තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ රු. කෝටි 8 ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට

තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ රු. කෝටි 8 ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට

දන්දීමේ විපාක මෙලොවදීම (06.09.2026)

දකුණු ආසියාවේ ප්‍රථම ‘ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව’ Spera එළිදක්වයි

කුළුගෙඩියෙන් ගසා පිළිස්සූ සිරුර ප්‍රපාතයකට විසි කරලා : බව්ලානේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි

පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

‘අස්වැසුම’ මුදල් වංචාවකට ගුරුවරුන් 6 කගේ වැඩ තහනම් කෙරේ

‘ඉෂාරා සෙව්වන්දි’ට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්


තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ රු. කෝටි 8 ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට

(09.09.2026 – sinhala.adaderana.lk)

තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක සහ විදේශ රැකියා නියෝජිත ආයතනයකට කඩා වැදී, සේවකයන් දණගස්වා රුපියල් කෝටි අටකට (8) ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ මහාමොලකරු සහ එහි රියැදුරු ලෙස කටයුතු කළ සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට පත් මෙම සැකකරු සතුව තිබී, කොල්ලකන ලද මුදලින් රුපියල් එක්කෝටි අසුපන් ලක්ෂයක (1,85,00,000) මුදලක්, කොල්ලයට යොදාගත් මෝටර් රථයක් සහ සොරාගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 01 වැනිදා මුහුණු ආවරණය කරගෙන තියුණු ආයුධවලින් සන්නද්ධව පැමිණි තිදෙනකු (3) ගෙන් යුත් කල්ලියක් අදාළ ආයතනයට කඩා වැදී එහි සිටි පිරිසට මරණීය තර්ජන එල්ල කරමින් දේපළවලටද පහර දී පසුව රුපියල් හය කෝටි පනස් ලක්ෂයකට (6,50,00,000) ආසන්න මුදලක් සහ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) වටිනා පවුම් 30 ක රන් භාණ්ඩ තොගයක්ද කොල්ලකා පලා ගොස් තිබිණි.

බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද රහසිගත තොරතුරක් මත, මුල්ලේරියාව රෝහල් පාර ක්‍රීඩාංගනය ආසන්නයේ වසර හතරක (4) පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිටි මෙම සැලසුම්කරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර එම රැකියා නියෝජිත ආයතනයේ උප නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති අයකු බවය.

අධික ලෙස ණය වී සිටින ඔහු, අදාළ ආයතනයේ හිමිකරුටද රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක (1,50,00,000) ණය මුදලක් ලබා දීමට තිබී එය මගහැර සිටි අයෙකි.

මෑතකදී මුල්ලේරියාව ප්‍රදේශයේ විවාහා උත්සවයකදී නියෝජිත ආයතනයේ හිමිකරු විසින් සැකකරුට මුදල් නොදී මගහැරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ බැණ වැදී ඇති අතර, එහිදී ඇති වූ දැඩි ලැජ්ජාව සහ අධික ණය බර හේතුවෙන් ඇති වූ වෛරයක් මත මෙම කොල්ලය සැලසුම් කර ඇති බව සැකකරු ප්‍රකාශ කර තිබේ.

මෙම අපරාධය සඳහා වෙනත් පුද්ගලයන් නොමැතිකම නිසා, සැකකරු මීට වසර කිහිපයකට පෙර නවගමුව පොලිසියේ කම්කරුවකු ලෙස රාජකාරි කළ, පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ උදව් ඉල්ලා ඇත. පසුව එම පුද්ගලයා නවගමුව බෝමිරිය ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනකු (2) මීට සම්බන්ධ කරගෙන තිබේ.

කොල්ලයට මසකට පමණ ඉහතදී සිද්ධමුල්ලේ පිහිටි නිවසේදී මොවුන් සියලු දෙනා එක්ව සාකච්ඡා කර සැලසුම් සකස් කර ඇති අතර, හංවැල්ලේ මූල්‍ය ආයතනයකින් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකට ව්‍යාජ අංක තහඩු සවි කර මෙම අපරාධයට යොදාගෙන ඇත.

කොල්ලයෙන් පසු සැකකරුවන් යළි සිද්ධමුල්ලේ එම නිවෙසටම පැමිණ මුදල් බෙදාගෙන තිබේ.

ඒ අනුව ප්‍රධාන සැකකරුට රු. කෝටි දෙකක් (2) ද, නවගමුව පොලිසියේ හිටපු සිවිල් සේවකයාට රු. කෝටි එකහමාරක් (1½) සහ රන් භාණ්ඩ තොගය ද, අනෙක් දෙදෙනාට (2) පිළිවෙළින් රුපියල් අසූපන් ලක්ෂය (85,00,000) බැගිනුත් ලබා දී ඇත.

සැකකරු ලබාගත් මුදල්වලින් බෝමිරියේ මිතුරියකට රු. ලක්ෂ 50 ක් තබා ගැනීමට දී ඇති අතර, තවත් රු. ලක්ෂ 13 කින් උගස් තබා තිබූ ඉඩමක් බේරාගෙන, මුල්ලේරියාවේ කාන්තාවන් කිහිප දෙනකුගෙන් ගෙන තිබූ ණය ද බේරුම් කර ඇත.

ඉතිරි රු. ලක්ෂ තුන (3) හැර අනෙක් සියලුම මුදල් මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.

අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන්ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය අතර විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය පවසයි ෴

+++

+


දන්දීමේ විපාක මෙලොවදීම (06.09.2026)

+ https://www.facebook.com/reel/1094874966198383


දකුණු ආසියාවේ ප්‍රථම ‘ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව’ Spera එළිදක්වයි

(09.09.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ තාක්ෂණික සමාගමක් වන Spera, දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව ලෙස හඳුන්වා දෙන‘Spera Humanoid – Prototype One’ එළිදක්වා තිබේ.

සමාගමේ නවවැනි (9) සංවත්සරය සනිටුහන් කරමින් හඳුන්වාදුන් මෙම පූර්ණ ප්‍රමාණයේ ද්විපාද රොබෝව ආරක්ෂක කටයුතු සඳහා නිර්මාණය කර ඇති අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ශ්‍රී ලාංකීය නිර්මාණයක් බව Spera පවසයි.

විදේශයන්හි නිෂ්පාදනය කරන ලද රොබෝ පද්ධතියක් හෝ විදේශීය තාක්ෂණය භාවිත කර මෙරට එකලස් කළ නිෂ්පාදනයක් වෙනුවට, මෙම රොබෝව මූලික සැලසුමේ සිටම ශ්‍රී ලාංකීය ඉංජිනේරු හැකියාව සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු මත නිර්මාණය කර ඇති බව සමාගම සඳහන් කළේය.

Spera හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ‘සහන් යාපා’ කුඩා කල සිටම යන්ත්‍ර නිර්මාණය කෙරෙහි උනන්දුවක් දැක්වූ ස්වයං අධ්‍යයනයෙන් ඉංජිනේරු දැනුම ලබාගත් ව්‍යවසායකයෙකි. ඔහු මෘදුකාංග සංවර්ධනය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව සහ රොබෝ තාක්ෂණය පිළිබඳ දැනුම ස්වයං අධ්‍යයනයෙන් ලබාගෙන තිබේ.

වසර ගණනාවක් පුරා සිදුකළ අසාර්ථක අත්හදා බැලීම් සහ මූලාකෘති මෙන්ම මූල්‍ය අභියෝග ජයගනිමින් මෙම රොබෝව සංවර්ධනය කළ බව සමාගම පැවසීය. බාහිර ආයෝජන මත පමණක් රඳා නොසිට, ජාත්‍යන්තර සේවාදායකයන් සඳහා Blockchain, Industry 4.0 සහ නව තාක්ෂණික විසඳුම් සපයන මෘදුකාංග ව්‍යාපාරයක් හරහා උපයාගත් ආදායම රොබෝ තාක්ෂණය සංවර්ධනය සඳහා යළි ආයෝජනය කළ බව යාපා සඳහන් කළේය.

Spera පවසන්නේ මෙම මූලාකෘතිය ලොව ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සඳහා ජාත්‍යන්තර අවධානය දිනාගෙන ඇති බවයි. රටවල් කිහිපයක වාණිජ මට්ටමින් නිෂ්පාදනය හඳුන්වාදීමට සමාගම සැලසුම් කර ඇති අතර, ඉදිරියේදී‘Spera 2.0’ දෙවැනි පරම්පරාවේ අනුවාදයද සංවර්ධනය කිරීමට නියමිතය.

“අපි වාර ගණනාවක් අසාර්ථක වුණත් උත්සාහය අත්හැරියේ නැහැ. අද ශ්‍රී ලාංකීය තාක්ෂණික හැකියාව ලෝකයට පෙන්වීමට අපි සූදානම්,” යාපා පැවසීය.

+++

+++

https://www.speralabs.com/humanoid-robot

+++

+


කුළුගෙඩියෙන් ගසා පිළිස්සූ සිරුර ප්‍රපාතයකට විසි කරලා : බව්ලානේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි

(09.09.2026 – hirunews.lk)

මිතුරන් තිදෙනෙකුගේ (3) මත්පැන් සාදයකට පසුව මතු වූ පැරණි කෝන්තරයක් මුල් කරගනිමින් කුළුගෙඩියකින් පහරදී අයෙකු ඝාතනය කර, සිරුර අඩක් පුළුස්සා කැලෑබද ප්‍රපාතයකට විසිකර තිබූ සිදුවීමක් අනාවරණය කර ගැනීමට තලාතුඔය පොලිසිය සමත්ව තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තලාතුඔය, බව්ලාන ප්‍රදේශයේ පදිංචිව ‘ශාන්ත සංජය බණ්ඩාර’ නැමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.

එම තරුණයා නිවෙසක් තනිවම පදිංචිව සිට ඇති බවත් කුලී වැඩ ජීවිකාව කරගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 04 වැනිදා රාත්‍රියේ සිට දින කිහිහිපයක් ඔහුගේ නිවසේ විදුලි බුබුළු දැල්වී තිබීම සහ තරුණයා නිවසේ පෙනී නොසිටීම ගැන සැක සිතූ ඔහුගේ බාල සොහොයුරා තලාතුඔය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණා.

එහිදී අතුරුදහන් වූ තරුණයා පසුගිය 04 වැනිදා රාත්‍රියේ තවත් තරුණයින් දෙදෙනෙකු (2) සමඟ බහින්බස් වෙමින් ගමන් කරන අයුරු දුටු බවට තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුර මත ක්‍රියාත්මක වූ පොලිසිය පසුගිය 07 වැනිදා අලුයම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි සැකකාර තරුණයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත්තා.

දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරුවෙකුගේ පියා විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් පොලිසියට කොටුකර දෙන ලද්දේ මියගිය ‘ශාන්ත සංජය’ බවට වූ සැකය මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය වූ දින මත්පැන් පානය කිරීමෙන් පසු ඉස්මතු වූ මෙම හිත් අමනාපකම මත, නිවෙසට ගිය තරුණයා යළි සාදය පැවැත්වූ හේන් භූමියට කැඳවාගෙන ගොස් පැලක තිබූ කුළුගෙඩියකින් හිසට පහරදී මරා දැමූ බවයි සැකකරුවන් පාපොච්ඡාරණය කර ඇත්තේ.

පසුව හේන් භූමියේදීම ලී කැබලි යොදා සිරුර අඩක් පුළුස්සා, රෙදි කඩක ඔතා කැලෑබද ප්‍රපාතයකට විසිකර දැමූ බවටද සැකකරුවන් පාපොච්චාරණය කර තිබෙනවා.

අනතුරුව සැකකරුවන් පෙන්වූ ස්ථානයෙන් අඩක් පිළිස්සී නරක් වෙමින් තිබූ සිරුර සොයාගෙන ඇති අතර, මහනුවර දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් පසු සිරුර මහනුවර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියෝග කර තිබුණා.

තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴


පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

(09.09.2026 – hirunews.lk)

පොලිස් නිශ්කාෂණ සහතික නිකුත් කිරීමේ දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා.

එම පද්ධතිය යාවත්කාලීන කරන තුරු https://police.lk/ නිල වෙබ් අඩවියට පිවිස අයදුම්පත් බාගත කර සම්පූර්ණ කළ හැකි බවයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.

මේ අනුව සම්පූර්ණ කළ අයදුම්පත ජාතික හැදුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමග clearance@police.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කර යුතු වනවා.

මෙම අවස්ථාවේදී ඒ සදහා කිසිදු මුදල් ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන අතර, තාවකාලික ක්‍රමවේදයට අයදුම්පත් යොමු කරන සියලුම අයදුම්කරුවන් දත්ත පද්ධතිය යථාවත් වූ පසු මාර්ගත ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.

+++

https://police.lk/clearance-certificates


‘අස්වැසුම’ මුදල් වංචාවකට ගුරුවරුන් 6 කගේ වැඩ තහනම් කෙරේ

(09.09.2026 – hirunews.lk)

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුවූ රු. කෝටි 2 කට අධික ‘අස්වැසුම’ මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම කාර්යාලයේ අංශභාර සැකකාරියන් දෙදෙනා (2) ලබන 22 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකාරියන් දෙදෙනා (2) ඊයේ (08) ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම මුදල් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, වංචා කරන ලද මුදල රුපියල් කෝටි 2 ඉක්මවන බැවින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව හැටන් කොට්ඨාස විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර මුදල් අමාත්‍යාංශයේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරියන් දෙදෙනා (2) විසින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන ගුරුවරුන් 6 දෙනෙකුගේ බැංකු ගිණුම්වලටද මෙසේ වංචනික ලෙස මුදල් බැර කර ඇති බවයි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එකී ගුරුවරුන් 6 දෙනාගේ වැඩ තාවකාලිකව තහනම් කර ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳවද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව, ප්‍රධාන සැකකාරියකගේ සහෝදරයෙකුගේ ගිණුමකටද විශාල වශයෙන් මුදල් බැර වී ඇති බව අනාවරණය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් තනතුරක් දැරූ එම තැනැත්තාගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමට දිස්ත්‍රික් ලේකම්වරිය පියවර ගෙන තිබුණා ෴


‘ඉෂාරා සෙව්වන්දි’ට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්

(09.09.2026 – hirunews.lk)

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ‘ඉෂාරා සෙව්වන්දි’ට යාපනයේ අලෙයියාලෙයි සිට ඉන්දියාවට පලා යෑම සඳහා ආධාර අනුබල දුන් බෝට්ටු රියැදුරා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (08) නියෝග කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 30ක් රඳවා ප්‍රශ්න කළ ‘සෙල්වනේෂන් ජේසුදාසන්’ නොහොත් ‘පලසු’ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම බෝට්ටු රියැදුරු ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතන නඩුවේ හතළිස් හත්වන (47) සැකකරු ලෙස නම් කරන බවයි.

සැකකරු විසින් මනා දැනුමක් ඇතිව ‘ඉෂාරා සෙව්වන්දි’ යන අයව රටින් පිට කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවත්, ‘සෙව්වන්දි’ව ඉන්දියාවට ගොඩ බැස්සූ පසුව ඔහු විසින් බෝට්ටුවේ සාක්ෂිය වන ‘ජී පී එස් යන්ත්‍රය’ විනාශ කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු විසින් මේ ආකාරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රටින් පිටවීමට ආධාර අනුබල දී ඇති බවත්, ඉන්දියාවට යෑම සඳහා ඔහු රුපියල් පනස් දහසක (50,000) මුදලක් අයකර ඇති බවටත් කරුණු හෙළිව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබුවා ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *