අද (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිතියක සහය

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිතියක සහය

එයාර්බස් ගනුදෙනු සිද්ධිය ගැන නිතිපති උපදෙස් ලැබුණා – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

‘භූත කළුවා’ ඝාතනයට සිව්දෙනෙක් (4) අත්අඩංගුවට

නීතිවිරෝධීව උපයාගත්තැයි තණමල්විල ‘බතල හීන් මහත්තයා’ගේ රු. මිලියන 1,800 ක දේපළ සහ රු. ලක්ෂ 350 ක ජීප් රථයක් (1) දින 14 කට ක්‍රියා විරහිතයි

අධිවේගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වන ලෙසට රියැදුරන්ට උපදෙස්


අද (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිතියක සහය

(16.09.2026 – hirunews.lk)

ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ පැය 48 ක වර්ජන ක්‍රියාමාර්ගයට ‘දුම්රිය තාක්ෂණ හා මෙහෙයුම් සේවා සංගමය’ සහය පලකර ඇතැයි එම සන්ධානය පවසනවා.

ඒ අනුව රියැදුරු සහයකවරුන්, ෂන්ටින් රි‍යැදුරුවරුන් හා අංගනවල සේවයේ නියතු සේවකයන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහය පලකර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය රියැදුරු, පාලක, ස්ථානාධිපති ඇතුළු වෘත්තිය සමිති 26 ක් එක්වීමට නියමිත බව මීට පෙර දැනුම් දී තිබුණා.

ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකරට එරෙහිව විනය කඩ කළ බවට දුම්රිය පරිපාලනය නිකුත් කර තිබූ ලිපිය අත්හිටුවීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආසිරි කරුණාවර්ධන ලිපියක් යොමු කර තිබූ පසුබිමකයි.

+++

දුම්රිය වර්ජනය හේතුවෙන් රාත්‍රී දුම්රිය 6 ක් අද (16) අවලංගුයි

(16.09.2026 – sinhala.adaderana.lk)

හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත දුම්රිය වර්ජනය හේතුවෙන් අද (16) රාත්‍රියේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර 6 ක් අවලංගුවනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව රාත්‍රී 7 ට කොළඹ කොටුව සිට මඩකළපුව බලා ධාවනය වන දුම්රිය ,රාත්‍රී 8 ට කොළඹ කොටුව සිට කංකසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය සහ රාත්‍රී 09:30 මඩකළපුව බලා ධායනය වන රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගුවන බව සඳහන් වේ.

කෙසේවෙතත් අදාල දුම්රිය අවලංගුවීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ප්‍රවාහන බලධාරීන් මේ දක්වා නිෂ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධුරය සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව පවසමින් එයට විරෝධය දැක්වීමට ලංකා දුම්රිය සේවයේ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති හෙට (17) සහ අනිද්දා (18) යන දෙදින තුළ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මේ අතර රියදුරු සහයකවරුන්, ෂන්ටින් රියදුරුවරුන් හා අංගනවල සේවයේ නියතු සේවකයන් ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා සහය පල කර ඇත.

+++

+++

+


එයාර්බස් ගනුදෙනු සිද්ධිය ගැන නිතිපති උපදෙස් ලැබුණා – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

(16.09.2026 – hirunews.lk)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාල චෝදනා ප්‍රමාදයකින් ‍තොරව ගොනු කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ අද (16) ප්‍රකාශ කළා.

ඒ, මෙම සිද්ධිය අද (16) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදියි.

මෙම සිද්ධියට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කර තිබූ අතර අධිකරණ නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව බන්ධනාගාරය විසින් අද (16) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අය සිව්වැනි (4) සැකකරු ලෙස නම් කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර්වරයා මෙලෙස ද ප්‍රකාශ කළා :

“ස්වාමීනී, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බඳ මහත එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක (යූරෝ මිලියන 1.5 ක) අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කළා. දුෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව සිදු කරනු ලබනවා. මෙම සිද්ධියේදී අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ඔහු මේ වනවට එම අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

මෙම අධිකරණයේ තිබෙන පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා සම්බන්ධයෙන්. අදාළ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක (2) මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමයි මෙම පැමිණිල්ල මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.

මෙම නඩුකරයේ හතරවන (4) සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා ඔබතුමාගේ අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ඔහු මෙම නඩු කටයුත්තේ හතරවන (4) සැකකරු වශයෙන් නම් කර තිබෙනවා.

පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට කළ නියෝගයකට අනුව තමයි ඔහු අද (16) දින මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.

“ස්වාමීනී… මෙම එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් සිංගප්පූරුවේ තිබෙන මෙහි දෙවන (2) සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය ගේ ‘බිස් සොලියුෂන්’ නමැති සමාගමේ බැංකු ගිණුමට ලැබෙනවා. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන එකක් (1) මේ වන විට මියගොස් සිටින කපිල චන්ද්‍රසේනගේ ඔස්ට්‍රේලියාවේ තිබෙන ‘කොමන්වෙල්ත් බැංකු ගිණුමකට යොමු කරලා තිබෙනවා. තවත් රුපියල් මිලියන 25 ක් සිංගප්පූරුවේ තිබෙන ‘sl agro’ නමැති සමාගමට යොමු වෙලා තිබෙනවා.

පසුව එම සමාගමින් අදාළ මුදල මෙම නඩුවේ තවත් සැකකරුවකු වන ශමින්ද්‍ර රාජපක්ෂ නමැත්තාගේ ගිණුමට බැර වී තිබෙනවා. ඉන්පසුව ප්‍රියංකා නියෝමාලි විජයනායකගේ ‘බිස් සොලියුෂන්’ නමැති සමාගමේ ගිණුමෙන් තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක් (8) මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින නිමල් පෙරේරා නමැත්තාට අයත් ‘සේවර් විෂන්’ නමැති සමාගමේ ගිණුමට බැර වෙලා තිබෙනවා. පසුව එම මුදල එනම් රුපියල් මිලියන සීයක් (100) සැකකාර නාමල් රාජපක්ෂට ලබා දුන් බවට නිමල් පෙරේරා විසින් අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයකින් හා දිවුරුම් ප්‍රකාශයකින් සඳහන් කර තිබෙනවා.”

“මෙය අන්‍යෝන්‍ය සහයෝගීතා සම්මුතිය යටතේ ඇමරිකාව, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වැනි රාජ්‍යවල පිහිටි විමර්ශන ආයතනවලින් සහාය ලබාගෙන සිදුකරන විමර්ශනයක්. මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් එයාර් බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන්නා. වෝහාරික විගණන වාර්තා ලබා දුන්නා. එම වාර්තාවල අන්තර්ගත ඊමේල් පණිවුඩ පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු හා එයාර් බස් සමාගම නිලධාරීන් අතර සම්බන්ධතා පවත්වා තිබෙන ආකාරය මනාව පැහැදිලි වෙනවා.”

“ස්වාමීනී… මෙම සිද්ධියට අදාළව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින නිමල් පෙරේරා නමැත්තෙකු ප්‍රකාශ ලබාදීලා තිබෙනවා. ඔහු තමන්ට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ඕස්ට්‍රේලියාවට පලා ගිය බවයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. තර්ජන හේතුවෙන් තමන්ට ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බවත් නිමල් පෙරේරා සඳහන් කර තිබෙනවා. මේ නඩුකරයේ පළමු වන (1) සැකකරු වන කපිල චන්ද්‍රසේන මේ වන විට මිය ගිහින් තිබෙනවා. ඔහුගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද? එහෙමත් නැත්නම් මිනීමැරුමක්ද? කියලා තවමත් දන්නේ නැහැ. දෙවන (2) සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායකත් මේ වන විට ඕස්ට්‍රේලියාවට පලා ගිහිල්ලා. ඇයව ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.

තුන්වන (3) සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ නමැත්තාත් ඇමරිකාවට පලා ගොස් තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගෙන තිබෙනවා. එම වරෙන්තුව අභියෝගයට ලක් කරමින් ඔහු මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරුට ඇප නියම කළහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවෙන්න පුළුවන්. මෙම විමර්ශනවලට අදාල ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරුට අදාල විමර්ශන අවසන් කර කඩිනමන් චෝදනා ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වනවා.”

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ කරුණු ඉදිරිපත් කළේ ජනාධිපති නීතිඥ අනිල් සිල්වායි :

“ස්වාමීනී… පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සියල්ල මා ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේදී අදාල වන්නේ ඇප පනතයි. ඇප පනතේ කොතැනකවත් සඳහන් කරලා නැහැ විරුද්ධ පක්ෂයේ දේශපාලකයින්ව ඕන ඕන වෙලාවට රිමාන්ඩ් කරන්න පුළුවන් කියලා. ඇප දීම තමයි අපේ රටේ නීතිය. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ. ජිනීවා සමුළුව වගේ අවස්ථාවක තමයි ඒ ගැන කතා කරන්නේ. කෙසේ වෙතත් මගේ සේවාදයකයා දේශපාලකයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන තැනැත්තෙක්. කිසිදු අවස්ථාවක ඔහු ශ්‍රී ලංකාවෙන් පලා යයි කියලා උපකල්පනය කරන්න බැහැ. ඒවගේම ඔහු අධිකරණය මගහැර යන පුද්ගලයෙක් නෙවෙයි.

ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කළා කියලා කරුණු ඉදිරිපත් වෙලත් නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන තිබෙන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මේ අවස්ථාවේදී ඔහුට අදාල වෙනවා. නිමල් පෙරේරා නමැත්තාගේ ගිණුමකට මුදල් ලැබිලා තිබෙනවා. නිමල් පෙරේරාට කියන්න ලේසිම දේ තමයි එම මුදල මේ සැකකරුට ලබා දුන් බව ප්‍රකාශ කරන එක. ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා සිටිනවා.”

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශය කළේ සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා ෴


‘භූත කළුවා’ ඝාතනයට සිව්දෙනෙක් (4) අත්අඩංගුවට

(16.09.2026 – hirunews.lk)

දෙහිවල ඕබන් පෙදෙසේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘කොස් මල්ලි’ගේ මස්සිනා වන ‘භූත කළුවා’ නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරනවා.

එම කාර්යාංශය සඳහන් කළේ, සැකකරුවන් සතුව තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක්, කඩු 4 ක්, පාපැදි ‘කොග්වීල්’ එකකින් සකස් කළ තියුණු ආයුධයක් සහ ජංගම දුරකථන 4 ක් සොයාගත් බවයි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි දමිත් ප්‍රසාද් පොන්සේකා නමැති 46 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය සඳහන් කළේ ඔහු ‘කොස් මල්ලි’ සමඟ ඩුබායි රාජ්‍යයේ වසර කිහිපයක් රැඳී සිට ඇති අතර, අංශභාග තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව සති කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

පසුගිය 07 වනදා අලුයම 01:45 ට පමණ මුහුණු ආවරණය කරගත් සිව්දෙනෙකු (4) ගෙන් යුත් කණ්ඩායමක් ත්‍රීරෝද රථයකින් තියුණු ආයුධ රැගෙන පැමිණ නිවසේ දොර කඩා ඇතුළුවී ඇඳ මත නිදා සිටි දමිත් ප්‍රසාද් පොන්සේකාට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ විමර්ශනවලදී සීසීටීවී දර්ශන ඔස්සේ සැකකරුවෙකු හඳුනාගෙන තිබෙන බවත් සඳහන්.

අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සඳහා තවත් පුද්ගලයින් සිව්දෙනෙකු (4) සහභාගී වූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

තවද, ඝාතනය සඳහා කොරළවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලකට ත්‍රීරෝද රථයක් කුලී පදනම මත ලබාගෙන ඊට ව්‍යාජ අංක තහඩුවක් සවි කර භාවිත කර ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

එම ත්‍රීරෝද රථය පැදවූ බව කියන තෙළවල ප්‍රදේශයේ පුද්ගලයෙකු (1) ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත ඝාතනයට යොදාගත් බව කියන ත්‍රීරෝද රථය සහ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


නීතිවිරෝධීව උපයාගත්තැයි තණමල්විල ‘බතල හීන් මහත්තයා’ගේ රු. මිලියන 1,800 ක දේපළ සහ රු. ලක්ෂ 350 ක ජීප් රථයක් (1) දින 14 කට ක්‍රියා විරහිතයි

(16.09.2026 – hirunews.lk)

මහා පරිමාණ ගංජා ජාවාරම්කරුවකු බව කියන ‘ජයසිංහ ආරච්චිගේ හේමන්ත’ නොහොත් ‘බතල හීන් මහත්තයා’ නමැත්තා නීතිවිරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 1,800 ක වටිනාකමකින් යුත් දේපළ දින 14 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබාගෙන ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනවා.

නීතිවිරෝධීව මෙලෙස දේපළ උපයාගෙන ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත, නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මුදල් විශුද්ධීකරණ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, සැකකරුගේ සහ ඔහුගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති තඹුත්තේගම, කිරවැල්වාටුව සහ මිද්දෙණිය ප්‍රදේශවල පිහිටි ඉඩම්, ගොඩනැඟිලි, වෙළඳසැල් සහ නිවාස ඇතුළු දේපළ 8 කින් සමන්විත රුපියල් ලක්ෂ 1,800 (රු. මිලියන 180) ක වටිනාකමකින් යුත් දේපළ තොගයක් දින 14 ක කාලයක් සඳහා මෙලෙස ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබාගෙන තිබෙනවා.

තවදුරටත් අනාවරණය වී ඇත්තේ සැකකරුගේ දෙවැනි (2) පුත්‍රයාගේ නමින් රුපියල් ලක්ෂ 350 ක් වටිනා සුඛෝපභෝගී ජීප් මිලදී ගෙන ඇති බවයි.

දෙවැනි (2) පුත්‍රයාට එරෙහිවද මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් නඩු ලේඛනගත වී ඇති අතර, මෙම රථය මිලදී ගැනීමට යොදවා ඇත්තේ ද නිතිවිරෝධී ලෙසින් උපයාගත් මුදල් බවට හෙළි වි ඇතැයි ද පොලිසිය පවසනවා.

ඒ අනුව, 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ, රුපියල් ලක්ෂ 350 ක් වටිනා අදාළ සුඛෝපභෝගී ජීප් රථයට ද අද (16) දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 14 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බවයි ෴


අධිවේගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වන ලෙසට රියැදුරන්ට උපදෙස්

(16.09.2026 – hirunews.lk)

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අඳුරු ස්වභාවයක් ඇති බැවින් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වා ධාවනයේ යෙදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දන්වා සිටිනවා.

එමෙන්ම වාහන අතර පරතරය තබා ගන්නා ලෙසත්, විද්‍යුත් පුවරැවල සඳහන් උපදෙස් පිළිපදින ලෙසත්, එම අධිකාරිය රියැදුරන්ට වැඩිදුරටත් පවසනවා ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *