ව්‍යාජ රථවාහන දඩ පණිවිඩ පිළිබඳව ප්‍රවේශම් වන්න – GovPay වෙතින්
RDB සභාපති දොට්ට.. ලොකු පුටුවට ඇමති හිතවතියක්..?
නඩු ප‍්‍රමාදයට විසදුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ කියයි..
රු. කෝටි 7 ක මත්ද්‍රව්‍ය රූපලාවන්‍ය ආයතනයකින් සොයාගනී – අඹුසැමි යුවළක් අත්අඩංගුවට
2026 අගෝස්තු 20 වැනිදා පොලිස් නිෂ්කාශන සහතික අයදුම් කළ අයට දැනුම්දීමක්
විනිසුරුවරු හා නීතීඥ ප්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව නිතීඥ සංගමයෙන් නිවේදනයක්
වතුර බෝතල් වැඩිමිලට විකිණූ ආපනශාලාවකට රු. ලක්ෂ 9 කට අධික දඩයක්
වහළ මත සවිකර ඇති 300 KW ට වැඩි සූර්ය පැනල ක්‍රියාවිරහිත කරයි
ව්‍යාජ රථවාහන දඩ පණිවිඩ පිළිබඳව ප්‍රවේශම් වන්න – GovPay වෙතින්
(27.08.2026 – govpay.lk/en/)
GovPay ( https://govpay.lk/en/ ) හරහා මාර්ගගතව (online) රථවාහන දඩ ගෙවීම් කළ හැකි බව පවසමින් මහජනතාව වෙත ව්‍යාජ පණිවිඩ ලැබෙමින් පවතී.
විශේෂ අවධානයට :
GovPay යනු ඔබේ නිල බැංකු යෙදුම් (Banking Apps) හෝ මූල්‍ය තාක්ෂණ යෙදුම් (Fintech Apps) හරහා පමණක් ක්‍රියාත්මක වන ගෙවීම් සේවාවකි.
කෙටි පණිවිඩ (SMS) හෝ වෙනත් කිසිදු නිල නොවන මාර්ග හරහා ලැබෙන ගෙවීම් සබැඳි (payment links) භාවිතා කිරීමෙන් කරුණාකර වළකින්න.
ඕනෑම සැක කටයුතු පණිවිඩයක් හෝ ඊමේල් පණිවිඩයක් පහත ස්ථානයට වාර්තා කළ හැක :
info@govpay.lk
+++
GovPay – Online දඩ – ලංකාව හරි දියුණුයි. මහා ජාලගත දඩ වංචාවට ඔබත් අහු උනාද ? (27.08.2026)
+
RDB සභාපති දොට්ට.. ලොකු පුටුවට ඇමති හිතවතියක්..?
(28.08.2026 – lankacnews.com)
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඉතිහාසයේ ඉහළම ලාභය ලබමින් සිටියදී, එහි සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතුව තිබේ.
මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා සිය ‘සංදේශය’ නාලිකාව ඔස්සේ පෙන්වා දෙන්නේ, මෙම ඉවත් කිරීම පිටුපස දේශපාලන හිතවත්කම් මත පදනම් වූ යටි අරමුණක් පවතින බවයි.
ලසන්ත ප්‍රනාන්දු මහතාගේ නායකත්වය යටතේ පසුගිය වසරේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රුපියල් බිලියන 2.2 ක වාර්තාගත ආදායමක් උපයා ඇති අතර, වසර හයකට (6) පසු ප්‍රථම වතාවට රුපියල් මිලියන 250 ක ලාභාංශයක් රජයේ භාණ්ඩාගාරයට ගෙවීමට ද සමත්ව තිබේ.
බැංකුවේ වාලච්චේන ශාඛාවේ සිදුවූ රුපියල් මිලියන 400 ක දැවැන්ත මූල්‍ය වංචාවක් හෙළිදරව් කර ගැනීමටත්, දූෂිත නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් සභාපතිවරයා සෘජුව මැදිහත් වී ඇත.
කෙසේ වෙතත්, මෙම සාර්ථකත්වය මධ්‍යයේ සභාපතිවරයා ඉවත් කිරීමට හේතුවී ඇත්තේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සමීප හිතවතියක වන රමණි විජේරත්න මහත්මිය බැංකුවේ සාමාන්‍යාධිකාරී ධුරයට පත් කිරීමට ගත් උත්සාහයකට සභාපතිවරයා විරෝධය පළ කිරීම බව සරෝජ් පතිරණ මහතා අනාවරණය කරයි.
අදාළ බැංකු පනතට අනුව ඇය එම තනතුර දැරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ද අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දී තිබේ.
මීට පෙර ලංගම සභාපති ජීවක පුරසිංහ මහතා ඉවත් කළ ආකාරයටම, ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරන කාර්යක්ෂම නිලධාරීන් ඉවත් කර දේශපාලන හිතවතුන් පත් කිරීමේ ප්‍රවණතාවක් වත්මන් රජය තුළ පවතින බවට මෙහිදී විවේචන එල්ල විය.
එමෙන්ම, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා රජය ගෙන එන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද මෙවැනිම දේශපාලන වුවමනාවන් මත පදනම් වූවක් බවත්, දූෂණය පිටුදකින බව පවසන රජය ප්‍රායෝගිකව දූෂිතයන් ආරක්ෂා කරමින් සිටින බවත් සරෝජ් පතිරණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
+
නඩු ප‍්‍රමාදයට විසදුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ කියයි..
(27.08.2026 – lankacnews.com)
මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්‍රමාණය සහ යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය වර්තමානයේ බරපතල ජාතික ගැටලුවක් බවට පත්ව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.
කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විනිසුරු කෝදාගොඩ මහතා පෙන්වා දුන්නේ මෙම ප්‍රමාදය රටේ නායකත්වයේ මෙන්ම මහජනතාවගේ ද දැඩි අවධානයට ලක්ව ඇති කරුණක් බවයි.
නඩු ප්‍රමාදයට හේතු වන කරුණු පිළිබඳව දීර්ඝ කාලීනව අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ, ආරවුල් විසඳීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලටම යොමු වීමට නීති වෘත්තිකයන් මෙන්ම මහජනතාව ද දක්වන දැඩි නැඹුරුව මෙයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
සෑම ආරවුලක් සඳහාම අධිකරණය හමුවට යාම වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම, මැදිහත් වීම, සංහිඳියාව සහ බේරුම්කරණය වැනි විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමවේද කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
මෙම ක්‍රමවේද අධිකරණ ක්‍රියාමාර්ගවලට වඩා ඵලදායී සහ ප්‍රායෝගික විය හැකි බව ඔහුගේ අදහසයි.
විශේෂයෙන්ම සංකීර්ණ වාණිජ ආරවුල් සහ අපරාධ නඩු සඳහා අධිකරණ ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වුවද, පුද්ගලයන් සහ විවිධ ආයතන මුහුණ දෙන ආරවුල්වලින් සියයට 90 ක්ම විකල්ප ක්‍රමවේද හරහා සාර්ථකව විසඳා ගත හැකි බව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සඳහා නීති අධ්‍යාපනය තුළින්ම නව පරපුරේ නීතිඥවරුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
+
රු. කෝටි 7 ක මත්ද්‍රව්‍ය රූපලාවන්‍ය ආයතනයකින් සොයාගනී – අඹුසැමි යුවළක් අත්අඩංගුවට
(27.08.2026 – sinhala.adaderana.lk)
රුපියල් කෝටි 07 ක් පමණ වටිනා ‘හෙරොයින්’ සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමඟ අඹුසැමි යුවළක් අද (27) මාතර දුම්රිය පොළ පාරේ පිහිටි රූපලාවන්‍ය ආයතනයකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ, ලද තොරතුරකට අනුව එම රූපලාවන්‍ය ආයතනය වටලා සිදුකළ පරීක්ෂාවකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
මාතර සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතාට ලද තොරතුරකට අනුව, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ වැටලීම සිදුකර තිබේ.
එහිදී මාතර වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 45 ක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 50 ක් සොයාගෙන ඇති අතර, ඔහුගේ 26 හැවිරිදි බිරිඳ සන්තකයේ තිබී ‘හෙරොයින්’ ග්‍රෑම් 06 ක් ද සොයාගෙන ඇත.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් හයලක්ෂ විසිපන්දහසක (6,25,000) මුදලක්, ඉලෙක්ට්‍රොනික තරාදි දෙකක් (2) සහ ජංගම දුරකථන හතරක් (4) ද පොලිස් භාරයට ගෙන තිබේ.
‘හෙරොයින්’ ග්‍රෑම් එකක් (1) රුපියල් 25,000 ක මුදලකට අලෙවි කර ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී ඇති අතර, සැකකාර අඹුසැමි යුවළ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ හෙට (28) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීමට එක්වී තිබේ ෴
2026 අගෝස්තු 20 වැනිදා පොලිස් නිෂ්කාශන සහතික අයදුම් කළ අයට දැනුම්දීමක්
(27.08.2026 – sinhala.adaderana.lk)
2026 අගෝස්තු 20 වන දින පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා අයදුම් කළ අයදුම්කරුවන් නැවත මාර්ගගතව අයදුම් කළ යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
එදින නිෂ්කාශන දත්ත පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් අයදුම්කරුවන් විසින් යොමු කරන ලද අයදුම්පත් පද්ධතියෙන් ඉවත් වී ඇති බැවින්, අදාළ අයදුම්කරුවන් නැවත මාර්ගගතව නිෂ්කාශන සහතිකයක් සඳහා අයදුම් කළ යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නැවත ඉදිරිපත් කරන අයදුම්පත සම්බන්ධයෙන් වාර්තා කැඳවීමෙන් අනතුරුව නිෂ්කාශන සහතිකය නිකුත් කිරීමට හැකියාව පවතින බවද පොලිස් මූලස්ථානය පවසයි.
එමෙන්ම, පෙර අයදුම්පත සඳහා අයකරන ලද රුපියල් 5,100 ක මුදල, අයදුම්කරු විසින් ගෙවීම් සිදුකළ කාඩ්පතට නැවත බැර කරන බවද දැනුම් දී තිබේ.
මේ අතර, පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන දත්ත පද්ධතිය අගෝස්තු 20 වනදා දහවල් 12:50 සිට අක්‍රියව පැවති අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කිරීමෙන් අනතුරුව එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට පෙර පරිදි නිෂ්කාශන වාර්තා සඳහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි ෴
විනිසුරුවරු හා නීතීඥ ප්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව නිතීඥ සංගමයෙන් නිවේදනයක්
(27.08.2026 – sinhala.adaderana.lk)
විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදී සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව ‘ශ්‍රී ලංකා නීතීඥ සංගමය’ පවසයි.
එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අධිකරණයේ කාර්යභාරයට සහ යුක්තිය පසිදලීමේ පද්ධතියට ගරු කරන ලෙසත් කිසියම් ගැටලුවක් මතුවන්නේ නම් එය සාධාරණව සහ වගකීම් සහගතව කටයුතු කිරීමට රාජ්‍යයේ සියලු අංශ සහ අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවය.
තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ පුද්ගලික ප්‍රහාර මගින් යුක්තිය පසිලදීම කෙරෙහි පවතින මහජන විශ්වාසය බිදවැටීමත් අධිකරණ ක්‍රියාවලියේ සහ සමස්ත යුක්ති පද්ධතියේ ස්වාධීනත්වයට හා අඛණ්ඩතාවයට බලපෑම් එල්ලවීමට ඉඩ ඇති බව ද නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
මහජන බලය ක්‍රියාත්මක කරන සෑම ආයතනයක් මෙන්ම අධිකරණය ද නීත්‍යානුකූල විමර්ශනයකට සහ වගකීමකට යටත්ව පැවැතිය යුතු බව ද නීතීඥ සංගමය තවදුරටත් පෙන්වා දෙයි.
නඩු තීන්දු, විනිසුරුවරුන්ගේ හැසිරීම සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සාධාරණ කරුණු මත පදනම් වූ වගකීම් සහගත විවේචනයකට ලක් කළ හැකි බව ද එම නිවේදනයේ සඳහන්ය.
ඒ අනුව අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණයේ ඕනෑම විනිසුරුවරයකු සම්බන්ධයෙන් විශවසනීය කරුණු හෝ චෝදනා මතුවන්නේ නම් ඒවා විශ්වසනීය, තහවුරු කරගත් දත්ත මත පදනම්ව සාධාරණව සහ නිසි ක්‍රියාපටිපාටියට ගරු කරමින් විමර්ශන කළ යුතු බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
වතුර බෝතල් වැඩිමිලට විකිණූ ආපනශාලාවකට රු. ලක්ෂ 9 කට අධික දඩයක්
(27.08.2026 – sinhala.adaderana.lk)
බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ ආපනශාලාවකට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 950,000 ක දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, ලීටර් 1 බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රු. 120 ක උපරිම සිල්ලර මිල ඉක්මවා එය රු. 200 කට පාරිභෝගිකයෙකුට අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, පසුගිය 25 දින යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස දඩ මුදලක් නියම කර ඇත.
මේ අතර, භාණ්ඩයක් මිලදීගැනීමේදී එහි මුද්‍රිත මිල සහ නියමිත උපරිම සිල්ලර මිල පරීක්ෂා කරන ලෙසත් ගෙවන මුදල සඳහා නිවැරදි බිල්පතක් ලබාගෙන එය සුරක්ෂිතව තබාගැනීමට ජනතාව ද අවදානයෙන් කටයුතු කළයුතු බව පාරිභෝගික අධිකාරිය පවසයි.
නියමිත මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම හෝ වෙනත් පාරිභෝගික නීති උල්ලංඝනයක් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම්දෙන ලෙස ඒම අධිකාරිය මහජනතාවට දන්වයි ෴
වහළ මත සවිකර ඇති 300 KW ට වැඩි සූර්ය පැනල ක්‍රියාවිරහිත කරයි
(27.08.2026 – sinhala.adaderana.lk)
අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා වහළ මත සවිකර ඇති කිලෝවොට් 300 කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator – NSO) පියවර ගෙන තිබේ ෴
14 Most Devastating Videos Of Nepal Floods (27.08.2026)
+++
(28.08.2026 – sinhala.adaderana.lk)
දින දෙකකට (2) පෙර ඇති වූ දරුණු හදිසි ජල ගැලීමෙන්, ජලයෙන් යටවූ නේපාලයේ ‘ට්‍රිෂූලි 3A’ ජල විදුලි ව්‍යාපෘතියේ උමගක් තුළ සිරවී සිටින පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාල හමුදාව සඳහන් කර ඇත්තේ, එම උමග තුළ සිරවී සිටි පුද්ගලයින් 350 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති අතර, තවත් 100 කට වැඩි පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීම සඳහා දැඩි අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ මෙහෙයුම් සිදුකරන බවය.
මේ අතර, නේපාලයේ ඇති වූ දැවැන්ත හදිසි ජල ගැලීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති අතර, 1,400 කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
ගංවතුරෙන් මාර්ග, පාලම් සහ විදුලිබල ව්‍යාපෘති ඇතුළු යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුව ඇති බැවින්, මුදාගැනීමේ මෙහෙයුම්වලටද දැඩි බාධා එල්ල වී තිබේ ෴
දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මහත් විනාශයකට පත්ව සිටින නේපාලයේ සහන සේවාවන් සක්‍රීය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක (US$ 1 Million) මුල්‍ය ආධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴