05 වැනිදා සිට රට පුරා ජනතාව මුළා කරන ‘පච රැස්වීම්’ මාලාවක්

05 වැනිදා සිට රට පුරා ජනතාව මුළා කරන ‘පච රැස්වීම්’ මාලාවක්

වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA

ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න ආ පෙම්වතාගේ උත්සහාය වැරදුණු හැටි

මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා පෙට්‍රෝලියම් සහ ගෑස් නිධි දෙකක් (2)


05 වැනිදා සිට රට පුරා ජනතාව මුළා කරන ‘පච රැස්වීම්’ මාලාවක්

(29.08.2026 – lankacnews.com)

ලබන 05 වැනිදා සිට රජය විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් මාලාව ජනතාව මුළා කරන ‘පච රැස්වීම් මාලාවක්’ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ වත්මන් රජය බලයට පත්වූයේම අසත්‍ය ප්‍රචාර පතුරුවමින් බවත්, එම ක්‍රියාවලිය හේතුවෙන් අද වන විට රට දැවැන්ත විනාශයක් කරා ගමන් කරමින් පවතින බවත්ය.

මෙහිදී රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ දයාසිරි ජයසේකර මහතා, සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල්වලින් සියයට 70 ක් පමණ තවමත් වියදම් කර නොමැති බව අනාවරණය කළේය.

මෙරට ජනතාව මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දී සිටියදී, රජය විසින් නේපාලයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක (1) මුදලක් පරිත්‍යාග කිරීමට පියවර ගැනීම හාස්‍යයට කරුණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

දේශීය අවශ්‍යතා මගහරිමින් ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය වීම සඳහා රජය මෙවැනි තීරණ ගන්නා බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත රැස්වීම් මාලාව හරහා යළිත් වරක් ජනතාව මුළා කිරීමට රජය උත්සාහ දරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

+++

+


වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA

(29.08.2026 – hirunews.lk)

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව අර්බුදයකට ගෙන යාමේ දේශපාලන න්‍යාය පත්‍රවලට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමට සියලුම වෛද්‍ය කාණ්ඩ අතර සහයෝගීතාව සහ පද්ධතියේ අභ්‍යන්තර ස්ථාවරත්වය අත්‍යවශ්‍ය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

පසුගිය කාලයේ රටේ පැවති ආර්ථික, සමාජ හා දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම දැඩි ගැටලුවක් බවට පත්වූ බවද GMOA සඳහන් කරනවා.

එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය වෘත්තීය සංගම් ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබූ අතර, එහිදී සියලුම වෛද්‍ය කාණ්ඩ රට තුළ රඳවා ගැනීම සඳහා ‘ශ්‍රී ලංකා වෛද්‍ය සේවය’ නමින් නව සේවා කාණ්ඩයක් සහ වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට එකඟ වූ බවයි එම සංගමය කියා සිටින්නේ.

2026 අයවැය තෙවනවර කියවීමේදීද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අරමුණින් එවැනි වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කරන බවට සහතික වී තිබූ බව GMOA පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත්, එමගින් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම සංගමය චෝදනා කරනවා.

එක් වෛද්‍ය කාණ්ඩයක් සඳහා පමණක් වෙනම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රෝගී සත්කාරයට සිදුවිය හැකි බලපෑම සලකා, එම යෝජනාවට තම සංගමය එකඟ නොවන බවද GMOA සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් තම වාචික හා ලිඛිත අදහස් අදාළ කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම කමිටු වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා තිබුණත් එය මෙතෙක් ලබාදී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා ෴


ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

(29.08.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන ඉරාන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ පවසනවා.

කෙසේ වෙතත්, අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත් රැඳී සිටින බැවින්, ඒ සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකාවකට නොමැති බවත්, එම නෞකාවලට පහසුකම් සැපයීමක් සිදුනොකරන බවත් ඔහු කියා සිටියා.

තම වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා සිටින බවට ‘ටෑන්කර් ට්‍රැකර්ස් වෙබ් අඩවිය’ සඳහන් කළා.

අමෙරිකාව යොදා ඇති නාවුක බාධකය හේතුවෙන් අදාළ නෞකාවලට, ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකි වී ඇති බවයි එහි දැක්වුණේ ෴

+++

+


උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න ආ පෙම්වතාගේ උත්සහාය වැරදුණු හැටි

(29.08.2026 – sinhala.adaderana.lk)

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී සිටි තරුණියක් පැහැරගැනීමට දැරූ උත්සාහයක් පොලීසිය අද (29) ව්‍යර්ථ කළේය.

මෙම පැහැරගැනීම තරුණියගේ පෙම්වතා විසින් සිදු කර ඇති බව පොලීසිය පැවසීය.

මෝටර් රථයකින් තරුණියක් පැහැරගෙන යන බවට අද (29) දහවල් 01:30 ට පමණ නාරාහේන්පිට පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නතර කිරීමට උත්සාහ කළ ද එය පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කර ඇතැයි සඳහන්ය.

පසුව නාරාහේන්පිට නාවල පාරේදී ද එය නවතන ලෙස යළිත් සංඥා කළ ද රථය නොවත්වා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එහිදී රියදුරා මෝටර් රථය දමා පලාගොස් ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂාවේදී රථය තුළ තරුණියක් සිට ඇති අතර ඇය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැහැරගැනීමට ලක්වූ තරුණිය බවට හඳුනාගෙන ඇතැයි සඳහන්ය.

අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෝටර් රථය ධාවනය කර ඇත්තේ ඇයගේ පෙම්වතා බවය.

ඔවුන් දෙදෙනා මාතර වැලිගම සහ මිදිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

තරුණිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා සිය පවුලේ ඥාතීන් සමග බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ ඇති අවස්ථාවේ මෙම පැහැරගැනීමට ලක්ව තිබේ.

සිය පෙම්වතාට නොදන්වා ඇය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීම සඳහා පැමිණ ඇති අතර ඇය පැහැරගෙන යන බවට පොලිසියට දැනුම් දී ඇත්තේ තරුණියගේ පියා බවට තොරතුරු වාර්තා වෙයි.

පැහැරගැනීමට භාවිත කළ මෝටර් රථය කුරුඳුවත්ත පොලිසියට රැගෙන ගොස් ඇති අතර තරුණිය අද පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කෙරිණි.

මේ අතර එම මෝටර් රථය ද පැහැරගැනීම සිදුකළ පෙම්වතාගේ වන අතර එය තරුණියගේ පියා උපාධි ප්‍රදානෝත්සවයට රැගෙනවිත් ඇති බවත් මේවනවිට හෙළි වී තිබේ.

එම තරුණයා මත්ද්‍රව්‍ය භාවිත කිරීම හා අලෙවි කිරීමේ චෝදනා ලැබූවෙක් වන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති නිශාත්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ දකුණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් යටතේ විමර්ශන සිදු කෙරේ.

+


මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා පෙට්‍රෝලියම් සහ ගෑස් නිධි දෙකක් (2)

(29.08.2026 – lankacnews.com)

මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා වූ මුහුදු තීරයේ විශාල තෙල් සහ ගෑස් නිධි පවතින බවත්, ඉන් ඉතා උසස් තත්ත්වයේ ගෑස් නිධි දෙකක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

මහාචාර්යවරයා සඳහන් කළේ, මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කරන ලද ගවේෂණ ළිං හතරෙන් (4) දෙකකම (2) සාර්ථක ලෙස ගෑස් නිධි හමුවී ඇති බවයි.

ලෝක මට්ටමින් ගවේෂණ ළිං 20-25 ක් කැණීමේදී සාර්ථක වන්නේ ළිං 2 ක් හෝ 3 ක් පමණක් වුවද, ශ්‍රී ලංකාවේ මෙම සාර්ථකත්වය සියයට 50 ක ඉහළ මට්ටමක පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගෑස් නිධි මුහුදු පතුලේ සිට මීටර් 3000 ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත්, ඒවා වසර මිලියන ගණනක් පැරණි ලාවා තට්ටුවලට යටවී ආරක්ෂිතව පවතින බවත් මහාචාර්යවරයා අනාවරණය කළේය. මන්නාරමේ සිට දකුණු දෙසට පානදුර දක්වා වූ ගැඹුරු මුහුදේ පෙට්‍රොලියම් නිධි පවතින බවට දත්ත මගින් තහවුරු වී ඇති බැවින්, ඉදිරියේදී එම ප්‍රදේශවල ද ගවේෂණ කටයුතු සිදු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය පෙට්‍රොලියම් තාක්ෂණික දැනුම සහිත විද්‍යාඥයන් මෙරට තුළම සිටින බව පැවසූ මහාචාර්ය සේනාරත්න මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් 2001 වසරේ සිට ‘පෙට්‍රොලියම් ජියෝලොජි’ (Petroleum Geology) විෂයය උගන්වමින් දක්ෂ භූ විද්‍යාඥයන් පිරිසක් බිහි කර ඇති බව ද සඳහන් කළේය.

මෙම ස්වභාවික සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම හරහා මෙරට බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාගත හැකි බවත්, පිටරටින් ගෑස් ගෙන්වීම වෙනුවට දේශීය සම්පත් භාවිතයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *