පොලිසියෙන් කියා පෙම්වතුන් කොල්ලකෑ කතක් ඇතුළු තිදෙනෙක් (3) දැලේ
අතුරුගිරිය සහ හබරකඩ වෙඩි තැබීම්වල වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
වැසි නැති පොළොවට වැසි වසන්නට ගුවනින් පිරිත් පැන්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – 10 කට වැඩි පිරිසක් රෝහලට
අනුමැතියෙන් තොරව පිළිකා ඖෂධ 190,000 ක් ලංකාවට ආනයනය කරලා (20.09.2026)
වඩුන්නාගල ගිහිං සිල් ගන්න එපාලු – මේක බෞද්ධ රටක්ද නැත්නම් වෙන රටක්ද ? (19.09.2026)
පොලිසියෙන් කියා පෙම්වතුන් කොල්ලකෑ කතක් ඇතුළු තිදෙනෙක් (3) දැලේ
(20.09.2026 – hirunews.lk)
හොරණ, ඇල්ලකන්ද ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ල නැරඹීමට පැමිණෙන පෙම්වතුන් සහ තරුණ තරුණියන් බිය ගන්වා, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් හා ජංගම දුරකථන කොල්ලකෑ කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) හොරණ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුත්ගම ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු සහ කෑගල්ල හා දොඹගොඩ ප්‍රදේශවල පදිංචි පෙම්යුවලක් විසින් කරන ලද පැමිණිලිවලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, ප්‍රදේශයේ CCTV කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරුවන්ගේ හැඩරුව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, බුලත්සිංහල, ගෝවින්න ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී හොරණ, දික්හේනපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25, 27 සහ 28 පසුවන මෙම සැකකරුවන් තිදෙනා (3) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද රුපියල් 1,75,000 ක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 10 වන දින ඇල්ලකන්ද දිය ඇල්ල නැරඹීමට ගිය අලුත්ගම, දර්ගා නගරයේ තරුණයින් දෙදෙනෙකුට (2) තමන් පොලිස් නිලධාරීන් බව පවසමින් සැකකරුවන් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන සහ මුදල් පසුම්බි භාරයට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
එහිදී එක් (1) තරුණයකුට පහරදී තල්ලු කර ඇති අතර, මුදල් පසුම්බියේ තිබූ රුපියල් 7,500 කට අධික මුදලක්ද සැකකරුවන් විසින් ලබාගෙන තිබුණා.
එමෙන්ම ඉකුත් 13 වන දින එම ස්ථානයට පැමිණි පෙම්යුවලකගේ ජාතික හැඳුනුම්පත් සහ දුරකථන පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී, තරුණයා 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමට සහ සැකකරුවන්ට පහර දීමට උත්සාහ කිරීමේදී කොල්ලකරුවන් විසින් තරුණියට පහරදී රුපියල් 80,000 ක් පමණ වටිනා ජංගම දුරකථනයද කොල්ලකා පලා ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පොරබැදීමේදී ප්‍රධාන සැකකරු මෙන්ම තරුණ යුවල ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කොල්ලකන ලද එක් ජංගම දුරකථනයක් ඇල්ලකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් 10,000 කට අලෙවි කර තිබියදීත්, අනෙක් දුරකථනය එහි මුරපදය (Password) ඉවත් කිරීම සඳහා හොරණ පිහිටි ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයකට ලබා දී තිබියදීත් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් රෝහණගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග දිසානායක, පොලිස් සැරයන්වරුන් වන ජනක (14934), මෙන්ඩිස් (70253), පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (78834), සඳරුවන් (88126), ලහිරු (13022) සහ කාන්තා සිවිල් ආරක්ෂක නිලධාරිනී සමන්මලී (4066) යන නිලධාරීන් මෙම වැටලීම සඳහා එක්වුණා ෴
අතුරුගිරිය සහ හබරකඩ වෙඩි තැබීම්වල වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
(21.09.2026 – hirunews.lk)
අතුරුගිරිය – ගොඩගම මාර්ගයේ සහ හබරකඩ, මලවියාකන්ද මාර්ගයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන්ට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් සිවුදෙනෙකු (4) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අගෝස්තු 17 වනදා සහ සැප්තැම්බර් 08 වනදා සිදු වූ මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
සැකකරුවන් අවුරුදු 21, 24, 41 සහ 45 වයස්වල පසුවන පාදුක්ක, බණ්ඩාරගම, මෙරොන්තුඩුව සහ අළුබෝමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සන්තකයේ තිබී ජීව අත් බෝම්බයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට වරෙන්තු නිකුත් වූ අයෙක් බවටද අනාවරණය වී තිබෙනවා ෴
වැසි නැති පොළොවට වැසි වසන්නට ගුවනින් පිරිත් පැන්
(21.09.2026 – hirunews.lk)
වියළි කාලගුණ තත්ත්වය හමුවේ වැසි අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානයක් මගින් පිරිත් පැන් ගුවනින් ඉසීමේ කටයුත්තක් සිදුකර තිබෙනවා.

මෙය පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව මෙන්ම සතුන් සහ පරිසරය වෙනුවෙන් සිදුකළ ආශිර්වාදාත්මක ක්‍රියාවක් ලෙසයි සඳහන් කර ඇත්තේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද මෙම පිරිත් පැන් ගුවනින් විසුරුවා හැර තිබෙනවා.
වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින සෑම පවුලකටම, සෑම සත්වයෙකුටම සහ සෑම ජීවියෙකුටම සහනයක් ලැබේවා යන ප්‍රාර්ථනයක් සමඟ මෙම කටයුත්ත සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
+++
+
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – 10 කට වැඩි පිරිසක් රෝහලට
(21.09.2026 – sinhala.adaderana.lk)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර රිය අනතුරක් සිදුව තිබේ.
මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් පුද්ගලයින් 10 කට වැඩි පිරිසක් රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තාවේ.
පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් ගැටී ඇති අතර ඒත් සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
බස් රථ දෙකක් (2), මෝටර් රථ 6 ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
අනතුරින් පසු ගාල්ල සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන දොඩම්ගොඩ පිටවීමේ දොරටුවෙන් හරවා යැවීමට පොලීසිය කටයුතු කර තිබේ.
+++
+
අනුමැතියෙන් තොරව පිළිකා ඖෂධ 190,000 ක් ලංකාවට ආනයනය කරලා (20.09.2026)
+
වඩුන්නාගල ගිහිං සිල් ගන්න එපාලු – මේක බෞද්ධ රටක්ද නැත්නම් වෙන රටක්ද ? (19.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴