අරවින්ද හා බිරිඳගේ රු. මිලියන 40 ක ඇප මුදල් රාජසන්තක කෙරේ
නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801 ක් පාරිභෝගික අධිකාරිය භාරයට
ඇප ලැබුණත් නාමල් රාජපක්ෂ යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව
අරවින්ද හා බිරිඳගේ රු. මිලියන 40 ක ඇප මුදල් රාජසන්තක කෙරේ
(30.09.2026 – sinhala.adaderana.lk)
ගුවන් සේවා සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඇප තැබූ මුදල් රාජසන්තක කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ සැකකාරියක වන ප්‍රියංකා වෙනුවෙන් අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගි නියෝමාලි විජේනායක තබා ඇති ඇප මුදල් මෙලෙස රාජසන්තක කර ඇත.
ප්‍රියංකා නියෝමාලි විජේනායක රුපියල් මිලියන 20 බැගින් වූ ඇප දෙකක් (2) මත ඇප මත මුදා හැර තිබූ අතර, ඒ අනුව අද (30) මිලියන 20 ක් ගෙවන බව ඇපකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා දැන්වීය.
ඒ අනුව එම මුදල අද (30) ගෙවීමට අවසර හිමිවූ අතර, ඉතිරි මුදල ගෙවීමට ඔක්තෝබර් 14 වැනිදා දක්වා කල් හිමිවිය.
එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදු කරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රියංකා නියෝමාලි විජේනායකට අධිකරණය මග හැරීම නිසා වරෙන්තු නිකුත් කර ඇති අතර, එය ජාත්‍යන්තර පොලීසිය වෙතද යොමුකිරීමට පියවරගෙන තිබේ.
ඇප ලබා විදේශ ගත වී සිටින අදාළ සැකකාරිය, ඔහුගේ සැමියා වන කපිල චන්ද්‍රසේන මිය යාමට පෙරද අධිකරණය මග හැර වරෙන්තු නිකුත් වී ඇති බැවින් ඇපකරුවන්ට සහනයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත.
දෙවන (2) සැකකාරිය තම සැමියා සියදිවි නසා ගැනීම සහ ඇයගේ ජීවිතයට ඇති අසීමිත බිය හේතුවෙන් මෙරටට පැමිණීමේ බියෙන් පසුවන බවත්, මේ මොහොතේ සැකකාරිය තම පාලනයෙන් තොර බවත් ඇපකරුවන් අධිකරණයට දන්වා තිබේ.
මෙම නඩුවේ තෙවන සැකකරු වන හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ යන අයටද ජාත්‍යන්තර වරෙන්තුවක් මේ වනවිට නිකුත් කර ඇත ෴
නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801 ක් පාරිභෝගික අධිකාරිය භාරයට
(30.09.2026 – sinhala.adaderana.lk)
පිටකොටුව ප්‍රදේශයේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ විශේෂ වැටලීමකදී බෝතල් 801 ක් නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන තිබේ.
අදාළ බෝතල් සම්බන්ධයෙන් විශේෂ වැටලීම් හා විමර්ශන සිදුකර ඇති අතර, විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
පානීය ද්‍රව රැගෙන යාම සඳහා භාවිත කරන නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය අදාළ වේ.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත එවැනි බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබිය යුතු අතර, ආනයනික බෝතල් SLSI ආනයන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අලෙවියට අනුමත කර තිබීම අවශ්‍ය බව එම අධිකාරිය පවසයි.
මෙවැනි බෝතල් මිලදී ගැනීමේදී අදාළ ප්‍රමිති හා නීතිමය අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කර ගන්නා ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දී තිබේ.
වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ තොරතුරු 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දිය හැකිය ෴
ඇප ලැබුණත් නාමල් රාජපක්ෂ යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව
(30.09.2026 – sinhala.adaderana.lk)
ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (30) ඇප මත මුදාහැරුණද ඔහුට බන්ධනාගාරයෙන් පිටව යාමට අවස්ථාවක් නොලැබුණි.
ඒ අදාළ ගනුදෙනුවටම අදාළව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවට අදාළව නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බැවින්ය.
මෙම එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (30) යළි කැඳවීය.
එහිදී දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මන්ත්‍රීවරයාව ද බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට කරුණු දැක්වීය.
“ස්වාමිනි, මෙම ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් එකම ක්‍රියාවලියකදී අනාවරණය වන වැරදි 02 ක් නිසා තමයි අල්ලස් නඩුව සහ මුදල් විශුද්ධීකරණ නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව ඒකාබද්ධ විමර්ශනයක් කරන්නේ.
එබැවින් එම චෝදනා දෙකටම අදාළව එකම අධිචෝදනා පත්‍රයක් ගොනුකරන්න අපි බලාපොරොත්තු වෙනවා”.
අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.
“ස්වාමිනි, මෙම සිදුවීමට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව තමයි දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත්කර තිබෙන්නේ.
ඒ නිසා තමයි මහේස්ත්‍රාත්වරයාට ඇප දීමට බලයක් නැත්තේ. නමුත් මේ නඩුවට අදාළව එවැනි තත්ත්වයක් නැහැ. මෙහිදී මාගේ සේවාදායකයාට ඇප ලබාදීම සම්බන්ධයෙන් සාමාන්‍ය ඇප පනත සලකා බැලිය යුතුයි. ඇප පනත ප්‍රකාරව ඇපදීමයි රීතිය. ඇප ලබා නොදීමයි ව්‍යතිරේකය.
එබැවින් මගේ සේවාදායකයාට ඇප ලබා නොදීමට ඇප පනතේ 14 වන වගන්තිය යටතට වැටෙන හේතුවක් නැහැ. ඔහු රටින් පැනයන කෙනෙක් නොවෙයි. මේක බලය තියෙන කාලේ කරපු බවට එල්ලවන චෝදනාවක්. දැන් බලය නැති නිසා එවැනි වැරැද්දක් යළි කරයි කියන්නත් බැහැ.
ඊළඟට මේ නඩුවේ සාක්ෂිකාර නිමල් පෙරේරා මගේ සේවාදායකයා එක්ක ජන්ම වෛරයෙන් ඉන්නේ. ඒ නිසා අපිට සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නත් බැහැ. මේ සියලු කරුණු සලකා බලා ඕනෑම කොන්දේසියක් යටතේ මාගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා”.
එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ද ප්‍රතිචාර දැක්වීය.
“ස්වාමිනි, මේ නඩුවේ ඇප ලබාගත් වෙනත් සැකකරුවන් රට ගිහින් තිබෙන නිසා මොහු විදෙස්ගත නොවෙයි කියලා සහතිකයක් දෙන්න මට බැහැ.
ඊළඟට අපි සාක්ෂිකරුවෙක් කිරීමට තීරණයකර තිබෙන නිමල් පෙරේරා ජීවිත තර්ජන නිසයි රටහැර ගොස් තිබෙන්නේ. ඔහු ප්‍රකාශයක් දෙන්නත් එන්න බැහැ කිව්ව නිසා විමර්ශන නිලධාරින් ඔස්ට්‍රේලියාවට ගිහින් මෙල්බන් කොන්සියුලර් කාර්යාලයේදීයි ප්‍රකාශ ලබාගත්තේ.
ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ මේ සැකකරුගේ නම සෘජුව සඳහන්ව නැතත්, පාතාලය හරහා තමන්ගේ ජීවිතයට තර්ජන එල්ලකර ඇති බව සඳහන් වෙනවා. මම ඒ කව්ද කියලා නම්ගම් කියන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොහුට ඇප ලබාදීම තුළ අධිකරණ ක්‍රියාවලියට බලපැම් වෙන්න පුළුවන්.
ඒ වගේම ස්වාමිනි මේ වෙද්දිත් මේ සැකකරු ඔක්තෝබර් 13 වනතුරු රක්ෂිත බන්ධනාගාරගත වී තිබෙන්නේ. මේ නඩුවට ඇප ලබාදුන්නා කියලා ඔහුට එළියට එන්න බැහැ. කොහොම වුණත් ස්වාමිනි ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඇප ලබා නොදීමට කරුණු තෘප්තවෙලා නැහැ කියලා ඔබතුමා සිතනවානම්, ඔබගේ අභිමතය පරිදි කටයුතු කිරීමට අපි විරුද්ධ නැහැ.”
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළේය.
එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බවටද කොන්දේසි පැනවිණි.
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴