සමාගම් 6 ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි (කසාගලත් ඒ අතර)

සමාගම් 6 ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි (කසාගලත් ඒ අතර)

අනුරාධපුර අප්පච්චි : විශේෂ බලවත් සුව මෙහෙය සහා ආශිර්වාදය | මාතලේ නාගහපොල කොස්ගොල්ල සිට සජීවීව (23.09.2026)

මත්තේගොඩ යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයක ගින්නක් – රු. කෝටියකට අධික දේපළ විනාශයි

රුසියානු කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ජාවාරම් කළ යුවළගේ සිරදඬුවම අඩු කරයි

වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලයේ අස්ථානගත වූ රුපියල් ලක්ෂ 21 ක මුදල සම්බන්ධයෙන් පරීක්ෂණයක්

‘හරක් කටා’ගේ පහරදීමෙන් තුවාල ලැබූ ‘කෙහෙල්බද්දර පද්මේ’ වැලිකඩ බන්ධනාගාර රෝහලට

පන්නලදී රියත් සමග වටකර ඇල්ලූ සැකකරුවන්ගේ නිවසෙනුත් මත්ද්‍රව්‍ය හා රු. ලක්ෂ 16 ක මුදල් හමුවේ


සමාගම් 6 ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි (කසාගලත් ඒ අතර)

(23.09.2026 – hirunews.lk)

සමාගම් 6 ක් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම වළක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.

ඊයේ (22) නිකුත් කළ නිවේදනයකින් මහ බැංකුව සඳහන් කළේ, 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ මෙම නියෝග නිකුත් කර ඇති බවයි.

අනතුරුව කොළඹ මහාධිකරණය විසින්ද අදාළ තහනම් නියෝග තහවුරු කර දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට තහනම් නියෝග ක්‍රියාත්මක වන සමාගම් වන්නේ,

  • Kasagala Green Plantation (Private) Limited
  • Ceylon Green Life Plantation (Private) Limited
  • Singhe Capital Investment Limited
  • Pro Shop Advertising Holdings (Private) Limited
  • Athens Inteational Education Centre (Private) Limited
  • Eyon Lanka Investment & Film Production Inteational Company (Private) Limited

යන සමාගම් හය (6) යි.

මහ බැංකුව සඳහන් කළේ, Kasagala Green Plantation සහ Ceylon Green Life Plantation යන සමාගම් සම්බන්ධයෙන් මූල්‍ය ව්‍යාපාර පනතේ 42 වැනි වගන්තිය යටතේ මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින බවයි.

එමෙන්ම අනෙකුත් සමාගම් හතර (4) මූල්‍ය ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තියට පටහැනිව මූල්‍ය ව්‍යාපාර සිදුකර ඇති බව හෝ මහජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බවට මහ බැංකුව විසින් දැනටමත් තීරණය කර ඇති බවද සඳහන්.

මේ අතර මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුදල් තැන්පත් කිරීමේදී නීත්‍යානුකූලව බලයලත් ආයතන පමණක් තෝරාගන්නා ලෙසයි.

බැංකු පනත හෝ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබා ඇති හෝ එම පනත්වලින් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතනවලට පමණක් මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට අවසර ඇති බවද මහ බැංකුව අවධාරණය කරනවා.

එමෙන්ම නීත්‍යානුකූල අවසරයකින් තොරව මූල්‍ය ව්‍යාපාර සිදුකරන බවට හෝ මහජන තැන්පතු භාරගන්නා බවට ලැබී ඇති පැමිණිලි මත තවත් ආයතන සහ පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා ෴


අනුරාධපුර අප්පච්චි : විශේෂ බලවත් සුව මෙහෙය සහා ආශිර්වාදය | මාතලේ නාගහපොල කොස්ගොල්ල සිට සජීවීව (23.09.2026)

+


මත්තේගොඩ යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයක ගින්නක් – රු. කෝටියකට අධික දේපළ විනාශයි

(23.09.2026 – hirunews.lk)

මත්තේගොඩ නිවාස සංකීර්ණය අසල යතුරුපැදි අලුත්වැඩියා කරන ආයතනයක අද (23) දහවල් ඇති වූ ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මත්තේගොඩ පොලිසිය සඳහන් කළේ, ගින්නෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බවයි.

ගින්න හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 10 ක්, විදුලි ජනරේටරයක් සහ යතුරුපැදි අලුත්වැඩියා කිරීමට භාවිත කරන උපකරණ ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් දේපළ විනාශ වී තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ යතුරුපැදියක් අලුත්වැඩියා කිරීම සඳහා එහි ඉන්ධන ටැංකිය ගලවා ඉවත් කිරීමට යාමේදී ගින්නක් හටගෙන ඇති බවයි.

ගින්න ඇතිවීමත් සමඟ එහි හිමිකරු ඉන්ධන ටැංකිය බිම දමා ගරාජයෙන් පිටතට පැමිණ ඇති අතර, ඒ සමඟම යතුරුපැදියට සම්බන්ධව තිබූ ඉන්ධන ටැංකියක් පුපුරා ගොස් ගින්න පැතිරී ඇති බව පොලිසිය පවසනවා.

ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා මත්තේගොඩ පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව කෝට්ටේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකක් (2) පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව පොලිසිය සඳහන් කළා.

+++

+


රුසියානු කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ජාවාරම් කළ යුවළගේ සිරදඬුවම අඩු කරයි

(23.09.2026 – hirunews.lk)

රුසියානු ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ජාවාරම් කිරීම සහ අනිසි සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ අඹුසැමි යුවළකට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ වසර 7 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම වසර 4 ක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ, අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අයගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් ඊයේ (22) ලබාදුන් තීන්දුවකට අනුවයි.

විත්තිකරුවන් විසින් කොළඹ මහාධිකරණ තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

2019 සහ 2020 අතර කාලයේදී රුසියානු ජාතික කාන්තාවක් වංචාවෙන් හෝ රැවටීමෙන් බඳවාගෙන ශ්‍රී ලංකාවට ගෙන්වා ගණිකා වෘත්තියේ හෝ වෙනත් ලිංගික සූරාකෑමක යෙදවීම සම්බන්ධයෙන් පළමු විත්තිකාරියට චෝදනා එල්ල වී තිබුණා.

ඊට අමතරව ඇයට ගණිකා වෘත්තිය සඳහා කාන්තාවක් සැපයීම සම්බන්ධයෙන් චෝදනා තුනක් ද එල්ල වී තිබූ අතර, දෙවන විත්තිකරුට එම අපරාධවලට අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.

මෙම චෝදනාවලට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය විසින් එක් එක් විත්තිකරුට එක් චෝදනාවක් සඳහා වසර 7 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබූ අතර, එම සිරදඬුවම් එකවර ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබුණා.

මීට අමතරව රුපියල් 25,000 බැගින් දඩ මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවීමට ද නියෝග කර තිබුණා.

කෙසේ වෙතත්, විත්තිකරුවන්ගේ දරුවන්ගේ අසරණ තත්ත්වය ඇතුළු කරුණු සලකා බලන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

පළමු විත්තිකාරියට, පෙර විවාහයකින් පුතුන් දෙදෙනෙකු සිටින අතර, වත්මන් විවාහයෙන් වූ හත් හැවිරිදි දියණිය ද දරු රැකවරණ මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ත්‍රීරෝද රථ රියදුරෙකු වන දෙවන විත්තිකරු පවුලේ එකම ආදායම් උපයන්නා වන අතර, ඔහු සිය මවගේ සහ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන නැගණියගේ වගකීම් ද දරන බව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

විත්තිකරුවන්ගේ දරුවන්ගේ අසරණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දඬුවම නැවත සලකා බැලීම සුදුසු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ද අධිකරණය හමුවේ එකඟතාව පළ කර තිබෙනවා.

අපරාධයේ ස්වභාවය, අපරාධයේ බරපතළකම, වැළැක්වීම, ප්‍රජාව ආරක්ෂා කිරීම සහ පුනරුත්ථාපනය ඇතුළු කරුණු දඬුවම් නියම කිරීමේදී සැලකිල්ලට ගන්නා බව අධිකරණය සඳහන් කළා.

ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා නියම කර තිබූ වසර 7 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම වසර 4ක් දක්වා අඩු කර ඇති අතර, එම දඬුවම් එකවර ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබෙනවා ෴


වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලයේ අස්ථානගත වූ රුපියල් ලක්ෂ 21 ක මුදල සම්බන්ධයෙන් පරීක්ෂණයක්

(23.09.2026 – hirunews.lk)

වැලිගම නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය සතු වාර්ෂික ගිණුම් පරික්ෂණයේදි අනාවරණය වන ලද රුපියල් ලක්ෂ විසි එකක (21) මුදලක් අස්ථානගත වීමපිළිබඳව විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලය මගීන් ජනතාව වෙත සුවිසල් මෙහෙවරක් ඉටු කරන අතර දේශීය විදේශීය ලිපි හුවමාරුව, භාණ්ඩ ප්‍රවාහනය, රථ වාහන දඩ මුදල් ගෙවීම, වැඩිහිටි දීමනා, විවිධ මුද්දර පහසුකම්, මුදල් ට්‍රාන්සර්, ආදී සේවාවන් රැසක් සිදුකෙරෙනවා.

එම සේවාවන් තවදුරටත් පහසු කිරීම සඳහා මෙම ප්‍රධාන තැපැල් කාර්යාල යටතේ තවත් උප තැපැල් කාර්යාල දාහතක් (17) ග්‍රාමීය ප්‍රදේශ පුරා විහිදී ගොස් තිබෙනවා.

ඒ අනුව එම තැපැල් කාර්යාල පද්ධතියේම දෛනික ආදායම රු. ලක්ෂ තිහ හතලිහ (30-40) ඉක්මවන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

එම ආදායම් සහ වියදම් නිසි ලෙස දෛනිකව සටහන් තබාගත යුතු අතර ප්‍රධාන තැපැල් කාර්යාලය සන්තකයේ තබාගත හැකි උපරිම මුදල දෙලක්ෂ පනස්දහසක් (2,50,000) බව සදහන්.

ඉතිරි මුදල් දෛනිකව බැංකු ගත කළ යුතු වන නමුත් බැංකු ගත කළ යුතු මුදල් දිනෙන් දින අව භාවිතාකොට ඇතැයි සදහන්.

මෙ පිළිබදව වාර්ෂිකව සිදු කරන විමර්ශනයකදී රුපියල් ලක්ෂ විසි එකක (21) මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ පිළිබඳව වැලිගම වත්මන් තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් දුරකථනය ඔස්සේ කළ විමසීමකදී ඔහු පවසා සිටියේ අවසරයකින් තොරව තොරතුරු ලබාදීමට නොහැකි බවයි ෴


‘හරක් කටා’ගේ පහරදීමෙන් තුවාල ලැබූ ‘කෙහෙල්බද්දර පද්මේ’ වැලිකඩ බන්ධනාගාර රෝහලට

(23.09.2026 – hirunews.lk)

බන්ධනාගාරය තුළ රඳවා සිටියදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ සහ ‘මන්දිනු පද්මසිරි’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර හටගත් ගැටුමෙන් තුවාල ලැබූ ‘කෙහෙල්බද්දර පද්මේ’ වැලිසර බන්ධනාගරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලිසිය පවසනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන්කර සිටියේ මෙම පහරදීමෙන් සුළු තුවාල ලැබූ ‘කෙහෙල්බද්දර පද්මේ’ ප්‍රතිකාර සඳහා වැලිසර බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


පන්නලදී රියත් සමග වටකර ඇල්ලූ සැකකරුවන්ගේ නිවසෙනුත් මත්ද්‍රව්‍ය හා රු. ලක්ෂ 16 ක මුදල් හමුවේ

(23.09.2026 – hirunews.lk)

පන්නල ප්‍රදේශයේ දී ඊයේ (22) දිනයේ කාර් රථයක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හමුවීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාගේ (3) නිවෙස් පරීක්ෂා කර තිබෙනවා.

එම නිවෙස්වල තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 62 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් දහස‍ය ලක්ෂ අසූ දහසක් (16,80,000), මත්ද්‍රව්‍ය බෙදා හැරීමට ඇසුරුම් කළ බෝතල් මූඩි 500 ක්, විනිවිද පෙනෙන බටරෝලක් සහ ප්ලාස්ටික් නල 2235 ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (22) දින උදෑසන කාර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ගිරිඋල්ල පොලිස් ස්ථානයෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් ගිරිඋල්ල නගරයේ සිට කාර් රථය පසුපස හඹා ගොස් පන්නල නගරයේදී එම කාර් රථය නවතාගෙන පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සතුව මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 260 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් බවට සැකපිට රුපියල් නවලක්ෂ විසි හතර දහස් හත්සිය හැත්තෑවක (9,24,770) මුදලක් ද සොයාගනු ලැබුවා.

මෙහිදී අත්අඩංගුවට පත් වූයේ නෙළුම් දෙණිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවන් තිදෙනෙක් (3).

ගිරිඋල්ල පොලිසිය විසින් සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *