‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ BMICH හිදී අදින් (25) ඇරඹෙයි

‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ BMICH හිදී අදින් (25) ඇරඹෙයි

‘ලන්ච් ෂීට්’ සහ ‘සිලි සිලි බෑග්’ සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් : උල්ලංඝන 104 ක්

අත්අඩංගුවට ගත් බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්ට ඇප

TIN සහතිකය නොවැම්බර් 01 වැනිදා සිට සේවා රැසකට අනිවාර්ය කෙරේ

බස්නාහිර හැර සෙසු පළාත්වල අද (25) සිට ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවයි

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට

‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ සමාගමේ හිටපු සභාපති අල්ලස් දැලේ

වැඩි මිලට වතුර වික්ක ඇල්ලේ හෝටලයකට රුපියල් මිලියනයක දඩයක්


‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ BMICH හිදී අදින් (25) ඇරඹෙයි

(25.09.2026 – hirunews.lk)

‘ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය’ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ අද (25) සිට සුවහසක් පාඨකයින් සඳහා විවර කෙරෙනවා.

ඒ අනුව අද (25) සිට ඔක්තෝබර් මස 04 වැනිදා දක්වා උදෑසන 09:00 සිට රාත්‍රී 09:00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති.

මෙහිදී පාඨකයින් හට නවකතා, කෙටිකතා, පද්‍ය, සිනමා, පර්‍යේෂණ, අධ්‍යාපන ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ රචනා කරන ලද දහස් ගණනක් කෘති, විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකි අතර, පොත් එළිදැක්වීම්, කතුවර හමු සඳහාද අවස්ථාව හිමිවනවා.

මෙවරත් පොත් ප්‍රදර්ශනය සඳහා සභභාගීවන පාඨකයින්ගේ පහසුව පිණිස විශේෂ බස් සේවාව ක්‍රියාත්මක වෙනවා.

වර්ෂයක් පාසා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ලක්ෂ සංඛ්‍යාත පාඨකයින් සහභාගි වන අතර, මෙවරත් විශාල පාඨකයින් පි‍රිසක් සහභාගි වනු ඇති බවටයි සංවිධායකයින් විශ්වාසය පළ කරන්නේ.

+++

+


‘ලන්ච් ෂීට්’ සහ ‘සිලි සිලි බෑග්’ සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් : උල්ලංඝන 104 ක්

(24.09.2026 – hirunews.lk)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 සැප්තැම්බර් 15 දින, Lunch Sheets (ලන්ච් ෂීට්) සහ LDPE/LLDPE වර්ගයේ ‘සිලි සිලි බෑග්’ සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

දිස්ත්‍රික් කාර්යාලවලින් ලැබී ඇති මූලික වාර්තා අනුව, දිස්ත්‍රික්ක 22 කින් උල්ලංඝන / සාර්ථක වැටලීම් 104 ක් වාර්තා වී ඇති බවයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

‘සිලි සිලි බෑග්’වලට මුදල් අය නොකිරීම සහ Lunch Sheets වල නිෂ්පාදකයන්ගේ තොරතුරු සඳහන් නොකර බාල Lunch Sheets අලෙවි කිරීමට කටයුතු කිරීම යටතේ මෙම වැටලීම් සිදු කළ බවයි අධිකාරිය පවසා සිටියේ.

ඒ අනුව Lunch Sheets සම්බන්ධ උල්ලංඝන 43 ක් ද ‘සිලි සිලි බෑග්’ සම්බන්ධ උල්ලංඝන 58 ක් ද වෙනත් පොලිතින් ආශ්‍රිත උල්ලංඝන 3 ක් ද
කරන ලද විශේෂ වැටලීම්වලින් අනාවරණය කර ගත හැකි වු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

2019.11.29 දිනැති අංක 2151/58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 70 අනුව Food Wrappers / Lunch Sheets සඳහා නියම කර ඇති ලේබල් කිරීමේ අවශ්‍යතා පිළිපැදිය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

මෙම විශේෂ වැටලීම්වලදී අදාල නියමයන්ට අනුකූල නොවන Lunch Sheets තොග දිස්ත්‍රික්ක රැසකින් අනාවරණය කරගෙන, අධිකරණ ක්‍රියාමාර්ග සඳහා නඩු භාණ්ඩ ලෙස භාරයට ගත් බව ද අධිකාරිය දන්වා සිටියා ෴


අත්අඩංගුවට ගත් බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්ට ඇප

(25.09.2026 – hirunews.lk)

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කල එම්.කේ.බී. දිසානායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (25) නියෝග කළා.

සැකකරුට රු. ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් (2) නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරිමට ද නියෝග කළා.

‘දැහැමි නිවහනයි අපේකම රැඳි හෙට දිනයි’ යන තේමාව යටතේ පොතක් මුද්‍රණය කිරීම සඳහා ඔහුගේ හිතවත් පුද්ගලයකුට ලබාදීම හේතුවෙන් රුපියල් 4,790,000 ක මුදලක් රාජ්‍යයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව සැකකරු අත්අඩංගුට ගෙන තිබුණා.

දෙසැම්බර් 18 නඩුව නැවත කැඳවිමට නියමිතයි ෴


TIN සහතිකය නොවැම්බර් 01 වැනිදා සිට සේවා රැසකට අනිවාර්ය කෙරේ

(25.09.2026 – hirunews.lk)

2026 නොවැම්බර් මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මුල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම, නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම, වාහන ලියාපදිංචි කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සහ සමාගම් කොටස් පැවරීමයන සේවාවන් ලබා ගැනීමේදී TIN සහතිකය ලබා දීම අනිවාර්ය වෙනවා.

මෙම නව පියවර ඔස්සේ මෙරට බදු පදනම පුළුල් කිරීමටත්, මුල්‍ය ගනුදෙනු විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාමටත් අපේක්ෂා කෙරෙනවා ෴


බස්නාහිර හැර සෙසු පළාත්වල අද (25) සිට ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවයි

(25.09.2026 – hirunews.lk)

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් අද සිට මේ මස 28 දක්වා, බස්නාහිර හැර අනෙකුත් සියලු පළාත්වල, ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම කටයුතු සිදුකරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් පසු මේ මස 29 වන අගහරුවාදා සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබාදීමට පද්ධතිය සක්‍රීය කරනු ඇති ෴


හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට

(25.09.2026 – sinhala.adaderana.lk)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ වන ‘චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි’ යන අය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවකට අදාළව විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස අධිකරණයේ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාදීමේ චෝදනාවකට අදාළවය.

සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴


‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ සමාගමේ හිටපු සභාපති අල්ලස් දැලේ

(25.09.2026 – sinhala.adaderana.lk)

‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ සමාගමේ හිටපු සභාපතිවරයෙකු වූ ‘උදේනි ජයරත්න දසනායක’ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සමාගමේ කම්කරු තනතුර සඳහා අනුමත ප්‍රමාණය ඉක්මවා, බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව ‘අනියම් කම්කරු’ තනතුර සඳහා 2023 / 2024 වසරවල සේවකයන් බඳවා ගැනීම සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

එම බඳවාගැනීමෙන් මේ දක්වා රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ තිස් අටදහස් හයසිය පනහයි ශත හතලිස් දෙකක (34,438,650,42) ක මුදලක් එකී අනියම් කම්කරුවන්හට වැටුප් ගෙවීමට සැලැස්වීමෙන්, එම පුද්ගලයින්ට අයුතු සහගත වාසියක් සිදුකර දූෂණය නැමැති වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම පවසයි.

අදාළ සැකකරු අද (25) පෙ.ව. 09:25 ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴

(25.09.2026 – hirunews.lk)

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි දසනායක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (25) නියෝග කළා.

සැකකරුට රු. ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2 ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

තවද සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි මෙලෙස නියෝග කළේ.

ඒ අනුව, නොවැම්බර් 20 වැනිදා නඩුව යළි කැඳවිමට නියමිතයි ෴


වැඩි මිලට වතුර වික්ක ඇල්ලේ හෝටලයකට රුපියල් මිලියනයක දඩයක්

(24.09.2026 – sinhala.adaderana.lk)

නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් මිලියනයක (1,000,000) දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදී මෙම අක්‍රමිකතාව අනාවරණය වී ඇති අතර, අදාළ නඩුව ඊයේ (23) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණි.

අංක 18, දුම්රියපොළ පාර, ඇල්ල යන ස්ථානයේ පිහිටි පුද්ගලික ආයතනක සිදුකළ වැටලීමේදී, එවකට ක්‍රියාත්මක වූ 2025 අප්‍රේල් 01 වනදා නිකුත් කළ අංක 2430/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 93 දරන නියෝගය යටතේ ලීටර් 1 ක පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 100 ක් ලෙස නියම කර තිබියදී, එය රුපියල් 200 කට අලෙවි කර තිබෙන බව අනාවරණය වී තිබුණි.

අදාළ නඩුවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුවයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1,000,000 ක දඩයක් නියම කර ඇත.

කෙසේ වෙතත්, මෙම නඩුවට අදාළ රුපියල් 100 ක මිල වර්තමාන උපරිම සිල්ලර මිල නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.

දැනට ක්‍රියාත්මක 2026 ජුනි 10 වනදා නිකුත් කළ අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව දේශීයව ඇසුරුම් කරන ලද බෝතල් කළ පානීය ජලය සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් මෙසේයි.

මිලිලීටර් 500 ත් 999 ත් අතර බෝතලයක් රුපියල් 80 ක්ද, ලීටර් 1 ත් 1.499 ත් අතර බෝතලයක් රුපියල් 120 ක්ද, ලීටර් 1.5 ත් 1.999 ත් අතර බෝතලයක් රුපියල් 150 ක්ද, ලීටර් 2 ත් 2.499 ත් අතර බෝතලයක් රුපියල් 180 ක්ද, ලීටර් 5 ත් 6.999 ත් අතර බෝතලයක් රුපියල් 400 ක්ද ලෙස මිල නියම කර තිබේ.

ඒ අනුව ලීටර් 1 ත් 1.499 ත් අතර පානීය ජල බෝතලයක වර්තමාන උපරිම සිල්ලර මිල රුපියල් 120 කි.

බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී බෝතලයේ ප්‍රමාණයට අදාළ වර්තමාන උපරිම සිල්ලර මිල පරීක්ෂා කරන ලෙසත්, අය කළ මුදල තහවුරු කර ගැනීම සඳහා බිල්පතක් ලබාගන්නා ලෙසත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම සංචාරක හෝටල්, ආපනශාලා, කැෆේ, නිකේතන ඇතුළු සියලුම වෙළෙඳ ආයතන නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීමෙන් වළකින ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

සංචාරක ප්‍රදේශයක හෝ වෙනත් ස්ථානයක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අය කිරීමට අවසරයක් නොවන බවද එම අධිකාරිය අවධාරණය කරයි.

උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම ඇතුළු වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දිය හැකියි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤