ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රිමාන්ඩ්

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රිමාන්ඩ්

රු. මිලියන 300 කට අධික මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු (3) පිළියන්දලදී අත්අඩංගුවට


ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රිමාන්ඩ්

(24.09.2026 – hirunews.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන්නැයි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්
‘ක්‍රිෂ් සමාගමේ’ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (24) නියෝග කළා.

සැකකාරිය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ අදාළ සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අය වෙත රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන සැකකාරියට එරෙහිව චෝදනාව ගොනු කර ඇති බවයි.

ඇය අවස්ථා තුනකදී (3) අදාළ රු. මිලියන 70 ක මුදල නාමල් රාජපක්ෂ වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

+++

+++

‘ක්‍රිෂ් නඩුව’ ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න – අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර

(24.09.2026 – hirunews.lk)

නාගරික සංවර්ධන අධිකාරියට අයන් ‘කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය’ නමැති භූමිය ‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගම’ට කඩිනමින් ලබා ගැනීමට සහ සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලසක් ලෙස ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින ‘නාමල් රාජපක්ෂ’ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අල්ලස් කොමිසමට අද (24) අවසර දුන්නා.

අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසම අද (24) එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වූ ‘ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන’ යන අය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අධිකරණයේදී කැඳවනු ලැබූ මෙම නඩුවට අදාළව, ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනාට (2) වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි කැඳවීම ලබන 02 වැනිදා සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු ප්‍රකාශකළා.

රුපියල් මිලියන හැත්තෑවක (70) මුදලක් පිරිනැමීම වෙනුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉන්දීය ජාතික ‘අමිත් කට්ටයාර්’, ‘රාජේන්ද්‍ර ප්‍රසාද්’ හා ‘නාමල් රාජපක්ෂ’ සැකකරුවන්ට සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

‘එයාර්බස්’ ගනුදෙනුවේ දී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත නාමල් රාජපක්ෂ සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසද මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අල්ලස් කොමිසම වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ රුපියල් මිලියන 70 ක මුදලක් රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ලබා ගනිමින් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි පවසමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂට මහාධීකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබුණද, අල්ලස් ලබාදීමේ සහ ලබා ගැනීමේ විමර්ශනය ඊට පරිබාහිරව සිදුකරන වෙනම විමර්ශනයක් ලෙස දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන බවයි.

‘ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන’ නමැති සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ අමා විජේසිංහ කරුණු දක්වමින් මෙසේ පැවසුවා.

“ස්වාමිනී, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ‘කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය’ නමැති භූමිය ‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගම’ට (Krrish Transworks Colombo Pvt Ltd) කඩිනමින් ලබා ගැනීමට සහ එකී සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට අල්ලස් මුදල් පිරිනැමීම වෙනුවෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. 2023 අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. ‘ක්‍රිෂ් සමාගමේ මව් සමාගම වන මහාදේව් සමාගමේ’ නියෝජිතයන් ලෙස කටයුතු කර ඇති මෙම සැකකාරිය, සමාගමේ සෙසු අධ්‍යක්ෂවරුන් දෙදෙනා (2) සමග එක්ව මෙම මුදල් ‘නිමල් හේමසිරි පෙරේරා’ යන අය මගින් ‘නාමල් රාජපක්ෂ’ මන්ත්‍රීවරයාට ලබා දී තිබෙනවා.

මෙම සැකකාරිය අදාල සමාගම මෙරටදී සිදුකළ ගනුදෙනු, ඒ වෙනුවෙන් තබන ලද රැස්වීම්, ගිවිසුම් හා සමාගමේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබූ තැනැත්තියක්. ඇය මෙම ගනුදෙනුවේදී කිසිසේත් නිර්දෝෂි මනසකින් කටයුතු කර නැහැ. මනා දැනුවත්භාවයකින් මෙම මුදල් පිරිනමින් මේ කටයුතු සිදුකර තිබෙනවා. සමාගමේ සෙසු අධ්‍යක්ෂකවරුන් වන ඉන්දීය ජාතිකයින්ට ලියාපදිංචි තැපැල් මගින් විමර්ශනයට සහාය දක්වන ලෙසට නියෝග කර ඇතත් මෙතෙක් කිසිදු සහායක් ලබාදීමට කටයුතු කර නැහැ.

විශේෂයෙන් මෙම විමර්ශනය සහ නීතිපතිවරයා විසින් මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂිකරුවෙක් ලෙස ‘නිමල් හේමසිරි පෙරේරා’ නම් කර තිබෙනවා.

ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර ජීවිත තර්ජන නිසා ලංකාවට පැමිණීමට හැකියාවක් නැති බව දන්වා තිබෙනවා.

සැකකාරිය විසින් අල්ලස් මුදල් පිරිනැමීම බැංකු ගිණුම් හිමිකරු වන නඩුවේ සාක්ෂිකාර ‘නිමල් පෙරේරා’ මේ බව ප්‍රකාශයකින් තහවුරු කර තිබෙනවා.

‘නාමල් රාජපක්ෂ’ සැකකරු විසින් අල්ලස් ලබා ගැනීම යන කරුණු ලේඛන මගින් හා බැංකු ගිණුම් මගින් අනාවරණය වී තිබෙනවා.

මෙම නඩුවේ ඉන්දීය ජාතික සැකකරුවන් මෙතෙක් විමර්ශනය සඳහා සහාය දක්වා නොමැති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

සැකකාරිය දූෂණ විරෝධී පනතේ 149 වගන්තියේ ප්‍රකාරව ‘අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා’ගේ සහතිකයක් සමඟ අධිකරණයට ඉදිරිපත් කරන බැවින් හා විමර්ශන අවසන් නොමැති බැවින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇප ලබා දෙනවා නම් විශේෂ හේතු තිබිය යුතුයි.”

අධිකරණය : මෙම අල්ලස් මුදල් පිරිනමා ඇත්තේ කෙසේ ද?

අල්ලස් කොමිසම : 2012 වසරේ ඔක්තෝබර් , නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල 15, 18 සහ 12 යන දිනවලදී බැංකු ගිණුම වෙත බැර කර තිබෙනවා. එක් අවස්ථාවකදී රුපියල් මිලියන 40 ක්, දෙවන (2) අවස්ථාවේදී රු. මිලියන දහයක් (10) සහ 2012 දෙසැම්බර් 12 වෙනි දින රු. මිලියන විස්සක් (20) බැගින් මුදල් බැර කර තිබෙනා. සැකකාරිය නිර්දෝෂී මනසකින් කිසිසේත් කටයුතු කර ඇති බවට පෙනී යන්නේ නැහැ.

අධිකරණය : අදාල මුදල් ලැබුණු බව තහවුරු කරන්නේ කවුරුන් ද?

අල්ලස් කොමිසම : බැංකු ගිණුමේ හිමිකාර නිමල් පෙරේරා ඒ බව තහවුරු කරනවා.

අධිකරණය : සාපරාධී වගකීම ආරෝපණය කරන්නේ සමාගම හරහාද?

අල්ලස් කොමිෂම : ස්වාමිනී, මෙම සමාගම සැකකරුවකු ලෙස නම් කරනවා.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ අමිල දිසානායක කරුණු දක්වමින් මෙසේ පැවසුවා :

“මෙම රුපියල් මිලියන හැත්තෑවේ (70) සිද්ධිය සම්බන්ධයෙන් 2015 කරන ලද පැමිණිල්ලක් අනුව නාමල් රාජපක්ෂට එරෙහිව 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අධිකරණයට බී-වාර්තාවක් ගොනු කළා. 2016 ජූලි මාසයේදී නාමල් රාජපක්ෂව රක්ෂිත බන්ධනාගාර ගත කරලා සතියකට පස්සේ ඇප දුන්නා. ඊට පසුව 2025 වසරේදී සාපරාදී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරලා , එම නඩුව මේ වෙන විට විභාග වෙනවා. ඒ නඩුවට පාදක වන්නේත්, මේ නඩුවට පාදක වන්නේත් රුපියල් මිලියන 70 කියන එකම කාරණාව.

මේ සැකකාරිය එම නඩුවේ සාක්ෂිකාරියක්. ඔය නම් කළ ඉන්දීය ජාතිකයෝ දෙදෙනාත් (2) සාක්ෂිකාරයෝ. එකම සිද්ධියට එකම පුද්ගලයෝ වැරදිකාරයෝ කරනවාද කියන එක තීරණය කරන්න ඕනෙ අධිකරණය. අධිකරණය තීරණය කරන්න ඕන දේ අල්ලස් කොමිසමට තීරණය කරන්න බැහැ.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී මාගේ කරුණු දැක්වීම ඇප ඉල්ලීම සඳහායි. අල්ලස් කොමිසම 149 වගන්තියේ ප්‍රකාරව සහතිකයක් ඉදිරිපත් කරන බැවින් ඇප ලබාගැනීමට විශේෂ කාරණාවක් ලෙස එකම සිද්ධියකට අපරාධ නඩුවක් සහ අල්ලස් නඩුවක් ගොනු කිරීම යන මා ඉදිරිපත් කළ කරුණු අධිකරණයට දක්වා සිටිනවා.

මගේ සේවාදායිකාවගේ දරුවා අවුරුදු දාහතරට (14) අඩුයි. ඇය නොබෝ දිනෙකින් සාමාන්‍ය පෙළට පෙනී ඉන්නවා. සැමියා විදේශගත වෙලා. මේ කරුණු සියල්ල සලකා බලා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වෙනත් නඩුවක සාක්ෂිකාරියක් වීම සම්බන්ධයෙන් යන කරුණ මෙම අවස්ථාවේදී සලකා බැලිය නොහැකි බව පෙන්වා දුන්නා.

අධිකරණයකට සලකා බැලිය හැක්කේ අධිකරණය වෙත ඉදිරිපත් කරන කරුණු පමණක් බව පැවසූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ විමර්ශනයන්ට සැකකාරිය විසින් සාහායක් නොදැක්වීම යන කරුණ සැලකිල්ලට ගෙන ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව පැවසුවා.

නාමල් රාජපක්ෂ සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනාට (2) වරෙන්තු නිකුත් කිරීම සඳහා සාක්ෂි කැඳවීම ලබන 02 වැනිදා සිදු කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.

ඒ අනුව, සැකකාරිය ලබන 06 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළා ෴


රු. මිලියන 300 කට අධික මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු (3) පිළියන්දලදී අත්අඩංගුවට

(24.09.2026 – hirunews.lk)

රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟග අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

පිළියන්දල, බොකුන්දර ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම වටලා ඇති අතර, එහිදී සැකකරුවන් භාරයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක්, ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤