පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 2 ක්

පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 2 ක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

කතානායක හොදටම හිරවෙයි.. නිල නිවසේ භාරකරු අල්ලසෙන් ප‍්‍රශ්ණ කරයි..


පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 2 ක්

(26.09.2026 – sinhala.adaderana.lk)

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2 ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද එම රෝහල වෙත පැමිණීමට නියමිතව තිබේ.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ද සිද්ධිය සැලවූ පසු රෝහලට පැමිණි අතර, එහිදී හෙතෙම සඳහන් කර සිටියේ, සිදුවූ හානිය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවය.

එමෙන්ම මෙම පිපිරීමෙන් රෝහලේ සිටි රෝගීන්ට හානියක් සිදුවී නොමැති බවත් හෙතෙම තහවුරු කළේය.

රෝහලේ මුළුතැන්ග පරිශ්‍රයේ අද (26) අලුයම 4 ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඉන් බරපතළ තත්ත්වයෙන් සිටි තිදෙනෙකු (3) දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.

රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවීමකින් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙය සිදුවන්ට ඇති බවට සැකකෙරෙන අතර, ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

පිපිරීම හේතුවෙන් අසල පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද දැඩි ලෙස හානි සිදුවිය.

මෙම පිපිරීමෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ලවී තිබුණද, රෝහලේ කොටසක එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කළේය.

කෙසේ නමුත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවීමට පියවර ගත්තේය.

+


සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

(26.09.2026 – hirunews.lk)

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) නිකුත් කර තිබෙනවා.

අදාළ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් වේ නම් ඒ සඳහා ක්ෂණික ඇමතුම් අංකය 1911 සහ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 011 278 4208, 011 278 4537, 011 278 5922 වෙත ඇමතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.


කතානායක හොදටම හිරවෙයි.. නිල නිවසේ භාරකරු අල්ලසෙන් ප‍්‍රශ්ණ කරයි..

(26.09.2026 – lankacnews.com)

කථානායක නිල නිවසට සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම නිල නිවසේ භාරකරු ලබන සතියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

අදාළ සියලු ලියකියවිලි ද සහිතව නිල නිවාස භාරකරු කොමිසමේ විශේෂ විමර්ශන අංශය වෙත ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) චින්තා බුලත්සිංහල මහත්මිය වෙත දැනුම් දී ඇත.

ඒ අනුව, කථානායක නිල නිවස සම්බන්ධයෙන් නඩත්තු කෙරෙන සේවක ලේඛන ඇතුළු සියලුම ලේඛන මෙන්ම විදුලිය, ජලය සහ අනෙකුත් සේවා ගෙවීම්වලට අදාළ බිල්පත් සහ ලේඛන විමර්ශන නිලධාරීන් හමුවට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් නියෝග කර තිබේ.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

කථානායකවරයාට ලබා දී ඇති පහසුකම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) චින්තා බුලත්සිංහල මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් තිදෙනෙකු (3) ගෙන් අල්ලස් කොමිසම මීට පෙරද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මේ අතර, කථානායක නිල නිවසෙන් බැහැර කර ඇතැයි පැවසෙන ඇඳ ඇතිරිලි, තුවා සහ කොට්ට උර ඇතුළු භාණ්ඩ තොගයක් පිළිබඳ ලේඛනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහට ලක්විය.

පැමිණිලිකාර නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් ද අල්ලස් කොමිසම පසුගියදා දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගත් අතර, එම දූෂණ සහ අක්‍රමිකතාවලට අදාළ ලේඛන රැසක් ද ඔහු විසින් විමර්ශන නිලධාරීන් වෙත භාර දී ඇත ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤