මෙට්‍රෝ රථගාලකට අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පෞද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් ගත් බවට චෝදනා

මෙට්‍රෝ රථගාලකට අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පෞද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් ගත් බවට චෝදනා

වැඩි මිලට කීරි සම්බා විකිණූ වෙළෙඳසැලකට රු. ලක්ෂ 5 ක දඩයක්

ළමා අපයෝජන ඩිජිටල් යුගය සමග වෙනස්වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් (සිරස) කැමරා ශිල්පියාට ඇප


මෙට්‍රෝ රථගාලකට අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පෞද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් ගත් බවට චෝදනා

(01.10.2026 – sinhala.adaderana.lk)

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස ‘මෙට්‍රෝ’ බස් රථගාලක් සඳහා යොදාගත් බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ.

ඒ, අදාළ භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය කළ පැමිණිල්ලකට අනුවය.

කෙසේවෙතත්, පැමිණිල්ල කර දින පහක් ගතවී තිබුණද, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පසුබට වන බවට නිවාස සංකීර්ණ පාලනාධිකාරිය චෝදනා කරයි.

අතුරුගිරිය ‘මෙට්‍රෝ’ බස් රථගාල ඉකුත් සැප්තැම්බර් 29 වනදා විවෘත කෙරුණේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ඒ සඳහා වෙන් කළ භූමිය සුද්ද පවිත්‍ර කර සකස් කිරීම ඉකුත් 26 වනදා සිදු කෙරිණි.

එලෙස භාවිත කර ඇත්තේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100 ක භූමි ප්‍රමාණයක් බවත්, අදාළ පිරිස විසින් එම භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවත් නිවාස සංකීර්ණ පාලනාධිකාරිය පසුව චෝදනා කළේය.

අනතුරුව පාලනාධිකාරිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඊට අදාළව ඊයේ (30) දිනයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසිය හමුවට කැඳවා තිබේ.

+++

@newscenterlk

අතුරුගිරියේ පුද්ගලික ඉඩමක් මාලිමාවේ නගරධිපති රන්ජන් ජයලාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් එක්ව බලහත්කාරයෙන් ලබා ගත්බවට චෝදනා… #ranjanjayalal #asithaniroshan #athurugiriya #milleniumcity

♬ original sound – NewsCenter.lk

+


වැඩි මිලට කීරි සම්බා විකිණූ වෙළෙඳසැලකට රු. ලක්ෂ 5 ක දඩයක්

(01.10.2026 – sinhala.adaderana.lk)

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන්, බදුල්ල නගරයේ වෙළෙඳ ආයතනයකට අධිකරණය විසින් රුපියල් ලක්ෂ පහක (5) දඩයක් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කර ඇති, 2024.12.09 දිනැති අංක 2414/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 90 නියෝගයට අනුව, දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක උපරිම තොග මිල රු. 255 ක් සහ උපරිම සිල්ලර මිල රු. 260 ක් ලෙස නියම කර තිබේ.

මෙම නියෝගය 2024 දෙසැම්බර් 09 වන දින සිට ක්‍රියාත්මක වේ.

අදාළ වෙළෙඳ ආයතනය විසින් කීරි සම්බා කිලෝග්‍රෑම් 5 ක ඇසුරුමක් නියමිත උපරිම සිල්ලර මිල වන රු. 1,300 වෙනුවට රු. 1,850 කට අලෙවි කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක් (1) සඳහා නියමිත රු. 260 වෙනුවට රු. 370 බැගින්, එනම් කිලෝග්‍රෑම් එකකට රු. 110 බැගින් වැඩිපුර අය කර ඇති අතර, කිලෝග්‍රෑම් 5 ක ඇසුරුම සඳහා වැඩිපුර අය කර ඇති මුළු මුදල රු. 550 කි.

අදාළ නඩුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 500,000 ක දඩයක් නියම කරන ලදී.

පාලන මිලක් නියම කර ඇති සහල් වර්ග අලෙවි කිරීමේදී, ගැසට් පත්‍රය මඟින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා මුදල් අය කිරීමෙන් වළකින ලෙස පාරිභෝගික අධිකාරිය වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කර සිටී.

පාලන මිල ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද ඔවුන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ සහල් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් අදාළ සහල් වර්ගය සහ ඊට නියම කර ඇති උපරිම සිල්ලර මිල පිළිබඳව සැලකිලිමත් විය යුතු බවය.

පාලන මිල ඉක්මවා සහල් හෝ භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳ තොරතුරු, 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කර සිටී ෴


ළමා අපයෝජන ඩිජිටල් යුගය සමග වෙනස්වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි

(01.10.2026 – sinhala.adaderana.lk)

මෙරට සිදුවන ළමා අපයෝජන ඩිජිටල් යුගය සමග වෙනස්වීමට භාජනයවී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

පසුගිය වසර කිහිපය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තාවූ පැමිණිලිවලින් නිරීක්ෂණවී ඇති බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කළාය.

විශේෂයෙන්ම ළමයින් සමාජ මාධ්‍ය භාවිතය තුළ හිංසනයට ලක්වීම, අඛණ්ඩව පාසල් නොයැවීම ඉහළයාම, මව්වරුන් විදේශගතවීම, පවුල් ආරවුල් සහ දෙමාපියන් දික්කසාද වීම, ළමුන් විසින් අනෙක් ළමුන්ගේ ගරුත්වයට හානිවන ලෙස කටයුතු කිරීම හා අපයෝජන සිදුකිරීමට පෙළඹවීම වැනි ගැටලු ඉහළයාමේ ප්‍රවණතාවය මත ළමා අපයෝජන වර්ධනයවීමක් දක්නට ලැබේ.

තවද, ළමුන් වැඩි වශයෙන් ඩිජිටල් තිර භාවිත කිරීම හමුවේ ඔවුන්ගේ ළමා කාලය අහිමිවීමත්, අධ්‍යාපන කෙරේ ඇති අවධානය අඩුවීමත් යන කාරණා මත සවිමත් ළමයෙකු නිර්මාණය කිරීමත් අද වන විට අප හමුවේ අභියෝගයක් වී ඇත.

ළමයින්ට එරෙහි සිදුවන සියලුම ආකාරයේ අපයෝජනය (කායික, ලිංගික, මානසික හා නොසලකාහැරීම) වලට ගොදුරුවීම වළක්වාගැනීම සහ එවැනි අපයෝජනයට ගොදුරුවූ ළමුන් ආරක්ෂාකිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛ වගකීමක් වන අතර ඒ සඳහා නිරන්තරයෙන් ඇප කැප වී සිටින බව ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය දැනුම්දෙයි.

එසේම ළමා අපයෝජනයන් සිදුවීම් කිසිවිටක සමතයකට පත් කිරීම කිසිම කෙනෙකුට සිදු කළ නොහැකි අතර එවැනි සිදුවීම් නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම්දීමට කටයුතු කරන ලෙස සභාපතිවරිය ඉල්ලා සිටියි.

ළමයින් ආරක්ෂා කිරිමේ ප්‍රථම වගකීම තම පවුලෙන් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින අතර සියලු ළමයින් ආරක්ෂා කිරීමට අප සැම කටයුතු කළ යුතුය ෴


රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් (සිරස) කැමරා ශිල්පියාට ඇප

(01.10.2026 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදුන් බවට වන චෝදනා මත අත්අඩංගුවට ගත් කැමරා ශිල්පියා පොලිස් ඇප මත මුදාහැර තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් ඔහු අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවක් සඳහා පෙනී සිටීමෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙමින් සිටියදී ඒ මහතාට ආරක්ෂාව සැපයූ නිලධාරියෙකුගේ හිසට, පෞද්ගලික මාධ්‍ය ආයතනයක (සිරස) කැමරා ශිල්පියෙකු විසින් පහරදීමක් සිදුකර තිබුණි.

අදාළ ආරක්ෂක නිලධාරියා පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේ දී එම කැමරා ශිල්පියා අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔහු මෙලෙස පොලිස් ඇප මත මුදාහැර ඇත.

+++

සිරස රනිල්ට ගැහුවෙ ඇයි? (30.09.2026)

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤