සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික දිනයට සමගාමීව ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන කොළඹදී ඇරඹේ

සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික දිනයට සමගාමීව ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන කොළඹදී ඇරඹේ

වෛද්‍ය ප්‍රතිකාර නොගෙන යාඥා බලයෙන් රෝගය සුව කරගැනීමට උත්සාහ කළ කාන්තාවක් මියගොස් දින කිහිපයකට පසු හමුවෙයි

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් වික්ක ප්‍රසිද්ධ බේකරියකට දඩ

SLS නැති විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවිකළ ආයතනයකට රු. ලක්ෂ 4 ක දඩයක්

මේ ධර්මය ඇසෙන අවසාන කාලය ද….? මෙහෙමත් ‘රහතුන්’ සහ ‘ත්‍රිපිටකවේදීන්’….! (10.09.2026)


සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික දිනයට සමගාමීව ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන කොළඹදී ඇරඹේ

(10.09.2026 – hirunews.lk)

මානසික සෞඛ්‍යය පිළිබඳ සමාජය තුළ පවතින නිහඬතාව දුරලමින් ආකල්ප සාධනීය ලෙස ඉහළ නැංවීම සහ සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සමාජ කතිකාවතක් ඇති කිරීම අරමුණු කරගනිමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහනේ සමාරම්භය ඊයේ (09) පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ආරම්භ කෙරුණා.

මෙම ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන වෙනුවෙන් සමාජය දැනුම්වත් කිරීමේ විශේෂ පා ගමනක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) උදෑසන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වී කොළඹ විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කළා.

සැප්තැම්බර් මස 10 දිනට යෙදෙන ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනයට (World Suicide Prevention Day) සමගාමීව, “Changing the Narrative on Suicide” (සියදිවි නසාගැනීම් පිළිබඳ කථිකාවත වෙනස් කරමු) යන ජාත්‍යන්තර තේමාව පෙරදැරි කරගනිමින් මෙම පාගමන පැවැත්වුණා.

එහිදී “කලාව සහ ධනාත්මක මනසක් තුළින් ජීවිතයේ බලාපොරොත්තු සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගමු” යන්න මෙරට ප්‍රධාන සන්නිවේදන තේමාව ලෙස අවධාරණය කෙරුණා.

පාගමනින් අනතුරුව පැවති ජනතාව දැනුම්වත් කිරීමේ රැස්වීමේදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, වර්තමානයේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සුවිශේෂී අවශ්‍යතාවක් පවතින බවයි.

අනෙකුත් ලෙඩ රෝග මෙන්ම හඳුනාගත හැකි සහ හඳුනාගත නොහැකි මානසික රෝගී තත්ත්වයන් පවතින බැවින්, මූලික අවස්ථාවේදීම එම තත්ත්වයන් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නා.

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන හරහා ග්‍රාමීය ජනතාව අතරට ප්‍රජා මානසික සෞඛ්‍ය සේවා ගෙන යාමට සහ මෙරට ප්‍රජා මානසික සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මානසික සෞඛ්‍ය) වෛද්‍ය එරංගා රාජපක්ෂ සඳහන් කළේ, සෑම තත්ත්පර 40 කට වරක් ලොව කොතැනක හෝ සියදිවි නසා ගැනීමක් වාර්තා වන අතර එම සංඛ්‍යාව වසරකට 720,000 කට වැඩි බවයි.

පසුගිය වසර 10 තුළ මෙරට දත්ත අනුව සෑම වසරකම 3100 ක් 3500 ක් පමණ ප්‍රමාණයක් සියදිවි නසාගැනීමට කටයුතු කර ඇති බවත්, මෙම ජීවිත බේරා ගැනීමට සමාජය සතු වගකීමක් හා හැකියාවක් ඇති බවත් ඇය පෙන්වා දුන්නා.

මානසිකව ශක්තිවත් ජීවන නිපුණතාවලින් පරිපූර්ණ දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් ක්‍රියාත්මක වන බවද ඇය පැවසුවා.

මානසික පීඩන සහ විශාදය වැනි තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් මුහුණ දෙන අභියෝග කලාව සහ නිර්මාණශීලී ප්‍රකාශනයන් ඔස්සේ සමනය කිරීමත්, ඕනෑම දුෂ්කර අවස්ථාවකට සාර්ථකව මුහුණ දිය හැකි මානසික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමත් මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වුණේ.

තමන්ට හෝ තමන් දන්නා හඳුනන අයෙකුට කිසියම් මානසික පීඩාවක්, දැඩි ආතතියක් හෝ ජීවිතයට මුහුණ දීමට අපහසුතාවක් දැනේ නම්, ඒ සඳහා උපකාර සහ වෘත්තීය උපදේශන සේවා සැපයීමට 1926 ජාතික මානසික සෞඛ්‍ය ක්ෂණික ඇමතුම් සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ජී.එම්. ජනක කිත්සිරි ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, මානසික සෞඛ්‍ය විශේෂඥයන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් සහ මහජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

+++


වෛද්‍ය ප්‍රතිකාර නොගෙන යාඥා බලයෙන් රෝගය සුව කරගැනීමට උත්සාහ කළ කාන්තාවක් මියගොස් දින කිහිපයකට පසු හමුවෙයි

(10.09.2026 – hirunews.lk)

වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගෙන නිවෙසේ සිට යාඥා බලයෙන් රෝගය සුව කර ගැනීම සඳහා කටයුතු කළ කාන්තාවක් නිවෙස තුළ මියගොස් දින කීපයකට පසුව හමුවී ඇති බව මොරගහේන පොලිසිය පවසනවා.

අදාල නිවෙස දෙසින් දුගඳක් හමන බවට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අංක 27, විකසිත උයන, කරගහදෙනිය, කුඩා උඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි ඒකනායක මුදියන්සේලාගේ නිර්මලා ප්‍රසාදි ඒකනායක නමැති කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව මරදාන ප්‍රදේශයේදී අනතුරකට ලක්ව අංශභාගය වැනි රෝගී තත්ත්වයකට පත්ව සිට ඇති බවයි.

එහෙත් ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු නොකර නිවෙසේ සිට දේව මෙහෙයන් පවත්වමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරියගේ සැමියා නොමැති අතර, ඇය වෙනත් පුරුෂයකු සමග ජීවත් වී ඇති අතර, ඔවුන් දෙදෙනාම යාඥා දේව මෙහෙයන් සිදු කරන අය බවද අනාවරණය වී තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පොලිසිය විසින් සිරුර සොයා ගන්නා විටත් ඇය මියගොස් දින දෙකක්වත් (2) ගත වී ඇති බවට සැක කෙරේ.

අනතුරුව මෘත දේහය හෝමාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මොරගහහේන පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් වික්ක ප්‍රසිද්ධ බේකරියකට දඩ

(10.09.2026 – sinhala.adaderana.lk)

පාරිභෝගිකයින් නොමඟ යවමින් කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වූ බේකරි නිෂ්පාදන ආයතනයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000 ක දඩ මුදලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම නඩුව පවරා ඇත්තේ, අදාළ වෙළෙඳසැලේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී, කල් ඉකුත් වීමේ දිනය 2026/04/16 ලෙස සඳහන්ව තිබූ ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බනිස් අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබියදී අනාවරණය කරගැනීමෙන් පසුවය.

ඉන් අනතුරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ ආයතනයට එරෙහිව නීතිමය පියවර ගෙන තිබූ අතර, ඊයේ (09) දින නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ (අංක 05) හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට සිය වරද පිළිගෙන තිබේ.

එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදුව නියම කර ඇත.

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි නිෂ්පාදන දිනය සහ කල් ඉකුත් වීමේ දිනය නිසි ලෙස පරීක්ෂා කර බැලීම පාරිභෝගිකයින්ගේ වගකීමක් වන අතර, මෙවැනි නීතිවිරෝධී ලෙස කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු වෙතොත්, කාර්යාල වේලාවන් තුළ 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙස බලධාරීන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී ෴


SLS නැති විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවිකළ ආයතනයකට රු. ලක්ෂ 4 ක දඩයක්

(10.09.2026 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවි කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයකට රුපියල් ලක්ෂ 4 ක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ ආයතනයට එරෙහිව චෝදනා 4 ක් යටතේ නඩු පවරා තිබුණි.

පසුගිය අගෝස්තු මස 28 වනදා සිදුකළ වැටලීමකදී, අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය අවශ්‍ය විදුලි දිගු රැහැන් SLS සලකුණ නොමැතිව රුපියල් 2,790 ක මිලකට අලෙවි කරමින් තිබියදී හඳුනාගෙන ඇත.

එමෙන්ම අවම වගකීම් කාලයක් ලබා නොදීම සහ සැපයුම්කරුවන්ගේ නීත්‍යානුකූල බිල්පත් නොමැතිව භාණ්ඩ අලෙවියට තැබීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.

අධිකරණය හමුවේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකාර සමාගමට රුපියල් 400,000 ක දඩයක් නියම කර ඇත.

2017 දෙසැම්බර් 07 වනදා නිකුත් කළ අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 63 දරන විධානය යටතේ වෝල්ට් 250 නොඉක්මවන විදුලි උපාංග කිහිපයක් සඳහා අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය නියම කර තිබේ.

ඒ අනුව පේනු, Socket Outlets, විදුලි දිගු රැහැන්, ඇඩප්ටර, Fused Connection Units, පරිවර්තක පේනු සහ කේබල් රීල් සඳහා අදාළ SLS ප්‍රමිති සහතිකය තිබීම අනිවාර්ය වේ.

විදුලි අනතුරු සහ ගිනිගැනීම් වළක්වා ගැනීම සඳහා මෙවැනි විදුලි උපාංග මිලදී ගැනීමේදී SLS ප්‍රමිති ලාංඡනය සහ වගකීම් කාලය පරීක්ෂා කර, නීත්‍යානුකූල බිල්පතක් ලබාගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි ෴


මේ ධර්මය ඇසෙන අවසාන කාලය ද….? මෙහෙමත් ‘රහතුන්’ සහ ‘ත්‍රිපිටකවේදීන්’….! (10.09.2026)

ථේරවාදී බුදු දහම අභියෝගයකට ලක් කරමින් ධර්ම විකෘතිය සිදුකරණ පැවිද්දන් හෙළිදරව් කිරීමත් ඔවුන්ගේ ධර්ම විරෝධී ප්‍රකාශයන් හෙළි කිරීමත් අපගේ ඒකායන අරමුණයි. එහි දී එම හිමිවරුන්ගේ තරාතිරම හෝ ඔවුන් කවුද යන්න අපට වැදගත් නොවේ. මෙයින් මූලිකම කණ්ඩායම් තුනක් (3) හදුන්වා දිය හැකි අතර, ‘කිරිබත්ගොඩ ඤාණානන්ද’ සහ ඊනියා ‘මහමෙව්නා අසපුව’ ඒයින් ප්‍රධාන තැනක් ගනී. දෙවන (2) කණ්ඩායම ‘පිටිදූවේ’, ‘කැකිරාවේ සුදස්සන’ සහ ‘දිවිතුරේ සුනීත’ ප්‍රමුඛ කණ්ඩායමයි. තෙවන (3) කණ්ඩායම වන්නේ ‘වහරක’ කණ්ඩායමයි. මෙයට ‘මීවනපලානේ ධම්මාලංකාර’, ‘හදපාංගොඩ නිවාතාප’ ඇතුලු බුදු හිමියන් ලංකාවේ උපන් බව කියන සියල්ලන් ඇතුලත් වෙයි. අනෙක් කණ්ඩායම ‘හොර රහත්’ කණ්ඩායමයි. මේ පිළිබඳව දිගින් දිගටම අනාවරණය කරන අතරම, ධර්ම ධර විනය ධර හිමිවරැන් අනාවරණය කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අවසරයි, පිටිගල ගුණරතන හිමියන්, මාංකඩවල සුදස්සන හිමියන්, පලුගස්වැවේ සධ්ධාතිස්ස හිමියන්, අලව්වේ අනෝමදස්සී හිමියන් කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්, මාංකඩව නන්දරතන හිමියන්, මාංකඩවල සමාහිත හිමියන්, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්, ඉලුකේගම අත්තදස්සි හිමියන්, බලංගොඩ රාධ හිමියන් සහ නා උයන ආරණ්‍ය, පොල්ගස්දූව ආරණ්‍ය, ගල්දූව ආරණ්‍ය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය, නිස්සරණවන ආරණ්‍ය සේනාසනය, ථෙරවාද ධර්මායතනය, ඒසේ ධර්ම විරෝධී නොවන නිවැරදි ධර්ම මාර්ගය දේශනා කරන හිමිවරුන් සහ ආයතන ලෙස අප හඳුනාගෙන තිබේ.

+++

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ පොත් 27 බාගත කරගන්න : (pdf)

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *