සියඹලා ඇටයක් සිරවී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් පුංචි සනුදි

සියඹලා ඇටයක් සිරවී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් පුංචි සනුදි

අධි වෝල්ටීයතා විදුලි රැහැන් සහ කුළුණු අසල සරුංගල් යැවීමෙන් වළකින්න

‘කුඩු සලිඳු’ගේ නඩු ෆයිල් අතුරුදන්වීමට 10 ක ගෙන් ප්‍රකාශ ලබාගනියි

අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට

එම්.ටී.එෆ්.ඊ. නමැති නීති විරෝධී පිරමීඩ ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂවරයා යළිත් රිමාන්ඩ්

බටුවත්තේ චාමරගේ රු. ලක්ෂ 400 ක් වටිනා තෙමහල් (3) නිවසක් ඇතුලු දේපළ තහනම් කරයි

නිවාස අධිකාරියට අයත් මහල් නිවාසයක් ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකුට : වසර හයක (6) බරපතල වැඩ සහිත සිර දඬුවම්

Hiru TV Balaya Live | 2026-09-03

අනේ අයියේ අපිව දාලා යන්න එපා – ප්‍රියංකරගේ දේහය බදාගෙන නළු නිළියෝ අඬයි (03.09.2026)


සියඹලා ඇටයක් සිරවී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් පුංචි සනුදි

(03.09.2026 – sinhala.adaderana.lk)

සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් කුඩා ගැහැණු දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගලහා, නිල්ලඹ – කුරුකැලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි, පවුලේ බාලම දරුවා වන සනුදී ලක්ෂානි නමැති අවුරුදු 07 ක දැරියකි.

ඊයේ (02) පස්වරුවේ සිය සොහොයුරියන් සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිටින අතරතුර, දෙමාපියන්ට නොදැනෙන සේ කුස්සියේ තිබූ සියඹලා ස්වල්පයක් ලබාගෙන අනුභව කිරීමට දැරිය උත්සාහ කර ඇත.

එහිදී සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් දැරිය දැඩි ලෙස අසනීප වී තිබේ.

සිද්ධිය සැලවීමත් සමඟ නිවසේ සිටි මව ඇතුළු ඥාතීන් විසින් දරුවා බේරාගැනීම සඳහා ලොරිරථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත්, රෝහල වෙත ගෙන යන අතරතුරදීත් දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

මෘත ශරීරය දැනට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලහා පොලීසිය විසින් සිදුකරයි ෴


අධි වෝල්ටීයතා විදුලි රැහැන් සහ කුළුණු අසල සරුංගල් යැවීමෙන් වළකින්න

(03.09.2026 – sinhala.adaderana.lk)

220 kV සහ 132 kV අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග යට, කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ හෝ ඒ අවට ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) පුද්ගලික සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර සිටියේ, සරුංගල් සහ ඒවායේ නූල් විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල පැටලීම හේතුවෙන් අවස්ථා ගණනාවකදීම සම්ප්‍රේෂණ මාර්ග ක්‍රියා විරහිත වීමේ සිදුවීම් වාර්තා වූ බවය.

මෙවැනි සිදුවීම් විදුලිදෝෂ ඇති කිරීමටත්, සම්ප්‍රේෂණ මාර්ග ස්වයංක්‍රීයව විසන්ධි වීමටත් හේතුවිය හැකි බවත් අදාළ නිවේදනයේ සඳහන්.

සම්ප්‍රේෂණ මාර්ගවල පැටලී ඇති සරුංගල් සහ නූල් ආරක්ෂිත හා පාලිත ක්‍රියාපටිපාටි යටතේ මේ වනවිට අතින් ඉවත් කිරීම් සිදුවන බව අදාළ සමාගම පවසයි.

එනිසා මෙවැනි සිදුවීම් ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට සහ ආරක්ෂාවට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවත්, විදුලි ජනන ඒකක ක්‍රියාවිරහිත වීමටද හේතු විය හැකිය.

මෙවැනි සිදුවීම් හේතුවෙන් ඊයේ (02) ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට බලපෑම් ඇති වූ බවත්, පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තෝරාගත් බෙදාහැරීමේ විදුලි පෝෂක කිහිපයක් විසන්ධි කිරීමට සිදුවූ බව අදාළ නිවේදනයේ දැක්වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස එම පෝෂකවලට සම්බන්ධව සිටි ඇතැම් පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇත ෴


‘කුඩු සලිඳු’ගේ නඩු ෆයිල් අතුරුදන්වීමට 10 ක ගෙන් ප්‍රකාශ ලබාගනියි

(03.09.2026 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සලිඳු මල්සිත ගුණරත්න’ හෙවත් ‘කුඩු සලිඳු’ට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩු දෙකක (2), ගොනු දෙකක් (2) අස්ථානගතවීමේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් දසදෙනෙකු (10) ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා සඳහන් කළේ, ප්‍රකාශ ලබාගත් පිරිස අතර නිලධාරිනියන් 7 දෙනෙකු ද සිටින බවය.

මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ නඩු ගොනු අස්ථානගතවීම පිළිබඳව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පානදුර දකුණ මූලස්ථාන පොලිසියට පෙරේදා (01) කරන ලද පැමිණිල්ලකට අනුවය.

ඒ අනුව ‘බී-වාර්තාවක්’ මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

අතුරුදන්ව ඇත්තේ ‘කුඩු සලිඳු’ගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනුව බව සඳහන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් ඉකුත් 28 වැනිදා කැඳවූ නඩුවකට අදාළ වාර්තාව සොයාගැනීමට නොහැකි වීම නිසා, උපගොනුවක් මගින් එය නැවත 31 වැනිදා කැඳවීමට කල්තබා ඇත.

පසුව සිදුකළ සොයාබැලීමේදී මෙම නඩු ගොනු අස්ථානගතව ඇති බව අනාවරණය වී තිබේ.

අදාළ නඩු ගොනුවල පිටපත් ලබාගැනීම සඳහා කාර්යාල කාර්ය සහයක වෙත ලබාදී ලේඛනාගාර ගතකර තිබියදී මෙලෙස අතුරුදන්ව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ සංකීර්ණයේ ඇති CCTV කැමරා පද්ධතිය ද පරීක්ෂාවට ලක්කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් මත, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් සහ පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ලගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ ෴


අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට

(03.09.2026 – sinhala.adaderana.lk)

අබුඩාබි නුවර සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට පොලීසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ගිනිඅවි සන්තකයේ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට පොලීසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිට පිටුවහල් කිරීමෙන් පසු අද (03) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අශෝකපුර, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ‘දිසානායක මුදියන්සේලාගේ බන්ධුල දිසානායක’ සහ කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ‘සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර’ නැමැති අයවලුන්ය.

ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සහ ඒවා ඉලක්ක වෙත පතිත වී පුපුරා යන ආකාරය දැක්වෙන දර්ශන තම ජංගම දුරකථනවල ගබඩා කරගෙන සිටීමේ චෝදනාව මත මොවුන් දෙදෙනා (2) එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිට පසුව මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

අද (03) උදෑසන 10:15 ට ‘ඉටිහාඩ් ගුවන් සේවය’ට අයත් EY-392 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි සැකකරුවන් දෙදෙනා (2) භාරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් ‘බන්ධුල දිසානායක’ නැමැත්තා මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනා ලැබූවෙකි.

‘පරෙවි සුදා’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු වන ‘හර්ෂ කුමාර’ නැමැත්තා මීට පෙර බූස්ස බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමකට ද සම්බන්ධ අයෙකි.

මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ‘බන්ධුල දිසානායක’ නැමැත්තා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) වෙතත්, ‘හර්ෂ කුමාර’ නැමැත්තා කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙතත් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ යොමුකර තිබේ ෴


එම්.ටී.එෆ්.ඊ. නමැති නීති විරෝධී පිරමීඩ ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂවරයා යළිත් රිමාන්ඩ්

(03.09.2026 – hirunews.lk)

එම්.ටී.එෆ්.ඊ. (MTFE) නමින් පවත්වාගෙන ගිය බව කියන නීති විරෝධී පිරමීඩ ආයතනයක ප්‍රධාන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් ජනතා මුදල් වංචා කළ බවට චෝදනා ලැබ බන්ධනාගාරගත කර අධිකරණයට ඉදිරිපත් කළ ‘රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවර්ධන’ නමැති සැකකරු ලබන 17 දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලදී සැකකරුගෙන් ලබා ගත් ප්‍රකාශයෙන් සැකකරු සතුව තවත් බැංකු ගිනුම් 2 ක් ඇති බවත්, මෙම ගනුදෙනු කටයුතු සිදු කිරීමට ප්‍රදේශ 17 කින් එක් ප්‍රදේශයකින් එක් කලමනාකරුවෙකු බැගින් කලමනාකරුවන් 17 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ඇති අතර තවත් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම සැකකරුගේ පියා, බිරිඳ ඇතුළු සිද්ධියට සම්බන්ධ සියලුම සාක්ෂිකරුවන්ගෙන් ද මේ වන විට ප්‍රකාශ ලබාගෙන අවසන් කර ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ.

විමර්ශන නිලධාරීන් විසින් සැකකරුගේ බිරිඳ පදිංචිව සිටින නිවස පරීක්ෂා කර ඇති අතර, එහිදී නඩුවට අදාළ වැදගත් නඩු භාණ්ඩ සහ ලේඛන සොයාගෙන ඇති බව අධිකරණයට දන්වා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින්, සැකකරු විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදී ඇති අතර ඔහු මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රකාශ දෙකක් (2) මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ප්‍රකාශ ලබාදී ඇති බව නීතිඥවරයා පැවසුවා.

මේ වන විට සැකකරුගේ බිරිඳ, පියා ඇතුලු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බැවින්, සාක්ෂි වලට කිසිදු බලපෑමක් කිරීමට නොහැකි අතර සැකකරුගේ බිරිදගේ නිවසින් අදාල නඩු භාණ්ඩ ද ලබා ගෙන ඇති බව නීතිඥවරයා පැවසුවා.

විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාදී ඇති බවත්, සැකකරුගේ පියා, බිරිද ඇතුළු ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන අවසන් කර ඇති බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැකකරු මුදාහරින ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සැකකරු සිදු කළ පිරමීඩ වංචාව, රත්රන් මිලදී ගත් ස්ථාන, ඒවා විකුණු ස්ථාන සහ ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව විමර්ශන සිදුකරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළා. සැකකරු 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගති කිරීමටද නියෝග කළා ෴


බටුවත්තේ චාමරගේ රු. ලක්ෂ 400 ක් වටිනා තෙමහල් (3) නිවසක් ඇතුලු දේපළ තහනම් කරයි

(03.09.2026 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ජරුවෙකු ලෙස සැලකෙන රැඳවුම් නියෝග මත සිටි ‘මනෝජ් සුරංග ලියනගේ’ හෙවත් ‘බටුවත්තේ චාමර’ නමැත්තාගේ සුඛෝපභෝගී වාහනයක් (1) සහ රු. ලක්ෂ 400 ක තෙමහල් (3) නිවසක් ඇතුලු දේපළ තහනම් කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සාමාන්‍යයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම සැකකරු සංවිධානාත්මකව කරන ලද අපරාධවලින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මෙලෙස මුදල් වංචා කළ ඇති බවයි ෴


නිවාස අධිකාරියට අයත් මහල් නිවාසයක් ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකුට : වසර හයක (6) බරපතල වැඩ සහිත සිර දඬුවම්

(03.09.2026 – hirunews.lk)

නිවාස අධිකාරියට අයත් කොම්පඤ්ඤවීදියේ මහල් නිවාසයක් ලබාදෙන බවට පවසා රුපියල් 19,50,000 ක් (දහනම ලක්ෂ පනස් දාහක මුදලක් ) වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරු කළ ගල්කිස්සේ පුද්ගලයෙකුට වසර හයක (6) බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (02) නියම කළා.

අසරණ පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුට සමාජයට ආදර්ශයක් විය හැකි වන පරිදි උපරීම දඬුවම
ලබාදෙන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කළ කරුණු දැක්වීම් වලින් පසුව මෙම තීන්දුව නිකුත් කළා.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අශෝක සිසිර කුමාර නමැති විත්තිකරුට මෙම දඬුවම නියම කළ අතර අගතියට පත් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂයක (100,000) වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.

රුපියල් දහනව ලක්ෂ පනස් දාහක (19,50,000) මුදලක් වංචා කිරීම, සාපරාදී සාවද්‍ය පරිහරණය හා රජයේ ලේඛන බවට අඟවමින් කූඨ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවට වසර දෙක (2) බැගින් මෙම දඩුවම් නියම කළ මහේස්ත්‍රාත්වරයා වින්දිත තැනැත්තියට අදාළ වන්දිය නොගෙවන්නේ නම් මාස හයක (6) ලිහිල් සිර දඬුවමක් හිමි විය යුතු බවට ද නියෝග කළා.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයෙන් (41056) කුමරසිරි හා පොලිස් කොස්තාපල් (91896) මදුශාන් කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු අදාල නිවසේ ලබා දෙන බවට පවසා නිවාස අධිකාරියේ ලේඛන බවට අඟවා ව්‍යාජ ලේඛන සහ නිවසේ යතුර ද අගතියට පත් තැනැත්තියට ලබා දී ඇති බවය.

2021 වසරේ සිට සිදු කළ දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරු වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කොට ඇති බැවින් උපරිම දඬුවම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා.

විත්තිකරුට කුඩා දරුවෙකු සිටින බැවින් යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදෙන ලෙසට ඔහුගේ නීතිඥවරයා ඉල්ලා සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා යළි සමාජගත වීම හැකි දඬුවමක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් චෝදනා තුනට (3) වසර දෙක (2) බැගින් වසර හයක (6) සිර දඬුවම් නියම කරන බව තීන්දු කළා ෴


Hiru TV Balaya Live | 2026-09-03

+


අනේ අයියේ අපිව දාලා යන්න එපා – ප්‍රියංකරගේ දේහය බදාගෙන නළු නිළියෝ අඬයි – ජන ගඟක් අවසන් ගෞරව දෙන්න එයි (03.09.2026)

+++

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *