රජයේ ඖෂධවේදීන්ගේ සංගමය 31.08.2026 වැනිදා එක්දින වැඩ වර්ජනයක

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය 31.08.2026 වැනිදා එක්දින වැඩ වර්ජනයක

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000 ක් ගබඩාවල හිරවෙයි

ජීවන්ත පීරිස් පියතුමාටත් වැඩේ හරි වගේ | ළඟදීම මෙයාව අත්අඩංගුවට ගන්නවා (28.08.2026)

22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය

වියළි කාලගුණය හමුවේ පවුල් 24,144 කට තවදුරටත් පානීය ජලය බෙදා හරියි

මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිනකට 80 කට අධික පිරිසක් ජීවිතක්ෂයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම වරායවල් 20 අතරට

‘අර්ජුන මහේන්ද්‍රන්’, ‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි

රටවල් 130 ක් අතරින් ලොව අඩුම පඩි දර්ශකයේ ලංකාවට 120 වැනි තැන : බංග්ලාදේශයත් අපිට වඩා ඉදිරියෙන්


රජයේ ඖෂධවේදීන්ගේ සංගමය 31.08.2026 වැනිදා එක්දින වැඩ වර්ජනයක

(28.08.2026 – sinhala.adaderana.lk)

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් ලබන 31 වැනිදා පෙරවරු 08:00 සිට ‘එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක’ නිරතවීමට තීරණය කර තිබේ.

ඒ, ඔවුන්ගේ “අමතර සේවා දීමනා” සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.

2026 අගෝස්තු 29 වනදින මුල් කරගනිමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහිදී ඖෂධවේදීන්ගේ අධිකාල දීමනා නිල නාමය වෙනස්කර “අමතර සේවා දීමනා”ලෙස සංශෝධනය කර තිබේ.

ඉන් අනතුරුව කිසිදු පිළිගත හැකි හේතුවක් නොදන්වා වෛද්‍ය සේවාව විසින් සිදු කරනු ලබන බලපෑම පදනම් කරගෙන එම චක්‍රලේඛය අවලංගු කර ඇති බවට එම සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පෙන්වාදෙයි.

කෙසේ වෙතත්, එම ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නැත.

ඒ අනුව අදාළ චක්‍රලේඛය බලගන්වන ලෙස ඉල්ලා සිටින අතර එසේ නොකරන්නේ නම් එය බලගන්නවන ලෙස බලකරමින් මෙම ‘එක්දින වැඩ වර්ජනය’ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අජිත් පී. තිලකරත්න මහතා සඳහන් කර සිටියේය.

සියලුම මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතන මානුෂීය කාරණා පිළිබඳ අවධානය යොමු කර ඉවත් කරන බව ද හෙතෙම කීය.

සෙසු සියලුම රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවත් ඒ ඒ ආයතන සහ රෝහල් තුළ ප්‍රධාන ඖෂධවේදීන් අමතා ආයතන ප්‍රධානීන්ට එම සේවාවන් ලබාගත හැකි බවත් ඔවුහු තවදුරටත් සඳහන් කර සිටියහ.

මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි අපහසුතා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴


ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000 ක් ගබඩාවල හිරවෙයි

(28.08.2026 – sinhala.adaderana.lk)

ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ වෛද්‍ය සැපයුම් අංශය (MSD) අතර හටගෙන ඇති ආයතනික සම්බන්ධීකරණ දෝෂයක් හේතුවෙන්, පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක එන්නත් 160,000 ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල සිරවී ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

අදාළ එන්නත එන තනි පෙට්ටියෙහි සියලු දත්ත හා එම සිලින්ජරයේ ඉදිරිපස නිවැරදි ලේබලය, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක බව නිවැරදිව සඳහන්ව තිබියදීත්, ලේබලයේ පිටුපස ඇති පරිපාලනමය ගැටලුවක් මුල් කරගනිමින් වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මෙම ඖෂධ භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.

රුපියල් 900 ක වැනි වටිනාකමක් ඇති මෙම එන්නත මේ වනවිට කළුකඩ මිලට අලෙවිවන බවත්, එය රුපියල් 25,000 කට වැඩි බවත් වාර්තා වේ. කෙසේ නමුත් එම මිල ගණන්වලටද මෙම එන්නත් ලබාගැනීමට නොහැකි බව වාර්තා වේ.

‘කීමෝතෙරපි’ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා මසකට රෝගීන් 25,000 කට ආසන්න පිරිසකට මෙම එන්නත් අත්‍යවශ්‍ය වේ.

මෙම එන්නත් තොගය සිලින්ජරයෙ පිටුපස ලේබල් කිරීම සඳහා යළි හරවා යැවුවහොත් එම තොගය මෙරටට නැවත ලැබීමට අවම වශයෙන් මාස 3 ක කාලයක් ගතවේ.

ඒ අනුව ඉදිරි මාස 3 ඇතුළත පිළිකා රෝගීන් 75,000 ක් පමණ දැඩි ජීවිත අවදානමකට මුහුණ දෙනු ඇත.

මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම මැදිහත් වී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, පිළිකා රෝග විශේෂඥයන් සහ රුධිර රෝග පිළිබඳ විශේෂඥයන් සම්බන්ධ කරගනිමින් හදිසි සාකච්ඡාවක් පවත්වා මෙම එන්නත් තොගය, රෝගීන් වෙත ලබාදීමට පියවර ගත යුතු බව ජාතික මට්ටමේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පැවසීය.

+


ජීවන්ත පීරිස් පියතුමාටත් වැඩේ හරි වගේ | ළඟදීම මෙයාව අත්අඩංගුවට ගන්නවා (28.08.2026)

+


22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය

(28.08.2026 – sinhala.adaderana.lk)

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගෙන ඇති ස්ථාවරයට සහ එමගින් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය මේ බව දැනුම් දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, බලතල වෙන් කිරීමේ මූලධර්මය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම එක් වෘත්තීය කණ්ඩායමකට පමණක් සීමා වූවක් නොවන අතර එය සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් බව එම සංගමය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය හෝ විශ්‍රාම වයස වෙනස් කිරීම වැනි කරුණු සාමාන්‍ය පරිපාලනමය සංශෝධනයක් ලෙස සැලකිය නොහැකි බවත්, එම වෙනස්කම් සිදු කරන ක්‍රමවේදය, කාලය සහ වර්තමාන ධූරධාරීන්ට සිදුවන බලපෑම මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසයට එල්ල වන බලපෑම ඉතා ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බවත් ලිපිය මගින් අවධාරණය කර ඇත.


වියළි කාලගුණය හමුවේ පවුල් 24,144 කට තවදුරටත් පානීය ජලය බෙදා හරියි

(28.08.2026 – sinhala.adaderana.lk)

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්ක 7 හි පවුල් 26,457 කට අයත් පුද්ගලයින් 84,545 ක් පීඩාවට පත්ව ඇති බවය.

මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක් සඳහා පානීය ජලය බෙදා හැරීමටද එම මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව පවුල් 24,144 ට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකුට පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතරින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 11,074 කට අයත් පවුල් 35,639 කට පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 9,547 කට අයත් පුද්ගලයින් 28,253 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 2,823 කට අයත් පුද්ගලයින් 8,847 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 683 ක පුද්ගලයින් 2,646, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 17 කට අයත් පුද්ගලයින් 79 ක් සඳහා පානීය ජලය බෙදා හැරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බවත් සඳහන් වේ ෴


මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිනකට 80 කට අධික පිරිසක් ජීවිතක්ෂයට

(28.08.2026 – sinhala.adaderana.lk)

මෙරට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 80-100 ත් අතර ප්‍රමාණයකට දිවි අහිමි වන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (28) පැවැති ‘රටම එකට’ ජාතික මෙහෙයුමට අදාළව, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය හා ඒ සම්බන්ධ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ දිනකට මෙවැනි මරණ සිදුවෙන වෙනත් තනිපුද්ගල හේතුවක් නොමැති බවත්ය.

එමෙන්ම මෙරටින් වැඩිම ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන කරුණ වන්නේ දුම්පානය බව පෙන්වා දුන් ඒ මහතා මධ්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගල මරණ 10-15 ත් අතර ප්‍රමාණයක් සිදුවන බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම මේ වන විට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවත් මීට ප්‍රධානම ආරම්භය ලැබී ඇත්තේ නීතිගත මත්ද්‍රව්‍ය බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව හෙරොයින් පානය කළ පුද්ගලයෙකු හෙරොයින් පානයට පෙර දුම්පානයට ඇබ්බැහි වි ඇතැයි ද ගංජා පානය කරන්නෙකු ද මින් පෙර දුම්පානය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවටත් අනාවරණය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා මේ සඳහා සාක්ෂි සහ දත්ත පවතින බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා :

“ලංකාවේ බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය භාවිතයට හේතුවක් තමයි මේ නීතිගත මත්ද්‍රව්‍යවලින් ලැබෙන ආරම්භය. ලංකාවේ දොරටු විවර කරලා දෙන ප්‍රධාන මත්ද්‍රව්‍යක් තමයි දුම්පානය. හෙරොයින්වලට භාවිතා කරන අයගෙන් බොහෝ පිරිසක් හෙරොයින්වලට පෙර දුම්පානය භාවිතා කරලා කියන එකට ඇති තරම් සාක්ෂි තියෙනවා. ඒ වගේම තමයි ගංජා භාවිතයට පෙර ගොඩක් අය භාවිතා කරලා තියෙන්නේ එක්කෝ මධ්‍යසාර නැත්නම් දුම්වැටි. මේ වගේ මත්ද්‍රව්‍ය අතර තියෙනවා මෙන්න මේ වගේ සම්බන්ධතාවයක්.

දෙවැන්න තමයි මේකෙන් වෙන හානිය. මේ තුළින් ආර්ථික, සමාජීය සහ සෞඛ්‍ය හානිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් කිව යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි සෞඛ්‍යමය පැත්ත ගත්තොත් එක දවසකට වැඩිම ජීවිත ප්‍රමාණයක් නැති කරන තනි හේතුව තමයි මත්ද්‍රව්‍ය. එකෙදි දුම්පානය නිසා ලංකාවේ දිනකට වැඩි ප්‍රමාණයක් ඇතිවන ලෙඩ නිසා මරණයට පත්වෙනවා. ඒ වගේම මධ්‍යසාර නිසා දිනකට 10-15 ත් අතර ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම තමයි අනෙකුත් මත්ද්‍රව්‍ය නිසා මිය වන ප්‍රමාණය තාමත් නිසි පර්යේෂණ මගින් තහවුරු කරලා නැති වුණාට අපි ඇස්තමේන්තුගත සාක්ෂි දත්ත බැලුවොත් එහෙම සාමාන්‍යෙයන් 10-15 ත් අතර ප්‍රමාණයක් දිනකට මිය යනවා. මේ අනුව සාමාන්‍ය දිනක් අනුව ගත් විට 80-100 අතර ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිසාම ජීවිතය නැතිවෙනවා. මේ මරණ දිහා ගත් විට මෙවැනි මරණ සිදුකරන වෙනත් තනිපුද්ගල හේතුවක් නැති තරම්.”


කොළඹ වරාය ලොව ප්‍රමුඛතම වරායවල් 20 අතරට

(28.08.2026 – sinhala.adaderana.lk)

2026 වසරේ පළමු මාස 6 ඇතුළත බහාලුම් මෙහෙයුම් 11.9% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින්, කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායවල් 20 අතරට පිවිසීමට සමත්ව තිබේ.

ජාත්‍යන්තර Alphaliner වාර්තාවලට අනුව, 2025 වසර අගදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ පසුවූ කොළඹ වරාය,

මෙම 2026 වසරේ මුල් මාස හය (6) තුළදී පමණක් කොළඹ වරාය මගින් මෙහෙයවා ඇති සමස්ත බහාලුම් ප්‍රමාණය මිලියන 4.4 (4,444,034) කට අධිකය.

එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී මෙහෙයවන ලද බහාලුම් මිලියන 3.9 (3,972,053) හා සැසඳීමේදී බහාලුම් ලක්ෂ 4 (471,981) කට වැඩි වර්ධනයකි.

ඒ අනුව 2025 වසරේදී සමස්ත බහාලුම් මිලියන 8.3 ක් මෙහෙයවමින් තැබූ අභිබව යෑමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ යුරෝපය යා කෙරෙන ප්‍රධාන නෞකා මාර්ගයන්හි මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරාය, ඉන්දියන් සාගරයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි.

2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළදී ද බහාලුම් මිලියන 2.915 ක් මෙහෙයවමින් 13.9% ක වර්ධනයක් වාර්තා කිරීමටද කොළඹ වරාය සමත් විය.

වර්ධනය වන බහාලුම් ධාරිතාවට අනුරූපව යටිතල පහසුකම්, නවීන තාක්ෂණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ඉදිරි වසර 1-3 ත් අතර කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 2 ක පමණ ආයෝජනයන් වරාය ක්ෂේත්‍රයට ලබාගැනීමට සැලසුම් කර ඇති බවත් අධිකාරිය වැඩිදුරටත් පැවසීය ෴


‘අර්ජුන මහේන්ද්‍රන්’, ‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි

(28.08.2026 – hirunews.lk)

මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළව අධිකරණයට අවශ්‍ය කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව වෙත උදර්පණය කරගැනීම සඳහා නීතිමය බාධා පවතින බැවින් වෙනත් නීතිමය මාර්ග පිළිබඳ බලධාරීන් පරීක්ෂා කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසා තිබෙනවා.

සිංගප්පූරුවේ පුරවැසියකු ලෙස එහි පදිංචිව සිටින අර්ජුන මහේන්ද්‍රන් සිය නම පවා වෙනස් කර ඇති බව අමාත්‍යවරයා පැවසූ බවයි ජාතික පුවත්පතක් අද (28) වාර්තා කර තිබුණේ.

සිංගප්පූරුවේ නීතියට අනුව එරට පුරවැසියකු ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු විවිධ උපක්‍රම පවතින බවත්, ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

එසේම බැදුම්කර වංචාවට අදාළ නඩු කටයුත්ත විභාග වෙමින් පවතින බවත්, ඒ තුළින් යම් යම් කාරණා සම්බන්ධව තොරතුරු හෙළිදරව් වන බවත්, අමාත්‍යවරයා සඳහන් කළ බවයි එම පුවත්පත සඳහන් වාර්තා කළේ.

අර්ජුන මහේන්ද්‍රන් සිය නීත්‍යනුකූල නම ‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ ලෙස වෙනස් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු මගින් අනාවරණය වී තිබෙනවා.

අර්ජුන මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නි‍වේදනයක් නිකුත් කිරීමටද අවශ්‍ය කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව කටයුතු කර තිබුණු බවත්, ඔහු සිය නම වෙනස් කරගෙන ඇත්තේ ඒ සමග බවත්, එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් ෴


රටවල් 130 ක් අතරින් ලොව අඩුම පඩි දර්ශකයේ ලංකාවට 120 වැනි තැන : බංග්ලාදේශයත් අපිට වඩා ඉදිරියෙන්

(28.08.2026 – hirunews.lk)

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist ආයතනය නිකුත් කළ ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතුරින් ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

එක් එක් රටවල පවතින ජීවන වියදම සහ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power Parity – PPP) අනුව සකස් කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ මාසික අවම වේතනයේ මිලදී ගැනීමේ හැකියාව ඇමරිකානු ඩොලර් 200 ක් ලෙසයි දක්වා ඇත්තේ.

මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3,804 ක අවම වේතනයක් හිමි ස්විට්සර්ලන්තය ලොව ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

පළමු රටවල් 10 අතරට ඇතුළත් වන අනෙකුත් රටවල් ලෙස, ජර්මනිය : ඩොලර් 2,928, එක්සත් රාජධානිය : ඩොලර් 2,902, නෙදර්ලන්තය : ඩොලර් 2,876, ඕස්ට්‍රේලියාව : ඩොලර් 2,819, බෙල්ජියම : ඩොලර් 2,752, අයිස්ලන්තය : ඩොලර් 2,730, නවසීලන්තය : ඩොලර් 2,673, ප්‍රංශය : ඩොලර් 2,465, අයර්ලන්තය : ඩොලර් 2,433 එම වාර්තාවට ඇතුළත්.

ආසියාවේ ඉහළම අවම වේතනය හිමි දකුණු කොරියාව (ඩොලර් 2,362) ලෝක මට්ටමින් 11 වැනි ස්ථානයටත්, ජපානය (ඩොලර් 1,839) 16 වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.

දකුණු ආසියාතික රටවල් අතුරින් ශ්‍රී ලංකාව පහළින්ම පසුවන අතර, අසල්වැසි රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවෙනවා.

ඒ අනුව, පාකිස්ථානය: 68 වන ස්ථානය (ඩොලර් 570), නේපාලය: 78 වන ස්ථානය (ඩොලර් 490), බංග්ලාදේශය: 89 වන ස්ථානය (ඩොලර් 379), ඉන්දියාව: 111 වන ස්ථානය (ඩොලර් 233) ලෙසයි දැක්වෙන්නේ.

මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ නයිජර්, භූතානය, හයිටිය, ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සියරා ලියොන්, ඝානාව, කිර්ගිස්ථානය, ගිනි-බිසව් සහ ගැම්බියාව (ඩොලර් 67) යන රටවල් 10 පමණි.

සෘජු ඇමරිකානු ඩොලර් ආදායම වෙනුවට පවත්නා දේශීය මිලදී ගැනීමේ හැකියාව මත මෙම අගයන් පරිවර්තනය කර ඇති අතර, බදු හෝ වෙනත් අමතර දීමනා මීට ඇතුළත් නොවන බව Visual Capitalist වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *