් පුද්ගලයෙකුට ජනාධිපති ධූරයට පත් විය හැකි වාර ගණන දෙකකට සීමා කරලා තිබුණා. ඒ නිසා කෙතරම් දක්ෂ ජනාධිපති කෙනෙකු වුණත් ජනතාවට එතුමාව තියා ගන්න කෙතරම් වුවමනා වුවත් ව්‍යවස්ථාවෙන් වාර දෙකකට පසු ජනාධිපතිව ගෙදර යවනවා. ඒ නිසා රට හදා ගන්න තිබෙන ස්ර්වණමය අවස්ථාව අහිමි වෙනවා.

සිංගප්පූරුව දියුණු වුණේ වසර 31 ක් අඛණ්ඩව ලි ක්වාන් යූ අගමැති ධූරයේ තබා ගන්න සිංගප්පූරු ජනතාවට පුළුවන් වුණු නිසා. මැලේසියාවේ උදාහරණය හරිම අපූරුයි. 1981 සිට 2003 දක්වා වසර 23 ක් අඛණ්ඩව අගමැති ධූරයේ සිටියේ මහතීර් මොහොමඩ්. මුළු රටම අඬද්දි මට මහන්සියි කියලා මහතිර් මොහොමඩ් ගෙදර ගියා.

ඊට පස්සේ මැලේසියාව වැටෙන්න ගත්තා. වැටෙන මැලේසියාව යලි නැගිටවීමට මහතිර් මොහොමඩ් යළි පැමිණිය යුතු බවට ජනතාව තීරණය කළා. ඒ අනුව අවුරුදු 91 ක් වුණු මහතිර් 2018 දී යළි අගමැති වුණා. ලංකාවේ එහෙම කරන්න බැරිව තිබුණේ ජනාධිපති ධූරය වාර දෙකකට සීමා කරලා තිබුණු නිසා. ඒක ඉවත් කිරීම තමයි 18 වන සංශෝධනයෙන් සිදු වුණේ.

18 වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපති සිටිය යුතු ද නැද්ද කියා තීරණය කරන්නේ ජනතාව මිස ව්‍යවස්ථාව නොවේ. ජනාධිපති ගෙදර යැවීමේ බලය ජනතාවට ලබා දීම ඒකාධිපති වෙන්නේ කොහොමද? 18 වන සංශෝධනය නිසා මහින්ද මැතිතුමා මැරෙන තුරු ජනාධිපති පුටුවේ සිටීවි කියා සමහරු බොරු බියක් පල කළා.

18 වන සංශෝධනයෙන් පස්සේ මුහුණු දුන්නු පළමු මැතිවරණයෙන්ම බලයේ සිටින ජනාධිපති පරාජය කරලා මේක ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ බොරුවක් බව ජනතාව ඔප්පු කළා.”

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(25.06.2019 – 15:36 +0530 – sinhala.adaderana.lk)

රහස් පොලීසිය මඟින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍ය ශාෆි සිහාබ්දීන් මහතා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය ෂාෆි සිහාබ්දීන්ගේ නිතිඥ රුෂ්ඩි හබීබ් මහතා මඟින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයා, කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, රහස් පොලීසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මෙම පෙත්සම මඟින් වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතා කියා සිටින්නේ සිංහල බෞද්ධ කාන්තාවන් 4000 කට අධික සංඛ්‍යාවක් තමා විසින් සැත්කම් සිදු කිරීමේදී වඳ කළ බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පුවත් පළවීමෙන් පසුව පොලිසිය තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගත් බවයි.

ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයට අනුව තමන්ව මේ වන විට රහස් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරෙන බව ද වෛද්‍ය ෂාෆි සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ව රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ ෴

+++++++++++++++++++++

ෂාෆිට එරෙහි විමර්ශන සඳහා රජයේ වෛද්‍යවරුන් ජාතික කොමිසමක් ඉල්ලයි‍

(25.06.2019 – 19:32 +0530 – sinhala.adaderana.lk)

කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සදහා ජාතික මට්ටමේ කොමිෂන් සභාවක් පත්කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරයි.

එම සංගමය අදාළ සිද්ධිය පිළිබද සෙවීමට ඔවුන් පත්කළ කමිටුව සිය වාර්තාව එළිදක්වමින් ඒ බව නිර්දේශ කර තිබේ.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකර ගෙන යන විමර්ෂනයට අනුව ඊට සම්බන්ධ සියලු පාර්ශව අගතියට පත්වන බවයි.

මේ අතර රහස් පොලිසිය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ෂාෆි විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයා, කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, වැඩබලන පොලිස්පතිවරයා , ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

+++++++++++++++++++++

රතන හිමියන් කුරුණෑගල රෝහලේ සංචාරයක

(26.06.2019 – 19:14 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් සිදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉල්ලීමක් කරනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කුරුණෑගල ශික්ෂණ රෝහලට අද පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර වයඹ පළාතේ ක්‍ෂේත්‍ර සේවයේ නිරත පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවුණා.

අනතුරුව ඔවුන් කුරුණෑගල පිහිටි වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සේවා කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් ඉල්ලා සිටියේ තමන්ට ලැබීමට නියමිත උසස්වීම් හා දීමනා කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

https://www.youtube.com/watch?v=CLdW26MteXU
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *