උසස් අධ්‍යාපන වරම් නොලැබූ සිසුන්ට සුබ ආරංචියක් – පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි සඳහා පොලී රහිත ණයක්
විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් අලෙවි කළ ආයතනයට රු. ලක්ෂ 2 ක දඩයක්
ඥානසාර හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
දිවයින පුරා ආනයනික ආලේපන හා පාවහන් සම්බන්ධ වැටලීම් 108 ක්
සා.පෙළින් පසු පිරිමි දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක්
දිවයින පුරා PHIලා ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි – හෙට (21) සංකේත වැඩවර්ජනයක්
උසස් අධ්‍යාපන වරම් නොලැබූ සිසුන්ට සුබ ආරංචියක් – පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි සඳහා පොලී රහිත ණයක්
(20.08.2026 – sinhala.adaderana.lk)
උසස් අධ්‍යාපන වරම් නොලැබූ 2023, 2024, 2025 යන වර්ෂවල සිසුන් සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමට රජයෙන් පොලී රහිත ණයක් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
මෙම ණය උපරිම රු. ලක්ෂ 15 කට යටත්ව වසර 7 ක ණය ආපසු ගෙවීමේ කාලය ලබාදීමට තීරණය කර තිබේ.
මෙමගින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගත් පෞද්ගලික විශ්ව විද්‍යාල 16 ක පාඨමාලා 130 ක ප්‍රමාණයක් උපාධිය හෝ ජාතික මට්ටමේ ඩිප්ලෝමා හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවනු ඇත.
මුළු ලංකාව පුරාම සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ක්‍රියාවලියේ පළමු (1) අදියර ලෙස සැප්තැම්බර් 03 වන දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වේ.
මේ අතර, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව මෙම වැඩපිළිවෙල සංවිධානය කරනු ලබන බව කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා පැවසීය ෴
විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
(20.08.2026 – sinhala.adaderana.lk)
විශ්ව විද්‍යාල සිසුන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල පාඨමාලා හැරයන පිරිමි සිසුන්ගෙන් සියයට 70 ත් 80 ත් අතර බහුතරය කිසියම් මත්ද්‍රව්‍යකට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වන බවය.
විශ්ව විද්‍යාල සිසුන් සහ තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වූ “රටම එකට” ජාතික මෙහෙයුමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සඳහා පුද්ගලයන් දිගින් දිගටම පෙළඹෙන්නේ ලබාගන්නා යම් සතුටක් හෝ වෙනත් කාරණයක් නිසා නොව, මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමේදී ඇතිවන විරමන ලක්ෂණ පාලනය කරගැනීමට බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
දිගින් දිගටම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ශරීරය තුළ ඇතිවන මෙම විරමන ලක්ෂණ පාලනය කරගැනීමේ අවශ්‍යතාවය නිසා සිසුන් ඇතුළු ඕනෑම පුද්ගලයෙකු අඛණ්ඩව මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට පෙළඹෙන බව ද අමිල ඉසුරු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, වත්මන් තත්ත්වය හමුවේ මෙරට පාසල් දරුවන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ද මත්ද්‍රව්‍යවලට හුරු කරගැනීම සඳහා ජාවාරම්කරුවන් විශාල උත්සාහයක නිරත වන බව ද මහාචාර්යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පාසල් පද්ධතිය තුළ සිදුකරන ලද පර්යේෂණවලින් මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළද දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු කරගැනීමේ සහ හුරුවීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බව පෙනී යන බවය.
එහිදී අදහස් දැක්වූ මහාචාර්ය අමිල මහතා :
“ඕනෑම පුද්ගලයෙක් දිගින් දිගටම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ මත්ද්‍රව්‍යවලින් ලැබෙන ඔවුන් කියාගන්නා සතුට හෝ වෙන යම් කාරණාවක් නිසා නෙමෙයි. මත්ද්‍රව්‍ය භාවිතා කරන එක නැවැත්තුවාම ඇතිවන විරමන ලක්ෂණ පාලනය කරගන්න තමයි ඔවුන් දිගින් දිගටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. දැන් අපේ විශ්වවිද්‍යාලයේ තමන්ගේ පාඨමාලාව කරගෙන යන්න බැරුව විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන දරුවෝ ගත්තොතින්, පිරිමි දරුවන්ගෙන් 70% ක් 80% ක් විතර අය ඒ තත්ත්වය උදාවෙලා තියෙන්නේ යම්කිසි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම තුළ. ලංකාව තුළ මේ වෙනකොට අපේ දරුවන්ට මත්ද්‍රව්‍යවලට හුරු කරගන්න මේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන අය ලොකු උත්සාහයක් දරමින් ඉන්නවා. පාසල්වල කරපු පර්යේෂණවලින් පෙන්වනවා දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු කරගන්න, හුරු වෙන එක යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා. විශ්වවිද්‍යාලවල දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු කරගන්න එකට යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට පේනවා.”
ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් අලෙවි කළ ආයතනයට රු. ලක්ෂ 2 ක දඩයක්
(20.08.2026 – sinhala.adaderana.lk)
ප්‍රමිතියෙන් තොර යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට රුපියල් 200,000 ක දඩයක් නියම කර තිබේ.
අලුත්කඩේ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කොළඹ 10, ජයන්ත වීරසේකර මාවතේ පිහිටි මෙම ආයතනයේ තිබී SLS 517 ප්‍රමිති ලාංඡනය නොමැති LSS නමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සොයාගෙන තිබේ.
අදාළ හිස්වැසුම් රුපියල් 1,800 ක මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබූ බව අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේදී විත්තිකාර ආයතනය වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රුපියල් 200,000 ක දඩ මුදල නියම කර තිබේ ෴
ඥානසාර හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
(20.08.2026 – sinhala.adaderana.lk)
ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.
අදාළ නිලධාරියා දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බව ද වාර්තා වේ ෴
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
(20.08.2026 – sinhala.adaderana.lk)
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.
ඒ එම පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවා විවාදයට ගැනීමෙන් අනතුරුවය.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදි සඳහා දැනට පවතින දඩ මුදල් ප්‍රමාණයන් රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් යෝජනා කරන ලදී.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මඟින් වයස අවුරුදු 16 ට අඩු ළමයින් කිසිදු සේවයක යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
එමෙන්ම, වයස අවුරුදු 16 ට වැඩි එහෙත් අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සේවයේ යෙදවීමේදී සේවා යෝජකයන් විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි හා කොන්දේසි රැසක් ද මෙම පනත මඟින් පනවා තිබේ ෴
දිවයින පුරා ආනයනික ආලේපන හා පාවහන් සම්බන්ධ වැටලීම් 108 ක්
(20.08.2026 – sinhala.adaderana.lk)
ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව පසුගිය 18 සහ 19 යන දිනවල වැටලීම් 108 ක් සිදු කර ඇත.
එහිදී භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84 කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බව එම අධිකාරිය නිවේදනය කළේය.
මෙම වැටලීම්වලදී ආනයනය කරන ලද සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණු හා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශාලේපන, ක්‍රීඩා පාවහන් සහ අනෙකුත් ආනයනික පාවහන් ඇතුළු විවිධ භාණ්ඩ පරීක්ෂාවට ලක් කර ඇත.
මෙහිදී රුපියල් මිලියන 1.5 කට ආසනන්න වෙළෙඳපොළ වටිනාකමකින්යුත් භාණ්ඩ නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්ය.
එමෙන්ම, ආනයනික භාණ්ඩ වෙළඳසැලට ලැබුණු ආකාරය තහවුරු කළ නොහැකි වැටලීම් සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු අඛන්ඩව සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
මේ අතර මෙම වැටලීම්වලට අමතරව මෙම වසරේ දී ක්‍රීම් හා දියර වර්ග සම්බන්ධව වැටලීම් 785 ක් පමණ සිදුකර අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පවරා තිබේ.
පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කර ඇති විධාන අංක 83 අනුව, භාණ්ඩ විකිණීම, සන්තකයේ හෝ පාලනය යටතේ තබාගෙන සිටින අදාළ නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළඳුන් විසින් එම භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කළ හැකි ලිඛිත හෝ මුද්‍රිත බිල්පතක් හෝ ඉන්වොයිසියක් සන්තකයේ තබාගත යුතුය.
එම ලේඛනය තුළ සැපයුම්කරුගේ නම හා ලිපිනය, මිලදී ගත් දිනය, මිලදී ගත් මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය සහ අදාළ අවස්ථාවල කාණ්ඩ අංකය වැනි තොරතුරු ඇතුළත් වීම මගින් භාණ්ඩයක සැපයුම් දාමය හඳුනාගැනීමට හැකියාව ලැබේ.
මෙම නීතිමය අවශ්‍යතාවයේ වැදගත්කම “බිල්පතක් තබාගැනීම” පමණක්ම නොවන අතර වෙළඳපොළට පැමිණෙන භාණ්ඩවල සැපයුම්කරු ආනයනකරු හා වගකිවයුතු පාර්ශ්වයන් කවුද යන්න හඳුනාගත හැකි වීම වෙළඳපොළ නියාමනයට සහ පාරිභෝගික ආරක්ෂාවට ඉතා අත්‍යවශ්‍ය වේ.
විශේෂයෙන් ආලේපන වැනි භාණ්ඩයක ගුණාත්මකභාවය හෝ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් අනාවරණය වුවහොත් එහි සැපයුම්කරු හෝ ආනයනකරු සොයාගැනීමට මෙම ලේඛනමය තහඩුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ ෴
සා.පෙළින් පසු පිරිමි දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක්
(20.08.2026 – sinhala.adaderana.lk)
වර්තමානයේ පාසල් තුළ දරුවන් රඳවා ගැනීම යම් මට්ටමක අභියෝගයක් වී ඇති බවත්, විශේෂයෙන්ම පිරිමි දරුවන් අවුරුදු 16 න් පසු අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී ‘ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත’ දෙවන වර කියවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
නව අධ්‍යාපන සංශෝධන යටතේ එළඹෙන වසරේ සිට 2 වන සහ 6 වන ශ්‍රේණි සඳහා නිර්දේශිත නව විෂය මාලාව ක්‍රියාත්මක කරන බව එතුමිය එහිදී සඳහන් කළාය.
සියලුම පෙරපාසල් සඳහා ද පොදු විෂය මාලාවක් සකස් කර ඇති අතර, එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ සඳහා අවශ්‍ය ගුරු පුහුණුව සහ අනෙකුත් කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරයි පවසයි.
පාසල් සිසුන් ප්‍රවාහනයේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර, ඒ සඳහා ඉදිරියේදී නියාමනයක් සිදු කරන බව අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.
එම නියාමනය යටතේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථවාහන සඳහා අවම පහසුකම් සැපිරීම අනිවාර්ය වේ.
විශේෂයෙන්ම, ආසන පටි සහ ආරක්ෂක කැමරා සවිකිරීම අනිවාර්ය කරනු ඇත.
සිය අදහස් දැක්වීම අවසානයේදී අග්‍රාමාත්‍යවරිය විශේෂ ඉල්ලීමක් සිදු කළේය.
එහිදි ඇය පැවසුවේ පාසල් දරුවන්ගේ මානසික නිදහස සම්බන්ධයෙන් දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය.
විශේෂයෙන්ම, පාසල් නිවාඩු සමය තුළ දරුවන්ට එම නිවාඩුව නිදහසේ භුක්ති විඳීමට ඉඩ ලබා දෙන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය ෴
දිවයින පුරා PHIලා ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි – හෙට (21) සංකේත වැඩවර්ජනයක්
(20.08.2026 – sinhala.adaderana.lk)
අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරමිනි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, ඊයේ (19) රාත්‍රී රැස්වූ සිය සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.
ඊට අමතරව හෙට (21) දිනයේ දී දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමට ද තීරණය කර ඇති බව චමිල් මුතුකුඩ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමුකළ ලිපිය පහතින් දැක්වේ ෴
භාණ්ඩ අලෙවියේ දී නිසි ලේඛන හෝ බිල්පත් අනිවාර්යයි
(20.08.2026 – sinhala.adaderana.lk)
විකිණීමට, ගබඩා කිරීමට හෝ බෙදාහැරීමට තබා ඇති භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි නිසි ලේඛන හෝ බිල්පත් අනිවාර්යයෙන්ම ළඟ තබාගත යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළෙඳ ප්‍රජාවට දැනුම්දී තිබේ.
අධිකාරිය විසින් නිකුත් කර ඇති විධාන අංක 83 යටතේ, නිෂ්පාදකයින්, ගබඩා හිමියන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ සියලුම වෙළෙඳුන් සඳහා මෙම නීතිය 2022 අප්‍රේල් 27 දින සිට ක්‍රියාත්මක වෙමින් පවති.
ඒ අනුව, බිල්පතක අඩංගු විය යුතු අත්‍යවශ්‍ය තොරතුරු වන්නේ, සැපයුම්කරුගේ නම සහ ලිපිනය, මිලදී ගත් දිනය සහ මිලදී ගත් මිල, භාණ්ඩයේ වර්ගය, ප්‍රමාණය සහ අදාළ නම් කාණ්ඩ අංකය යන තොරතුරුය.
“භාණ්ඩ තියෙනවා, හැබැයි කාගෙන් ගත්තද කියන්න බෑ” යන තත්ත්වය ව්‍යාපාරයකට විශාල අවදානමක් බව අධිකාරිය පවසයි.
විශේෂයෙන් ආනයනික භාණ්ඩ සඳහා නිසි බිල්පතක් නොමැති වීමෙන් සැපයුම් මාර්ගය සොයාගැනීම අසීරු වේ.
එවැනි අවස්ථාවල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට අදාළ වෙළෙන්දාගෙන් ආරම්භ කර තොග වෙළෙඳපොළ සහ ආනයනකරු දක්වා සැපයුම් දාමය පරීක්ෂා කිරීමට සිදුවේ.
වෙළෙඳපොළ පරීක්ෂණ සහ වැටලීම්වලදී මෙම ලේඛන පරීක්ෂා කෙරෙන අතර, නීතිය උල්ලංඝනය කරන අවස්ථාවලදී භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව අධිකාරිය අවධාරණය කරයි.
මෙම නීති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ නිසි ලෙස ලේඛන පවත්වාගෙන යමින්, වගකීමෙන් යුතුව ව්‍යාපාර කරන සාධාරණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම බව අධිකාරිය පෙන්වා දෙන අතර ලේඛන රහිත සහ හඳුනාගත නොහැකි නීති විරෝධී සැපයුම් මාර්ග හරහා භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමද මෙහි ප්‍රධාන කාර්යයක් බව පෙන්වා දී තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴