හිටපු ඇමති බදියුදීන්ට එරෙහි විමර්ශණ කඩිනම් කරන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිලි

(06.06.2019 – 22:10 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අසාත් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන්ට එරෙහිව මේ වන විට පැමිණිළි 4 ක් පොලිස් මූලස්ථානයට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඔවුන්ට එරෙහි පැමිණිළි භාරගැනීමට පොලිස් මූලස්ථානය පසුගිය 4 වැනිදා පත්කළ කමිටුව ලබන 12 වෙනිදා දක්වා ක්‍රියාත්මක අතර අදත් විවිධ පාර්ශ්ව ඊට පැමිණිළි ඉදිරිපත් කරනු ලැබුවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට සතොස වාහන භාවිත කිරීමට ඉඩ ලබා දී ඇති බවට විමල් වීරවංශ මහතා ඊයේ කළ ප්‍රකාශයට අදාළව සුරකිමු දේශය ජාතික සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිළ්ළක් ඉදිරිපත් කළා.

එමෙන්ම බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන්ද අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් මෙතෙක් සිය ඉවත්වීම් පිළිබඳ ජනාධිපති ලේකම්වරයාට දන්වා නොමැති බවත් රාජ්‍ය දේපළ අවභාවිත කරමින් සිටින බවටත් චෝදනා කරමින්.

මේ අතර හිටපු ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අසාද් සාලි යන මහත්වරුන්ට මෙන්ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව ලැබෙන පැමිණිළි සම්බන්ධයෙන් වන විමර්ෂන කඩිනම් කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානය සහ සිංහලේ ජාතික සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිළි ඉදිරිපත් කළා.

+++++++++++++++++++++++++++++++++++

අරාබියක් වන කාන්තන්කුඩි නගරය

(06.06.2019 – 20:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය භාෂාව සිංහල ලෙසත්, දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් ලෙසත් නම් කර තිබෙනවා.

එසේ තිබියදීත්, මෙරට ඇතැම් ප්‍රදේශවල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ට ද වඩා අරාබි භාෂාවට මූලිකත්වය ලබා දෙන තත්ත්වයක් නිර්මාණය වීම පිළිබඳ මේවන විට සමාජයේ පවතින්නේ දැඩි කතා බහක්.

රටේ ඇතැම් ප්‍රදේශ කෙමෙන් කෙමෙන් අරාබිකරණය වන බවට පැතිර යන මතය පිළිබඳ අප විමසා බැලුවේ ඒ අනුවයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වැනි පරිච්ඡේදයේ 18 (1) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය, යනුවෙන් සඳහන් වනවා.

එහි දෙවන වගන්තියේ දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේය, යනුවෙන් සහ ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේය, යනුවෙන් සඳහන්.

එසේ තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් මොනයම් නීතියකවත් සඳහන් නොවන ආකාරයට රටේ ඇතැම් ප්‍රදේශවල අරාබි භාෂාවට මූලිකත්වය ලබාදෙන තත්ත්වයක් වර්තමානය වනවිට දක්නට ලැබෙනවා.

එම තත්ත්වය වඩාත් තීව්‍රව පවතින්නේ නැගෙනහිර පළාත තුළයි.

ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් පවතින සහ මුස්ලිම් ජනතාව වැඩිම පිරිසක් ජීවත්වන කාත්තන්කුඩි නගරය ඊට හොඳම නිදර්ශනයක්.

කාත්තන්කුඩිය නගරයට ඇතුළුවන ප්‍රධාන ද්වාරයේ පිළිගැනීම, ඉංග්‍රීසි, දෙමළ, සිංහල භාෂවන්ට අමතරව අරාබි භාෂාවෙන්ද සටහන් කර තිබෙනවා.

අරාබි නගර නිර්මාණ ශිල්පයට වඩාත් සමීපව නිර්මාණය කර ඇති කාත්තන්කුඩි නගරයට ඇතුළු වීමෙන් පසු බොහෝ පොදු ස්ථාන වල සිංහල භාෂාව භාවිත නොකරම අරාබි භාෂාවට මූලිකත්වය දී ඇති ආකාරය දක්නට ලැබෙනවා.

කාත්තන්කුඩි පොලිස් ස්ථානය තුළ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමක ද බහුතරය අරාබි භාෂාවෙන් සටහන් කර තිබෙනවා.

ඇතැම් ස්ථානවල මුලින්ම නම සඳහන් කර ඇත්තේ ද අරාබි භාෂාවෙන්.

කාත්තන්කුඩි නගරයෙන් පිටව යන විට දක්නට ලැබෙන පුවරුව සඳහාද අරාබි භාෂාව භාවිත කර තිබෙනවා.

මීට අමතරව නැගෙනහිර පළාතේ තවත් නගර කිහිපයකම දක්නට ලැබෙන්නේ මෙම තත්ත්වයමයි.

මේ අතර රාජ්‍ය ආයතනයක්වන ත්‍රිකුණාමලය – මූතූර් කලාප අධ්‍යාපන කාර්යාලයට ප්‍රවිශ්ඨ වන ද්වාරයේද අරාබි භාෂවෙන් පිළිගැනීම සඳහන් කර තිබෙනවා.

මේ අතර අරාබි භාෂාව භාවිත කිරීමට අමතරව ඇතැම් මාර්ග ඉස්ලාම් දේවස්ථානවල නමින් නාමකරණය කිරීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව ද පීඩාවට පත්ව සිටිනවා.

ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයට යන පැරණි මාර්ගය මිස්ජිතුල් ෆලාහ් පාර ලෙස නම් කර තිබෙනවා.

ලෝකයේ අලංකාරම භාෂා අතර සිංහල භාෂාවට මූලික ස්ථානයක් හිමිවන අතර ලෝකයේ සිංහල භාෂාව භාවිත වන එකම රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.

එමෙන්ම රටේ පිළිගත් භාෂා 3ක් ම තිබියදී පොදු ස්ථානවල නාමකරණයන්ට අරාබි භාෂාව භාවිත කිරීම කාගේ වුවමනාවක්ද ?

මේ පිළිබඳ අදාළ බලධාරීන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ හිරු ප්‍රවෘත්ති අවධානයෙන්..

+++++++++++++++++++++++++++++++++++

මාධ්‍ය පාලනයට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි එස්.බී. කියයි

(06.06.2019 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට ප්‍රමාද වීම හේතුවෙන් ආණ්ඩුව මාධ්‍ය පාලනය කිරීම සදහා නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසනවා.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

***************************************

වඩු මඩු අලුතින් ලියාපදිංචිය නතර කිරීමට ජනපතිගෙන් උපදෙස්

(06.06.2019 – 17:46 +0530 – hirunews.lk/sinhala)

වඩු මඩු අලූතින් ලියපාදිංචිය නතර කිරීමට සහ ලී මෝල් හිමියන් වෙනත් ව්‍යාපාර අංශ කෙරෙහි යොමු කිරීමේ වැඩපිළිවෙළකට එළැඹීමට අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ගස් කපන යන්ත්‍ර හෙවත් චේන්සෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද තමා මේ වන විට උපදෙස් දී ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට නම් එවන් වැඩපිළිවෙළක් අවම වශයෙන් වසර 10 ක් ගතවන තුරුවත් රට තුළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (06) පෙරවරුවේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින්.

ජූනි 05 වනදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව, “තිරසර වන කළමනාකරණය තුළින් වායු දුෂණය අවම කිරීම” යන තේමාව යටතේයි සැමරුම් උලෙළ සංවිධානය කර තිබුනේ.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ පරිසරය රකින නීති සහ පරිසරය වෙනුවෙන් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාවට නැංවීමට කැපවීම, රට ගොඩනැගීමට සැබෑ වුවමනාවක් ඇති සහ රටේත් ජනතාවගේත් යහපත ප්‍රාර්ථනා කරන සියලූ දේශපාලනඥයන්ගේ මෙන් ම නිලධාරින්ගේ වගකීම බවයි.

මේ වන විට ලෝකය මුහුණ දී ඇති පාරිසරික අභියෝග හමුවේ පරිසරය රැක ගැනීමට සියලුදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් නීති රැසක් පරිසර අමාත්‍යවරයා ලෙස තමා හඳුන්වා දී තිබෙන අතර ඒවා ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳ සතුටට පත්විය නොහැකි බව ද ඔහු අවධාරණය කළා.

පොලිතින් තහනම ඇතුළුව පරිසරය වෙනුවෙන් ගත් එම තීන්දු තීරණ වඩා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට කැපවීම රටේ මතු පරපුර වෙනුවෙන් සියලූදෙනා ඉටුකරන වගකීමක් බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ.

***************************************

ඇමති රවීගේ දියණියගෙන් CIDයට පැය 5 ක ප්‍රකාශයක්

(06.06.2019 – 16:59 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

පසුගිය මස 30 වනදා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීනීතිඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් සහ ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබූ බවයි.

කෙසේ වෙතත් රවී කරුණානායක අමාත්‍යවරයා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැහැ.

මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා දැනුම් දුන්නා.

එසේම අමාත්‍ය රවී කරුණානායක සහ එම පවුලේ සාමාජිකයින්ට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්ෆොටේෂන් සමාගමේ ආදායම්, වියදම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස අධිකරණය මගින් පසුගිය පෙබරවාරි මස 28 වැනිදා රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායකට නියම කර ඇතත්, එම වාර්තා භාර දී නොමැති බවයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ.

එම වාර්තා භාරදීම සම්බන්ධයෙන් ඔනෙලා කරුණානායක උනන්දුවක් දක්වන ආකාරයක් නොපෙනෙන බවත්, අදාළ වාර්තා නොමැතිවීමෙන් පරීක්ෂණ කටයුතු අඩපණ වී ඇති බවත් ඇය සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *