22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම් අල්ලස් දැලේ

‘අයිස්’ කිලෝ 21 ක් සමග කාන්තාවක් කොටුකරගත් මෙහෙයුමේ තවත් තොරතුරු

ඩෑන් ප්‍රියසාද් සහ ඔහුගේ සහෝදරයාගේ ඝාතනවල ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි

කොම්පඤ්ඤවීදියේ භූගත රාත්‍රී සමාජ ශාලාවක් ‘අද දෙරණ උකුස්සා’ට හසු වුණු හැටි

කොලොන්නාවෙන් T-56 ගිනි අවි 7 ක් සහ 9mm පතොරම් 600 කට අධික ප්‍රමාණයක් සමඟ 4 ක් අත්අඩංගුවට


22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

(22.09.2026 – sinhala.adaderana.lk)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

+++

+++

+


හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම් අල්ලස් දැලේ

(22.09.2026 – sinhala.adaderana.lk)

ප්‍රාථමික කර්මාන්ත හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලංකා පොස්පේට් සමාගම මඟින් විධිමත් පටිපාටියෙන් බාහිරව තෝරාගත් සමාගම් 3 කට පමණක් පොස්පේට් අපනයනය සඳහා පහසුකම් සැලසීමේ සිද්ධියකට අදාළව, රුපියල් ලක්ෂ 81 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් නිලධාරීන් විසින් සැකකරු ඊයේ (21) ප.ව. 04:55 ට පමණ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ලංකා පොස්පේට් සමාගම හරහා නියමිත ක්‍රමවේදයෙන් තොරව අදාළ සමාගම් තුනට (3) පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු යොදා දී, ඊට අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් අදාළ සමාගම්වලින් අලසස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


‘අයිස්’ කිලෝ 21 ක් සමග කාන්තාවක් කොටුකරගත් මෙහෙයුමේ තවත් තොරතුරු

(22.09.2026 – sinhala.adaderana.lk)

කිලෝ 21 කට අධික ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග කාන්තාවක් (1) සහ පිරිමියෙකු (1) අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කර සිටියේ, හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසක් ඊයේ (21) පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 21 යි ග්‍රෑම් 810 කට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් ලක්ෂ 5 ක මුදලක්ද සොයාගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබූ මෝටර් රථයක් (1), යතුරුපැදියක් (1) සහ ජංගම දුරකථන 3 ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන මාතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය ෴


ඩෑන් ප්‍රියසාද් සහ ඔහුගේ සහෝදරයාගේ ඝාතනවල ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි

(22.09.2026 – sinhala.adaderana.lk)

ගිනිඅවි 8 ක්, ජීව උණ්ඩ තොගයක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කඩවත, වෑබඩ දී අත්අඩංගුවට ගත් සැකකරු, ඝාතනය වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් ඔහුගේ පියා ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කඩවත, වෑබඩ ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක පදිංචිව සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ 534 ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 8 ක් සහ අත් මාංචු යුගල දෙකක් (2) සොයාගෙන ඇත.

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවෙකුගේ උපදෙස් මත ඒවා තමන් සතුව තබාගෙන ඔහුගේ උපදෙස් මත විවිධ පුද්ගලයන්ට ලබාදුන් බවද සැකකරු පවසා තිබේ.

මෙම සැකකරු අදාළ අපරාධකරුගේ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ප්‍රවාහනය කරන ප්‍රධාන පුද්ගලයා බවට තොරතුරු ලැබී ඇති බව ද පොලීසිය පවසයි.

+


කොම්පඤ්ඤවීදියේ භූගත රාත්‍රී සමාජ ශාලාවක් ‘අද දෙරණ උකුස්සා’ට හසු වුණු හැටි

(22.09.2026 – sinhala.adaderana.lk)

කොළඹ, කොම්පඤ්ඤවීදියේ රහසිගතව පවත්වාගෙන ගිය භූගත රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී කාර්යාලයේ නිලධාරීන් සහ ‘අද දෙරණ උකුස්සා’ සමත්වුණි.

කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක් වූ කොම්පඤ්ඤවීදිය නගරයේ පිහිටි මුරුක්කු ඇතුළු ආහාර පාන අලෙවිකරන ස්ථානයක් බවට බැලූ බැල්මට පෙනෙන ස්ථානයක් මෙලෙස වටලා ඇත.

කෙසේවෙතත් මෙම ස්ථානයේ රහසිගත අයුරින් භූගත සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවට පසුගියදා තොරතුරක් ලැබී තිබුණි‍.

ඒ අනුව, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳව සොයාබැලීමක් කළේ ‘අද දෙරණ උකුස්සා’ ද එක්කරගනිමින්ය.

අනතුරුව ‘උකුස්සා’ එම ස්ථානයට ළඟාවී අදාල අලෙවිසැලේ තිබූ මුරුක්කු වර්ග ඇතුළත් කුඩා රාක්කයක් ඉවත් කර තිබේ.

ඒ අනුව එම ස්ථානයට ඇතුළු වනවිට දැකගත හැකිවුණේ, කිසිවෙකුටත් බැලූ බැල්මට හඳුනාගත නොහැකි පරිද්දෙන් ඉතා රහසිගත ලෙස ඒ තුළ යම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන බවයි.

අනතුරුව ඊට ඇතුළු වී සිදුකළ සොයාබැලීමේදී එහි කිසිඳු අවසරකයින් තොරව සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවට අනාවරණ වුණි.

ඒ අනුව මෙහි අලෙවිකිරීමට සූදානමින් තිබූ විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සුරාබදු නිලධාරින් සිය භාරයට ගත් අතර එම ස්ථානයට මත්පැන් අලෙවියට කිසිදු මත්පැන් බලපත්‍ර නොතිබූ බවත් මෙහිදී අනාවරණ වුණි.

බලපත්‍ර නොමැතිව නීතියේ ඇසට වැලිගසමින් සිදුකරන මෙවැනි ජාවාරම් ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙනි ෴


කොලොන්නාවෙන් T-56 ගිනි අවි 7 ක් සහ 9mm පතොරම් 600 කට අධික ප්‍රමාණයක් සමඟ 4 ක් අත්අඩංගුවට

(21.09.2026 – hirunews.lk)

බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන අංශය විසින් කොලොන්නාව ප්‍රදේශයේ ස්ථාන දෙකක (2) සිදුකළ වැටලීම්වලදී ගිනි අවි සහ පතොරම් තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එහිදී 9mm වර්ගයේ පිස්තෝලයක් (1), T-56 පතොරම් භාවිත කළ හැකි ගිනි අවි 7 ක් සහ 9mm පතොරම් 600 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) පිළිබඳව වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන අංශය විසින් සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *