රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණ කිරීම තමා අනුමත නොකරන බව ජනපති කියයි

(07.06.2019 – 20:15 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණ කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද පැවති රැස්වීමකදීයි.

මේ වනතෙක් තේරීම්කාරක සභාවට කැදවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙකු තේරීම්කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලුදෙනා පිළිබද වගකීම තමා භාර ගන්නා බවත්, ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

අප්‍රේල් 21 සිදුවීමට අදාළ නඩු 5 විභාගයට ගැනෙමින් පවතින අතරතුර තේරීම්කාරක සභාවක් පත් කර කටයුතු කිරීම එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා ද තමා වෙත ලිඛිතව දන්වා ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත්, තමා එය කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙන අතර, කතානායකවරයා ඒ පිළිබද පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබදව තමා කණගාටු වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සදහන් කළා.

මේ අතර, පොලිස් දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිකිරීමට ජාවත්තේ පිහිටි සළුසල ප්‍රධාන කාර්යාලයට අයත් ඉඩම ලබාදෙන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ.

රජයට බරක්ව පවතින සළුසල අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උසස්වීම්වලට අදාල ව සකස් කර තිබෙන වැඩපිළිවෙළ පිලිබදව ද මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම උසස්වීම්වලට අදාළව යොමු කළ යෝජනාවලිය පොලිස් කොමිසම විසින් අනුමත කිරීමෙන් අනතුරව මේ වන විට වැටුප් කොමිසම වෙත යොමු කර තිබෙන අතර, ඔවුන්ගේ ද අනුමැතිය යටතේ හැකි ඉක්මණින් කාණ්ඩ 03ක් යටතේ එම උසස්වීම ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශවී තිබෙනවා.

විශේෂ කාර්ය බලකායට නව භටයන් බදවා ගැනීමට අවශ්‍ය අනුමැතිය සහ අවි ආයුධ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම පිළිබදව ද සාකච්ඡා වූ අතර, විෂ මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය ද සමාලෝචනය කෙරුණු බව සඳහන්.

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ මෙහෙයුම් වලදී ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 25 බැගින් මෙහිදී මුදල් ප්‍රදාන සිදුකෙරුණා.

එසේම, සයින්දමරුදු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් රැදී සිටින ස්ථාන පිළිබද දැනුම් දුන් මුස්ලිම් ජාතිකයන් තුන්දෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් මුදල් පරිත්‍යාග සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

මාධ්‍ය ඉදිරිපිට බුද්ධි නිලධාරින්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන්නෙ නම් ඉදිරි සියලු කැබිනට් හමු වර්ජනය කරනවා – ජනපති

(08.06.2019 – 11:08 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව ඉදිරියෙදීත් බුද්ධි නිලධාරින් ගෙන්වා ප්‍රශ්න කරන්නෙනම් තමන් ඉදිරි කිසිඳු කැබිනට් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (07) රාත්‍රී විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර, පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවිම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡාට බදුන් වී ඇත.

එම අවස්ථාවේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේම මහතා මේ බව පවසා තිබේ.

එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමන් කිසිසේත් එම ක්‍රියාවලිය අනුමත නොකරන බවයි.

අප්‍රේල් 21 වන දා සිදුවීමට අදාළ නඩු 05 ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරීම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර නමුත් , කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කණගාටුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා මෙවැනි පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරමින් සිදු කරන ක්‍රියාවන් හෙතුවෙන් තමට අහිතකර බලපෑම් ඇති බව බවයි.

එම අවස්ථාවේදි ඊට පිලිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අදාල පාර්ලිමේන්තු කාරක සභාවට තමන් කිසිදු සමාජිකයෙකු පත් නොකල බවත් එය පාර්ලිමෙන්තුවේ පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ කැමැත්ත පරිදි සම්මතකර කාරක සභාවක් බවත්ය.

එමෙන්ම තමන් එම පාර්ලිමෙන්තු කාරක සභාවේ සමාජිකයෙකු ලෙස පත් කළේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පමණක් බවත් ඔහුත් එම තනතුරින් පවත් වු බවත්ය.

එහිදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආශු මාරසිංහ සහ ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් තමන්ට විරුද්ධව කටයුතු කරන බවයි.

ඔවුන් කාගේ උවමනාවන් ඉටුකරන පිරිසක්ද යන්න තමන් හොදාකාරව දන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාල පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව තහනම් කළේ නැතිනම් ඉදිරියෙදි සියලුම රාජ්‍ය උත්සව සහ කිසිදු කැබිනම් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බවයි.

ඒ සම්බන්දයෙන් පිලිතුරු දෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා ලෙස එවැනි තද තීරණයක් ගැනීමෙන් මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ප්‍රතිරූපයට අයහපතක් සිදු විය හැකි බවයි ෴

+++++++++++++++++++++

ජනාධිපති-කථානායක ගටුම යලි ඇවිලේ.. ජනපතිගේ ප‍්‍රකාශයට විරුද්ද කථානායක ගෙන් සැරපරුෂ නිවේදනයක්..

(09.06.2019 – 00:02 +0530 – lankacnews.com)

කථානායක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

මාධ්‍යය නිවේදනයයි…

මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුව වෙත වාර්ථා කිරීමේ විශේෂ කාරක සභාවේ රැස්වීම් සහ අදාළ සාක්ෂි විමසීමේ අවස්ථාවන් මාධ්‍ය වෙත විවෘත කිරීම පිළිබඳව පාර්ශව කිහිපයක් විසින් විවිධ මත දක්වා ඇති බව පෙනී යයි.

විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් විසින්ද මෙම කරුණ අරභයා මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇති බැවින් කරුණු පැහැදිළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් වේ.

අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුව අංශ කිහිපයකින් ක්‍රියාත්මක වෙමින් සිටී. ඉන් ප්‍රධානතම කොටසක් වනුයේ ජාතික ආරක්ෂාව සහ දිගුකාලීන සංහිඳියාව ගොඩනැඟීමත් සියළු අන්තවාදයන් පිටුදැකීමත් සඳහා වන නීති සම්පාදනය කිරීම වෙනුවෙන් අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවන් අඛණ්ඩව රැස්වෙමින් පුළුල් ක්‍රියාදාමයක නිරතව සිටීමයි.

එහි ප්‍රථිඵලයක් ලෙස මේ වන විටත්පාර්ලිමේන්තුවේ සියළු ප‍ාර්ශවයන් ගේ එකඟත්වයෙන් සහ විවිධ ආගමික නායකයන් දැක්වූ අදහස් සැළකිල්ලට ගෙන ආගමට මුවා වී සිදු කෙරෙන බහු විවාහ, ළමා විවාහ ආදිය රටේ පොදු නීතියට යටත් කිරීම අන්තවාදය පතුරුවන පාසල් සහ සියළු අන්දමේ අධ්‍යාපන ආයතන පිළිබඳව පියවර ගැනීම අනන්‍යතාවය වසන් කරන ඇඳුම් විලාසිතා සම්බන්ධව පියවර ගැනීම ජාතීන් අතර භේද ඇතිකරන වෛරී කථනයන්ට එරෙහිව ආදී තීරණාත්මක කරුණු රැසක් සම්බන්ධව පොදු එකඟතාවයන්ට පැමිණීමට හැකිව තිබේ.

මේ හැරුණුකොට අප්‍රේල් 21 වන දින සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්ථා කිරීම පිණිස පත් කරන ලද විශේෂ කාරක සභාවද සිය විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත. මෙම කාරක සභාව පත්කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟත්වයකට පැමිණ අත්සන් කරන ලදුව ගනු ලැබූ තීන්දු අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකිනි. එළෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ කාරක සභාවේ සමාජිකත්වයට මන්ත්‍රීවරු 12 දෙනෙකු (ආණ්ඩු පක්ෂය 7 – විපක්ෂය 5) නම් කෙරිණි (මෙම කාරක සභාවට විපක්ෂයෙන් ලැබුණේ අර්ධ සහභාගීත්වයක් පමණක් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් කළ සාමාජිකයන් කමිටුව වර්ජනය කරන ලදි. ඔවුන්ද සහභාගී වූයේ නම්, මෙහි අවධානය යොමු කරන ගැටළුව කාරක සභාව තුළදීම විසඳාගත හැකිව තිබිණි.)

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව ස්ථාවර නියෝග ප්‍රකාරව පැවැත්වෙන මෙම කාරක සභාවේ කටයුතු ජනමාධ්‍ය වෙත විවෘත කිරීම ද පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීය. එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් පවතින රටකට නුහුරු අත්දැකීමක් නොවේ. මෑතක දී ඇමරිකා එක්සත් ජනපදයේ නීතිපතිවරයා සහ රහස් තොරතුරු සේවයේ (CIA) අධ්‍යක්ෂ වරයා ඇමරිකානු මහජන කොන්ග්‍රසය විසින් පත් කළ කාරක සභාවක් හමුවට කැඳවා ප්‍රශ්ණ කරන අයුරු ලොව පුරා ජාත්‍යන්තර මාධ්‍යය සජීවීව විකාශය කළ ආකාරය ද මෙහි ලා පෙන්වා දිය හැක. එය ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව ලොව දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල සාමාන්‍ය ලක්ෂණයකි.

කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම අදාළ දිවුරුම ලබා දීමෙන් පසු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ යැයි අදහස් කෙරෙන කරුණු මාධ්‍යය ආවරණයෙන් බාහිරව ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බව පැහැදිළිව දැණුම් දෙනු ලැබේ.

පසුගිය සතියේ ජනාධිපති ලේකම් වරයා වෙත නීතිපතිවරයා විසින් එවන ලද ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබිණි. එහි සඳහන් වූයේ කාරක සභාව හමුවේ හෙළිවන ඇතැම් කරුණු දැනට පැවැත්වෙන පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බවයි. එම ලිපිය ලද විගස අදාළ කමිටු සාමාජිකයන් ට ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස කථානායකවරයා විසින් දන්වන ලද අතර කිසිඳු අයුරකින් ජාතික ආරක්ෂාවට අගතියක් නොවන ලෙස කටයුතු කිරීමට උපරිම වශයෙන් අවධානය යොමු කරන ලෙස ද දැණුම් දෙන ලදි. ඊට අමතරව කාරක සභා සාමාජිකයන් කැඳවා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා උපදෙස් ලබා දෙන ලදි.

කෙසේ වෙතත් 2019.06.07 දින අතිගරු ජනාධිපතිතුමා ජනමාධ්‍යය ඉදිරියේ සඳහන් කරන ලද්දේ එකී ලිපිය එතුමාගේ නියෝගයක් බවත් එය පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා විසින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබූ බවත්ය.

ජනාධිපතිවරයා විසින් යොමු කරන සංදේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුයේ සභාවට එහි ඇති අදාළත්වය අනුවය. කාරක සභාවක කටයුත්තක් සම්බන්ධව ජනාධිපතිලේකම්වරයා විසින් එවන ලද ලිපියක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.

එලෙසින්ම පැහැදිළි කල යුත්තේ ස්ථාවර නියෝගයන් ට අනුව පොදු එකඟතාවයකින් ආරම්භ කළ පාර්ලිමේන්තුව අනුමත කරන ලද ක්‍රියාදාමයන් නැවැත්වීමේ අවසන් බලය පාර්ලිමේන්තුව සතුවම පවතින බැවින් මෙම විශේෂ කාරක සභාවේ කටයුතු වැළැක්වීම කථානායක වරයාගේ අභිමතය පරිදි සිදුකළ නොහැකි බවයි.

එසේ හෙයින් උක්ත කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යයන්ට විවෘතකිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය ගැනීමට එම කාරක සභාවට හැකියාව ඇත. ඒ පිළිබඳව කථානායකවරයා පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට ද ඉදිරියේ දී පියවර ගනු ඇත.

කෙසේ වුවද වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිළි අවබෝධයක් ඇති බව ද නිසැකය.

කිසිවිටකත් පාර්ලිමේන්තුව ජනාධිපතිතුමන්ගේ බලතල අභියෝගයට ලක් නොකරන නමුත් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද කාරක සභාවක ක්‍රියාදාමය විවේචනයට ලක්වීම තුළින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි මතයක් පිළිබඳව නිවැරදි තොරතුරු සැළකිරීම සඳහා පමණක්ම මෙම කරුණු සද්භාවයෙන් යුතුව දැණුම් දෙන බවද අවධාරණය කරමු.

– කථානායක කාර්යාලය

+++++++++++++++++++++

08.06.2019

+++++++++++++++++++++

යලි ඇමති ධුරවල දිවුරුම් දීම් නෑ.. ජනාධිපති කියයි.. දිවුරන්න ආ 04 ක් අදම හරවා යවයි.. මාසයකින් යලි දිවුරන්න බලාගෙන ඉල්ලා අස්වූ පිරිස දිගමට මන්ත‍්‍රීලා..

(07.06.2019 – 22:35 +0530 – lankacnews.com)

නැවත කිසිදු ඇමතිවරයෙක් දිවුරුම් දීම් කිසිවක් සිදු නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පැවති විශේෂ කැබිනට් මණ්ඩල හමුව අවසානයේ සදහන් කර තිබේ.

කැබිනට් මණ්ඩල හමුවෙන් පසුව ඇමතිවරුන් සිවු දෙනෙකු දිවුරුම් දීම ගැන එජාපය විසින් සිහිපත් කල අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 05 ක් විභාග වෙමින් තිබියදී නීති විරෝධීව කටයුතු කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම අත්හිටුවන තෙක් තමන් කැබිනට් මණ්ඩලය නොකැදවන බවත් රාජ්‍ය මට්ටමේ කිසිදු කටයුත්තකට සහභාගී නොවන බවටත් ජනාධිපතිවරයා එහීද පවසා තිබින.

ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිවරුන් 08 දෙනා මසකට පසු නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමද ඒ අනුව සිදු නොකෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය ෴

+++++++++++++++++++++

සියළු මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත් වූ බවට වන ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(08.06.2019 – 10:46 +0530 – hirunews.lk/sinhala)

සියළු මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත් වූ බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙකුගේ නම් සහ අමාත්‍යාංශ ඇතුළත්.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන් සහ අබ්දුල් හලීම්ගේ නම් ද ඊට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, මොහොමඩ් ෆයිසාල් කාසිම්, මොහොමඩ් හාරිස්, අමීර් අලි සහ අලි සබීර් මවුලානා සෙයිබ් යන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් ද එම ගැසට් නිවේදනයේ සදහන්.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අබ්දුල්ලා මහරුෆ්ගේ නම ද මෙලෙස ඉවත් වූ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවට ඇතුළත් ෴

+++++++++++++++++++++

ඉවත් වූ මුස්ලිම් ඇමතිවරුන් විපක්ෂ නායක හමුවෙයි

(08.06.2019 – 11:45 +0530 – hirunews.lk/sinhala)

තනතුරුවලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් මේ වන විට පැවැත්වෙනවා.

ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිළ නිවසේදීයි.

හිටපු මුස්ලිම් අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර, තවත් සාකච්ඡාවක් ඊයේ (07) පසුවරුවේ පවත්වා තිබෙනවා.

මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබදව එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළ බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් හාරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

+++++++++++++++++++++

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට මහින්ද කියු දේ මෙන්න…

(09.06.2019 – 10:00 +0530 – lankacnews.com)

පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන අවුල් සහගත තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදුයුදීන්, ඒ එච් එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් (08) දින විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.

එසේ තනතුරු වලින් ඉවත් වීමට හේතු සාධක ඔවුන් ඉදිරිපත් කළද එවැනි ක්‍රියාවක් කිරීම සුදුසු නොවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

එම ක්‍රියාව තුළින් මුස්ලිම් නොවන සමාජයේ ආගමික නායකයින් සහ ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වීමට ඉඩ ඇති බවද මොනම අවස්ථාවකදීවත් ජාතිවාදය රටතුළ ඇවිලවීමට කිසිවෙකුටත් නොදිය යුතු බවද එතුමා අවධාරණය කළේය.

විවිධ පක්‍ෂ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම තීන්දුව ගැනීමට මූලික හේතුව වූයේ මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ජීවිත අවදානම ගැනද සලකා බැලීමෙන් පසුව බව මුස්ලිම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

මුස්ලිම් දේශපාලනඥයින් හා මුස්ලිම් ජනතාව කිසි දිනක ත්‍රස්තවාදයට සහයෝගය දක්වා නැති බවත් ඒසේ නොකළ නිසා වසර 30 ක යුද්ධයේදී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් සමූල ඝාතනයට ලක් වූ බවත් මෙහිදී ඔවුන් විපක්‍ෂ නායකතුමා වෙත පැවසූහ.

මෙම අවස්ථාවේදී ගරු විපක්‍ෂ නායකතුමා තවදුරටත් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව ප්‍රථමයෙන් මුස්ලිම් දේශපාලනඥයින් පිළිබඳව විශ්වාසය ඇති කරගත යුතු බවයි.

ඉන් පසු අනෙකුත් ජාති ආගම් නියෝජනය කරන ජනතාව මුස්ලිම් නායකයින් විශ්වාස කිරීමට පටන් එළඹෙන බවද එසේ වුවහොත් වර්ථමානයේ ඇති වී තිබෙන අනවබෝධකාරී තත්වය සමතයකට පත්කර ගත හැකි බවද විපක්‍ෂ නායකතුමා අවධාරණය කළේය.

තවද, මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායකතුමාගේ ප්‍රසාදයද පළවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ද සහභාගී වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

+++++++++++++++++++++++++++++++++++

ජාතික බුද්ධි ප්‍රධානියා ඉල්ලා අස්වේ

(08.06.2019 – 14:52 +0530 – hirunews.lk/sinhala)

ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඉල්ලා අස්වී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ සෞඛ්‍ය හේතුන් මත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි.

ඒ අනුව, මේ මස පළමුවැනිදා සිට ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *