දෙදෙනෙකු (2) නීති විරෝධීව ඉපයූ රු. කෝටි 14 ක දේපොළ දින 14 ක කාලයක් සඳහා තහනම් කරයි

දෙදෙනෙකු (2) නීති විරෝධීව ඉපයූ රු. කෝටි 14 ක දේපොළ දින 14 ක කාලයක් සඳහා තහනම් කරයි

‘තොටළඟ පොඩ්ඩි’ට වැලිකඩදී විසිකළ පාර්සලය පොලිසියට කොටු

සෞදියේදී මරණ දඬුවම හිමිවූ තරුණයා බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි මව රජයෙන් ඉල්ලයි

ව්‍යාජ ලේබල් යොදා පලතුරු පාන බෙදාහැරී අයෙකුට දඩයක් – අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය විනාශ කිරීමට අධිකරණයෙන් නියෝග

දුම්රිය සාමාන්‍යාධිකාරීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු මගීන්ට අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ආසන පටි පැළඳීම අනිවාර්යයි

දෙහිවල ඝාතනයට බෝම්බය ගෙනා සැකකරු අත්අඩංගුවට : රුපියල් 75,000 ක කොන්ත්‍රාත්තුවක් බවට හෙළිවෙයි

නාමල්ට දුන් නියෝගය ගැන විමල් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහස වී ඇද්ද යන්න ගැන විමර්ශනයට නියෝග

අධිකරණයට අපහාස කළැයි තමන්ට එරෙහි පැමිණිල්ල බල රහිත කරන ලෙස ඉල්ලූ දිලිත්ගේ රිට් පෙත්සම ගැන නියෝගය 30 වැනිදා

අපරාධකරුවෙකුට පාස්පෝට් එකක් සකස් කර දෙන්න ගිය ‘ආගමන විගමන සහකාර පාලකවරයෙකු’ අත්අඩංගුවට

‘කුඩු සලිඳු’ගේ කැෂියර් සහ බිරිඳ මත්ද්‍රව්‍ය සහ මුදලින් රු. ලක්ෂ 63 ක් සමග අත්අඩංගුවට


දෙදෙනෙකු (2) නීති විරෝධීව ඉපයූ රු. කෝටි 14 ක දේපොළ දින 14 ක කාලයක් සඳහා තහනම් කරයි

(18.09.2026 – sinhala.adaderana.lk)

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් නීතිවිරෝධී ක්‍රම මගින් ඉපයූ බවට සැකකරන, පුද්ගලයින් දෙදෙනෙකුට (2) අයත් රුපියල් කෝටි 14 කට ආසන්න දේපොළක් තහනමකට ලක්කර ඇත.

අදාළ සැකකරුවන්ගෙන් එක් අයෙකු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 900 කට අධික වටිනාකමින් යුත් දේපොළක් ක්‍රියාවිරහිත කර තිබේ.

අනෙක් පුද්ගලයා තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු නීති විරෝධී ලෙස උපයා ගන්නා මුදලින් මිලදීගත් රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුත් ජීප් රථයක් ක්‍රියා විරහිත කිරීමට කටයුතු යොදා ඇත.

වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති දේපොළ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනය සිදුකරනු ලබයි.

තහනමට ලක්වූ දේපොළ :

  • හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 7 ක ඉඩම හා දෙමහල් නිවස (දළ වටිනාකම රු. ලක්ෂ 400)
  • හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්වස් 17 ක ඉඩම හා නිවාස දෙක (දළ වටිනාකම රු. ලක්ෂ 300)
  • හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 5 ක ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රු. ලක්ෂ 50)
  • කාන්ති මාවත, හුණුපිටිය ලිපිනයේ පිහිටි පර්චස් 3 ක ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රු. ලක්ෂ 70)
  • ස්පේසියා වර්ගයේ කාර් රථය (දළ වටිනාකම රු. ලක්ෂ 8)

විමර්ශනයට අනුව මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද දේපොළ අද සිට දින 14 ක කාලයක් සඳහා ක්‍රියා විරහිතකිරීමේ නියෝග නිකුත් කර ඇත.

මේ අතර තණමල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාද නීති විරෝධී ලෙස මිලදීගෙන ඇති දේපොළ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත, නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම විමර්ශනයද ආරම්භ කර තිබේ.

එම විමර්ශනයට අනුව ඉහත සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධි ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදීගෙන ඇති ටොයොටා වර්ගයේ ජීප් රථය (දළ වටිනාකම රු. ලක්ෂ 350) විකිණීම, පැවරීම හා වෙනයම් ක්‍රියාදාමයක් සිදුකිරීම වැළැක්වීම පිණිස ඊයේ (16) සිට දින 14 ක කාලයකට ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත ෴


‘තොටළඟ පොඩ්ඩි’ට වැලිකඩදී විසිකළ පාර්සලය පොලිසියට කොටු

(18.09.2026 – hirunews.lk)

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් රඳවා සිටින කොටසට මත්ද්‍රව්‍ය පාර්සලයක් විසි කිරීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සහස්පුර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පලායාමට උත්සාහ කර ඇති අතර, ඔහු සන්තකයේ තිබී ‘අයිස්’ ග්‍රෑම් 250 ක්, හෙරොයින් ග්‍රෑම් 150 ක්, දුම්කොළ ග්‍රෑම් 100 ක්, ජංගම දුරකතනයක්, සිම්පතක් සහ ඉලෙක්ට්‍රොනික තරාදියක් සොයාගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන ‘තොටළඟ පොඩ්ඩි’ නමැත්තියට ලබාදීම සඳහා මෙම මත්ද්‍රව්‍ය පාර්සලය බන්ධනාගාරයට විසි කිරීමට උත්සාහ කළ බවටයි.

මේ අතර, ඊයේ (17) දිනයේදීද ‘තොටළඟ පොඩ්ඩි’ නමැත්තියට මත්ද්‍රව්‍ය පාර්සලයක් විසි කිරීමට පැමිණි බව කියන වනාතමුල්ල ටී-වත්තේ 27 හැවිරිදි ‘හංසි’ නමැති කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

අදාළ සැකකරු සහ සැකකාරිය විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා ෴


සෞදියේදී මරණ දඬුවම හිමිවූ තරුණයා බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි මව රජයෙන් ඉල්ලයි

(18.09.2026 – hirunews.lk)

සෞදි අරාබියේදී මරණ දඬුවම නියමවූ තම පුතු මුදා දෙන ලෙස අම්පාර කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මව රජයෙන් ඉල්ලා සිටිනවා.

සිවරාසා අනෝජන් නමැති මෙම තරුණයා සෞදියේ රැකියාවක නිරත වන අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක් සම්බන්ධයෙන් වසර 5 ක සිර දඩුවම් නියමවී තිබුණා.

පසුව ඒ සම්බන්ධයෙන් යොමුකළ අභියාචනයකින් අනතුරුව ඔහුට මෙලෙස ඊයේ (17) මරණ දඩුවම නියමවී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් හෙළිකළේ.

මේ අනුව, සිවරාසා අනුජන්ගේ නඩු කටයුත්ත අවධානය යොමු කරන බව විදේශ අමාත්‍යංශය පවසනවා.

රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව අදාල සිදුවීම්වල ප්‍රගතිය පිළිබඳව දිගින් දිගටම සොයා බලමින් සිටින බවයි ඔවුන් නිවේදනය කළේ.

රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සෞදි බලධාරීන් සමඟ සම්බන්ධ වී කටයුතු කර ඔහුගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ සෑම සහයක්ම ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ෴


ව්‍යාජ ලේබල් යොදා පලතුරු පාන බෙදාහැරී අයෙකුට දඩයක් – අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය විනාශ කිරීමට අධිකරණයෙන් නියෝග

(18.09.2026 – hirunews.lk)

ව්‍යාජ තොරතුරු ඇතුළත් ලේබල් යොදා ගනිමින් පලතුරු පාන බෙදාහැරීම ඇතුලු චෝදනා 16 කට වරදකරැ වූ වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් 42,000 ක දඩ මුදලක් නියම කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

අදාල නඩු තීන්දුව ලබා දෙමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලද්දේ, වැටලීමේදී නිලධාරීන් භාරයට ගත් ව්‍යාජ ලේබල් සහිත අදාළ ‘පලතුරු නෙක්ටාර්’ තොගය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටයි.

මෙම පුද්ගලයා වසර පහක (5) පමණ කාලක සිට මෙම කුට ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇති අතර නිලධාරින් මග හරිමින් සිටි තැනැත්තෙකු බවයි වැඩි දුර කරැණු දැක්විමෙදි කියා සිටියේ.

උපාය දුතයකු මාර්ගයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පැතුම් රත්නායක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක චමිදු නිමේෂ් දිල්ශාන් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර නීතිමය පියවර ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව ගොනුකර තිබෙනවා ෴


දුම්රිය සාමාන්‍යාධිකාරීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

(18.09.2026 – hirunews.lk)

දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රියට එරෙහිව අල්ලස් කොමිසමට අද (18) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුව ඇති අක්‍රමිකතා, දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සිදුව ඇති වංචා මෙන්ම දෙපාර්තමේන්තුවට සිදුව ඇති අලාභයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ ෴


අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු මගීන්ට අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ආසන පටි පැළඳීම අනිවාර්යයි

(18.09.2026 – hirunews.lk)

සියලුම අධිවේගී මාර්ගවල ගමන් කරන ඉදිරිපස සහ පසුපස අසුන්වල මගීන් සඳහා ආසන පටි පැළඳීම අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු අනිවාර්ය බව පොලිසිය පවසා තිබෙනවා.

එසේ නොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවද පොලිසිය සඳහන් කරනවා ෴


දෙහිවල ඝාතනයට බෝම්බය ගෙනා සැකකරු අත්අඩංගුවට : රුපියල් 75,000 ක කොන්ත්‍රාත්තුවක් බවට හෙළිවෙයි

(18.09.2026 – hirunews.lk)

ඉකුත් 11 වනදා අලුයම දෙහිවල, සිරි සඟබෝ මාවතේ පිහිටි නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පාසල් සිසුන් දෙදෙනෙකු (2) ඝාතනය කිරීම සහ ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව, බෝම්බය ප්‍රවාහනය කළ සහ ත්‍රීරෝද රථය පැදවූ 23 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) රාත්‍රියේ බෙල්ලන්විල ඇවිදින මංතීරුව අසළ පාලම මතදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල බෝධිය වත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ, විදේශගතව සිටින ‘කොස් මල්ලී’ සහ ‘කළුබෝවිල අවිෂ්ක’ යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ උපදෙස් මත, ‘කළුබෝවිල අවිෂ්ක’ගේ මාමා නැමැත්තා විසින් රුපියල් 75,000 ක මුදලකට මෙම සැකකරුට බෝම්බය ප්‍රවාහනය කිරීමට සහ ත්‍රීරෝද රථය පැදවීමට භාරදී ඇති බවයි.

සැකකරු විසින් 10 වනදා රාත්‍රී අත්තිඩිය ප්‍රදේශයෙන් වෙඩික්කරු ත්‍රීරෝද රථයට නංවාගෙන නුගේගොඩ ලැගුම්හලකට පැමිණ ඇති අතර, පසුව ලද උපදෙස් මත පැපිලියාන සුපිරි වෙළඳ සංකීර්ණයක් අසල තිබූ ජීව අත්බෝම්බය රැගෙන විත් වෙඩික්කරුට ලබා දී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

01 වනදා අලුයම දෙහිවල සත්වෝද්‍යානය අසලදී නිවස පෙන්වීමට පැමිණි පුද්ගලයාගේ මඟපෙන්වීම මත ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉලක්කය වැරදී යාමෙන් නිවසේ සිටි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවූ පාසල් සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.

ප්‍රහාරයෙන් පසු සැකකරුවන් පාදුක්ක, බෝපේ ප්‍රදේශයට ගොස් ත්‍රීරෝද රථය අතහැර දමා, මහනුවර, බිබිල සහ පුවක්පිටිය යන ප්‍රදේශවලට පලාගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු සහ නිවස පෙන්වූ පුද්ගලයා මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මීට පෙරද ‘අයිස් මත්ද්‍රව්‍ය’ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණි අයෙකු වන මෙම සැකකරු අද (18) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


නාමල්ට දුන් නියෝගය ගැන විමල් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහස වී ඇද්ද යන්න ගැන විමර්ශනයට නියෝග

(18.09.2026 – hirunews.lk)

අධිකරණය විසින් ගියවර නඩු දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් සැප්තැම්බර් 12 වැනිදා විමල් වීරවංශ රැස්වීමක දී කළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස වීමක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වුවා.

එම රැස්වීමේදී කරන ලද ප්‍රකාශයට අයත් සී.ඩී. තැටියක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් මේ බව අධිකරණයට දන්වා සිටියා.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට පොලිස්පතිවරයාට නියෝග කළා ෴


අධිකරණයට අපහාස කළැයි තමන්ට එරෙහි පැමිණිල්ල බල රහිත කරන ලෙස ඉල්ලූ දිලිත්ගේ රිට් පෙත්සම ගැන නියෝගය 30 වැනිදා

(18.09.2026 – hirunews.lk)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම පිළිබඳ නියෝගය මේ මස 30 වන දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

අදාල පෙත්සම අද (18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ෴


අපරාධකරුවෙකුට පාස්පෝට් එකක් සකස් කර දෙන්න ගිය ‘ආගමන විගමන සහකාර පාලකවරයෙකු’ අත්අඩංගුවට

(18.09.2026 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකුට අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආගමන විගමන සහකාර පාලක නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් ඊයේ (17) එම දෙපාර්තමේන්තුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 42 ක් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


‘කුඩු සලිඳු’ගේ කැෂියර් සහ බිරිඳ මත්ද්‍රව්‍ය සහ මුදලින් රු. ලක්ෂ 63 ක් සමග අත්අඩංගුවට

(18.09.2026 – hirunews.lk)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සලිඳු මල්ෂිත ගුණරත්න’ හෙවත් ‘පානදුර කුඩු සලිඳු’ නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කරන පුද්ගලයා සිය බිරිඳ සමග මත්ද්‍රව්‍ය බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ යෙදී සිටියදී රත්මලාන ගුවන්තොටුපොළ හන්දියේදී ඊයේ (17) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.

එම සැකකාර යුවල සමග රුපියල් ලක්ෂ 63 ක මුදලක්, මත්ද්‍රව්‍ය මිලිගෑම් 15,055 ක්, නවීන පන්නයේ මුදල් ගණින යන්ත්‍රයක්, විද්‍යුත් තරාදියක් හා ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය රැගෙන පුද්ගලයකු පැමිණෙන බවට ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව ගුවන්තොටුපොළ හන්දියේ සිට ගාලු පාර දෙසට පැමිණෙමින් තිබූ එම රථය නවතා පරික්ෂා කිරීමේදී ඒ පිටුපස කාන්තාවක්ද සිටිනු දැක ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

ත්‍රීරෝද රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍ර පරීක්ෂා කිරීමේදී පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඇතිවූ හැසිරීම් රටාවේ සැක සහිතභාවය හේතුවෙන් එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරුව එහි පිටුපස අසුනේ රැඳී සිටි කාන්තාව සන්තකයේ තිබූ සුපිරි වෙළෙඳසලකින් නිකුත් කරන ලද බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මුදල් තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා.

සැකකාර යුවලගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් අඹුසැමියන් බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරනවා.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ‘පානදුර කුඩු සලිඳු’ගේ මත්ද්‍රව්‍ය බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ යෙදෙන අය බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

ඒ වෙනුවෙන් මාසික වැටුප ලෙස රුපියල් එක් ලක්ෂ පනස්දහසක (1,50,000) මුදලක් ‘සළිඳු’ ලබාදෙන බවයි සැකකරු පවසා ඇත්තේ.

මීට වසර දෙකකට (2) පමණ ඉහතදී පිළියන්දල, හැඩගම ප්‍රදේශයේ නිවසකට කුලී පදනම මත පදිංචියට පැමිණි බවට අනාවරණය වීමෙන් අනතුරුව එම නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ තිබී මුදල් නෝට්ටු ගනන්කිරීමට උපයෝගී කරගන්නා නවීන පන්නයේ ‘මුදල් ගණින යන්ත්‍රයක්’ සහ විද්‍යුත් තරාදියක් ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරනවා.

අවුරුදු 26 සහ 34 වයස්වල පසුවන අඹුසැමි යුවලගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමටත් නියමිත බව පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *