දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (09) ‘එක්දින සංකේත වැඩ වර්ජනයක්’

දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (09) ‘එක්දින සංකේත වැඩ වර්ජනයක්’

දුම්රිය වෘත්තීය සමිති පැය 48 ක වැඩවර්ජනයකට සැරසෙයි

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනෙකු (2) රිමාන්ඩ්

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් WhatsApp වීඩියෝ තාක්ෂණයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්

සරණගේ අල්ලස් නඩුවකට විනිසුරු ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීමට අල්ලස් ගත්තැයි කොළඹ මහාධිකරණයේ කා.කා.ස. රිමාන්ඩ්

2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා සතොස අලෙවිසැල් 31 ක් වහලා

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ඔක්තෝබර් 01 සිට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන්

“මාධ්‍ය 2/3 බලයෙන් යටපත් කිරීමට දරන උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක්” – මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්දනය කරන වගන්ති ගැන ‘දිනන දකුණෙන්’ විරෝධය

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීම හෙට (09)

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් යළිත් රිමාන්ඩ්


දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (09) ‘එක්දින සංකේත වැඩ වර්ජනයක්’

(08.09.2026 – hirunews.lk)

දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (09) ‘එක්දින සංකේත වැඩ වර්ජනයක්’ ආරම්භ කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙසේ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි ඔවුන් පවසන්නේ ෴


දුම්රිය වෘත්තීය සමිති පැය 48 ක වැඩවර්ජනයකට සැරසෙයි

(08.09.2026 – hirunews.lk)

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්තනෝමතික පරිපාලන ක්‍රියාකලාපය හේතුවෙන් දුම්රිය සේවය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවට චෝදනා කරමින්, ඊට එරෙහිව පැය 48 ක දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24 ක් තීරණය කර තිබෙනවා.

මෙම අත්තනෝමතික පාලනය හේතුවෙන් මගී ජනතාව නිරන්තරයෙන් දැඩි අපහසුතාවයන්ට පත්වන බවත්, ඒ පිළිබඳව හඬ නඟන වෘත්තීය සමිති නිලධාරීන් මර්දනය කිරීමට පාලනාධිකාරිය කටයුතු කරන බවත් එම සංගම් චෝදනා කරන්නේ.

ඊට විරෝධය පළ කරමින් මෙම මස 17 වැනිදා සහ 18 වැනිදා දෙදින පුරා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි

(08.09.2026 – hirunews.lk)

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති රාජකිය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන් ගමන් ගත් රථය මත්තල දී අනතුරකට ලක්ව තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී 09:00 ට පමණ මත්තල පිවිසුම අසල දී මාර්ගයේ සිටි මී ගවයෙකුගේ වැදී මෙම රථය පෙරළි මාර්ගයෙන් ඉවතට විසි වී ඇති බව සඳහන්.

රථයේ ආරක්ෂක වායු බැලුන් හේතුවෙන් විහාරාධිපති හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ ෴


මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනෙකු (2) රිමාන්ඩ්

(08.09.2026 – hirunews.lk)

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ජාතික රෝහලේ සේවකයින් දෙදෙනෙකු මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මරදාන පොලිසියට ලද තොරතුරකට අනුවයි ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ මෘත ශරීරාගාරය ආසන්නයේ දී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් මහියංගනයේ සහ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34 සහ 37 යන වයස්වල පසුවන්නන්.

බොරුල්ල – වනාතමුල්ල ප්‍රදේශයෙන් ලැබෙන මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා සන්තකයේ තබා ගෙන සිටිය දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, ඉන් එක් අයෙකු මෘත ශරීරාගාරයේ සේවකයෙකු බව සඳහන්.

මොවුන් දිර්ඝ කාලයක් රෝහල් සේවකයින්ට සහ පිටත පුද්ගලයින්ට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බව අණාවරණය වී තිබෙනවා.

එසේම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට අනුව සැකකරුවන් දෙදෙනා (2) දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බවටයි හෙළි වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කළේ, මෙම සේවකයින් දෙදෙනාගේ (2) වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බවයි ෴


ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් WhatsApp වීඩියෝ තාක්ෂණයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්

(08.09.2026 – hirunews.lk)

160 වන පොලිස් දිනයට සමගාමීව, ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව සඳහා වන අයිතිවාසිකම් සුරැකීමේ සහ පහසුකම් පුළුල් කිරීමේ පියවරක් ලෙස, 119 හදිසි ඇමතුම් අංශය වෙත WhatsApp සමාජ ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ සුරතින් නිල වශයෙන් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙම ව්‍යාපෘතිය අනිද්දා (10) දින සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද පොලිස් මූලස්ථානය පවසනවා.

මෙමගින් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශය සමඟ සම්බන්ධ වී පැමිණිලි ඉදිරිපත් කිරීමට විශේෂ කෙටි දුරකථන අංකයක් හඳුන්වා දෙන තෙක්, පහත දැක්වෙන පියවර අනුගමනය කරමින් තම පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි බව පොලිසිය සඳහන් කරනවා.

පැමිණිල්ලක් ඉදිරිපත් කරන ආකාරය :

  • ප්‍රථමයෙන් 011 280 9980 දුරකථන අංකය ඔබේ ජංගම දුරකථනයේ Save කරගන්න.
  • ඉන්පසු WhatsApp හරහා එම අංකයට හඬ ඇමතුමක් (Audio Call) ලබා ගන්න.
  • එවිට එම දුරකථන ඇමතුම ස්වයංක්‍රීයව විසන්ධි වී, ඔබේ දුරකථනය වෙත Link එකක් (සංකේතයක්) ලැබෙනු ඇත.
  • එම Link එක හරහා නැවත WhatsApp වෙත පිවිසෙන්න.
  • එහි ඇති ‘Join Browser’ ක්ලික් කර ‘Join Meeting’ වෙත පිවිසෙන්න.

මෙම සරල ක්‍රියාවලියෙන් පසු වීඩියෝ ඇමතුම සමඟ සම්බන්ධ වී ඉතා පහසුවෙන් තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ෴


සරණගේ අල්ලස් නඩුවකට විනිසුරු ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීමට අල්ලස් ගත්තැයි කොළඹ මහාධිකරණයේ කා.කා.ස. රිමාන්ඩ්

(08.09.2026 – hirunews.lk)

කොළඹ මහාධිකරණයේ විභාග වන හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුප්ත ගුණවර්ධන යන අයට විරුද්ධව අල්ලස් කොමිසම විසින් පවරා ඇති අල්ලස් නඩුවකට අධිකරණයේ විනිසුරුතුමා ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීම සඳහා රුපියල් 750,000 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (08) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් කොමිසම විසින් අද (08) අත් අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ මහාධිකරණයේ අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු වශයෙන් සේවයේ යෙදි සිටි අයෙකි ෴


2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා සතොස අලෙවිසැල් 31 ක් වහලා

(08.09.2026 – hirunews.lk)

පසුගිය 2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා සතොස අලෙවිසැල් 31 ක් වසා දැමීමට කටයුතු කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (08) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

2026 අගෝස්තු 17 දින වන විට දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් සංඛ්‍යාව 424 ක් බව‍යි ඔහු පවසා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා :

“සතොස ආයතනය පිළිබඳව අපි ආණ්ඩුව ගන්නකොට සතොස ආයතනය රු. බිලියන 24 ක පාඩුවක්. රු. බිලියන 11 කට ආසන්න බාහිර පාරිශ්වකරුවන්ට ගෙවන්න තියෙන ණයක් රු. බිලියන පහක (5) ‘ඕඩී’ එකක්. මේ සමඟ තමයි භාර ගන්නේ. ඒත් එක්කම ගරු කථානායකතුමනි, අපිට මේ හේතුව නිසාම .. සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කරලා අපි බඩුගන්නවා. සැපයුම්කරුවන් ටෙන්නඩරයට බිල ගෙවීමේදී නැවත ආපසු ඔවුන්ගේ ගෙවීම් කිරීමේදී සැලැකිය යුතු බාධාවක් තියෙනවා. මේ තියෙන දැන් පාඩු වෙච්චේ පාඩු ප්‍රමාණය ගත්තොත් අති විශාල පාඩුවක් හැමදාම සිද්ධ වෙලා තිබුණා. අපි ගන්නකොට රු. මිලියන 160 ක් මාසිකව පාඩුයි.

දැන් අපි ගිය මාසේ ඒක ලාබ ලබන මට්ටමට ගෙනාවා. එතකොට අපිට තියෙන ප්‍රශ්නෙ, මේ සතොසට බඩු ගැනීමේදී අනිත් පුද්ගලික අංශ මිලදී ගන්නා වගේ සැපයුම්කරුවන්ගෙන් ගන්න බෑ. පළවෙනි එක. දෙවෙනි එක ඒ ගන්න බඩු මිලදී ගත්තම එයාලගේ බිල ‘පේමන්ට්’ කරන්න මාසෙක විතර කාලයක් ගත වෙනවා. හැබැයි අනෙකුත් ආයතන ඒ මොහොතේ සල්ලි දීලා ගන්නවා. ඒ නිසා අපිට ලැබෙන කොමිෂන් එකට වඩා ඒ ආයතන වලට ලැබෙන කොමිෂන් එක වැඩියි. අපි කොමිෂන් එක ලැබෙන ප්‍රමාණය සලකලා බලලා භාණ්ඩ ගණනාවක මිල පහුගිය දවස්වල අඩු කරා” ෴


පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ඔක්තෝබර් 01 සිට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන්

(08.09.2026 – hirunews.lk)

පෞද්ගලික අංශයේ සේවකයන්ට දුම්රිය ප්‍රවාහන සේවා සඳහා වාර ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 වැනිදා සිට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ සඳහා
https://seatreservation.railway.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කළ හැකි බවයි ෴


“මාධ්‍ය 2/3 බලයෙන් යටපත් කිරීමට දරන උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක්” – මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්දනය කරන වගන්ති ගැන ‘දිනන දකුණෙන්’ විරෝධය

(08.09.2026 – hirunews.lk)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හරිමින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පතේ ගැටලුකාරී වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත කිරීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතළ ප්‍රහාරයක් බව ‘දිනන දකුණ සාමූහිකය’ පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය සඳහන් කර ඇත්තේ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් S.C.S.D. 27/2026 තීන්දුව මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එම තීන්දුව අනුව පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීම අවශ්‍ය නොවන බව තීරණය කර තිබුණද, එහි 3(i), 4(o) සහ 5(4)(b) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) වගන්ති සමඟ අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

එම වගන්ති අදාළ සංශෝධන හෝ ඉවත් කිරීම්වලින් තොරව සම්මත කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක් අවශ්‍ය බවද අධිකරණය පෙන්වා දී තිබෙනවා.

මාධ්‍යවේදීන් ප්‍රතීතනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය නිර්වචනයකින් තොර බලතල ලබාදීම, සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය නිරීක්ෂණය හා පාලනය කිරීමට ආයතනයට බලය පැවරීම සහ පාර්ලිමේන්තු පාලනයකින් තොරව අතුරු පාලක සභාවකට නීති සෑදීමට ලබාදී ඇති බලතල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ අවධානය යොමු කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

‘දිනන දකුණ සාමූහිකය’ චෝදනා කරන්නේ, එම ගැටලුකාරී වගන්ති 2/3 බහුතර බලය යොදාගනිමින් සම්මත කළහොත් ස්වාධීන මාධ්‍යවේදීන්ට, විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ට සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිය වෘත්තියේ නියැලීමට බාධා ඇති විය හැකි බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය, යූටියුබ් නාලිකා සහ විකල්ප මාධ්‍ය හඬවල්ද අත්තනෝමතික පාලනයකට ලක්වීමේ අවදානමක් පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම්වලට අනනුකූල බව හඳුනාගත් වගන්ති පාර්ලිමේන්තු බහුතර බලයෙන් නීතිගත කිරීම අධිකරණ පද්ධතිය සහ ව්‍යවස්ථාපිත ආරක්ෂක ක්‍රමවේද හෑල්ලු කිරීමක් බවද ‘දිනන දකුණ සාමූහිකය’ අවධාරණය කරනවා.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් අදාළ ගැටලුකාරී වගන්ති ඉවත් කරන ලෙසත්, තුනෙන් දෙකක බලය යොදාගනිමින් මාධ්‍ය නිදහස සීමා කිරීමට දරන උත්සාහයෙන් ඉවත් වන ලෙසත් රජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් එම සාමූහිකය ඉල්ලා සිටිනවා.

එමෙන්ම, මෙම ක්‍රියාවලියට එරෙහිව එක්වන ලෙස සියලු මාධ්‍ය සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගෙන්ද ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා ෴


මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීම හෙට (09)

(08.09.2026 – sinhala.adaderana.lk)

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මෙරට ශිෂ්‍යභට කණ්ඩායම් සහ ඉන්දියනු ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම, ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර අවබෝධා ගිවිසුම සහ ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ මෙරටට ලබා දුන් ගුවන් ආරක්ෂක අවි නොමිලයේම නඩත්තු කර දීම සඳහා වූ ගිවිසුම් තුනක් (3) සඳහා හෙට (09) දිනයේදී අත්සන් තැබෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද (08) පස්වරුවේ ඉන්දීය ප්‍රජාව මුණ ගැසීමට නියමිත බවත් හෙට (09) දිනයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරිය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

“එතුමා ලංකාවට එන්නේ ප්‍රධාන වශයෙන් ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සබඳතාවයන් තවත් ශක්තිමත් කරන්න. ආරක්ෂක කටයුතුවලට පමණක්ම නෙමෙයි. ඇත්තටම එන්නේ දෙරට අතර සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරන්න. අද (08) එතුමා ලංකාවට ඇවිල්ලා සවස ඉන්දියානු ප්‍රජාව මුණ ගැසීමට නියමිතයි. ඒත් එක්කම හෙට (09) උදේ ජනාධිපතිතුමාත් එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡාවක් තියෙනවා. ඉන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එක්ක සුහද කතා බහක් තියෙනවා. හවස අග්‍රාමාත්‍යතුමියව මුණ ගැසෙනවා. හෙට (09) හවස ගංගාරාම විහාරස්ථානයේ බෝධි පූජාවකට එතුමා සම්බන්ධ වෙනවා. අනිද්දා (10) උදේ නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලට යනවා. මේක තමයි සරළම වැඩසටහන.

හෙට (09) ජනාධිපතිතුමා මුණ ගැහෙන අවස්ථාවේදි ඉන්දියාව සහ සහ ලංකාව අතර ගිවිසුම් තුනක් (3) හුවමාරු කරගන්නවා. ඒ ගිවිසුම් ගත්තොත් :

පළමුවෙනි (1) එක තමයි ලංකාවේ ශිෂ්‍යභට කණ්ඩායම් සහ ඉන්දියාවේ ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම. ඒ කියන්නේ දෙරට අතර ශිෂ්‍යභටයන් අන්‍යෝන්‍ය වශයෙන් පුහුණු කිරීම්, ඒකාබද්ධ වැඩසටහන්වලට සම්බන්ධ වීම්.

දෙවැනි (2) එක තමයි ලංකාවේ තියෙන ජාතික ආරක්ෂක විද්‍යාලයයි ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර ගිවිසුම. මෙකෙන් වෙන්නේ දැනට අපේ රටේ ආරක්ෂක විද්‍යාලයෙන් ආරක්ෂක අංශයට යම් යම් පාඨමාලා පවත්වාගෙන යනවා ඒ වගේම ජාත්‍යන්තර ශිෂ්‍යන්ටත් පාඨමාලා පවත්වනවා. ඉතිං මේ ආයතන දෙක අන්‍යෝන්‍ය හුවමාරු වැඩසටහන් සහ දැනුම බෙදා හදා ගැනීම්, උපදේශකයින් හුවමාරු කර ගැනීම් තමයි මේ ගිවිසුමේ තියෙන්නේ.

තුන්වැනි (3) ගිවිසුම 2000-2006 කාලය තුළ ඉන්දියානු රජය අපිට ආධාර විදිහට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලිමීටර් 40L70 කියන ගුවන් ආරක්ෂක අවි 24ක් අපිට ප්‍රධානයක් විදිහට ලබා දුන්නා. මේ ගුවන් ආරක්ෂක අවි 24 න් 18 ක් නඩත්තු කටයුතු නොමිලයේම ලබා දුන්නා පහුගිය කාලය තුළ. ඉතුරු වෙලා තිබුණා 6 ක් ඒ ඉතුරු 6 ත් නොමිලයේම නඩත්තු කරලා දෙන්න ගිවිසුමකට එළැඹෙනවා.

මෙන්න මේ ගිවිසුම් තුන තමයි හුවමාරු වෙන්නේ” ෴


පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් යළිත් රිමාන්ඩ්

(08.09.2026 – sinhala.adaderana.lk)

මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් යළිත් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි ෴

+++

ඊයේ (07) දින සිරගතකල – මඩකලපුවේ හාමුදුරුවන් අවසන් වතාවට අප සමඟ කල සාකච්ඡාව (08.09.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *