රු. ලක්ෂ ගාණක මුදල් සහ තියුණු ආයුධ සමඟ කාන්තාවක ඇතුළු 9 ක් මාට්ටු
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් සොයා විශේෂ වැටලීමක්
කිලෝ 3 කට ආසන්න මත්ද්‍රව්‍ය සමග 18 හැවිරිදි මල්ලී මාට්ටු – 29 අයියා පැන ගිහින්
බෞද්ධ ආගමික ස්ථාන හින්දුකරණය කරනවා – කොටි ඩයස්පෝරාවට ඕන දේ තමයි මේ වෙන්නේ (27.09.2026)
අම්බලන්ගොඩ බද්දේගම වෙඩි තැබීම ‘කරන්දෙණියේ සුද්දා’ගේ වැඩක් බවට හෙළිවෙයි – මියගියේ ‘කළු නෝනා’ සහ ත්‍රීරෝද රථ රියැදුරු
(27.09.2026 – hirunews.lk)
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ දී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ පදිංචි ‘කුඩාවිදානගේ සුසිතා ඉරෝෂනී’ නොහොත් ‘කළු නෝනා’ (47) නමැත්තිය සහ ඇය ගමන් කළ ත්‍රීරෝද රථයේ රියැදුරු බව පොලිසිය පවසනවා.
මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවකු බව කියන විදෙස්ගතව සිටින ‘සෝබන හන්දි ජයලත් ද සිල්වා’ හෙවත් ‘කරන්දෙණියේ සුද්දා’ යන අයගේ අනුගාමිකයින් විසින් සිදුකළ එකක් බවට මේ වන විට තොරතුරු හෙළිව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇති ‘කළු නෝනා’ නමැත්තිය ‘ලන්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා’ නොහොත් ‘ලොකුපැටී’ නමැති සංවිධානාත්මක අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුගේ පාර්ශ්වයේ තැනැත්තියක බවට හෙළිව ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
මෙම සැකකාර ‘ලොකු පැටී’ යන අය ඉකුත් මැයි මස 04 වැනිදා විදෙස් ගතව සිට මෙරටට ගෙන්වා ගත් අයෙක්. ඔහු ඉකුත් 2024 වසරේ අතුරුගිරියේදී ‘ක්ලබ් වසන්ත’ යන අය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ දී අද (27) උදෑසන සිදුවූ මෙම වෙඩිතැබීමේ සිද්ධියේදී ත්‍රීරෝද රථය පැදවූ කුලීගොඩ, අම්බලන්ගොඩ පදිංචි ‘ලලිත් සුසන්ත ද සිල්වා’ යන අය ද එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම වෙඩි තැබීමට මෝටර් රථයකින් පුද්ගලයන් සිව් දෙනකු (4) පැමිණ ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
මෙම වෙඩි තැබීම සදහා ටී-56 ගිනි අවි දෙකක් (2) රැගෙන විත් ඇති අතර, ඉන් එක් (1) අවියකින් වෙඩිතබා ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම, සැකකරුවන් අවස්ථා කිහිපයකදී මෝටර් රථ කිහිපයකට ද මාරු වී ඇති බව ද සදහන්.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ‘කළු නෝනා’ නමැත්තියගේ මව වන රතුකුරුස නිවාස, ගොඩහේන, අම්බලන්ගොඩ පදිංචි ‘ඩී.එන්.ජී. මල්ලිකා’ යන අය මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මියගිය කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කිරිමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථයේ මග හරස් කරමින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් කිසියම් අයකු මෙම වෙඩිතැබීම සිදුකර පලා යන අයුරු සීසීටීවී දර්ශනවලද පටිගතව තිබුණා ෴
රු. ලක්ෂ ගාණක මුදල් සහ තියුණු ආයුධ සමඟ කාන්තාවක ඇතුළු 9 ක් මාට්ටු
(27.09.2026 – sinhala.adaderana.lk)
රු. ලක්ෂ ගාණක මුදල් සහ තියුණු ආයුධ ළඟ තබාගෙන සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කාන්තාවක (1) ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු (9) යාපනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මුර සංචාරයක නිරතව සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් යාපනය නගරයට ආසන්නයේදී මෝටර් රථයකින් (1) සහ යතුරුපැදි දෙකකින් (2) ගමන් කරමින් සිටි මෙම පිරිස පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී අදාළ මෝටර් රථය තුළ තිබී තියුණු ආයුධ කිහිපයක් සහ රුපියල් ලක්ෂ නවයක (9) මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ පොලීසිය, අදාළ සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් ගමන් කළ මෝටර් රථය (1) සහ යතුරුපැදි දෙක (2) ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි ෴
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් සොයා විශේෂ වැටලීමක්
(27.09.2026 – sinhala.adaderana.lk)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ විමර්ශන වැඩසටහනකදී නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවූ ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ.
පසුගිය සතිය තුළ සිදුකළ මෙම මෙහෙයුමේදී සමස්ත පරීක්ෂා කිරීම් 144 ක් සිදුකර ඇති අතර, ඊට නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධ වැටලීම් 96 ක් සහ ළදරු කිරි බෝතල් සම්බන්ධ වැටලීම් 48 ක් ඇතුළත් වේ.
2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/42 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළවූ විධාන අංක 96 අනුව, 2026 අප්‍රේල් 01 දින සිට නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය ද, පොලිමර් ද්‍රව්‍යවලින් නිෂ්පාදිත ළදරු කිරි බෝතල් සඳහා SLS 1306 ප්‍රමිතිය ද අදාළ වේ.
එමෙන්ම මේ යටතේ දේශීයව නිෂ්පාදනය කරන අදාළ භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කරන SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කර ඇත.
කෙසේ වෙතත් ආනයනික නිෂ්පාදන සඳහා SLS ලාංඡනය තිබීම අනිවාර්ය නොවන අතර, එම භාණ්ඩ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ යටතේ පරීක්ෂා කර අලෙවිය සඳහා අනුමත කර තිබිය යුතුය.
විධාන අංක 83 යටතේ බිල්පත් සහ ඉන්වොයිසි පරීක්ෂා කරමින් භාණ්ඩවල මූලාශ්‍රය හඳුනාගැනීමට කටයුතු කර ඇති අතර, වෙළෙන්දාගේ සිට ආනයනකරු හෝ නිෂ්පාදකයා දක්වා වූ මුළු සැපයුම් දාමය ඔස්සේම ඉදිරි විමර්ශන මෙහෙයවනු ලැබේ.
දේශීය භාණ්ඩ මිලදී ගැනීමේදී SLS ලාංඡනය පරීක්ෂා කරන ලෙසත්, ආනයනික භාණ්ඩයක SLS ලාංඡනය නොමැති පමණින් එය නීති විරෝධී යැයි නිගමනය නොකරන ලෙසත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම වෙළෙඳුන් සහ ආනයනකරුවන් භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර අදාළ ප්‍රමිති සහ නීතිමය අනුකූලතාව තහවුරු කරගත යුතු බවට දැනුම් දී ඇත.
සැකකටයුතු භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇමතීමට පහසුකම් සලසා තිබේ ෴
කිලෝ 3 කට ආසන්න මත්ද්‍රව්‍ය සමග 18 හැවිරිදි මල්ලී මාට්ටු – 29 අයියා පැන ගිහින්
(27.09.2026 – hirunews.lk)
තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 800 ක් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.
මෙම වැටලීම සිදුකර ඇත්තේ පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (26) පස්වරුවේයි.
පොලිසිය සඳහන් කළේ, මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත, පළපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 18 හැවිරිදි ස්කිපර්වරයෙකු ලෙස කටයුතු කරන අයෙකු බවයි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ 29 හැවිරිදි වැඩිමහල් සහෝදරයා විසින් නිවසේ සඟවා තිබූ තවත් හෙරොයින් තොගයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙන බවත් සඳහන්.
ඒ අනුව පොලිස් නිලධාරීන් බෙලිඅත්ත, පළපොත ප්‍රදේශයේ පිහිටි එම නිවස පරීක්ෂා කිරීමේදී ජාවාරම් කිරීම සඳහා රැගෙනවිත් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 800 ක් සොයාගෙන තිබෙනවා.
එම නිවසේ හිමිකරු ඒ වනවිටත් ප්‍රදේශයෙන් පළාගොස් සිට ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
අත්අඩංගුවට ගත් හෙරොයින් සහ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු තංගල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක සිදුකරනවා ෴
බෞද්ධ ආගමික ස්ථාන හින්දුකරණය කරනවා – කොටි ඩයස්පෝරාවට ඕන දේ තමයි මේ වෙන්නේ (27.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴