රට පුරා PHI ලා හෙට (24) වෘත්තීය ක්‍රියාමාර්ගයක
ව්‍යාජ SLS ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් පාරිභෝගික නිලධාරීන් භාරයට
හොරාට කරන්ගිය ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනාගාරයක් වටලයි
රු. ලක්ෂ 12 ක ඉදිකිරීම් උපාංග තොගයක් සමඟ දෙදෙනෙකු මාට්ටු
හොර දොස්තරලා දෙන්නෙකුට (2) දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40 ක් දක්වා ඉහළ දානවා – නි. ඇමති නලින් හේවගේ
ග්‍රාම නිලධාරිනියකට අන්තර්ජාලය හරහා අපහාස කළැයි ‘එක්සත් රණවිරු සංගමයේ’ කැඳවුම්කරු රිමාන්ඩ්
බොන්න වතුර ටිකක් දෙන්න – විල්ගමුව ලෙහෙඩීයන්ගල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලයි
රට පුරා PHI ලා හෙට (24) වෘත්තීය ක්‍රියාමාර්ගයක
(23.08.2026 – sinhala.adaderana.lk)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 08:00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතා ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව ඔවුන් දැදනුම දී ඇත.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදීමට කටයුතු කර නොමැති බව එම සංගමය පවසයි. ඒ අනුව, සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව හෙට (24) සිට ක්‍රියාත්මක වන පරිදි,
- දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම.
- සියලු ආකාරයේ දත්ත පද්ධති යථාවත් කිරීම (Data systems updating) අත්හිටුවීම.
- මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක දත්ත පද්ධති වෙත යථාවත් නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැඩිව අවධාරණය කර සිටී.
- එමෙන්ම, බී.එච්. මිගස්දෙනිය මහතාගේ අත්තනෝමතික ස්ථානමාරුව වහාම අවලංගු කර, ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ඊට අමතරව, කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලයේ සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුමත සේවක සංඛ්‍යාව අඩු කිරීමට ගෙන යන උත්සාහය ද තමන් දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති සහ ලේකම්වරයා සඳහන් කරති.
කෙසේ වෙතත්, මෙම කරුණු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සඳහා තමන් පූර්ණ සහය ලබාදීමට මෙන්ම ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බවද එම සංගමය වැඩිදුරටත් දන්වා සිටී ෴
ව්‍යාජ SLS ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් පාරිභෝගික නිලධාරීන් භාරයට
(23.08.2026 – sinhala.adaderana.lk)
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500 කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.
ඒ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී වන අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පානීය ජලය අමිතිරිගල, රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක ගබඩා කර තිබූ බවය.
විවිධ ප්‍රමාණවලින් යුත් පානීය ජල බෝතල්වල ව්‍යාජ ලෙස SLS ප්‍රමිති ලාංඡනය සහ සහතික අංක 894 සඳහන් කර තිබූ බවත් එහිදී නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙම පානීය ජල බෝතල් තොගය ඒ වන විට වෙළඳපොළට නිකුත් කර නොතිබූ අතර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර තිබූ තොගයක් බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එහිදී බෝතල් 8,500 කට ආසන්න ප්‍රමාණය නිලධාරීන් විසින් මුද්‍රා තබා සිය භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන අවසන් කිරීමෙන් පසුව වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිත බව පාරිභොගික අධිකාරිය පැවසීය ෴
හොරාට කරන්ගිය ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනාගාරයක් වටලයි
(23.08.2026 – sinhala.adaderana.lk)
බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ‘ගංජා මිශ්‍ර මදන මෝදක’ නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු (2) සහ සැකකාරියක් (1) අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (22) අම්බලන්තොට පොලිස් වසමේදී තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී මදන මෝදක කිලෝ 270 ග්‍රෑම් 994 ක් හා ඒ සඳහා භාවිත කරන ගංජා නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගන්නා උපකරණ හා යන්ත්‍ර සූත්‍රද සොයාගෙන තිබේ.
මේ අතර, වැටලීම් සිදුකරන අවස්ථාවේ දී එම නිෂ්පාදනාගාරය තුළ සකස් කරන ලද ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 100 ග්‍රෑම් 500 ක්, පැකට් කරන ලද විවිධ බර හා මිල ගණන් යටතේ සකස් කළ මදන මෝදක පැකට් 11,133 ක්, ගංජා ග්‍රෑම් 430 ක් ද සොයාගෙන තිබේ.
පොලිස් භාරයට ගන්නා ලද ගංජා මිශ්‍ර මදන මෝදකවල වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට ආසන්න වන අතර ඒවා සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා සැකකාරිය වයස අවුරුදු 36, 26, 50 ක් යන වයස්වල පසුවන සෙවනගල හා කිරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වෙයි.
මොවුන් මෙම නිෂ්පාදනාගාරය හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇත.
සැකකරුවන් හා අදාළ භාණ්ඩ තොගය අම්බලන්තොට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර අද (23) හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
රු. ලක්ෂ 12 ක ඉදිකිරීම් උපාංග තොගයක් සමඟ දෙදෙනෙකු මාට්ටු
(23.08.2026 – sinhala.adaderana.lk)
කඹුරුගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසකට සවිකිරීම සඳහා රැගෙන විත් තිබූ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා ඉදිකිරීම් උපාංග තොගයක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
සොරාගෙන තිබූ ඉදිකිරීම් උපාංග අතර ජනෙල් දොරවල් රාමු, නාන කාමර උපාංග කට්ටල සහ අත්වැටවල් ඇතුළත් වන බව පොලීසිය පවසයි.
සැකකරුවන් නිවස තුළට ඇතුළු වී එම දේපළ සොරාගෙන සිය නිවෙස්වලට රැගෙන ගොස් අඩු මුදලට එම භාණ්ඩවලින් කොටසක් විකුණා තිබියදී සොයාගෙන ඇත.
සැකකරුවන් එම ප්‍රදේශයේම වන අතර ඔවුන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
+
හොර දොස්තරලා දෙන්නෙකුට (2) දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
(23.08.2026 – hirunews.lk)
වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක් තිස්සේ රෝගීනට ප්‍රතිකාර කරමින් වංචාවක් කළැයි කියන සිද්ධියට අදළව වරද පිළිගත් දෙදෙනෙකුට (2) මාස 06 ක සිරදඬුවමක් නියම කළා කළුතර අතිරේක මහේස්ත්‍රාත් නුතිනන් රාජපක්ෂ එය වසර 05 කට අත්හිටවූවා.
එක් චුදිතයකුට රුපියල් පනස් දහස (50,000) බැගින් දඩයක් ද අධිකරණයෙන් නියම කෙරුණා.
මෙසේ දඩ හා අත්හිටවූ සිර දඬුවම් නියම වූයේ බේරුවල ප්‍රදේශයේ පදිංචි අයකුට සහ කල්මුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටයි.
අළුත්ගම, ධර්ගා නගරය ප්‍රදේශයේ රෝගී ප්‍රතිකාර මධ්‍යස්‍ථාන පවත්වාගෙන ගිය මොවුන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍ය වෘර්තියේ යෙදෙමින් සිටි බව අණාවරණයවී තිබුණා.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්ෂෙත්‍ර සේවා ) ප්‍රජා වෛද්‍ය විශේෂඥ චරිත් හෙට්ටිආරච්චි සහ අළුත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සම්පත් නිරෝෂණ යන නිලධාරීන් ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන්ද මෙම මෙහෙයුමට එක්ව සිටියා ෴
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40 ක් දක්වා ඉහළ දානවා – නි. ඇමති නලින් හේවගේ
(23.08.2026 – hirunews.lk)
ත්‍රිරෝද රථ පැදවීම පිළිබඳව නිසි නියාමනයක් සිදු කිරීමට රජය බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසනවා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ත්‍රිරෝද රථයක් පැදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 40 ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇති බවයි.
විශේෂයෙන්ම පාසල් හැරයන සිසුන් ත්‍රිරෝද රථ වෘත්තියට යොමුවීම පාලනය කරමින්, එම ක්ෂේත්‍රය නිසි ක්‍රමවේදයක් යටතේ නියාමනය කිරීමට රජය අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴
ග්‍රාම නිලධාරිනියකට අන්තර්ජාලය හරහා අපහාස කළැයි ‘එක්සත් රණවිරු සංගමයේ’ කැඳවුම්කරු රිමාන්ඩ්
(23.08.2026 – hirunews.lk)
අම්පාර පන්තල්ගම W25/A වසමේ ග්‍රාම නිලධාරිනියට අන්තර්ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘එක්සත් රණවිරු සංගමයේ’ කැඳවුම්කරු අසේල ධර්මසිරි ලබන අනිද්දා (25) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් පුෂ්පරාජා ආනන්ද වදනි නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පන්තල්ගම W25/A වසමේ ග්‍රාම නිලධාරිනිය ඉකුත් (11) වැනිදා කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බවයි දමන පොලිසිය අධිකරණයට දැනුම්දී තිබෙන්නේ.
වසර 10 කට වැඩි කාලයක් ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් ලිපිනයේ අදාල පුද්ගලයා තමන්ගේ ස්ථිර පදිංචිය ඇති නිවසෙහි වාසය කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන්, සාමාන්‍ය රාජකාරී සිදු කිරීමේදී මතුවන ගැටලුකාරී තත්ත්වයන් මත, ඡන්ද නාම ලේඛනය ප්‍රතිශෝධනය කරන අවස්ථාවේදී මෙම පුද්ගලයාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කිරීම සුදුසු බවට යෝජනා කරමින් පැමිණිලිකාර නිලධාරිනිය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා ඇති බවයි වාර්තා වනේනේ.
මේ හේතුවෙන් තමන් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කර ඇති බවට ඇති කර ගෙන ඇති වැරදි අවබෝධය මත, සැකකරු විසින් ග්‍රාම නිලධාරිනියට අන්තර්ජාලය හරහා අවස්ථා කිහිපයකදීම අපහාස වන ආකාරයෙන් ලිපි පළ කර අසභ්‍ය ලෙස බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව මේ පිළිබඳව මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනිය අම්පාර කොට්ඨාශ භාර කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේට දැනුම් දී ඇති අතර, ඇයගේ උපදෙස් මත දමන පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණා.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අනුව, සැකකරු දමන පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ වරදක් සිදු කිරීම මත අත්අඩංගුවට ගෙන තිබුණා.
අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ නියෝග පරිදි, අම්පාර කොට්ඨාශ භාර වැඩ බලන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජී. විරසිංහගේ මෙහෙයවීමෙන් සහ අම්පාර කොට්ඨාශ 1 වැඩ බලන සහකාර පොලිස් අධිකාරී සුජිව ප්‍රියන්ත බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ, දමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් අලගියවන්න ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
බොන්න වතුර ටිකක් දෙන්න – විල්ගමුව ලෙහෙඩීයන්ගල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලයි
(23.08.2026 – hirunews.lk)
මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලට මායිම්ව පිහිටි මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෙහෙඩීයන්ගල දියවර ගම්මානයේ ජනතාව මේ දිනවල දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටින බව අප වාර්තාකරු සඳහන් කරනවා.
මේ සදහා කිසිදු බලධාරියෙකුගේ අවධානයක් යොමු වී නැති බවත් කිසිවකුට හෝ හැකියාවක් ඇත්නම් තමන්ට ඇති එකම ජල මූලාශ්‍රයට පිරිසිදු ජල පිරිපහදු ඒකකයක් සවිකර දෙන ලෙස ඔවුහු ආයාචනා කර සිටිනවා.
පවුල් 450 ක් 500 ක් පමණ පිරිසක් ජීවත් වන මෙම ගම්මානයේ ජනතාවට වසර කිහිපයකට ඉහතදී ස්වේච්ඡා සංවිධානයකින් නළ ජල සහිත ටැංකියක් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, එහි ජලය සමඟ ගල්කුඩු පැමිණීම නිසා ඒවා පානය කිරීමට නොහැකි තත්ත්වයෙන් පසුවන බව ද ගම්වැසියෝ පෙන්වා දෙනවා.
ඒ අනුව ඔවුන් තමන්ගේ නිවෙස් ආසන්නයේ ලිං කපාගෙන ජලය පානය කිරීමට පුරුදු වී සිටියද, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ලිං සියල්ල මේ වන විට සිඳී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
යතුරුපැදි හා වාහන ඇති පිරිස් කිලෝමීටර් 5 ත් 7 ත් අතර දුරක් ගෙවා වෙනත් ගම්මානවල ඇති ජල පිරිපහදුවලින් ජලය මිලදී ගෙන පානය කරන නමුත්, ගමන් කිරීමට පහසුකම් හෝ අතමිට මුදල් නොමැති අය ගල්කුඩු සහිත අපිරිසිදු ජලයම පානය කිරීමට පෙළඹී සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන්ම ගම්මානයේ ලොකු කුඩා බොහෝ දෙනකු මේ වන විටත් වකුගඩු රෝගයට ගොදුරු වී ඇතැයිද එම ගම්වැසියෝ පෙන්වා දෙනවා.
මීට අමතරව, ගමන් කිරීමට නිසි මාර්ගයක් හෝ ආහාර සොයා ගැනීමට නිසි මගක් නොමැතිව අහස් දියෙන් ජීවත් වන මෙම ජනතාව පවතින වියළි කාලගුණය නිසා දැඩි ආහාර හිඟයකටද මුහුණ දී සිටින බවයි වාර්තා වන්‍නේ.
ගහකොළ සියල්ල වියළී ගොස් ඇති අතර, ජලය නොමැතිවීම හේතුවෙන් සතා සිවුපාවාද දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි ලෙහෙඩීයන්ගල ජනතාව පවසනවා.
එබැවින්, මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කොට තමන්ට පානීය ජල පිරිපහදු ව්‍යාපෘතියක් සවිකර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ෴
එල්නිනෝවෙන් පානීය ජල අර්බුදය තවත් උග්‍ර වෙයි
(23.08.2026 – hirunews.lk)
අද (23) උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළදී පවුල් 23,048 ක පුද්ගලයින් 72,153 කට පානීය ජලය බෙදා දීම සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය සඳහන් කළා.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර – නාච්චාදූව වැව ද සිඳී ගොස් ඇති බවටයි වාර්තා වුණේ.
මේ අතර, පවතින වියළි කාලගුණයත් සමග අනුරාධපුර පඬිකෙටුව ප්‍රදේශයේ මිරිස් වගාවන් රැසක් ජලය නොමැතිව විනාශ වී තිබෙනවා.
එමෙන්ම තිරප්පනේ, මාවතවැව ප්‍රදේශයේ ඇති කොමඩු සහ වට්ටක්කා වගාවන් රැසක් ද වියළී යාමේ තර්ජනයට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව – හිඟුරක්ගොඩ – රත්මලේ ප්‍රදේශයේ ජනතාව තම අස්වනු විනාශ වීම හේතුවෙන් දැඩි පීඩාවට ලක්ව සිටිනවා.
ගම්මානයේ පිහිටි ගෝනමලයාව වැවද මේ වනවිට සිඳී යමින් පවතින අතර, ඒ හේතුවෙන් වන සතුන්ද පීඩාවට පත්ව ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.
මේ අතර, පවතින වියළි කාලගුණය හේතුවෙන් මාතලේ විල්ගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ලෙහෙඩීයන්ගල දියවර ගම්මානයේ ජනතාව මේ දිනවල උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටිනවා.
පවුල් 500 ක් පමණ දිවි ගෙවන මෙම ගම්මානයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගම්මානයට ජල පිරිපහදු ව්‍යාපෘතියක් හෝ කඩිනමින් ලබා දෙන ලෙසයි.
එමෙන්ම, පවතින වියළි කාළගුණ තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින ජල ගැටලුවට ඉදිරියේ දී විසදුම් ලබා දිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කළේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මේ වන විට ජල සැපයුම සීමා කරමින් දිනකට පැය 04 ක පමණ ජල කප්පාදුවක් ක්‍රියාත්මක බවයි.
මීට අමතරව, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල සහ මැදගම ප්‍රදේශවලට බවුසර් මගින් ජලය බෙදාහරින බවද ඔහු කියා සිටියා.
අද (23) දිනයේදීත් දිවයිනේ පළාත් සහ ස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව, නැගෙනහිර සහ උතුරුමැද පළාත, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙලෙස උෂ්ණත්වය ඉහළ යනු ඇති ෴
රු. කෝටි හතක් (7) වටිනා ගංජා සමග අයෙක් අත්අඩංගුවට
(23.08.2026 – hirunews.lk)
මොණරාගල, හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් හත් කෝටි තිස්හත් ලක්ෂ අසූ දහසක් (7,37,80,000) පමණ වටිනා ගංජා කිලෝග්‍රෑම් 1,044.180 ක් සමඟ සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴