පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි.. සහරාන් සැමරුමට පිලිම..?

(20.05.2019 – 22:18 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය :

‘‘පාස්කු බෝම්බ ප්‍රහාරයට 21 වෙනි දාට මාසයයි. 21 වන දිනයේ සහරාන් හසීම්ගේ හිතවතුන් පිරිසක් සහරාන් වීරයෙකු ලෙස සලකා ඔහුගේ පිලිමයක් ඉදි කළොත් එය නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද? මරාගෙන මැරුණු ත්‍රස්තවාදින් අනුස්මරණය කිරීමේ උත්සවයක් පැවැත්වුණොත් ඒකත් නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද? මේ ආණ්ඩුව සම්මත කළ 2018 අංක 34 දරණ හානිපූරණය සඳහා වන කාර්යාලය පනත අනුව ත්‍රස්තවාදින් සිහිපත් කිරීම සඳහා ස්මාරක ඉදි කිරීම වගේම අනුස්මරණ උත්සව පැවැත්වීමත් නීත්‍යානුකූලයි. එයට නීතියෙන් ආරක්ෂාව සැපයීමටත් පොලීසිය බැදිල ඉන්නවා. ඒ නිසා ජනතාව තව දුරටත් කෝප ගන්වන්නේ නැතුව දැන්වත් ත්‍රස්තවාදය පෝෂණය කරණ දිරිමත් කරණ හානි පූර්ණ කාර්යාල පනත හකුලා ගන්න කියලා අපි ආණ්ඩුව කියනවා.

වෙසක් පෝය දිනයේ දී අධිකරණ ඇමතිනිය අපූරු ප්‍රකාශයක් කළා. ඒ තමයි ‘සමහර භික්ෂුන් වහන්සේලා බුදුන් දේශනා කළ ධර්මයට පිටින් ගිහින් අනුන් විනාශ කිරීමට පෙළෙඹෙනවා’ කියා එතුමිය කිව්වා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට භික්ෂුන් වහන්සේලා ගිය බව අපට නම් ආරංචි වුණේ නෑ. පන්සල් ඇතුලේ පුපුරණ ද්‍රව්‍ය එක් රැස් කළා කියලා පත්තරයකවත් තිබුණේ නෑ. ඒ නිසා මහ සංඝරත්නයට අපහාස නොකර අනුන් විනාශ කළ සමහර භික්ෂුන් වහන්සේලා කවුදැයි එතුමිය දැන් රටට කිව යුතුයි. එහෙම නැත්නම් එතුමිය වෙසක් පුන් පොහොය දිනම මහා සංඝරත්නයට අපහාස කලා වෙනවා. ඒ වගේම සිවුරු සිය ගණනින් මුස්ලිම් අන්තවාදින් සතුව තිබිය දී සිවුරු පොරවා ගත් මුස්ලිම්වරුන් අත්අඩංගුවට පත් වෙද්දී යම් පහර දීමක සිවුරු දරා ගත් අයෙකු දුටු පමණින් ඒ භික්ෂුන් වහන්සේ නමක් කියා තීරණය කලේ කොහොමද කියා අපට කියන්න ඕනේ?

ඒ වගේම භික්ෂු විනය ගැන වෙසක් අනුශාසනා පවත්වන්න එතුමිය කවුද? විසාකා මහ උපාසකාවිය තබා භික්ෂුණි සසුන ඇරඹූ බුදුරජානන් වහන්සේගේ සුළු මව් ප්‍රජාපති ගෝතමියවත් භික්ෂු විනය ගැන කතා කලේ නෑ. මංගල ඇමතිතුමා වගේ ඔබතුමියත් ඇමෙරිකාවෙන් ඔළුව හෝදා ගෙන කියාලයි අපට නම් හිතෙන්නේ. වෙසක් පෝය දවසේ මෙහෙම ප්‍රකාශයක් කළාම බෞද්ධයින්ගේ සිත රිදෙන බව ඔබතුමියට සිහිපත් වුණේ නැද්ද?

මංගල ඇමතිතුමාට වගේම තලතා ඇමතිතුමියටත් ඕනෑ රට ගිනි තියලා විදේශ හමුදා ගොඩ බස්සා ගන්නයි. අගමැතිතුමන්ගේ සිහින සැබෑ කරන්නයි. ඒ නිසා තමයි රට ගිනි ගන්නා ප්‍රකාශ කරන්නේ. ඒ අතරේ එක්සත් ජාතින්ගේ ‘ආර් ටු පි’ නැතිනම් ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ විශේෂ උපදේශිකා කැරන් ස්මිත් ලංකාවේ බෞද්ධයින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි සුළුතරයට හිංසා කරනවා කියා ප්‍රකාශ නිකුත් කරනවා. සුළු ජන කොටස් ආරක්ෂා කිරීමට හමුදා ගොඩ බැස්ස විය යුතු රටවල් තීරණය කිරීම තමයි කැරන් නෝනාගේ වගකීම. බෞද්ධයන්ගෙන් අන් අය බේරා ගන්න ලංකාවට හමුදාවක් යැව්වොත් හොඳයි වගේ කියලා කැරන් නෝනා හිතන කොටම “මෙන්න හාමුදුරුවරු අනුන් විනාශ කරනවෝ” කියලා තලතා නෝනා කෑගහනවා. එහෙම නම් තලතා ඇමතිතුමිය මේ ඉටු කරන්නේ ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් නොවේ ද? එක්සත් ජාතීන්ගේ උවමනාව නොවෙයිද?

ජාතියේ වාසනාවට අපේ රටේ ජනතාව මේ උගුලට අසු වුණේ නෑ. දිගන සිද්ධියේ දී වගේම වයඹ සහ මිනුවන්ගොඩත් පහරදීම් කරලා තිබෙන්නේ මුහුණු බැඳගෙන මෝටර් සයිකල් වලින් ආපු පිටස්තරයින්. ඒ අය කිසි කරදරයක් නැතුව කඩ ගිනි තියලා පැනලා ගියාට පස්සේ පොලිසිය ගමේ ඉන්නා අහිංසකයින් අල්ලා ගෙන හිරේ දානවා. මිනුවන්ගොඩ පන්සලක රැස් වුණු දායක සභාවම කට උත්තරයක් ගන්න කියලා පොලිසියට ගෙන්නා ගෙන හිරේ දැම්මා. ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ ඉදිරිපත් කළාම මහේස්ත්‍රාත්වරයෙකුට කෙතරම් අසාධාරණ ඉදිරිපත් කිරීමක් ලෙසින් පෙනුනත් ඇප දෙන්න බැහැ. ඇප ලබා ගත හැක්කේ ඊට සුවිශේෂී හේතුවක් දැක්වීමෙන් පමණයි. එවැනි බරපතළ නීතියක් යටතේ පොලිසිය අහිංසකයෝ ටික ඉදිරිපත් කරලා අත පිහදාගෙන ඉන්නවා ඔන්න අපි අපරාධකරුවන් ඇල්ලුවා කියමින්. අහිංසක ජනතාව දිගන දී වගේම හිරකූඩු වලට ගාල් කරණ අතරේ අනික් පසින් ආණ්ඩුව විපක්ෂයට ඇඟිල්ල දිගු කරමින් සිටිනවා.

දිගන සිද්ධියට අද වෙන තුරු කිසිවෙකුට නඩු දාලා නෑ. නඩු දාල නෑ නෙමෙයි නඩු දාන්න බෑ. ඇයි? ඇත්ත අපරාධකරුවන්ට පැනලා යන්න ඉඩ දීලා අල්ලා ගත්තේ කිසි සම්බන්ධයක් නැති අහිංසකයින්. මේ වගේම ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ උසාවියට ඉදිරිපත් කරලා මාස ගාණක් හිරේ තියාගෙන අන්තිමට නිදහස් කලා. එදා හවස් වරුවේ බුදු පිළිම කඩනවා කියන ආරංචියට, දිගනට හලාවතින් වැඩමකරපු ආරච්චිකුඹුරේ සෝභිත හාමුදුරුවන් ගෙදර යන්න බස් නැති හින්දා අමිත් වීරසිංහගේ ගෙදර රැයක් නතර වුණා. මහ රෑ පොලිසියෙන් පැනලා ගෙදර හිටිය ඔක්කෝම අල්ලා ගෙන ගිහින් උසාවියට ඉදිරිපත් කළා. නාලක සිල්වා හාමුදුරුවන්ට පා පහරකුත් ගහල තමයි උසාවියට ඉදිරිපත් කලේ. අද ඔය නාලක ද සිල්වා ඇවිදගන්න බැරිවෙලා තියෙන්නේ සිවුරට පය තිබ්බ නිසයි කියලා මේ වෙසක් සතියේ අපි වගකීමෙන් ප්‍රකාශ කරණවා. උසස් පෙල ලියන්න හිටිය පොඩි හාමුදුරුවන් හිරෙන් නිදහස් වුණේ මාස අටකට පස්සේ. ඔන්න පොලිසියේ කෙරුවාව.’’

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

20.05.2019

+++++++++++++++++++++++++++++++++++

රත්නපුර උණුසුම්..අත්අඩංගුවට ගත් ත‍්‍රස්තයන් නිදහස් කිරීමට දේශපාලන බලපෑම් (20.05.2019)

https://www.youtube.com/watch?v=Giyx4IJK8xc

***************************************

ජර්මානු ජාතික සංචාරකයන් කළ සිසිල් බීම දන්සල

(21.05.2019 – 08:35 +0530 – sinhala.adaderana.lk)

ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී දින දෙකක් පුරා (19 සහ 20) වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් පවත්වා ඇත.

දඹුල්ල විහාර හන්දිය තරුණ පිරිස සහ විදේශිකයන් එක්ව මෙය සංවිධානය කර තිබිණි.

ජර්මානු ජාතිකයන් විසින් මේ සඳහා යන වියදම් දරමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය වැඳපුදා ගෙන නැවත ගම්බිම් බලා යන බැතිමතුන් හට සිසිල් බීම ලබා දීම මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී සිසිල් බිම වීදුරුවක් ලබාදෙන විදේශිකයන් සුබ වෙසක් උත්සවයක් යනුවෙන් සැමටම සුභ ප්‍රාර්ථනා කරමින් ලබාදීම සිදුකළහ.

ජර්මානු ජාතික කාන්තාවක් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ විවිධ ගැටුම්කාරී තත්ත්වයක් පැවතුණ ද මේ වන විට රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම නිසා ඔවුන්ට වෙසක් මංගල්‍යය සැමරීමට හැකිව තිබෙන බවය.

එමෙන් ම විදේශීය රටවල සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ඇය ආරාධනාවක්ද කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

***************************************

මා ඔයේ තිබී සොයා ගත් සිම් කාඩ්පත් පුද්ගලික සමාගමකට අයත් බව අනාවරණය වෙයි

(21.05.2019 – 07:45 +0530 – sinhala.adaderana.lk)

මීගමුව කොච්චිකඩේ, පොලිස් වසමට අයත් මා ඔයේ තිබී සොයා ගත් සිම් කාඩ් ප්‍රමාණය 1475 ක් බව පොලීසිය පවසයි.

ඊයේ (20) සවස් කාලයේ දී කොච්චිකඩේ පොලිස් වසමේ ඕවිටියාව, මාඔය අසල කැලෑ ප්‍රදේශයේ දී මෙය සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

කොච්චිකඩේ පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී පොහොර උරයක දමා සඟවා තිබූ එක්තරා ‍පුද්ගලික සමාගමකට අයත් බවයි.

ඉදිරි පරීක්ෂණ කොච්චිකඩේ පොලීසිය විසින් සිදු කරයි.

කෙසේ වෙතත් අද දෙරණ වාර්තාකරු පවසා සිටියේ මෙම ‍සිම් කාඩ් පත් තොගය මාඔයේ මසුන් ඇල්ලීම සඳහා ගිය තරුණ පිරිසකට හමුවී ඇති බවයි.

මෙම සිම් කාඩ් සමඟ මාතර ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ ලිපිනයක් හා දුරකථන අංකයක් තිබී හමු වී ඇති බව ද අද දෙරණ වාර්තාකරු පවසයි.

***************************************

ජනාධිපතිවරණය කල් දැමීමට උත්සා කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානම්

(21.05.2019 – 04:31 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා උත්සාය කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් කටයුතු කරන බව මහාචාර්ය ජී.එල් පීරීස් මහතා පවසයි.

කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍යහමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසී.

වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ලබා ගැනීමටද අපේක්ෂා කරන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ඔක්තොම්බර් 20 දාට පෙර නාමයෝජනා කැඳවන ලෙසට මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා පවසා ඇති බවද ඒ මහතා පවසයි.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ රාජ්‍ය ආයතනවල වෙළඳ දැන්වීම් මංගල සමරවීර අමාත්‍යවරයා තමන්ගේ බූදලයක් සේ ඇතැම් මාධ්‍ය ආයතනවලට ලබාදීම අත්හිටුවා ඇති බවයි.

මංගල අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිඋත්තර ලබා දෙන ප්‍රකාශ විකාශය කළ නාලිකාවලට ඔහු තම අමාත්‍යශයේ දැන්වීම් ලබා නොදෙන බව ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++++++++++++++++

ජනපති ධුරකාලය දීර්ඝ කිරීමට උත්සාහ නොකරන්නැයි සරසවි ඇඳුරන්ගෙන් ඉල්ලීමක්

(20.05.2019 – 19:18 +0530 – sinhala.adaderana.lk)

ජනපතිගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොවිමසන ලෙසට ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මෙම ඉල්ලිම සිදු කළේය.

ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමු කළ ලිපියෙහි සඳහන් වන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව් 129 වැනි වගන්තිය ප්‍රකාරව සිය නිල කාලය සම්බන්ධයෙන් විමසිමට සුදානම් වන බවට විශ්වාසනිය ආරංචි මාර්ග මගින් දැනුවත් වි ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සං‍ශෝධනය සම්මත විමෙන් පසු විධායක ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ ජනාධිපතිවරණය පැවති 2015 ජනවාරි 8 වැනිදා සිට වසර 5 කින්ද නොඑසේනම් 19 සංශෝධනය බලාත්මක කරමින් කථානායකවරයා අත්සන යෙදු 2015 මැයි 15 දින සිට වසර 5 කින්ද යන්න පිළිබඳ මතය විමසිමට සුදානමින් සිටින බවට එම ලිපියේ සඳහන් වෙයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ලිපියේ කරුණු 3ක් පෙන්වා දෙමින් පවසන්නේ මෙම අවස්ථාවේදි තම නිල කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසිම කාලෝචිත නොවන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *