ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
මිල සහ ඇසුරුම් තොරතුරු නොමැතිව තායි සිවුරු අලෙවිකළ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්
කල් ඉකුත් වූ සහ මිල සඳහන් නොකර රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්
වැඩි මිලට පානීය ජල බෝතල් විකිණූ ආපනශාලාවකට රු. ලක්ෂ 5 ක දඩයක්
ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
(13.09.2026 – hirunews.lk)
මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය පසුගියදා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.
ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයට අයත් මෙම පෞද්ගලික ජෙට් යානය ශ්‍රී ලංකාව බලා සිය පළමු ගුවන් ගමන සිදුකර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිටයි.

සාමාන්‍ය මගී ගුවන් යානා පියාසර කරන උසට වඩා ඉහළින්, මුහුදු මට්ටමේ සිට අඩි 51,000 ක් පමණ උසකින් පියාසර කිරීමේ හැකියාවෙන් යුත් මෙම ගුවන් යානය, දිගු දුර ගුවන් ගමන් සඳහා නිර්මාණය කළ අති සුඛෝපභෝගී ව්‍යාපාරික ජෙට් යානයක්.
පැය 14 කට ආසන්න කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි මෙම යානයේ මගීන් 17 දෙනෙකුට පමණ සුවපහසු ලෙස ගමන් කළ හැකි අතර, නිදන මැදිරියක්, ආහාරපාන සඳහා වෙන් වූ භෝජනාගාර පහසුකම්, විවේක කලාප සහ අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් ඇතුළු පහසුකම් රැසක් පවතිනවා.
සුවපහසුව, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව අතින් ඉහළ මට්ටමක පවතින ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් යානා ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රකට පුද්ගලයන් විසින් භාවිත කරනවා.
ඒ අතර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ට්‍රිලියනපති ඉලෝන් මස්ක්, ගූගල් සමාගමේ සම-නිර්මාතෘවරුන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරික රූපට් මර්ඩොක් ද සිටිනවා.
මෙවැනි දිගු දුර සුඛෝපභෝගී ජෙට් යානයක් පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි, රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලයේ හිමිකරු වන ආචාර්ය රොෂ් ජලග්ගේ යි.
රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලය ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය හා සත්කාර සේවා සපයනු ලබන ව්‍යාපාර ජාලයක්.
රත්නපුර, නීලගම ප්‍රදේශයේ උපත ලැබූ ආචාර්ය රොෂ් ජලග්ගේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, වසර දහයකට (10) අධික කාලයක් බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ආර්ථික දත්ත වාර්තාවලට අනුව ඩොලර් බිලියනය ඉක්මවූ වත්කම් හිමි ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ව්‍යවසායකයා වන්නේ ‘ආචාර්ය රොෂ් ජලග්ගේ’ යි.
මේ බව සුප්‍රකට ඔස්ට්‍රේලියානු ප්‍රෝබ්ස් (Forbes) සඟරාව විසින්ද තහවුරු තහවුරු කොට තිබෙනවා.
ඔහු සමඟ මෙම ඓතිහාසික ගුවන් ගමන සඳහා ඔහුගේ බිරිඳ වන එංගලන්තයේ බැරිස්ටර්වරියක වන ‘ප්‍රියංකා ගමගේ’ ද එක්ව සිටියා. ප්‍රියංකා ගමගේ කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.
ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා සහභාගී වූ මෙම දෙපළ පසුව රත්මලාන ගුවන්තොටුපළෙන් යළිත් පර්ත් නුවර බලා පිටත්ව ගියා.
ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අමතරව, මෙම ගුවන් ගමන හරහා ශ්‍රී ලංකාව ඉහළ පෙළේ සංචාරක හා ව්‍යාපාරික අවස්ථා සඳහා ආකර්ෂණීය සන්ධිස්ථානයක් ලෙස ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම අරමුණක් බවයි ආචාර්ය රොෂ් ජලග්ගේ සඳහන් කරන්නේ.
ලොව ඉහළ පෙලේ වඩා ධනවත් ව්‍යාපාරිකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කරමින්, මෙරට නව ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා සඳහා දොරටු විවෘත කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බවද ඔහු පවසනවා ෴
+++
+
මිල සහ ඇසුරුම් තොරතුරු නොමැතිව තායි සිවුරු අලෙවිකළ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්
(13.09.2026 – sinhala.adaderana.lk)
නීතියෙන් නියම කර ඇති අනිවාර්ය පාරිභෝගික තොරතුරු සඳහන් නොකර අලෙවිය සඳහා තිබූ තායි සිවුරු 06 ක් සොයාගැනීමේ සිද්ධියකට අදාළව, මරදානේ පෞද්ගලික ආයතනයකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂයක (100,000) දඩයක් නියම කර තිබේ.
2026 අගෝස්තු 10 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී, අදාළ වෙළෙඳ ආයතනයේ තිබී උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ ලිපිනය, දුරකථන අංකය සහ නිෂ්පාදිත දිනය ඇතුළත් කර නොතිබූ ඇසුරුම් කරන ලද තායි සිවුරු 06 ක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබියදී අනාවරණය කරගෙන තිබේ.
2015 ජූනි 11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විධාන අංක 55 උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නඩුව පවරා ඇති අතර, නඩුව විභාගයට ගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 02 වන දින විත්තිකාර සමාගමට මෙම දඩ මුදල නියම කළේය.
මූලාශ්‍රය පැහැදිලි නැති සහ බාල ගුණාත්මකභාවයෙන් යුත් පිරිකර භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, ඒවා භාවිත කරන භික්ෂූන් වහන්සේලා ගැටලු රැසකට මුහුණ දෙන බවට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.
ඇතැම් ඇසුරුම් තුළ භාවිතයට නුසුදුසු හෝ අදාළ නොවන භාණ්ඩ අඩංගුකර ඇති අවස්ථාද වාර්තා වී ඇත.
එබැවින් අටපිරිකර සහ සිවුරු මිලදී ගැනීමේදී ඇසුරුමෙහි අනිවාර්ය පාරිභෝගික තොරතුරු (මිල, නිෂ්පාදිත දිනය, නිෂ්පාදක / ආනයනකරුගේ තොරතුරු) පැහැදිලිව සඳහන් කර ඇත්දැයි පරීක්ෂා කිරීම.
හැකි සෑම අවස්ථාවකම ඇසුරුම විවෘත කර ඇතුළත ඇති භාණ්ඩවල ගුණාත්මකභාවය සහ සුදුසුබව තහවුරු කර ගැනීම.
නිවැරදි තොරතුරු ඇතුළත් බිල්පතක් ලබාගෙන සුරක්ෂිතව තබා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් සැළකිලිමත්ව කටයුතු කරන ලෙස එම අධිකාරිය මහජනතාවට දැනුම්දෙනු ලබයි ෴
කල් ඉකුත් වූ සහ මිල සඳහන් නොකර රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්
(13.09.2026 – sinhala.adaderana.lk)
කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේපන සහ මිල සඳහන් නොකළ සුවඳ විලවුන් මෙන්ම අවශ්‍ය තොරතුරු රහිත ආලේපන තොගයක් අලෙවි කළ බොරැල්ලේ පිහිටි ආයතනයකට රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් නියම කර තිබේ.
අදාළ ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් චෝදනා තුනකට අදාළව පැවරූ නඩුවකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 5) හමුවේ අදාළ ආයතනයට එරෙහිව මෙම දඩ මුදල නියම කර ඇත.
පසුගිය අගෝස්තු මස 18 වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ සම්බන්ධව වැටලීමක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ආයතනය උපරිම සිල්ලර මිල සඳහන් නොකර සුවඳ විලවුන් අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආලේපන අලෙවියට තැබීම, අවශ්‍ය තොරතුරු රහිතව කල් ඉකුත් වූ ආලේපන අලෙවියට තබා ඇති බවය.
ඒ අනුව මීට අදාළව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ ආයතනයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව අදාළ ආයතනය මෙම චෝදනා සම්බන්ධව අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
ඒ අනුව අදාළ සමාගමට එරෙහිව රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය ෴
වැඩි මිලට පානීය ජල බෝතල් විකිණූ ආපනශාලාවකට රු. ලක්ෂ 5 ක දඩයක්
(13.09.2026 – sinhala.adaderana.lk)
මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100 ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක (5) දඩයක් මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝමාගම, ගලවිලවත්ත පිහිටි පුද්ගලික සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.
2025.12.11 දින සිදුකළ වැටලීමේදී, එවකට වලංගුව පැවති අංක 2430/15 දරන ගැසට් නිවේදනයේ විධාන අංක 93 ප්‍රකාරව මිලිලීටර් 500 දේශීයව බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියමිත උපරිම සිල්ලර මිල රු. 70 ක්ව තිබියදී, එම ජල බෝතලයක් රු. 100 කට අලෙවි කර ඇති බව අනාවරණය විය.
මෙම නඩුව පසුගිය (10)වන දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, චෝදනාවට වරද පිළිගත් විත්තිකාර සමාගමට අධිකරණය විසින් රු. 500,000 ක දඩයක් නියම කරන ලදී.
මෙම වැටලීම 2025 දෙසැම්බර් මාසයේ එවකට බලපැවැත්වූ උපරිම සිල්ලර මිල අනුව සිදු කරන ලද්දකි.
2026 ජූනි 10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ විධාන අංක 96 ප්‍රකාරව, මේ වන විට දේශීයව බෝතල් කළ පානීය ජලය (PET) සඳහා බලපැවැත්වෙන උපරිම සිල්ලර මිල ගණන් ලෙස,
- මිලිලීටර් 500 – 999 ml දක්වා, රු. 80.00
- ලීටර් 1 – 1.499 L දක්වා, රු. 120.00
- ලීටර් 1.5 – 1.999 L දක්වා, රු. 150.00
- ලීටර් 2 – 2.499 L දක්වා, රු. 180.00
- ලීටර් 5 – 6.999 L දක්වා, රු. 400.00
මේ අතර, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් හෝ වෙනත් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි ෴
අපරාධ කල්ලිවලට අත්බෝම්බ ලැබුණු හැටි හෙළි වෙයි
(12.09.2026 – sinhala.adaderana.lk)
දෙහිවල නිවසකට ඊයේ (11) අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගත් බව පොලිසිය පවසයි.
එහිදී අනාවරණවී ඇත්තේ, පාතාල කල්ලි අතර ගැටුම්වලදී අත් බෝම්බ භාවිත කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවය.
මේ අතර දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයෙන් නිවෙස් හිමියාගේ පාදයකට සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් එම පාදය ඉවත් කිරීමට පියවරගත් බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු (2) දිවි අහිමි විය.
ඔවුන්ගේ පියා ද පාදයකට බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර සිදුව තිබූ තුවාල හේතුවෙන් එම පාදය ඉවත්කිරීමට පියවර ගත් බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.
සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙම අත්බෝම්බ ප්‍රහාරයට හේතුවී ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව ‘බඩෝවිට අසංක’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශ්වයෙන් පළිගැනීමට ‘කුඩු අවිශ්ක’ නමැත්තාගේ පාර්ශ්වය ප්‍රහාරය එල්ල කර තිබූ අතර එය වැරදි නිවසක් ඉලක්ක කර එල්ල කර ඇති බව ද සඳහන්ය.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගියේ මව් සෙනෙහසද අහිමිව පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු 17 හැවිරිදි කසුන් රශ්මික හා ඔහුගේ සහෝදරයා වන 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන දෙදෙනාය.
දරුවන් දෙදෙනාගේ (2) වියෝව පිළිබඳව ඔවුන් අධ්‍යාපනය හැදෑරූ දෙහිවල ශ්‍රාස්තානන්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකු ෆේස්බුක්හි සංවේදී සටහනක් තබා ඇත.
“කුඩා කාමරයක සියලු අවශ්‍යතා සපුරාගනිමින් තම පියාගේ මවට එම කාමරයේම තබා උපස්ථාන කිරීම නොරිස්සූ මව, ඔවුන් හැරදා වෙනතක් බලාගත් කල, දරුවන් දෙදෙනා (2) රැකබලාගනිමින්, ත්‍රිවිලර් ගාස්තු සොයා ඇවිත් බත් පාර්සල කා දරුවන් දෙදෙනා (2) ඉතා යහපත්ව සැදූ ඔහුට හා රටට වටිනා අහිංසක දරුවන් දෙදෙනෙකු (2) අහිමි කර ඇත.
අයියා පාසල ඇරී එනතුරු, පුංචි පන්තිය ඉවර වූ කුඩා පුතු බුදු මැදුර අසල වාඩිවී කල්ගෙවූ අයුරු සිහිපත්වේ. මතු අකල් මරණයකට ලක්නොවී සංසාරෙන් එතෙරවීමට ලැබේවායි පතමි!”
මියගිය දරුවන්ගේ මෘතදේහ අද (12) රාත්‍රියේ ඔවුන්ගේ ඥාති නිවසක් වෙත රැගෙන ඒමට නියමිතය.
මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් තුනක් (3) මගින් සිදුකෙරෙන විමර්ශනවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගත් බව පොලිසිය සඳහන් කරයි.
එහිදී අනාවරණවී ඇත්තේ, පසුගිය කාලයේදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්බෝම්බ ප්‍රමාණයක්ද මෙරට අපරාධ කල්ලි වෙත ලැබී ඇති බවය.
මේ අතර විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් කුලියාපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ ෴
+++
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴