කැළණි ගඟට කර්මාන්ත ශාලාවක විෂ රසායන එක්වෙලා..

කැළණි ගඟට කර්මාන්ත ශාලාවක විෂ රසායන එක්වෙලා..

ඩුබායිහිදී ඇල්ලූ ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන එයි

අගවිනිසුරුගේ වත්කම් සහ X-Press Pearl වන්දිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජලය යැයි සිතා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට


කැළණි ගඟට කර්මාන්ත ශාලාවක විෂ රසායන එක්වෙලා..

(25.08.2026 – lankacnews.com)

කැලණි ගඟට පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් විෂ රසායන ද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා මේ බව තහවුරු කළේය.

24 වනදා රාත්‍රී 11:30 ට පමණ ලැබුණු හදිසි තොරතුරකට අනුව, අඹතලේ සහ බියගම යන ප්‍රධාන ජල පවිත්‍රාගාර දෙකෙහි (2) කටයුතු වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මෙම පූර්ව ආරක්ෂිත පියවර හේතුවෙන් කොළඹ නගරය, කෝට්ටේ, බත්තරමුල්ල, වැල්ලම්පිටිය මෙන්ම ගම්පහ, බියගම සහ කැලණිය යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ සමඟ එක්ව සිදුකළ පුළුල් විමර්ශනවලින් අනතුරුව, ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ගැනීමෙන් පසු අද (25) අලුයම 04:30 සිට ජල පවිත්‍රකරණ සහ බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කර ඇත.

උදෑසන 09:00 වන විට සියලුම ප්‍රදේශවලට ජල සැපයුම සාමාන්‍ය පරිදි ලබාදීමට හැකි වූ බව සභාපතිවරයා සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට සහ පොලිසියට පැමිණිලි කර ඇති බවත්, වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති බවත් බණ්ඩාර මහතා පැවසීය.

කිසිදු අයුරකින් අපවිත්‍ර වූ ජලය පාරිභෝගිකයන් වෙත නිකුත් කර නොමැති බවට ඔහු මෙහිදී සහතික විය ෴

+++

කොලඹ, ගම්පහ මහ පාන්දර කළඹපු ආරංචියේ ඇත්ත හෙළි කරන්න ජල සම්පාදනෙන් හදිසි මාධ්‍ය හමුවක් (25.08.2026)

+++

+


ඩුබායිහිදී ඇල්ලූ ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන එයි

(24.08.2026 – sinhala.adaderana.lk)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (25) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

පසුගියදා ඩුබාහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ නැමැත්තාට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී තිබේ.

කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

දිවයිනට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් රතු නිවේදනය බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ලබා ගෙන ඇති අතර, මොහු මිනී මැරීමේ වරදට අධිකරණයේ පෙනී නොසිටීමේ වරද යටතේ කොළඹ මහාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

මේ අතර, 2021.09.20 දින නෙලුන්තුඩුව පදිංචි පුද්ගලයෙකුටග් නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ද විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

2022.10.16 දින පුද්ගලයින් තිදෙනෙකු (3) කපා බරපතලළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ‘බස් ලලිත්’ට එරෙහිව නිකුත් කර තිබේ.

+++

+++

+


අගවිනිසුරුගේ වත්කම් සහ X-Press Pearl වන්දිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

(25.08.2026 – lankacnews.com)

වර්තමාන අගවිනිසුරු ප්‍රිතිපත්මන් සූරසේනට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් ‘ජාතික වෘත්තිය සහ සිවිල් පෙරමුණ’ අද (25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිනී කවිරත්න, දයාසිරි ජයසේකර සහ අජිත් පෙරේරා විසින් මතු කරන ලද කරුණු පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

අගවිනිසුරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වත්කම් උපයා ගත් ආකාරය මෙන්ම, ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට පත් X-Press Pearl නෞකාවෙන් මෙරටට සිදුවූ අතිවිශාල හානිය වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් අයකර ගැනීම මේ දක්වා ප්‍රමාද වීම පිටුපස ඇති කරුණු පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස එම පෙරමුණ ඉල්ලා සිටියි.

මීට අමතරව, මෑත කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කන්ටේනර් වංචාව, ගල් අඟුරු වංචාව සහ භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් ද, කථානායකට සහ වර්තමාන ජනාධිපති ලේකම්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ද කඩිනම් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ඔවුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරී අචල දිවාකර සඳහන් කළේ, X-Press Pearl නෞකාවේ වන්දි ලබා ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපතිට සහ අගවිනිසුරුට එල්ල වන චෝදනා සුළුකොට තැකිය නොහැකි බවයි.

එම නිසා වහාම විමර්ශනයක් පවත්වා සත්‍යය අනාවරණය කර, රජයට හිමිවිය යුතු අදාළ වන්දි මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය ෴


ජලය යැයි සිතා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට

(24.08.2026 – sinhala.adaderana.lk)

ජලය යැයි රැවටී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen Peroxide) නැමැති රසායනික ද්‍රව්‍යය පානය කිරීමෙන් තුන් (3) හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගම්පොළ, පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, චෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂ්කාරම් හයනිකා නමැති දැරියයි. ඇය සිය පවුලේ එකම දරුවා බවද පැවසේ.

තම මව සහ පියා සමග ගම්පොළ, ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේදී දැරිය මෙම අනතුරට මුහුණ පා ඇත.

පවුලේ පිරිස එදින සවස නිවසින් පිටත කාලය ගත කරමින් සිට ඇති අතර, රාත්‍රී 08:00 ට පමණ නිවස තුළට ගිය දැරිය ජනේල පඩිය මත තබා තිබූ බෝතලයක වූ අදාළ රසායනික ද්‍රව්‍යය, ජලය යැයි සිතා පානය කර තිබේ ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *