දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
මාර්ග අනතුරුවලින් සියයට 30 ක් සුනඛයින් නිසා සිදුවන බව හෙළිවෙයි
22 සම්මත වුණොත් වෙන දේවල් මෙන්න – ගොවියා තමන්ගේ දුක කිව්වොත් හිරේ දානවා (14.09.2026)
ජනපති අනුර එදා පෙන්නපු ෆයිල් ගැන ඇත්ත කතාව එළියට එයි (14.09.2026)
LIVE | Derana 360 | නිතීඥ දයාසිරි ජයසේකර – පාර්ලිමේන්තු මන්ත්‍රී (14.09.2026)
Hiru TV Salakuna Live | Sagara Kariyawasam | Episode 545 | 2026-09-14
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
(14.09.2026 – hirunews.lk)
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට ඉකුත් 11 වැනිදා අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අපරාධකරුවන් පැමිණි ත්‍රිරෝද රථයේ වර්ණය වෙනස් කිරීමට කටයුතු කළ අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ ගරාජ් හිමිකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී, අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයා සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 50 ක් සහ ජංගම දුරකථන දෙකක් (2) ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ අපරාධයට යොදාගත් ත්‍රිරෝද රථයේ වර්ණය වෙනස් කර ඇත්තේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පිහිටි ගරාජයකදී බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේට ලත් තොරතුරකට අනුව, සිදුකළ වැටලීමකදී 36 හැවිරිදි ගරාජ් හිමිකරු පළමුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාවාරම්කරුවෙකු වන ‘බෝධියවත්තේ අවිශ්ක’ නැමැත්තාගේ සමීපතමයෙකු වන විදේශගතව සිටින ‘අමුදු’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාස තුනකට (3) පමණ ඉහතදී තමන් වෙත WhatsApp ඔස්සේ ඇමතුමක් ලබාදී ඇති බවයි.
කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ගෝලයෙකු රැගෙන එන ත්‍රිරෝද රථයේ වර්ණය, චැසි අංකය සහ අංක තහඩුව වෙනස් කරදෙන ලෙස එහිදී දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, කොළ පැහැයෙන් යුත් අදාළ ත්‍රිරෝද රථයේ වර්ණය රතු පැහැයට වෙනස් කර චැසි අංකය සහ අංක තහඩුව වෙනස් කරදීම වෙනුවෙන් රුපියල් 32,000 ක මුදලක් තමන් ලබාගත් බවයි සැකකරු වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ.
ගරාජ් හිමිකරු ලබාදුන් තොරතුරුවලට අනුව, දෙහිවල වැව ඉවුර පාර ප්‍රදේශයේදී අදාළ ත්‍රිරෝද රථය ගරාජයට ලබාදුන් අපරාධ කල්ලි සාමාජිකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් අදාළ අපරාධ කල්ලි සාමාජිකයා, ඉකුත් ජූලි මස 19 වැනිදා දෙහිවල-ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේ මුරකරුව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සැන්ඩෝ’ නැමැත්තාගේ පියාට වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ට කොහුවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් පහසුකම් සපයා දුන් පුද්ගලයා බවටද අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
මේ අතර, නිවසට බෝම්බය විසි කළ පුද්ගලයා සහ ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔවුන් දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා ෴
+++
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ සියල්ලගේ පැටිකිරිය එළියට – පොලීසිය තොරතුරු රැසක් හෙළිකරගනියි
(14.09.2026 – sinhala.adaderana.lk)
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලීසිය සමත්ව ඇත.
සිද්ධිය පිළිබඳ සිදුකළ විමර්ශනවලින් පොලීසිය අනාවරණ කරගෙන තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘බඩෝවිට අසංක’ සහ ‘කුඩු අවිශ්ක’ගේ පාර්ශ්ව අතර ආරවුලක් මෙම අත්බෝම්බ ප්‍රහාරයට හේතුවී ඇති බවය.
එමෙන්ම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සැකකරු සහ ත්‍රිරෝද රථයේ රියදුරුගේ දුරකථන දත්ත ඔස්සේ ද තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
තවතද මේ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා සැකකරුවන් නැදිමාල ආසිරි මාවත ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයෙන් පිටත්වන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද හමුව ඇත.
පොලීසිය පැවසුවේ, ‘අවිශ්ක’ගේ සමීපතමයෙක් වන ‘කොස්මල්ලී’ නම් අපරාධකරුගේ මාමා සහ ගෝලයෙකු මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට සැකකරන බවය.
සැකකරු දෙහිවල වනරතන පෙදෙසේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකව පවති.
සැකකරු ‘අවිශ්ක’ගේ පාර්ශ්වයේ ප්‍රධාන කුලී ඝාතකයා බවට ද පොලීසිය සැකපළ කරයි.
පසුගිය දිනවල ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලට සැකකරු සම්බන්ධ වී ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ඍජු අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායමක් (1) සහ බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 3 ක් පරීක්ෂණ සිදුකරයි.
ඒ අනුව අදාළ අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා අපරාධකරුවන් පැමිණි ත්‍රීරෝද රථය වර්ණ වෙනස් කිරීම සඳහා ගරාජයකට ලබාදුන්නේ යැයි සැකකරන පුද්ගලයෙකු සහ එම ගරාජයේ හිමිකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
එම ත්‍රිරෝද රථය කළුතර නාගොඩ ප්‍රදේශයෙන් සොරාගෙන ඇති බවත්, පසුව දෙහිවල නැදිමාල ප්‍රදේශයේ ගරාජයකදී එහි වර්ණය වෙනස්කර ඇති බවත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට අනාවරණය වී තිබේ.
එම ගරාජයේ හිමිකරු වන 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.
එමෙන්ම ගරාජයට ත්‍රීරෝද රථය ගෙනආ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර අත්බෝම්බය නිවස තුළට විසිකළ සැකකරු සහ ත්‍රිරෝද රථයේ රියදුරුද පොලිසිය විසින් හඳුනාගනු ලැබ ඇති අතර ඔවුන් මේවනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.
නිවසට අත්බෝම්බය එල්ල කළ බවට සැකකරන තැනැත්තා අත්තිඩිය මන්ත්‍රීමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.
එම සැකකරු ගල්කිස්ස පොදු සූසාන භූමියේ මුරකරු ලෙස කටයුතු කළ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘සැන්ඩෝ’ නැමැත්තාගේ පියාට වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් සපයා දී ඇති බවත්, අගෝස්තු 01 වනදා ‘කුඩු අංජු’ නැමැත්තාගේ මුදල් අයකැමියා ඝාතනය ද මොහු සිදුකර ඇති බවත් අනාවරණය වී තිබේ.
විමර්ශන කෙසේ ක්‍රියාත්මක වුවත් මෙම සිද්ධියේ හද සසල වන කරුණ නම් බෝම්බ ප්‍රහාරය වැරදි නිවසක් ඉලක්කකර එල්ල කර ඇති බවට පොලිසිට තොරතුරු ලැබීමය.
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඉකුත් 11 වැනිදා අලුයම එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් අහිංසක දරුවන් දෙදෙනෙකුට (2) දිවි අහිමි විය.
අවාසනාවන්ත ලෙස මරණයට පත්වූයේ මව් සෙනෙහසද අහිමිව පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු 17 හැවිරිදි ‘කසුන් රශ්මික’ හා ඔහුගේ සහෝදරයා වන 11 හැවිරිදි ‘දුමින්ද ගිහාන්’ යන දෙදෙනා (2) යි.
ඒ අනුව බෝම්බ ප්‍රහාරයෙන් සිය ජීවිතවලින් නිකරුණේ වන්දි ගෙවා ඇත්තේ පාතාලයක් ගැන කිසිත් නොදත්, අම්මාගේ අඩුවත් පුරවන සිය පියා සමග හීන ගොන්නක් මැද ජීවත් වූ අහිංසක දරුවන් දෙදෙනෙකි.
ප්‍රහාරයෙන් දරුවන්ගේ පියාගේ පාදයකට බරපතළ තුවාල සිදුව ඇති අතර එම පාදය ඉවත්කර ඇති බව සඳහන් වේ.
මෙලෙස පාදයක් අහිමිව රෝහලේ සිටින්නේ පාතාලයට සම්බන්ධයක් ඇතැයි හඳුනාගෙන නොමැති, ත්‍රීවීල් රස්සාවෙන් සිය දරු දෙදෙනා ජීවත් කළ ආදරණීය පියෙකි.
බිරිඳත් නොමැතිව තමා ආදරයෙන් උස්මහත් කළ සිය දරු දෙදෙනාගේ වියෝව දරාගනිමින් පියාට අද සිදුව ඇත්තේ දරු දෙදෙනාගේ නිසල සිරුරු නොදැකම රෝහල් ඇඳක් මත කඳුළු වගුරන්නටය.
මේ අතර මෙම දරුවන් දෙදෙනාගේ ඝාතනය තම හදවත සසල කළ සිදුවීමක් බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක ‘මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස්’ මහතා X සටහනක් පළකර තිබේ.
ඔහු එමගින් සඳහන් කර ඇත්තේ කිසිඳු දරුවෙකු, කිසිදා එලෙස ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් නොවිය යුතු බවය.
එමෙන්ම සිද්ධියට වගකිවයුත්තන් ඊට පිළිතුරු සැපයිය යුතු බවත් සඳහන් කරන ‘මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස්’ මහතා මියගිය දරුවන්ගේ ඥාතීන් වෙත සිය ශෝකය ද පළකර තිබේ.
ගමක් රටක් හඬවා අකාලයේ සමුගත් පුංචි මේ සොයුරන් දෙදෙනාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද සිදු කළේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදීය.
අවසානයේදී… ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ ඇයිද කියා වත් නොදැනම ජීවිතයට සමුදුන් මේ අහිංසක සමනලුන් දෙදෙනා රටක් හඬවා නික්ම ගියේ මේ සමාජය කෙතරම් අනාරක්ෂිත දැයි, බිහිසුණු දැයි පෙන්වමිනි.
+
මාර්ග අනතුරුවලින් සියයට 30 ක් සුනඛයින් නිසා සිදුවන බව හෙළිවෙයි
(14.09.2026 – sinhala.adaderana.lk)
මාර්ග අනතුරුවලින් සියයට 30 ක් සුනඛයින් හේතුවෙන් සිදුවන බව මානසික ක්‍රම මගින් සත්ව ගහන කළමනාකරණය කිරීම් සඳහා වූ පශුවෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසයි.
එමෙන්ම සුනඛයන් සපා කෑම නිසා ජලභීතිකා එන්නත් ලබාදීම වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියනයක පමණ විශාල මුදලක් වැයවන බව ද ඒ මහතා සඳහන් කර සිටී.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම තත්ත්වය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවය.
මිනිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාදාමයන් සහ සමාජ වගකීම පිළිබඳ අදහසක් නොමැතිකම නිසා මෙලෙස විදි සතුන් බිහිවන බවද වෛද්‍ය චමිත් නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම ගැටලුව සඳහා යෝජිත නව පනත මගින් ස්ථිර විසඳුමක් ලැබෙන බව පෙන්වා දුන් වෛද්‍යවරයා, ඒ යටතේ අයිතිකරුවෙකු සිටින සෑම සුනඛයෙකුම අදාළ ප්‍රාදේශීය සභාව තුළ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව සඳහන් කළේය.
එමෙන්ම අයිතිකරුවෙකු හෝ බලාගැනීමට කෙනෙකු නොමැතිව වීදිවල වෙසෙන සුනඛයන්ගේ සම්පූර්ණ වගකීම ප්‍රාදේශීය සභාව මගින් භාරගත යුතු බවට මෙම පනත මගින් යෝජනා කර ඇත.
ඒ අනුව එකී සතුන්ගේ එන්නත්කරණය සහ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් රජය වගකීම දරන බැවින්, පාරේ සිටින කිසිදු සුනඛයෙකු අනාථ තත්ත්වයට පත් නොවන බවත් මෙය ඉතා යහපත් සංකල්පයක් බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා,
“දැන් එක පැත්තකින් සුනඛයෙක් සපා කෑවට පස්සේ එන්නත් කරන්න අවුරුද්දකට යනවා රුපියල් බිලියනයක්. රටේ සල්ලි. අනිත් පැත්තෙන් රිය අනතුරුවලින් 30% ක්. මේක රටේ ආර්ථිකයට කොච්චර බලපානවද. එතකොට මේ සත්තු පාරෙ ඉන්නේ සත්තුන්ගේ කැමැත්තෙන්ද? නැහැ. මිනිස්සුන්ගේ වගකීමක් නැති ක්‍රියාදාමය නිසා, සමාජ වගකීම ගැන අදහසක් නැතිකමින් මිනිස්සු පාරට ගෙනත් දාන සත්තු තමයි මේ පාරේ වර්ධනය වෙලා ඉන්නේ. එතකොට පාරට වැටිච්ච සත්තු ටිකට තමන්ගේ තියෙන කසල ටික හරියට කළමනාකරණය කරන්නේ නැතුව පාරට විසි කරන හින්දා මේ සත්තු වැඩි වැඩියෙන් බෝ වෙලා තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ.
කොහොමද මේ පනත ඇතුලේ මේ ස්ථිර විසඳුම ගේන්නේ? මේකේ ප්‍රධාන විදිහට කියනවා අයිතිකාරයෙක් ඉන්න සුනඛයෙක් අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභාව තුළ තමන්ගේ සතා ලියාපදිංචි කරන්න ඕනේ. පළවෙනි කාරණය. එතකොට පාරේ ඉන්න සත්තුන්ට මොනවාද කරන්නේ? අයිතිකාරයෙකුත් නැහැ, බලාගන්න කෙනෙකුත් නැහැ. එතකොට අපි මොකද කරන්නේ? ඒ සත්තුන්ගේ වගකීම ප්‍රාදේශීය සභාව ගත යුතුයි කියන එක මේ පනත ඇතුලේ පැහැදිලිව කතා කරලා තියෙනවා. එතකොට මේ පාරේ ඉන්න කිසිම සතෙක්, මේ ඉන්න කිසිම සුනඛයෙක් අනාථ වෙන්නේ නැහැ. මොකද ඒ සතාගේ එන්නත්කරණය, ඒ වගේම ඒ සතාගේ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් මේ රජය වග කියනවා. ඒක මේ ඉතාම හොඳ සංකල්පයක්.”
22 සම්මත වුණොත් වෙන දේවල් මෙන්න – ගොවියා තමන්ගේ දුක කිව්වොත් හිරේ දානවා (14.09.2026)
+
ජනපති අනුර එදා පෙන්නපු ෆයිල් ගැන ඇත්ත කතාව එළියට එයි (14.09.2026)
+
LIVE | Derana 360 | නිතීඥ දයාසිරි ජයසේකර – පාර්ලිමේන්තු මන්ත්‍රී (14.09.2026)
+
Hiru TV Salakuna Live | Sagara Kariyawasam | Episode 545 | 2026-09-14
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴