ඩිසල් ලීටරයකින් අපටත් රු. 60 ක් පාඩුයි – සිපෙට්කෝ සභාපති

ඩිසල් ලීටරයකින් අපටත් රු. 60 ක් පාඩුයි – සිපෙට්කෝ සභාපති

දුම්රිය එන්ජින් 98 ක් පැවතියත් ධාවනය කළ හැක්කේ 50 ක් පමණයි

සරදම් පිරුණු මගෙ ජීවිතේට ඔහු පමාවෙලා ආවා – දීපිකා ප්‍රියදර්ශනී වඩාත් සංවේදී වුණ කතාබහ (14.09.2026)

ලාල්ට අනුර ගැරඩියෙක් වුණේ කොහොමද? දෙවසරක මාලිමා ප්‍රගති වාර්තාව මෙන්න (14.09.2026)

සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

ඉදිකිරීම් සහකරවරුන් ලෙස තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩසටහන ඇරඹේ

2026 වසරේ ගතවූ කාලය තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධව වැටලීම් 1,000 ඉක්මවයි


ඩිසල් ලීටරයකින් අපටත් රු. 60 ක් පාඩුයි – සිපෙට්කෝ සභාපති

(14.09.2026 – lankacnews.com)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 60 ක පමණ පාඩුවක් සිදුවන නමුත්, සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබන ලාභය සහ ගුවන් යානා ඉන්ධන අලෙවියෙන් උපයන ආදායම මඟින් එම පාඩුව කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත සභාපතිවරයා සඳහන් කළේ, පෙට්‍රල් අලෙවියෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හෝ මෙරට ක්‍රියාත්මක කිසිදු පෞද්ගලික ඉන්ධන සමාගමකට පාඩුවක් සිදු නොවන බවයි.

පසුගිය කාලය පුරාම මතුව ඇති අර්බුදය ඩීසල් මිල සම්බන්ධයෙන් පමණක් පැනනැඟී ඇති ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

පෞද්ගලික සමාගම් සහ තෙල් සංස්ථාව අතර පවතින වෙනස පැහැදිලි කරමින් ඒ මහතා කියා සිටියේ, පෞද්ගලික සමාගම් අලෙවි කරන්නේ පෙට්‍රල් සහ ඩීසල් පමණක් වන බැවින් හා ඔවුන් සතුව තෙල් පිරිපහදු නොමැති වීම නිසා ඩීසල්වලින් සිදුවන පාඩුව ඔවුන්ට සෘජුව බලපාන බවයි.

එහෙත් ජාතික වගකීමක් සහිත රාජ්‍ය ආයතනයක් ලෙස තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන ඇතුළු අනෙකුත් නිෂ්පාදන අලෙවි කිරීමෙන් මෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ලාභය භාවිත කරමින් ඩීසල් පාඩුව සමනය කර ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

සංස්ථාවට ඩීසල් ලීටරයකින් විශාල පාඩුවක් සිදුවන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කළ සභාපතිවරයා, සැපයුම්කරුවන් 70 දෙනෙකු පමණ අතර පැවැත්වෙන තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ ඉන්ධන ආනයනය කරන බැවින් සංස්ථාවට ඩීසල් ලීටරයකින් සිදුවන සැබෑ පාඩුව රුපියල් 60 කට ආසන්න අගයක් ගන්නා බව සඳහන් කළේය.

තවද, මෙම මස අලෙවි කරනු ලබන්නේ පෙර මාසවලදී ඇණවුම් කර ගෙන්වන ලද ඉන්ධන තොග බැවින් ක්ෂණිකව මිල වැඩි කිරීමක් සිදු නොකර පාරිභෝගිකයාට සහන සැලසීමට පියවර ගත් බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

+++

දවස් 10 ක් ගිහින් – ෂෙඩ්වල තෙල් නෑ – ඉඳලා හිටලා තමයි තෙල් බවුසර් යන්නේ (14.09.2026)

+


දුම්රිය එන්ජින් 98 ක් පැවතියත් ධාවනය කළ හැක්කේ 50 ක් පමණයි

(14.09.2026 – sinhala.adaderana.lk)

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට පවතින ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් ප්‍රමාණය 50 ක් වන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වේ.

අදාළ වාර්තාව මගින් හෙළිව ඇත්තේ දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය සංචිතය තුළ දුම්රිය එන්ජින් 98 ක ප්‍රමාණයක් පැවතිය ද මේ වන විට ධාවන කටයුතු සිදු කරනු ලබන්නේ 50 ක් පමණක් වන බවය.

එමෙන්ම දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණය දුම්රිය එන්ජින් 74 ක් වන බවත් එහි සඳහන් වේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවති ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 53 ක සංඛ්‍යාවක් 2024 වසරේ පැවැති බවත් සදහන් වේ.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ වැඩි වශයෙන් කාර්යාල දුම්රිය සඳහා යොදාගන්නා බලවේග කට්ටල මේ වන විට පවතින්නේ 118 ක ප්‍රමාණයක් බවය.

සංචිතය තුළ බලවේග කට්ටල 242 ක් තිබෙන අතර සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණය 193 ක් වේ.

කෙසේ වෙතත් 2024 වසරේදී බලවේග කට්ටල 258 ක ප්‍රමාණයක් සංචිතයේ තිබී ඇති අතර එම කාලයේදී ධාවනයට එක්කර තිබූ බලවේග කට්ටල ප්‍රමාණය 148 ක් වේ.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරනුයේ මෙලෙස දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින අඩුව හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වන බවත් ඇතැම් දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින දෝෂ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වීම් වාර්තාවීම ද ඉහළ ගොස් ඇති බවය.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තිය සමිති ගණනාවක් දිගින් දිගටම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත දැනුවත් කළ ද ඔහු ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර නොදක්වන බවද වෘත්තිය සමිති සදහන් කළේය.

ඒ අනුව දිගින් දිගටම වාර්තා වන මෙම ගැටලුකාරී තත්ත්වයන් සහ ඊට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ නිහඬ ප්‍රතිපත්තිය හේතුවෙන් එළඹෙන 17 වනදා දුම්රිය වෘත්තීය සමිති 27 ක් එක්ව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටද සැළසුම් කර තිබේ.

මේ අතර දුම්රිය වෘත්තීය සමිති එළඹෙන 17 වනදා ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය සදහා තම සංගමය ද සහය දක්වන බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව පවසයි.

එම එකමුතුවේ ලේකම් අනිල් කුමාර නවරත්න මහතා පැවසුවේ තම සාමාජිකයින් මුහුණදී ඇති ගැටලු සඳහා විසදුම් ඉල්ලීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටිය ද මේ වන තෙක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් එම අවස්ථාව ලබා දී නොමැති බවය.

ඒ අනුව එළඹෙන 17 වනදා ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනයට තමන් ද එක්වන බවයි ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුවේ ලේකම් අනිල් කුමාර නවරත්න මහතා පැවසීය.

මේ අතර මෙම වැඩ වර්ජනය සඳහා එක්වන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද (14) පස්වරු 3 ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය ෴


සරදම් පිරුණු මගෙ ජීවිතේට ඔහු පමාවෙලා ආවා – දීපිකා ප්‍රියදර්ශනී වඩාත් සංවේදී වුණ කතාබහ (14.09.2026)

+


ලාල්ට අනුර ගැරඩියෙක් වුණේ කොහොමද? දෙවසරක මාලිමා ප්‍රගති වාර්තාව මෙන්න (14.09.2026)

+


සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

(14.09.2026 – sinhala.adaderana.lk)

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධුරය සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ලැබී නොමැති බැවින්, පෙර ප්‍රකාශිත පරිදි ලංකා දුම්රිය සේවයේ සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජන තීරණය නොවෙනස්ව ඉදිරියට පවත්වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිතිවල සම කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර අද (14) නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

අද (14) ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නායකයින් අතර මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ උද්ගත වී ඇති පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු මෙන්ම මගී ජනතාව මුහුණ දී ඇති සේවා බිඳවැටීම් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන් බව සඳහන් වේ.

එහිදී වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පාලනය කෙරෙහි වෘත්තීය සමිතිවල විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බැවින්, ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී අවධාරණය කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව නැවත ගොඩනැඟීම, කාර්යක්ෂම සේවයක් ස්ථාපිත කිරීම සහ මගී ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ එකම අරමුණ බවද ඔවුහු පෙන්වා දී තිබේ.

සාකච්ඡාවට සහභාගී වූ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනැඟීම වෘත්තීය සමිතිවල සැබෑ අරමුණ බව තමන් පිළිගන්නා බවත්, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා වෙත නිදහසට කරුණු විමසමින් ලිපියක් නිකුත් කිරීම නිවැරදි ක්‍රියාවක් නොවන බවත්ය.

කෙසේ වෙතත්, වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තමන්ට තවදුරටත් කාලය අවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී දැනුම් දී තිබේ.

එහෙත්, වසර දෙකකට (2) ආසන්න කාලයක් පුරා පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් කාලය ලබා දිය නොහැකි බව පවසමින් වෘත්තීය සමිති එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ.

ඒ අනුව, සාකච්ඡාව වැඩ වර්ජනය අත්හිටුවීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයකට පැමිණීමකින් තොරව අවසන් වී ඇති බැවින්, සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ සැලසුම් කළ පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති තවදුරටත් නිවේදනය කරයි ෴

+++

+


ඉදිකිරීම් සහකරවරුන් ලෙස තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩසටහන ඇරඹේ

(14.09.2026 – sinhala.adaderana.lk)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් නව වැඩසටහනක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

ඒ, ඔවුන්ට ගෞරවනීය, සුරක්ෂිත හා ස්ථිර ආදායමක් සහිත රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින්ය.

ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පැවතිය ද, එම රැකියා සඳහා තරුණ තරුණියන්ගේ ආකර්ෂණය අඩුවීමක් දැකිය හැකිය.

ඒ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතැම් රැකියා සඳහා ‘කම්කරුවන්’, ‘අත්වැඩකරුවන්’ සහ ‘අත්උදව්කරුවන්’ වැනි තනතුරු නාම භාවිතවීම, එම රැකියා සම්බන්ධයෙන් සමාජය තුළ ප්‍රමාණවත් ගෞරවයක් හා අභිමානයක් ගොඩනැගී නොතිබීම හේතුවෙනි.

විධිමත් සේවා කොන්දේසි, EPF සහ ETF වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ නොමැති අවිධිමත් රැකියා ලෙස පැවතීම ද තරුණ පරපුර මෙම ක්ෂේත්‍රයෙන් ඈත්වීමට බලපාන කරුණු ලෙස හඳුනාගෙන ඇත.

එම බාධක ඉවත් කරමින්, නිශ්චිත ආදායමක්, ගෞරවනීය තනතුරු නාමයක්, සේවා සුරක්ෂිතතාව සහ අභිමානය සහිත රැකියාවක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව, ජාතික ඉදිකිරීම් සංගමය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

වැඩසටහනේ සමාරම්භය ලෙස, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් හඳුනාගත් මහවැලි සී කලාපයේ තරුණයින් 40 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම සඳහා පුහුණුව අද (14) අඹේපුස්ස සිංහ රෙජිමේන්තු බලකා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.

දින පහක් පුරා අඹේපුස්ස යුද්ධ හමුදා කඳවුරේ නේවාසිකව පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේදී ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුම, රැකියාවකදී පවත්වාගත යුතු වෘත්තීය හැසිරීම් හා විනය, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ඇතුළු ක්ෂේත්‍රයට අවශ්‍ය මූලික දැනුම හා කුසලතා ලබාදීමට නියමිතය.

පුහුණුව සාර්ථකව අවසන් කරන තරුණ තරුණියන් ‘ඉදිකිරීම් සහකාරවරුන්’ ලෙස හඳුන්වා දෙමින්, ස්ථිර වැටුපක්, EPF සහ ETF ඇතුළු සේවා ප්‍රතිලාභ සහ අනෙකුත් දීමනා සහිත ආකර්ෂණීය රැකියා අවස්ථා සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් වෙත සෘජුවම යොමු කිරීමට නියමිතය ෴


2026 වසරේ ගතවූ කාලය තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධව වැටලීම් 1,000 ඉක්මවයි

(14.09.2026 – sinhala.adaderana.lk)

මෙම 2026 වසර තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් 1,000 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ මෙම වැටලීම් තුළින් වෙළෙඳපොළේ නීතිමය අනුකූලතාව, භාණ්ඩවල ආරක්ෂාව සහ සැපයුම් මූලාශ්‍ර හඳුනා ගැනීම සම්බන්ධයෙන් අවධානයක් යොමු කර ඇති බවය.

මේ අතර එම අධිකාරිය පැවසුවේ පාරිභෝගිකයින්ට ආරක්ෂිත ප්‍රමිතියෙන් සහ නීතියට අනුකූල විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳපොළක් තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා විශේෂ වැටලීමක්ද ක්‍රියාත්මක කර ඇති බවය.

ඒ අනුව මෙහි ප්‍රධාන විශේෂ වැටලීමක් පසුගිය අගොස්තු මස 25 වැනි දින ආරම්භ කර තිබේ.

මෙම විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පමණක් වෙළෙඳ ආයතන සම්බන්ධයෙන් වැටලීම් 204 ක් සිදුකර ඇති අතර එම වැටලීම්වලදී භාණ්ඩ 1,150 කට අධික ප්‍රමාණයක් නඩු භාණ්ඩ ලෙස නිලධාරීන් භාරයට ලබා ගෙන ඇත.

මෙම විශේෂ වැටලීම්වලදී නිසි බිල්පත්, රිසිට්පත් හා ඉන්වොයිස් පවත්වාගෙන නොයෑම, භාණ්ඩයේ සැපයුම් මූලාශ්‍රය තහවුරු කිරීමට නොහැකි වීම, නියමිත ලේබල් හා භාණ්ඩ ප්‍රමිතිවලට අනුකූල නොවන ප්ලග්, බහු සොකට්, දිගු විදුලි රැහැන් සහ අනෙකුත් විදුලි භාණ්ඩ අලෙවි කිරීම මෙන්ම වෙනත් අදාළ නීතිමය අවශ්‍යතා උල්ලංඝනය කිරීම් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර තිබේ.

විශේෂයෙන්ම, අදාළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා අවම වශයෙන් මාස 06 ක වගකීමක් ලබාදීම සහ ඒ සඳහා නිසි වගකීම් සහතිකයක් පාරිභෝගිකයාට ලබාදීම පිළිබඳවද දැඩි අවධානය යොමු කළ බවද එම අධිකාරිය සඳහන් කළේය.

පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිලදී ගන්නා විට වාචිකව වගකීමක් ඇත යනුවෙන් පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, අදාළ වගකීම් කාලසීමාව, කොන්දේසි සහ වගකිවයුතු පාර්ශ්වය හඳුනාගත හැකි පරිදි ලිඛිත වගකීම් සහතිකයක් ලබාගැනීම වැදගත් වන බවද එම අධිකාරිය සඳහන් කළේය.

වැටලීම්වලදී දිගු විදුලි රැහැන්, බහු සොකට්, ප්ලග් මුදුන්, ස්විච් සොකට්, විදුලි රැහැන්, එල්.ඊ.ඩී. බල්බ, ආරෝපක, විදුලි අනුකූලක, අත් විදුලි පන්දම්, විදුලි තරාදි, විදුලි කේතල්, විදුලි ඉස්ත්‍රික්ක, විදුලි මෙවලම් සහ අනෙකුත් විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ රැසක් සම්බන්ධයෙන් නීති උල්ලංඝනයන් හඳුනාගෙන ගැනීමටද එම අධිකාරිය සමත්ව තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව ලැබෙන සාක්ෂි අනුව අදාළ වරදට වගකිව යුතු වෙළෙන්දාට පමණක් නොව වරදට සම්බන්ධ සැපයුම්කරුවන්, බෙදා හරින්නන්, ආනයනකරුවන් හෝ නිෂ්පාදකයින්ටද අදාළ නීති යටතේ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවය ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *