ළමා නිවාසයේ බාල වයස්කාර පිරිමි දරුවෙකුට හිංසා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

ළමා නිවාසයේ බාල වයස්කාර පිරිමි දරුවෙකුට හිංසා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

සුංගාවිල කැලෑවේ දෙදිනක් (2) අතුරුදන් වූ යුවතිය හමුවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට‍

අඟුලාන ප්‍රහාරක යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටි නාවිකයාගේ බවට සැක සිරුරක් යාත්‍රාව තුලින් සොයාගැනේ


ළමා නිවාසයේ බාල වයස්කාර පිරිමි දරුවෙකුට හිංසා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

(04.09.2026 – hirunews.lk)

මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි ළමයෙකුට වධහිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා තලාතුඔය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් එම පිරිමි දරුවාගේ රහස් පෙදෙසට මිරිස් කුඩු දමා හිංසා කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

වින්දිත බාල වයස්කාර පිරිමි දරුවා මාරස්සන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි ෴


සුංගාවිල කැලෑවේ දෙදිනක් (2) අතුරුදන් වූ යුවතිය හමුවේ

(03.09.2026 – hirunews.lk)

සොමාවතිය චෛත්‍ය මාර්ගයේ සුංගාවිල රක්ෂිතයේදී අතුරුදන් වූ 19 හැවිරිදි තරුණියක් දින දෙකකට (2) පසු නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.

පුලස්තිගම පොලිසිය, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී තඹාල වැව ආසන්නයේදී ඇය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වැලිකන්ද, මොනරතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පසුගිය 02 වැනිදා උදෑසන හිතවතෙකු සමඟ යතුරුපැදියකින් සොමාවතිය මාර්ගයේ පැමිණ සුංගාවිල රක්ෂිතය ආසන්නයේදී යතුරුපැදිය නවතා කැලෑවට ඇතුළු වී තිබෙනවා.

එහිදී දෙදෙනා (2) වෙන්වීමෙන් පසු තරුණිය අතරමංව ඇති අතර, ඇය සොයා ගිය තරුණයාටද ඇය සොයාගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

මේ අතර, රක්ෂිතයේ මාර්ගය අසල හිමිකරුවෙකු නොමැති යතුරුපැදියක් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය සිදුකළ සෝදිසියේදී අදාළ තරුණයා සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව තරුණිය සොයා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් 65 දෙනෙකු පමණ එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම මෙහෙයුම අතරතුර තඹාල වැව ආසන්නයේ තරුණියක් සිටින බවට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිස් නිලධාරීන් ඇය සොයාගෙන තිබෙනවා.

පොලිසියට ඇය ප්‍රකාශ කර ඇත්තේ කැලෑවේදී තරුණයාගෙන් වෙන්වීමෙන් පසු අතරමං වූ බවත්, රාත්‍රියේ ගසක් යට රැඳී සිටි බවත්ය.

කැලෑවේ වන අලි සැරිසරන නමුත් තමන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බවත්, සතුව තිබූ ජල බෝතලයේ ජලය පානය කරමින් කැලෑවෙන් පිටතට පැමිණ තඹාල වැව ආසන්නයට ළඟා වූ බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.

පසුව තරුණිය දෙමාපියන් වෙත භාරදී පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, තරුණිය සමඟ කැලෑවට ගිය තරුණයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා ෴


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට‍

(04.09.2026 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06 ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කළ විමර්ශනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර පසුව ඇපමත මුදා හැරුණි.

එසේ ඇපමත මුදාහැර සිටියදී කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළේය.

මේ අතර එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන (2) සැකකරු ලෙස නම්කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි (3) සැකකරු වශයෙන් නම්කර සිටින ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

එසේම ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයන් පිරිසක්ද ඉකුත් අගෝස්තු මස මුල් සතියේ මෙරටට පැමිණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.

එවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණි.

ඒ අනුව අද (04) පෙරවරු 09:15 ට පමණ නාමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

+++

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද (04) පෙරවරුවේ පැමිණ තිබුණි.

එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් නියමිත පරිදි තෝරාගත් සමාගම ඉවත් කර තම හිතවත් අයෙකුට දී රුපියල් ලක්ෂ 79 ක පාඩුවක් සිදු කිරීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් දූෂණය නැවති වරද සිදු කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ අදාළ කොන්ත්‍රාත්තුව ලබා ගත් පෞද්ගලික සමාගමේ හිමිකරුද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ ෴

++

+


අඟුලාන ප්‍රහාරක යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටි නාවිකයාගේ බවට සැක සිරුරක් යාත්‍රාව තුලින් සොයාගැනේ

(04.09.2026 – sinhala.adaderana.lk)

අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහය සොයාගෙන ති‌බේ.

නාවික හමුදාව සඳහන් කළේ, අද (04) පෙරවරුවේ නාවික කිමිදුම්කරුවන් විසින් යාත්‍රාව තුලින් සොයාගත් බවය.

පසුගිය අගෝස්තු මස 15 වන දින මෙම වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමග අනතුරට ලක්විය. එම අවස්ථාවේදී එහි සිටි නාවිකයින් 11 දෙනෙකු අඟුලාන පොලිසියේ සහ දේශීය ධීවර ප්‍රජාවේ සහාය ඇතිව බේරා ගැණින.

ඉන් අනතුරුදන්ව සිටි නිලධාරියා සොයා අවට මුහුදු ප්‍රදේශවල සහ වෙරළ තීරයේ, පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව නිවේදනය කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *