උණ්ඩ 93 ක් සමඟ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් අත්අඩංගුවට

(29.05.2019 – 13:19 +0530 – sinhala.adaderana.lk)

මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලී හසන් මහතා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මල්වාන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබි බොර 12 වර්ගයේ උණ්ඩ 93 ක් සොයා ගත් බවයි ෴

+++++++++++++++++++++

‘‘අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ – ඒ උණ්ඩ අපේ සීයාගෙ’’ අත්අඩංගුවට ගත් මාධ්‍ය අධ්‍යක්ෂකගේ පුත්‍රයෙකු කියයි

(29.05.2019 – nethgossip.lk)

මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක මොහොමඩ් අලී හසන්ගේ නිවසේ තිබී අද (29) සොයාගත් වෙඩි උණ්ඩ තම සීයාට අයත් ඒවා බව අලී හසන්ගේ පුත්‍රයෙකු සඳහන් කරනවා.

මල්වාන ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී බෝර 12 වර්ගයේ ගිනි අවි වලට යොදා ගන්නා මෙම උණ්ඩ තොගය හමුවී ඇති බව වාර්තා වූ අතර මාධ්‍ය අධ්‍යක්ෂකවරයා බියගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අලී හසන් මහතාගේ පුත්‍රයකු පවසා සිටියේ, ආරක්ෂක අංශ විසින් අද (29) උදැසන මල්වාන ප්‍රදේශයේ නිවෙස් සොදිසිකල අවස්ථාවේදී සිය නිවස ද පරික්ෂා කළ බවත්, එම අවස්ථාවේ සිය නිවසේ සිවිලිමේ තිබි බෝර තුවක්කුවක උණ්ඩ සොයාගත් බවත්ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළා.

‘‘මේ ගෙදර අපේ සීයාගේ. ඒ කියන්නේ, අපේ අම්මගේ තාත්තා. අපේ සීයාට බොර තුවක්කුවක් තිබිලා තියනවා. 88-89 භීෂණ කාලයේ සීයා ඒ තුවක්කුව පොලිසියට බාරදීලා. දැන් සීයා මිය ගිහින් වසර 17කට වැඩියි. අපේ තාත්තා මේ නිවසට ඇවිත් තියන්නේ පස්සේ කලෙක, අම්මව බැන්දට පස්සේ.

සීයා ඒ තුවක්කුවට අදාළ උණ්ඩ වහලේ සඟවලා තිබුණා කියලා අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අද උදේ අපේ මාමලා ඇවිත් ආරක්ෂක අංශවලට කීවා සීයාට තුවක්කුවක් තිබුණා, ඒක පොලිසියට බාරදුන්නා කියලා. තාත්තා ඒ කියනකොටත් ඒ ගැන දැනගෙන ඉඳලා නැහැ.

අපි ආරක්ෂක අංශවලට කිවා මේවා අලුත් උණ්ඩ ද ? පරණ උණ්ඩ ද කියලා හොයා බලන්න කියලා. අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ.

මෙම උණ්ඩ වසර 35 ක් හෝ 40 ක් පමණ පරණ බව අපි දන්නවා. ඒත් ඒ පිළිබඳ ඉක්මනින් පරීක්ෂණයක් සිදුකොට රටට ඇත්ත ප්‍රකාශ කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා’’ ෴

+++++++++++++++++++++

මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස්

(29.05.2019 – 21:15 +0530 – sinhala.adaderana.lk)

මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා මල්වාන ප්‍රදේශයේදී අද (29) අත්අඩංගුවට ගෙන තිබුණි.

බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතොරම් 93 ක් ඔහුගේ නිවසේ එළිමහන් ස්ථානයකින් සොයාගැනීමේ සිද්ධියකට අදාලව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතාගේ බියගම , මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස යුධ හමුදාව සහ පොලිසිය එක්ව සෝදිසි කරනු ලැබුවේ අද උදෑසනදීය.

එහිදී එම නිවසේ පෝටිකෝව සහ ඊට යාබද නිවසේ වහල අතර ඇති, පෝටිකෝවේ ඉහළ කොටසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතුරම් 93 ක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බව පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව එම අවස්ථාවේදීම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අලි හසන් මහතාව අත්අඩංගුවට ගත්තේය.

සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් අදාල ස්ථානය පුළුල් පරීක්ෂාවකට ලක් කර ඇති අතර පතුරම් හමු වූ ස්ථානය සම්බන්ධයෙන් අලි හසන් මහතාගේ ඇති ස්ථානිය දැනුමද එහිදී පරීක්ෂා කළ බව පෙලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට පොලිසිය මේ වන විට පියවර ගෙන තිබේ.

එම නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.‍

පතුරම් තිබූ අලි හසන් මහතාගේ නිවස ඔහුගේ බිරිඳගේ පියාට අයත්වූවක්.

ඔහුගේ බිරිඳගේ පියා මීට පෙර බලපත්‍ර සහිත ගිනි අවියක් භාවිත කර තිබූ බවද වාර්තා වේ.

මොහොමඩ් අලි හසන් මහතා 1982 වර්ෂයේදී තොරතුරු සහායක තනතුර සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එක් වී ඇති අතර පසුව සෞඛ්‍ය , තැපැල් වැනි අමාත්‍යංශ කිහිපයකම මාධ්‍ය අංශයට අදාළව සේවය කර තිබේ.

එමෙන්ම 1995-2004 කාලවකවානුවේ ජනාධිපති මාධ්‍ය අංශයේත් , 2005 වසරේ මාස 3 ක කාලයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේත් ඔහු සේවය කර තිබේ.

මේ වන විට මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයක් හොබවන ඒ මහතා ලබන වසරේ අප්‍රේල් මාසයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි බව වාර්තාවන්නේය ෴

+++++++++++++++++++++++++++++++++++

28.05.2019

+++++++++++++++++++++

අනතුර අපටත් ‘දිවයින’ කලින් කිව්වා; අරාබි විගඩම්වලින් ඉවත් වී සිංහල – දෙමළ මහා සමාජය සමග මුස්ලිම්වරුන් වහා බද්ධ විය යුතුයි

(29.05.2019 – divaina.com)

සම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය වෙත බලෙන් පටවා ඇති අරාබි ආගමික හා සංස්කෘතික විගඩම්වලින් වහා ඉවත්ව සිංහල හා දෙමළ මහා සමාජය සමඟ මුස්ලිම් සමාජය කොන්දේසි විරහිතව වහාම බද්ධ විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (28 වැනිදා) පැවසූහ.

රටට පොදු නීතියක් ජාති ආගම් භේදවලින් තොරව සම්පාදනය කළ යුතු බවත් අන්තවාදී ඉගැන්වීම් තහනම් කර බෙදුම්වාදීන් පෝෂණය කරන විදෙස් මුදල්වලට වැට බැඳ අන්තවාදී විදෙස් දේශකයින් රටට ඇතුල්වීමට වැට බඳින නීති සම්පාදනය කළ යුතු බවත් උන්වහන්සේ කීහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (28 වැනිදා) එම අදහස් පළ කළේ නාවල පාර, රාජගිරියේ පිහිටි බොදුබල සේනා මූලස්ථානය වන ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද කීහ :

‘‘රට තුළ මතුව ඇති අවිනිශ්චිත තත්ත්වය සමනය කරන්න අපි කොයි කවුරුත් විමසිලිමත්ව, දූරදර්ශීව වැඩ කරන්න ඕනෑ.

මේ ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා හතු පිපෙනවා වගේ සංවිධාන බිහිවෙමින් තිබෙනවා. ඒ අයට අපිටත් වඩා පුදුම හදිස්සියක් තිබෙන්නේ මේවා දකිනකොට ඇත්තටම පුදුමත් හිතෙනවා.

ඇත්තෙන්ම මේ වහබ්වාදී උම්මත්තක අන්තවාදය අපට විසඳන්න පුළුවන් ඒ ශක්තිය අපිට තිබෙනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු දේශපාලනඥයන් අතර පුදුම තරඟයක් ඇතිවෙලා. ඔවුන් හැමට ආදර්ශයන් දෙනවා වෙනුවට ප‍්‍රශ්නය තව තවත් අවුල් කරනවා. අපිව හිර කරන්න රටට එරෙහි බලවේග උපරිම උත්සාහ කරමින් තිබෙනවා.

සහරාන්ලාට ත‍්‍රස්තයන් වීමට මතවාදය හැදූ අන්තවාදී නායකයන් සමඟ මේ ගැටලුවට විසඳුම් සෙවීමට අපේ නායකයන් කටයුතු කරමින් සිටිනවා. මේ අය හරි තැන තාම අල්ලන් නැහැ. නිෂ්කී‍්‍රය කළ යුතු තැන්වලට, ගහන්න ඕන තැන්වලට ගහන්නේ නැතුව ප‍්‍රශ්නය වෙනතකට ගෙන ගියා කියා මේ උම්මත්තක ත‍්‍රස්තවාදය නැති කරන්න බැහැ.

මට මේ ප‍්‍රහාරය ගැන කිසියම් හෝ ආරංචියක් ආවා නම් මේ විනාශය වන්නේ නැහැ. හිර ගෙවල් හතක ගියත් උපනූපන් පරපුර වෙනුවෙන් මම ඒ දේ කරනවා.

වහබ්වාදී උම්මත්තක ත‍්‍රස්තයන්ට අති විශාල ධනස්කන්ධයක් හිමිව තිබෙනවා. මේ ප‍්‍රශ්නය එල්. ටී. ටී. ඊ. ප‍්‍රශ්නය වගේ නෙමෙයි. මොවුන් ඉල්ලන්නේ බිලි පූජාවන්.

මේ වහබ්වාදී අනතුර ගැන අපි කියන්න කලින් ‘දිවයින’ පුවත්පත ලිපි ගණනාවකින් හෙළි කිරීම් කළා. ඔවුන් 1990 සිට ඒ ගැන නොයෙක් ලිපි පළ කර තිබෙනවා. 1990 දී රහස් මුස්ලිම් සංවිධානයක සාමාජිකයින් ආයුධ සමග මාවනැල්ලේ හමුවූ බවට නොයෙක් ආකාරයේ ලිපි ‘දිවයින’ පුවත්පත පළකර තිබෙනවා.

මේ ප‍්‍රශ්නය අවසන් කිරීමට නම් හාල්මැස්සන් අල්ලන එක පසුවට තබා තෝරු මෝරු අල්ලන්න ඕනෑ. සව්දි අරාබි බුද්ධි අංශ නියෝජිතයන් මෙරට වහබ්වාදය ගොඩනැඟීමට වෙනමම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඔවුන් එක නායකයෙක් නොව නායකයන් පනහ ගානේ ගොඩනගා තිබෙනවා.

බිටිෂ් කොලේජ් ඔෆ් බිස්නස් ස්ටඩීස් (බිකාස්) ආයතනයේ හිමිකරු සහරාන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා තිබෙනවා. ඔහු සතුව දෙස් විදෙස් දේපළ අති විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. ඔහුගේ පාසලෙන් ඉගෙන ගත් මුස්ලිම් සිසුන් දෙසීයක් ඕස්ටේ‍්‍රලියාවට ගොස් පසුව ජිහාඞ් අන්තවාදීන් සමඟ එකතු වී තිබෙනවා. ඉන් දෙදෙනෙක් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට එක්වී මරාගෙන මැරී තිබෙනවා.

ත‍්‍රස්ත කල්ලි පුහුණු කරන්නේත් එම ත‍්‍රස්තයින් ගොඩනගන්නේත් අබ්දුල් රහුමාන් නමැති ‘බිකාස්’ ආයතනයේ හිමිකරුයි. ඔහුව වහා අත්අඩංගුවට ගත යුතුයි. අපි මේ එක එක්කෙනාට පහර දී වැඩක් නැහැ. මහ මොළවලට තමා පහර දිය යුත්තේ. බදුර්දීන්, සාලි, මුජිබර්, හිස්බුල්ලා, ෂෆී යන අයට වෙන වෙනම පහර දී වැඩක් නැහැ. මොවුන් නිපදවන්නේ ඉහත කී මහා මොළයයි. ඒ නිසා ඒ මහා මොළය නැති කළ යුතුමයි.

අබ්දුල් රහුමාන් සිටින ‘යහපාලනය සඳහා ජාතික පෙරමුණ’ වහා තහනම් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කළ යුතුයි. අබ්දුල් රහුමාන් සතුව කුලියට මිනී මරණ කල්ලියක් නැගෙනහිර සිට තිබෙනවා. ‘යූත් ෆෙඩරේෂන්’ සංවිධානයට නායකත්වය දෙන්නේ මේ අබ්දුල් රහුමාන්ම තමයි. මොවුන්ට සල්ලි එන්නේ කොහෙන්ද කියා සොයන්න ඕනෑ. ඔවුන් සතුව ඇත්තේ ත‍්‍රස්ත සල්ලි සුදු කරන ආයතනයි.

අපිට මොවුන් සමග නඩු කියන්න සල්ලි නැහැ. අපිට වාහනයක් නැහැ. මෙරට ව්‍යාපාරිකයන් ටික දෙනෙක් සහ විදෙස්ගත ගෘහ ශ‍්‍රමිකයන් කිහිප පොළක් නැත්නම් පිනට දෙන දානය හැර වෙන කිසිවක් අපට නැහැ. දේශපාලන අම්බරුවන් අපිට චෝදනා කරනවා මිස ප‍්‍රශ්නය විසඳන්න කටයුතු කරන්නේ නැහැ.

තැටිය රත්වූ වෙලාවේ රොටිය පුච්චා නොගතහොත් යළිත් මේ අවස්ථාව අපට හිමිවන්නේ නැහැ. මේ අපිට ලැබී ඇති අන්තිම අවස්ථාවයි. අපේ මැටි මෝල් නායකයන් මේ ප‍්‍රශ්නය හරියට කියවන්නේ නැහැ.

රට හමුවේ ඇති ප‍්‍රශ්නය විසඳීමට සැබෑ නායකත්වය ගන්නා ලෙස මහනායක හිමිවරුන්ගේ දෙපා නමැද ඉල්ලා සිටිනවා. හඬක් නැති මිනිසුන්ට හඬක් වෙන්න පෙරට වඩින ලෙස උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

වන්ධ්‍යාකරණ ගැන අපි කියන්නේ 2013 වසරේ සිටයි. ෂෆි දොස්තර වගේ තව බොහෝ අය මෙහි සිටිනවා. 2012 ජුලි විසිඅට වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ තිබූ ‘කතිකාවතක ඇරඹුම’ සමුළුවේදී අප යෝජනා පහක් රජයට ඉදිරිපත් කළා. එහි එක යෝජනාවක් වුණේ මේ වන්ධ්‍යාකරණය නවත්වන ලෙසයි. ඔවුන් මේ සෙල්ලම කරන්නේ සල්ලිවලටයි. එදා හිටිය පාලකයනුත් මේ අපේ කතාව ඇහුවේ නැහැ.

මේ වහබ්වාදයට වඩා සලිබ්වාදය දරුණුයි. මේ දෙකටම වඩා ඉහ්වාන් අන්තවාදය දරුණුයි. මේ රාජ්‍ය යාන්ත‍්‍රණයට සම්බන්ධ මේ ඉහ්වාන් අන්තවාදය කි‍්‍රයාත්මක වෙනවා.

මෙම අවස්ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියෝ ද එක්වූහ ෴

+++++++++++++++++++++

Eng. Abdul Rahuman, Founder Chairman & CEO of BCAS Campus

From : https://www.facebook.com/BCAS.mountcampus/ (28.05.2019)

+++++++++++++++++++++++++++++++++++

සහරාන් අත්අඩංගුවට ගන්න 2018 දී වරෙන්තුවක් අරන්

(29.05.2019 – colombotoday.com)

පාස්කු දින ප්‍රහාරයේ මහා මොළකරු වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජුලි මස 2 වන දින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසින් විවෘත වරෙන්තුවක් ගෙන තිබූ බව ආරක්ෂක අංශ රජයට බාරදුන් වාර්තාවක සඳහන් වේ.

ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ එවකට ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගේ උපදෙස් මත මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එන්.ඕ පෙරේරා මහතා විසිනි.

එහි බී වාර්තා අංකය 92358/08/18 ලෙස සඳහන්වේ. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ගෙන මාස 4 කට අඩු කාලයක් එනම් 2018 ඔක්තෝම්බර් මස 25 වන දින ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට පත්විනැයි ආරක්ෂක අංශ ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්වේ.

අද රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හමුවූ ආරක්ෂක ප්‍රධානීන් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් කළ ලියකියවිලි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වෙත බාරදීමට පියවර ගෙන තිබේ.

ජාතික තව්හිද් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියා ඇත්තේ මූලධර්මවාදී කරුණු ඉස්මතු කරමින් වීඩියෝ පට හා ඡායාරූප වෙබ් අඩවි සහ මුහුණු පොත භාවිතා කරමින් ප්‍රචාරය කළ බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරු අනුව මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ සහාය පතන බවයි.

ඊට අමතරව මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් විදේශගත විය හැකි බැවින් ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදන ලබා ගැනීමට කටයුතු කරන බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට ඉහත වරෙන්තුව ගෙන මාස 4 ක කාලයක් ඇතුළත් ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කෙරුණු පරික්ෂණ අඩාල විනැයි ආරක්ෂක ප්‍රධානීහු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හමුවේ පවසා ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන හරියටම මාස 06 සම්පූර්ණ වෙද්දී තවුහිද් ජමාත් නායක මොහොමඩ් සහරාන්ගේ නායකත්වයෙන් මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය එල්ල වූ බවද ආරක්ෂක ප්‍රධානීහු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හමුවේ කරුණු විස්තර කරණු ලැබූහ.

ආරක්ෂක අංශ ප්‍රධානීන් ඉදිරිපත් කරණු ලැබූ ඉහත කරුණු හා ඊටඅදාළ තොරතුරු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු අග්‍රාමාත්‍යවරයා වෙත අද සවසම වාර්තා කරනු ලැබූහ ෴

+++++++++++++++++++++++++++++++++++

තව්හීද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ බව කියන පල්ලියක් මුස්ලිම් ජනතාව කඩා දමයි

(29.05.2019 – 16:42 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හීද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ බව පවසන පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින කටයුතු කර තිබෙනවා.

එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ගේ පුස්තකාලයක් සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී, විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදි කර ඇති බවයි.

ඒ අනුව වර්තමානයේ රටේ පවතින තත්වය නිසා තවත් පල්ලියක අවශ්‍යතාවයක් නොවන නිසා තම පල්ලියේ කාරක සභාව එක්ව අදාළ පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පසුව මෙම ඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමා ඇති අතර අරාබි අකුරුවලින් ලියවී තිබූ පළකයක් ද කඩා දමා තිබෙනවා.

එම ස්ථානයට පැමිණි මඩාටුගම ප්‍රදේශවාසීයකු වූ මොහොමඩ් අමීන් නැමැත්තෙකු කියා සිටියේ මෙසේ කඩා දැමූ පල්ලියට නමක් නොතිබූ බවත් එය මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බවත් තවුහිත් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බවත් ඔහු සදහන් කර තිබෙනවා.

මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමග කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ බවත් ඒ නිසා තම ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කොට නැවතත් මෙම ප්‍රදේශයේ ජනතාව සමග එක්ව කටයුතු කිරීමට අවැසි නිසා මෙම විදේශ රටවලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට තීරණය කළ බවත් ඔවුන් ප්‍රකාශ කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

***************************************

බ්‍රිතාන්‍ය රාජකීය සමාජයට තවත් ශ්‍රී ලාංකිකයෙක්

(29.05.2019 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන කුමාර් වික්‍රමසිංහ මහතාට ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගෙන් සැඳුම්ලත් බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමිවී තිබෙනවා.

ඔහු මෙම සමාජයට එක්වන දෙවන ශ්‍රී ලාංකිකයායි.

මීට පෙර සාර්ස් වෛරසය හඳුනාගත් මහාචාර්ය මලික් පීරිස්ට එම සාමාජිකත්වය හිමිවූ බව බී බී සී ප්‍රවෘත්ති සේවය වාර්තා කළා.

බ්‍රිතාන්‍ය රාජකීය සමාජය දැනට ලොව ක්‍රියාත්මක පැරණිතම විද්‍යා සංගමය වන අතර, ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්, චාල්ස් ඩාවින් සහ ස්ටීවන් හෝකින්ස් වැනි විද්වතුන් එහි සාමාජිකත්වය දැරුවා.

භෞතික සහ විදුලි ඉංජිනේරු තාක්ෂණය වෙනුවෙන් මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ කළ සේවය සළකමින් ඔහුට රාජකීය සමාජයේ සාමාජිකත්වය පිරිනමා තිබෙනවා.

නැනෝ තාක්ෂණික විද්‍යාගාරවල දැනට භාවිත කෙරෙන අනුක අන්වීක්ෂ නිෂ්පාදනය කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ නියමයන් ඉවහල්වී ඇති බව සඳහන් ෴

***************************************

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(29.05.2019 – 18:04 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයින්, වැඩ බලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පූජිත් ජයසුන්දර මහතා කියා සිටින්නේ ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව ඉකුත් දා තමන්ව අනිවාර්ය අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇති බවයි.

එම තීරණය මුළුමනින්ම නීතියට පටහැණි බව පෙන්වා දෙන පූජිත් ජයසුන්දර මහතා ආයතන නීති සංග්‍රහය සහ පවත්වා නීතියට අනුව මෙලෙස තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි කියා සිටින්නේ.

එබැවින් තමන් අනිවාර්යය නිවාඩු යැවීමේ තීරණය බල රහිත කරන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන් අනිවාර්යෙන් නිවාඩු යැවීමේ තීරණය අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් ලෙස පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්ව ධුරයෙන් ඉවත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් ඉල්ලා තිබේ ෴

***************************************

ජාතික නිදහස් පෙරමුණේ උද්ඝෝෂණයක් පිටකොටුවේ

(29.05.2019 – 17:31 +0530 – lankadeepa.lk)

‘‘එක රටක් එක නීතියක් විවිධ ජනකොටස් වලට විවිධ නීති බැහැ’’ මැයෙන් උද්ඝෝෂණයක් අද (29) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි පැවැත්විණි. ජාතික නිදහස් පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

+++++++++++++++++++++++++++++++++++

තේරීම් කාරක සභාවෙන් බුද්ධි අංශ දරුණු පාවාදීමක.. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. වහා නවතා දමන්න.. ආරක්‍ෂක ප‍්‍රධානීන් ගණනාවත් ජනාධිපති හමුවී විරෝධය පාති..

(30.05.2019 – 00:04 +0530 – lankacnews.com)

පසුගිය පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජාතික බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.

ඊයේ (29) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු මෙරට ආරක්ෂක අංශ භාර ඉහළ බලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙමගින් මෙරට සක්‍රීය බුද්ධි අංශ ඉතාමත් දරුණු ලෙස හෙළිදරව් වී අවධානමකට පත්වන බවයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඊයේ දිනයේ මෙම කමිටුව හමුවේ කැඳවා ප්‍රශ්න කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත තම දැඩි නොසතුට පළකර ඇත.

ඉදිරි දින කිහිපයේදී ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් වීමට නියමිත බවත් එහිදී බුද්ධි අංශ නිලධාරීන් කොතරම් ප‍්‍රමාණයක් ප‍්‍රශ්න කරාවිදැයි නොදන්නා බවත් පෙන්වා දී ඇති ඔවුන් මාධ්‍ය ඉදිරියේ සිදුකරන මෙම ප්‍රශ්න කිරීම් පසුගිය කලෙක මිලේනියම් සිටි සිදුවීමේදී බුද්ධි අංශ පාවාදීමට එහාගිය පාවාදීමක් බවද පවසා තිබේ.

යම් ප‍්‍රකාශයක් ගැනීමට ඇති නම් ඕනෑම බුද්ධි නිලධාරියෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට විරෝධයක් නැති නමුත් එය කල යුත්තේ රාජ්‍ය ආරක්ෂාව ප‍්‍රමුඛව සලකා බලා බවත් බුද්ධි නිලධාරීන් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ නිරාවරණය කිරීම හා ඔවුනගෙන් අතිශය රහසිගත තොරතුරු ගැන ප‍්‍රශ්න කිරීම් කිරීම නුසුදුසු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධානයට එරෙහිව ඉතා අවදානම් සහගත බුද්ධි තොරතුරු රැස් කිරීමක යෙදෙමින් සිටින මෙරට බුද්ධි නිලධාරීන් මේ ආකාරයෙන් මාධ්‍ය හරහා හෙළි කිරීම මගින් ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත් කරවමින් ඇතැයිද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කර ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙම කමිටුව නියෝජනය කරති ෴

+++++++++++++++++++++++++++++++++++

සහරාන්ලා ගැන සෙවු බුද්ධි නිලධාරියා ආණ්ඩුව සිර කරයි …

(29.05.2019 – 22:47 +0530 – lankacnews.com)

28.05.2019 දින ‘දෙරණ වාදපිටිය’ වැඩසටහන වෙන්වූයේ ත්‍රස්තවාදය සහ අන්තවාදය සම්බන්ධයෙනි. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක අබේසිංහ රන්ජන් රාමනායක මහත්වරුන් මෙම විවාදයට ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් එක්වූ අතර‍ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහ කාංචන විජේසේකර මන්ත්‍රිවරුන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සංවාදය හා එක්විය.

විවාදය ආරම්භ කරමින් කාංචන විජේසේකර මන්ත්‍රිවරයා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම බුද්ධි අංශ ප්‍රධානීන් ඉන් ඉවත් කර තානාපති සේවයට යෙදවීම වැනි කරුණු තුළින් රටේ ජාතික ආරක්ෂාව රජය විසින් පහතට ඇද දැමීම පිළිබඳ චෝදනා එල්ල කළේය.

විවාදයට එක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ව කරුණු ඉදිරිපත් කළේය. 2018නොවැම්බර් 30 වනදා වවුනතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමේ සිදුවීමේ සිට ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන වල යෙදී සිටි පී.වී.එස්.ජේ. කුමාර නම් රණශූර පදක්කම් වලින් පිදුම් ලැබූ නාවික හමුදා ප්‍රධාන සුළු නිලධාරියා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා මෙහිදී අනාවරණය කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වු මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ එම නිලධාරියා ජාතික ආරක්ෂාව වෙනුවෙන් සංවේදී රාජකාරියක නියැලී ඇති බව නාවික හමුදා මූලස්ථානය විසින් දැනුම් දී තිබියදී එය නොසලකා හරිමින් මේ අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.

එමෙන්ම ඊලාම් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ රජය විසින් ඉස්ලාමීය අන්තවාදය පිළිබඳව ම සොයා බැලීම සඳහා යුධ හමුදා අටවන බුද්ධි බලකාය පිහිට වුව ද එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ තොරතුරු සෙවීමේ කටයුත්තෙන් හමුදා බුද්ධි අංශ ඉවත් කර පොලීසියේ නාලක සිල්වා යටතේ පවතින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එම වගකීම පැවරූ බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා හෙළිදරව් කළේය.

නැගුනු චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල විරෝධතාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් වැඩසටහන පුරාවටම දක්නට නොලැබුණි.

සම්පූර්ණ වීඩියෝව (මිනිත්තු 98) :

+++++++++++++++++++++++++++++++++++

කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයා නිදහස්කර ඔහු අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති හිරේ යවයිද? (28.05.2019)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *