විල්පත්තුවට මායිම් වූ අන්තවාදීන්ගේ කල්ලාරු රක්‍ෂිතයේ කොල්ලය

(09.06.2019 – divaina.com)

විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතය වෙත පසුගිය 24 වැනිදා රාත‍්‍රියේ ඇතුළු වූ මුස්ලිම් මවුලවිවරයෙකු ඇතුළු පිරිසක් හොර රහසේම නිවාස තිහක් පමණ ඉදිකිරීමට ගෙපල් කපා ඇති අන්දම ප‍්‍රදේශයේ සේවය කළ යුද හමුදා නිලධාරීන් විසින් දැක තිබේ. මෙසේ එළි පෙහෙළි කරන ලද අක්කර දෙකක පමණ වූ ප‍්‍රදේශයක සිටි එම පිරිස් පලවා හැරීමට ද එම හමුදා නිලධාරීන් කටයුතු කළ ද තවමත් පොලිසිය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පියවරක් ගත් බවක් නොපෙනේ.

මෙම ස්ථානය අපට හමුවන්නේ කල්ලාරු පාලම පසුකර විල්පත්තුව දෙසට පැමිණෙන විටය. විල්පත්තුවේ සිට එම ස්ථානයට ඇති දුර මීටර් 400 ක් පමණ වේ. කෙසේ වුවද දිගින් දිගටම විල්පත්තුව පිළිබඳව අපට අසන්නට ලැබෙන තොරතුරු දෙස බැලීමේදී මෙරට රක්ෂිත වනාන්තර පද්ධතියට අත්ව තිබෙනා ශෝචනීය ඉරණම පිළිබඳව පැහැදිලිව පෙනේ.

එනමුත් විල්පත්තුව ඇතුළු මෙරට රක්ෂිත වනාන්තරයන්හි සුරක්ෂිතතාව පිළිබඳව වගකිවයුත්තන්ට කිසිම හැඟීමක් නොමැත්තා සේය. පාලකයන් මේ විනාශකාරී දෙස නෑසූකන්ව බලා සිටින්නේ සැබෑවටම ඔවුන් මේ මහ පොළොව තුළ ජීවත් නොවන්නවුන් සේය.

අරගල මැද ගමනක….

ඒ හේතුවෙන්ම මෙවන් විනාශකාරී සිදුවීම් පිළිබඳව නිරන්තරවම අවදියෙන් සිටීමටත් ඒ වෙනුවෙන් හඬ නැඟීමටත් මෙරට සොබාදහමට ආදරේ කරන්නන්ට සිදුව ඇත. ඒ වෙනුවෙන් අරගල කරන්නට, නීතියේ පිහිට පතන්නට මෙන්ම උපවාස කරන්නටත් සිදුවෙනවා නම් රටක ජීවත්වන පුරවැසියන් ලෙසින් අප කෙතරම් අවාසනාවන්ත ද?

පසුගිය සතියේදී අපට අසන්නට ලැබුණේ විල්පත්තුව සුරැකීම වෙනුවෙන් මේ සිදුවෙන මහා වන විනාශය නතරකිරීමේ අරමුණෙන් ගොනුකරන ලද නඩුවේ තීන්දුව ලබා දීමට තිබියදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ විනිසුරුවරයා ගෙදර යෑම පිළිබඳවයි. ඒ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමය. ඒ සිදුවීම හා බද්ධ වූ සිදුවීම් දෙස බැලීමේදී අපට අවබෝධ වන්නේ දිගින් දිගටම මේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කර ඇති අන්දමයි. ඒ පිළිබඳව ලබාදිය හැකි හොඳම උදාහරණය වන්නේ නඩුවේ තීන්දුව ලබාදීමට පෙර කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් ‘පවුල් 2000 ක් පදිංචිව හිඳිනා නිසා මානුෂීයව හිතා බලා තීන්දුව ප‍්‍රකාශ කරනා’ ලෙස විනිසුරුවරයාට දැනුම් දීමය.

විරෝධතාවට මෙතරම් කල්….

සියලු කාරණා මේ විදියට සිද්ධවෙද්දී අවුරුද්දයි මාස දහයක් පුරා නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩුවට විරෝධතා ගොනුකළ අතර නඩුව අසා වසරකට ආසන්න කාලයක් තීන්දුව ප‍්‍රකාශ කිරීමට ද බලා හිඳිනු ලැබීය. ඒ අනුව විනිසුරුවරයාට නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට ඉඩ නොදී යම් යම් බලපෑම් එල්ලකර ඇති අන්දම පැහැදිලිය.

මේ සියල්ලක්ම ඒ අන්දමින් විසඳෙද්දී විල්පත්තුව වෙනුවෙන් පරිසර කේන්ද්‍රය විසින් ගොනුකරන ලද නඩුව නැවත මුල සිටම අසන්නට තීරණය විය. ඒ අනුව විනිසුරු ජනක් ද සිල්වා හා නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩුව නැවත විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කරන ලදී.

සැබැවින්ම අද වන විට මේ සෑම පෙළගැසීමක් තුළින්ම පෙනී යන්නේ මේ සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත බවයි. මේ තරමටම විල්පත්තුවේ සුරක්ෂිතතාවට අකුල් හෙළන්නට අවශ්‍යතාවක් තිබෙන්නේ කාටද? එවන් බලපෑමක් එල්ල කරන්නට තරම් බලපුළුවන්කාරකමක් තිබෙන්නේ කාටද?

වගකිවයුත්තෝ….

සැබැවින්ම මේ සෑම ව්‍යසනයකටම එදා මෙදා තුරා මෙරට පාලනය කළ දේශපාලකයන් වගකිව යුතුව ඇත. ඔවුන් විසින් කාලෙන් කාලෙට ගනු ලැබූ යම් යම් අමනෝඥ තීරණ මේ තත්ත්වයට හේතුවී තිබේ. එලඹි සිහියෙන් යුතුව අතීතයට එබිකම් කළොත් ඒ පිළිබඳව සාක්ෂි එමට හමුවන්නේය.

වත්මන් පාලන සමයේදී රටේ සමස්ත ජනතාවට එහි ආදීනව විඳින්නට සිදුව තිබුණද විල්පත්තුව ඇතුළු රක්ෂිත වනාන්තර විනාශය මහින්ද රාජපක්ෂ යුගයට ද නෑකම් කියයි. 2012 වර්ෂයේදී එදා මේ විනාශකාරීන්ට ඒ පාර කපා දුන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසිනි. බැසිල් රාජපක්ෂගේ අනුමැතියෙන් ඒ වන සංහාරය කරගෙන යද්දී, ගෝඨාභය රාජපක්ෂ කළේ ඒ වෙනුවෙන් අවැසි හමුදා සහාය නොඅඩුව ලබාදීමයි. මේ සහයෝගයත් සමඟින් සෑම අතින්ම සුරක්ෂිත වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අවතැන් වූවන් නැවත පදිංචි කරන මුවාවෙන් තම රාජ්‍ය නියෝජිතයන් අවභාවිතයට යොදාගනිමින් මේ වන සංහාරය විනාශ කිරීමේ ක‍්‍රියාවලියට අනුගත විය. නමුත් ඔහු විල්පත්තුවේ කරනු ලැබූ මහා වන සංහාරය පිළිබඳව කිසිවෙකුටත් වගක් නොම විය. හැඟීමක් දැනීමක් නොමැත්තවුන් සේ බලා හිඳි රටේ මහ පුටුවට උරුමකම් කී අය ගෙදර ගියද ඒ අයගේ හෙංචයියන් සිය පුටු රැකගන්නේ ජාතික ආණ්ඩුව නමැති සංකල්පයට පින්සිදුවන්නටය.

ඒ අනුව යහපාලන ආණ්ඩුවේ හෙට දවස තීරණය කිරීමේ බලවේගයන් අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් බවට පත්වෙන්නට ඔහුට බෙහෙවින් පහසු කාර්යයක් විය. මෙවන් පසුබිමක් තුළ බදියුදීන්ලා රටට කෙතරම් විනාශයක් කළත් එය නෑසූකන්ව හිඳින්නට ජනපතිත් අගමැතිත් ක‍්‍රියා කළේ අන් කාගේවත් නොව මේ රටේ මිනිසුන්ගේ අවාසනාවටය.

ජනපතිගේ ක‍්‍රියාකලාපය…

විශේෂයෙන් පරිසර අමාත්‍යවරයා ලෙසින් වත්මන් ජනාධිපතිවරයා විසින් අනුගමනය කරනු ලබන ලිහිල් ප‍්‍රතිපත්ති මැද කිසිම වග විභාගයකින් තොරව සිත් සේ කටයුතු කරන්නට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසට මඟ හෙළි පෙහෙළි විය. ඒ මගට දරදිය අදිමින් වත්මන් අගමැතිවරයා ද අවශ්‍ය ආධාර නොඅඩුව ලබාදෙන්නට කටයුතු කළ බව ඔබ අප කාටත් නොරහසකි.

ඒ අනුව අද වන විට මහ දවාලේ පවා අමු අමුවේ ඉතාමත් සාහසික ලෙස රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් අක්කර 4000 කට ආසන්න ප‍්‍රමාණයක් විනාශ කර දමා අවසානය. එම විනාශකාරීන්ට ඒ සම්බන්ධව කිසිදු වගවිභාගයක් නොමැත්තේය. නීතියක් ධර්මයක් හෝ සදාචාරාත්මක බවක් නොමැතිය. ඉඳින් කෙලෙසක නම් මෙවන් මිනිස් සමූහයකගෙන් පරිසරයට ආදරේ කරන ගහට කොළට සතා සිවුපාවාට ආදරේ කරන සංවේදී බවක් දැකගන්නද? කිසිසේත් තමන්ටවත් ආදරේ නොකරන තමන් ගැනවත් නොසිතන මිනිසුන් අතර සොබාදහම ගැන හිතන්නන් සොයායෑම කළු-නික සොයායෑමක් වැනිය.

පවතින තත්ත්වය මිනිස් සංහතියම ගිලගන්නා තැනකට පත්ව තිබෙද්දී ‘සුරකිමු ශ‍්‍රී ලංකා’ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ වෙනුවෙන් හඬ නඟන්නට, අරගල කරන්නට, මැදිහත්වීම් කරන්නට පෙලඹී සිටීම දැයේ වාසනාවකි. උන්වහන්සේ නිරන්තරවම විල්පත්තුවේ සුරක්ෂිත භාවය පිළිබඳව අවදියෙන් හිඳිමින් කටයුතු කිරීම හේතුවෙන් තුරුලතාවලින් ගහන වන පද්ධතියක උරුමය පිළිබඳව බලාපොරොත්තුව තවදුරටත් අප සතුය. එනමුත් රාජ්‍ය අනුග‍්‍රහය නිතැනින්ම ලැබෙද්දී උන්වහන්සේ ඇතුළු සොබාදහමට ආදරේ කරන්නන් කොතෙක් වෙර දැරුවද විල්පත්තුවේ අනාගත ඉරණම අවිනිශ්චිතය.

බදියුදීන්ට එරෙහිව….

මේ වන විට අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ක‍්‍රියාකලාපය හෙළා දකිමින් ඔහු වැනි අන්තවාදී දේශපාලකයන්ගේ ග‍්‍රහණයෙන් මිදුණු රටක් දැකීමේ අභිලාෂයෙන් මෙරට පරිසර හිතකාමී, රටට ආදරේ කරන්නවුන් පෙළ ගැසී සිටියදීත් ආණ්ඩුවේ සමහරුන් හැසිරෙන්නේ මෙරට බහුතරයක් වෛරක්කාරයන් සේ සිතාගෙනය. ඒ අනුව රට වෙනුවෙන් පෙළ ගැසෙන්නන් මර්දනය කරන්නටත්, කෙලෙසක හෝ තම අභිප‍්‍රායන් ඉටුකර ගන්නටත් සමහර අමාත්‍යවරුන් ඉතාමත් නිර්ලජ්ජී සේ කටයුතු කරනු පෙනේ.

ඒ අනුව මේ වන තෙක් විල්පත්තුවේ වන සංහාරය විනාශකරමින් හිඳි බදියුදීන්ලා නිහැඬියාවක් පෙන්නුම් කරද්දී අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මේ වන සංහාරය විනාශ කිරීමේ මීළඟ අදියර භාරගෙන ඇති බව පෙනේ. ඒ බැව් මාධ්‍යකරුවන් විදියට පුන පුනා පෙන්වා දුන්නද රටේ වගකිවයුත්තන්ට වගේ වගක් නැත. ඒ මේ අන්දමින් විනාශ වන්නේ ඔවුන්ගේ අම්මගේ අප්පගේ බූදලය නොවනා හෙයිනි. මේ අයුරෙන් මරිච්චිකට්ටි කරඩක්කුලි ප‍්‍රදේශයේ නව නිවාස 82 ක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව බදියුදීන් විසින් ලබාදී ඇත්තේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යාංශයටය. ඒ අනුව සුදු හැඳගෙන දේශපාලන වේදිකාවට නැග විපක්ෂයේ පමණක් නොව තම පක්ෂ නායකත්වයේ පවා නුගුණ ගායනා කරන අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මේ වන විනාශය වෙනුවෙන් උත්තර බැඳිය යුතුව ඇත.

අවසර දුන්නේ කවුද ?….

මේ බිම් ප‍්‍රමාණය තිබෙන්නේ කල්ලාරු රක්ෂිතය මධ්‍යයේය. එහි මෙවැනි ඉදිකිරීමකට අවසර ලබාදුන්නේ කවුද? මන්ද මේ වන විට වන ආවරණ සහිත ප‍්‍රදේශවල ඉදිකිරීම් කරන්නේ නම් දිස්ත‍්‍රික් කමිටු නිර්දේශය මත ජාතික කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුව ඇති බවට ජනපති ලේකම්වරයා විසින් චක‍්‍රලේඛයක් ද නිකුත්කර තිබේ. එවන් පසුබිමක් තුළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මෙවැනි ඉදිකිරීමකට අතගැසුවේ කෙලෙසකද? ඒ ප‍්‍රශ්නයට උත්තර හොයාගෙන පසුගියදා පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු ‘සුරකිමු ශ‍්‍රී ලංකා’ ව්‍යාපාරයේ නියෝජිතයන් පිරිසක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත ගියහ. නමුත් ඒ අවස්ථාවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ අතිරේක ලේකම්වරයා එහි නොසිටි අතර පැමිණි පිරිසට උත්තර බඳින්නට වූයේ සැලසුම් අධ්‍යක්ෂවරයා විසිනි. ඔහු සමඟින් කරන ලද කතා බහේදී තේරුම් ගියේ ඒ පිළිබඳව කිසිම සැලසුමක් ඔවුන් සතුව නොතිබෙන අන්දමය. මෙම ඉඩම මෙසේ එළි පෙහෙළි කිරීමට දිස්ත‍්‍රික් කමිටුව හරහා ජාතික කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව තිබුණ ද සැලසුම් අධ්‍යක්ෂවරයාගේ ප‍්‍රකාශයට අනුව සනාථ වූයේ, එම ඉඩමේ අයිතිය ප‍්‍රාදේශීය ලේකම්වරයා සතුව ඇති බවය. නමුත් මෙසේ නිවාස ඉදිකිරීමට හෙළි පෙහෙළි කර ඉදිකිරීම් අමුද්‍රව්‍ය පවා ගොඩගසා ඇති මෙම බිම්කඩ පවතින්නේ කල්ලාරු රක්ෂිතය මධ්‍යයේය. එවන් පසුබිමක එහි අයිතිය ප‍්‍රාදේශීය ලේකම් සතුව ඇති බව කෙසේ කියන්නද? මෙසේ හෙළි පෙහෙළි කරන්නේ නීතිමය කටයුත්තක් ක‍්‍රියාත්මක වන බිම් ප‍්‍රදේශයක වන හෙයින් විල්පත්තුවේ නඩුව අසා නිමාවන තෙක් හෝ මේ ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට පියවර ගත යුතුව ඇති බව වගකිවයුත්තන්ට නොවැටහෙන්නේ මන්ද?

සිත්සේ රටේ සම්පත් භුක්ති විඳීමට ඇති නීතිමය අවසරය බවට අද මෙරට පත්ව තිබෙන්නේ දේශපාලකයෙකු වීමය. ඒ මුවාවෙන් මේ අන්දමින් රටක සම්පත් තම තමන්ගේ මතයට අනුව පරිහරණය කිරීමට හැකියාව තිබේ නම් රට කරවන්නට පාලකයන් කුමකටද? රටේම ජනතා ඡන්ද පදනම මත දේශපාලන පොරපිටියට පිවිසි කිසිවෙකුටත් ඒ ජනවරම මේ අන්දමින් හෑල්ලූ කරන්නට අයිතියක් නොමැත. සැබැවින්ම ඔවුන් අද භුක්ති විඳින හැම සම්පතකටම පාර කපා දුන්නේ ඒ මිනිසුන්ගේ ජනවරමයි. නමුත් මේ දහම තේරුම්ගැනීමේ අවශ්‍යතාවක් මේ කිසිම දේශපාලකයෙකුට නොමැත. අද වන විට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් කරන ලද ඒ වරදම තවදුරටත් කරගෙන යන්නට සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා උත්සාහ කරන්නේ එබැවිනි. මිනිසුන් පදිංචි කරන්නට යැයි කියමින් මෙසේ කල්ලාරු රක්ෂිතය ආශ‍්‍රිතව මේ වන විට ඉදිකරන ලද නිවාස 590 ක් කිසිවෙකුත් පදිංචි කර නොමැති පසුබිමක හිඳගෙනත් රක්ෂිතයේ මහ වන මැද මේ අන්දමින් නිවාස ඉදිකරන්නේ කවුරුන් පදිංචි කරන්නට හිතාගෙන ද?

එකම බෝඩරයක් යටතේ….

සැබැවින්ම බදියුදීන්ලාට, හිස්බුල්ලලාට, අසාද් සාලිලාට අවශ්‍ය වන්නේ මන්නාරමේ මරිච්චිකට්ටි කල්ලාරු වනාන්තරයේ සිට සිලාවතුර, මඩකලපුව, ලාහුගල, අම්පාර දක්වා වූ එකම බෝඩරයක් තුළ තමන්ගේ සනුහරය පමණක් පදිංචි කරවීමටයි. ඉන් බලාපොරොත්තු වන්නේ එකම අන්තවාදී අදහස් දරන ජන කොට්ඨාශයක් පමණක් එක් ප‍්‍රදේශයක් තුළ පදිංචි කිරීමටය. එහි ආදිනව රටක් වශයෙන් පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා අපි අත්වින්දෙමු. නමුත් තවමත් එහි ආදිනව පාලකයන්ට වැටහී නොමැත. මෙසේ මහ වන මැද නිවාස ඉදිකරගැනීම අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් පෝෂණයට කදිම තෝතැන්නක් සපයාදීමක් වන්නටද බැරි කමක් නැත.

එවන් පසුබිමක විල්පත්තුවේ අනාගතය අවිනිශ්චිතයි. දැනට උද්ගතව පවතින තත්ත්වය මත විල්පත්තුවේ වන සංහාරය නවතාදෙන ලෙස ගොනුකරන ලද නඩුව නැවතත් ජූලි මාසයේ පටන් ඇරඹෙනු ඇත. ඒ උදෙසා පෙර සේම වසර ගණනාවක් බලා සිටින්නට සිදුවෙනු ඇත. ඒ වසර ගණනාව පුරාම බදියුදීන්ලා පමණක් නොව සජිත් පේ‍්‍රමදාසගේ සහායත් නොඅඩුව ලබාගනිමින් කල්ලාරු රක්ෂිතය ඇතුළු වන ආවරණ ප‍්‍රදේශ හෙළිපෙහෙළි කරන්නට ඕනෑවටත් වඩා අවස්ථාව පවතී. කෙසේ වුවද ඒ නඩුවේත් අවසානය තීන්දුව ප‍්‍රකාශයට පත් නොකර විනිසුරුවරයා ගෙදර යෑම සිදුවන්නට පුළුවන. මේ විදියට දේශපාලකයන්ගේ අවශ්‍යතාව මත රටේ අධිකරණ පද්ධතිය ක‍්‍රියාත්මක වීමට ගියහොත් අවසානයේ තවත් කපන්නට විල්පත්තුවක් ඉතිරි නොවනු ඇත. එබැවින් පරිසර අමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සැහැල්ලු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කිසිසේත් ඉඩක් නොමැත. මන්ද මෙරට මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට පවතින අයිතිය උදුරා ගැනීමට රට පාලනය කරන්නවුන්ට කිසිම අයිතියක් නොමැත.

– තමාරා පතිරණ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *