ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි

“මහා විශාල සද්දයක් ආවා… විශාල සතෙක් පොළොව හාරාගෙන යනවා වගේ” – ටයිල් ගැලවිලා ! (20.08.2026)

නීති සම්පාදනය ඒකාධිපති හා උද්ධච්ඡ ව්‍යවහාරයක් වෙලා – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන්

ඩොලර් මිලියන 1,000 ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා (4) යළි රිමාන්ඩ්


ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි

(20.08.2026 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ‘නන්දා මාලනී මහත්මිය’ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය.

නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවිය.

කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ ‘ළමා මණ්ඩපය’ වෙත හඳුන්වා දී තිබේ.

එහිදී ඇය ගායනා කළ ‘බුදු සාදු’ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.

පසුව ලංකා ගුවන්විදුලියේ සරත් විමලවීර මහතාගේ මඟපෙන්වීම සහ අනුග්‍රහයද ඇයගේ සංගීත දිවිය ඉදිරියට ගෙන යාමට මහත් පිටුබලයක් විය.

1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන ‘රන්මුතු දූව” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් විසින් සිදුකරන ලදී.

එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමිවිය.

ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය ලෙස ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

ඉන් අනතුරුව පණ්ඩිත් අමරදේවයන්ගේ ‘මධුවන්ති’ වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහාද ඇය සහභාගී වූ අතර, ‘සන්නාලියනේ’ සහ ‘රන් දහදිය බින්දු බින්දු’ ඇතුළු ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් ප්‍රකට කළාය.

නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ ‘පෙරදා මහ රෑ’, ‘පහන් කන්ද’, ‘සත්‍යයේ ගීතය’, ‘පවන ගී එකතුව’, ‘හේමන්තයේදී’, ‘තාරුකා ඇස්’, ‘පාවෙනා’, ‘සින්දු හෝඩිය’, ‘කිඳුරියකගේ විලාපය’, ‘මඳු බඳුන්’, ‘හඳහාමි’, ‘සංඛ පද්ම’, ‘පෙම්බර ලංකා’, ‘ග්‍රැමෆෝන් ගී’, ‘අරලිය ලන්දට’, ‘නිලම්බරේ’ සහ ‘පිරිත් පැන්’ ඇතුළු නිර්මාණ රැසක් බිහි විය.

ආදර ගීතවලින් ඔබ්බට ගිය ඇය ආගමික ගීත, ළමා ගීත සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද මෙරට රසික ජනතාව වෙත දායාද කළාය.

‘දන්නෝ බුදුන්ගේ’ වැනි ගීත හරහා ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවූ අතර, 1990 වසරේ නිර්මාණය කළ ‘සින්දු හෝඩිය’ ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් විය.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස ඇය සරසවිය සම්මාන 12 ක් සහ ජනාධිපති සම්මාන 10 ක් හිමිකරගෙන ඇත.

‘ගලන ගඟකි ජීවිතේ’, ‘මේ සිංහල අපගෙ රටයි’, ‘රංග සැඩොල් කඳුළු’, ‘හඳ හාවුන්’, ‘දෙනෝදහක් නුවන් අතරේ’, ‘අම්මාවරුනේ”, ‘අහසින් පොළවට’ සහ ‘ඉවුරු බිඳුණු ගංතලාවේ’ ඇතුළු ගීත වෙනුවෙන්ද ඇය සම්මානයට පාත්‍ර වූවාය.

ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද සිය ගායන හැකියාව රැගෙන ගිය නන්දා මාලනී මහත්මිය සිංගප්පූරුව, මැලේසියාව, පාකිස්තානය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, මැදපෙරදිග සහ මාලදිවයින ඇතුළු රටවල ප්‍රසංග සඳහා සහභාගී වී තිබේ.

1988 දෙසැම්බර් 16 වැනිදා ඇය සිය 250 වැනි ප්‍රසංගය පවත්වා ඇති අතර, 2010 වසරේදී සිරස නාලිකාව සමඟ එක්ව දිවයින පුරා සජීවී ඒක පුද්ගල ගී ප්‍රසංග 25ක්ද පවත්වා තිබේ.

ශ්‍රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.

+++

+++

නන්දා මාලනී මහත්මියගේ ජනප්‍රියම ගීත 72 ක් එක දිගට (30.05.2024)

+++

ඔබ නන්දා මාලනීගේ මේ කතාව ඇහුවාද? (24.10.2023)

+++

15.10.2021

+++

සිද්ධිය ආරංචි වූ සැණින් නෑ හිත මිතුරන් සහ කලාකරුවන් වැල නොකැඩි නිවසට එයි (20.08.2026)

+++

නන්දා මාලිනියගේ මරණය අසා ගෙදරට ආපු සුනිල් සර් කියපු සංවේදී කතාව (20.08.2026)

+++

(20.08.2026 – sinhala.adaderana.lk)

ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි ෴


“මහා විශාල සද්දයක් ආවා… විශාල සතෙක් පොළොව හාරාගෙන යනවා වගේ” – ටයිල් ගැලවිලා ! (20.08.2026)

(මෙය බලවත් අමනුෂ්‍ය ප්‍රහාරයකි ! – අමරසර)

+


නීති සම්පාදනය ඒකාධිපති හා උද්ධච්ඡ ව්‍යවහාරයක් වෙලා – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන්

(20.08.2026 – hirunews.lk)

යම් නීතියක් සකස් කිරීමේදී එයට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ප්‍රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්‍යවහාරයක් පැවතිය යුතු බවත් නමුත් නීති සම්පාදනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම ව්‍යවහාරයන් පැත්තකට දමා තනිකරම ඒකාධිපති උද්ධච්ච නීති සම්පාදන ව්‍යවහාරයක් බවට පත්වෙමින් පවතින බවත් ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසනවා.

කොළඹ 7, මල් පාරේ පිහිටි ඒකාබද්ධ විපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක් :

“යම් නීතියක් සකස් කිරීමේ දී එයට අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ප්‍රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්‍යවහාරයක් පැවතිය යුතුයි. නමුත්, නීති සම්පාදනයේ දී ලංකාවේ ක්‍රියාත්මක වන සියළුම ව්‍යවහාරයන් පැත්තකට දාලා, තනිකරම ඒකාධිපති – උද්ධච්ච ‘ නීති සම්පාදන ව්‍යවහාරයක්’ බවට පත්වෙමින් තියෙනවා.

ආණ්ඩුව මේ ඒකාධිපති – උද්ධච්ච ප්‍රවේශය ලබාගෙන තියෙන්නේ රටේ ආර්ථිකය දවසින් දවස විනාශ මුඛයට යමින් ජනතාවගේ ආර්ථිකයට බලපෑම් කරන නිසයි.

2026 පෙබරවාරි (1.6%) ක් වු උද්ධමනය ජුලි මස වන විට 7.3% දක්වා 5.7% කින් වැඩිවෙලා. වසරේ පළමු මාස 6 තුළ වෙළඳ හිඟය ඩො.බි. 5.5 ක් ලෙස වර්ධනය වෙලා.

මැයි මාසය අවසානයේ අය වැය අතිරික්තය රු.බි. 197.3 ක් වුණා. 2026 ජුනි අවසානය වන විට අයවැය අතිරික්තය රු.බි. 9.5 දක්වා අඩුවෙලා තියෙනවා.

2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත 2026 ජුලි අග වන විට ඩො.මි. 6,519 දක්වා පහත වැටී තිබේ. 2024 නොවැම්බර් මස රු.බිලියන 28,240.22 ක් වූ මධ්‍යම රජයේ නොපිය වූ ණය ප්‍රමාණය, 2026 මාර්තු වන විට රු. බිලියන 30,193.18 දක්වා රු. බිලියන 1,952.96 කින් වැඩි වෙලා තියෙනවා.

ආණ්ඩුව මේ සතියේ අලුත් නීති තුනක් පාර්ලිමේන්තුවට ගෙනාවා.22 ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත, දුෂණ විරෝධී පනත සංශෝධනය කියන නීති තුනම පාර්ලිමේන්තුවේ කිසිම කමිටුවක සාකච්ඡා කරලා නෑ. ආණ්ඩුව පැත්තෙන් කිසිම සාකච්ඡාවක් සම්මන්ත්‍රණයක් තියලා නෑ. මේ විෂයයන් ගැන විශේෂඥ දැනුමක් තියෙන උගත් බුද්ධිමත් පිරිසක් එක්ක කතා කරලා නෑ. සිවිල් සංවිධාන එක්ක කතා කරලා නෑ.

මේ ව්‍යවහාරය තනිකරම ‘ඒකාධිපති – උද්ධච්ඡ’ වැඩක්. තමන්ට හිතෙන හිතෙන දේ කරනවා. තමන්ට හිතෙන හිතෙන නීති සම්පාදනය කරනවා. තුනෙන් දෙකක් තියෙන නිසා ඒවා සම්මත කර ගන්න පුළුවන් කියලා හිතලා තනිකරම වියරු ඒකාධිපති ගමනක් යනවා.
අද නැවතවරක් පාර්ලිමේන්තුව කියන රටේ ව්‍යවස්ථාදායක බලය හිමි ආයතනය විධායක ජනාධිපතිවරයාගේ ඩබල් පොකට් සාක්කුවට වැටිලා තියෙන්නේ. ඩබල් පොකට් කමිසයේ අනික් සාක්කුවට ‘අධිකරණය දමා ගැනීම’ තමයි මේ කරන්නේ.

22 ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණ සංවිධාන පනත සහ දූෂණ විරෝධී පනතේ සංශෝධන හරහා කරන්නේ අධිකරණය සාක්කුවට දමා ගැනීම” ෴


ඩොලර් මිලියන 1,000 ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා (4) යළි රිමාන්ඩ්

(20.08.2026 – hirunews.lk)

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36 ක් පිහිටවූ මහා ජාවාරම්කරුවෙකු යැයි කියන ‘ජෙෆ්රි මොහොමඩ්’ සමග එක්ව අමෙරිකානු ඩොලර් මිලියන 1,000 ක් විදේශගත කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු සහ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක කළමනාකරුවෙකු ඇතුළු බැංකු නිලධාරීන් සිව්දෙනා ලබන 03 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළා.

තවද මෙම සිද්ධියට අදාළ බැංකු නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ අණ පනත් ප්‍රකාරව සාක්ෂි සම්පිණ්ඩන වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.

මෙම නඩුවේ ප්‍රධාන සැකකාර ‘ජෙෆ්රි මොහොමඩ්’ නමැති අය විසින් පුද්ගලයින් අට දෙනෙකුගේ (8) නම් භාවිත කර ස්ථාපිත කළ ව්‍යාජ සමාගම් 36 හරහා අවස්ථා 199 කදී (ටෙලි ග්‍රැෆික් ට්‍රාන්සර්) අමෙරිකානු ඩොලර් බිලියන එකකට (1) අධික මුදලක් විදේශගත කර බැංකුවට හා රජයට පාඩු කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා සඳහන් කර සිටියේ මෙය මෙරට මහා මූල්‍යමය අපරාධයක කොටස්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවක් බවයි.

තමන් සේවය කරන බැංකුවේ විශ්වාසය කඩ කරමින් රටට මහා පරිමාණ වංචාවක් සිදු කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සංකීර්ණ හා සංවේදී පරීක්ෂණයක් සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියා.

තවද මෙම බැංකු නිලධාරීන් සිව්දෙනා (4) සිද්ධියට අදාළ පළමුවැනි (1) සැකකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අල්ලස් කොමිසමට බාර දීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

තවද මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සම්බන්ධ බවත්, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත්, විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

තවද මෙම සිද්ධියට අදාළ පළමුවැනි (1) සැකකරුට මත්ද්‍රව්‍ය පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය පනත යටතේ කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත්, එම සැකකරු විසින් රු. ලක්ෂ 65 කට අධික මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම් ඔස්සේ උපයා ගෙන බැංකු ගත කර ඇති බවත්, විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යමින් පළමුවැනි (1) සැකකරු මෙලෙස මුදල් වංචා කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැන්වූවා.

සැකකරුවන් ගනුදෙනු කර ඇත්තේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක කොටස්කරුවකු වන ‘ජෙෆ්රි මොහොමඩ්’ නමැති අධි චෝදනා ලැබූවෙකු සමග බවද එම ජාවාරම්කරු සමග සම්බන්ධ වී ඇති සැකකරුවන් සෑම සිකුරාදා දිනකම එම ජාවාරම්කරු හමු වී ප්‍රතිලාභ ලබාගැනීම හා පුද්ගලික ගිණුම් විවෘත කර රු. ලක්ෂ තුන (3) බැගින් මුදල් තැන්පත් කරගෙන ඇති බැවින් අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවද පවසා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤