ඉවත්කළ පොලිස් ආරක්ෂාව ඉල්ලා කුරුන්දි පුදබිමේ විහාරාධිපති හිමිගෙන් ලිපියක්
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘වැල්ලේ සාරංග’ට කුළී ඝාතන චෝදනා රැසක්
ඉවත්කළ පොලිස් ආරක්ෂාව ඉල්ලා කුරුන්දි පුදබිමේ විහාරාධිපති හිමිගෙන් ලිපියක්
(30.08.2026 – sinhala.adaderana.lk)
මුලතිව්හි ඓතිහාසික කුරුන්දි රජ මහා විහාර භූමියේ ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස එහි විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක්කර තිබේ.
විෂය භාර අමාත්‍යවරයා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වේ.
කුරුන්දි විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ සිට පොලිස් නිලධාරීන් ආරක්ෂාව පිණිස රැදී සිටි අතර, ඔවුන් පුරාවිද්‍යා රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුළුවී නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව උන්වහන්සේ අදාළ ලිපිය මගින් දැනුම්දී තිබේ.
එවන් ආරක්ෂක කාර්යයන් ඉටුකළ පොලිස් නිලධාරීන් විහාර භූමියෙන් ඉවත් කිරීම තුළින් පුරාවස්තු, පුරාවිද්‍යා රක්ෂිතය මෙන්ම වන සංරක්ෂණ රක්ෂිතය ද දැඩි අවදානමකට ලක්ව ඇති බවයි විහාරාධිපති හිමියෝ ලිපිය මගින් පෙන්වා දෙන්නේ.
විටින් විට මෙම ස්ථානයට විවිධ අන්තවාදි කණ්ඩායම් විවිධ උද්ඝෝෂණ ආදිය සඳහා පැමිණිය ද, ඒවා වැළැක්වීම සඳහා සිවිල් ආරක්ෂක බලය ඇත්තේ පොලිස් නිලධාරීන්ට පමණක් බවද එහි සඳහන්ය.
එබැවින් ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ ෴
මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාර භූමියෙන් ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
විහාරස්ථානයේ ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව යළි ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් විසින් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගෙන තිබේ.
අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, විහාරස්ථානය සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විහාරාධිපති හිමියන් වෙත දැනුම් දී ඇති බව සඳහන් ෴
+++

+++ මුලතිව්හි ඓතිහාසික කුරුන්දි රජ මහා විහාරය +++

+
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘වැල්ලේ සාරංග’ට කුළී ඝාතන චෝදනා රැසක්
(30.08.2026 – hirunews.lk)
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගමගේ සාරංග ප්‍රදීප්’ හෙවත් ‘වැල්ලේ සාරංග’ නැමැත්තා සිදුකළ කුළී ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් වන මෙම ‘වැල්ලේ සාරංග’ නැමැත්තා පසුගිය දා අත්අඩංගුව ගෙන තිබුණේ, පසුගියදා ‘බස් ලලිත්’ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය ‘මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ’ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ හා ‘බුද්ධි සේවයේ’ නිලධාරීන් ලබාදුන් තොරතුරු මතයි.
ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි සති කිහිපය තුළ මෙරටට රැගෙන ඒමට නියමිත බවද වාර්තා වුණා.
2020 වසරේ අගෝස්තු මාසයේදී ‘වැල්ලේ සාරංග’ නමැත්තා කටුනායක ගුවන් තොටුපලෙන් විදෙස් රටකට පලායෑමට උත්සාහ කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු ඇප මත නිදහස්ව සිටියදී යළි රහසේ ඩුබායි වෙත පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ල වනවා.
ඒ අනුව 2022 වසරේ ජුනි මාසයේ වත්තල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කුලී ඝාතකයින් ලවා ඝාතනය කිරීම, මට්ටක්කුලිය ප්‍රදේශයේදී ‘අලිවත්තේ අසිත’ නමැත්තාගේ ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වන චෝදනායි.
මීට අමතරව 2024 වසරේ පෙබරවාරි මාසයේදී ‘වැල්ලේ සාරංග’ නමැත්තාගේ මස්සිනා වන ‘උක්කුවා’ නමැත්තා ඝාතනයට පළිගැනීමක් ලෙස 2025 වසරේදී ‘ඩුබායි නිපුණ’ගේ ගෝලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ 2023/2024 වසරවල මෝදර හා මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ‘වැල්ලේ සාරංග’ පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු ද වනවා ෴
පෙට්‍රල් මිල පහළට අද (30) මධ්‍යම රාත්‍රියේ සිට
(30.08.2026 – sinhala.adaderana.lk)
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමූ බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
- ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් : රු. 20 කින් අඩුවේ ; නව මිල රු. 475
- ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් : රු.15 කින් අඩුවේ : නව මිල රු. 399
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴