රේගුවේ තවත් ලොකු වංචාවක්.. ජනාධිපති යාළුවාගේ රිපෝට් හංගලා.. – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
රේගුවේ තවත් ලොකු වංචාවක්.. ජනාධිපති යාළුවාගේ රිපෝට් හංගලා.. – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
(19.08.2026 – lankacnews.com)
ශ්‍රී ලංකා රේගුව තුළ සිදුවූ මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් හිතාමතාම යටගසා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
රේගුවේ Red Channel හරහා මෙරටට ගෙන්වන ලද අඩි 40 ක බහාලුමක් පරීක්ෂා කිරීමේදී මෙම වංචාව අනාවරණය වී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
වාහන අමතර කොටස්, එන්ජින් සහ අසුන් තොගයක් අඩංගු වූ මෙම බහාලුම පරීක්ෂා කළ පළමු (1) සහ දෙවන (2) කණ්ඩායම් එහි කිසිදු ගැටලුවක් නොමැති බවට වාර්තා කර තිබුණද, රේගු මධ්‍යම විමර්ශන අංශය විසින් සිදුකළ තෙවන (3) පරීක්ෂාවේදී භාණ්ඩ වර්ග 85 ක් හඳුනාගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එම භාණ්ඩ අතරින් වර්ග 45 ක් රේගුවට ප්‍රකාශ කර නොතිබූ ඒවා බවත්, ඒ යටතේ හොර රහසේ ගෙන්වන ලද ඒකක 355 ක් තිබූ බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
මීට අමතරව ආනයන බලපත්‍ර නොමැති වාහන අසුන් 122 ක් සහ රිම් සහිත ටයර් 18 ක් ද එම බහාලුම තුළ තිබී හමු වී ඇත.
මෙම වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති රේගු නිලධාරියා වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ තනතුරක් දරන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බව ඩී.වී. චානක මහතා මෙහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වූ බුද්ධි අංශ පරීක්ෂණ වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණද, සිය හිතවතා ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා එම වාර්තාව ප්‍රසිද්ධ නොකර සඟවාගෙන සිටින බවට මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කර සිටියේය.
මෙම දූෂිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බවත්, අධිකරණයට පවා බලපෑම් කරමින් මෙවැනි වංචාකරුවන් ආරක්ෂා කිරීම රටේ අනාගතයට බරපතළ තර්ජනයක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය ෴
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
(19.08.2026 – hirunews.lk)
ලබන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඊට අදාළ සියලුම තාක්ෂණික හා යටිතල පහසුකම් මේ වන විටත් සූදානම් කර ඇති බව සඳහන්.
එමෙන්ම, රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේ මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) මේ වසර අවසාන වීමට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරනවා ෴
පොත් කියවන්නන්ට අසුබ ආරංචියක්
(19.08.2026 – sinhala.srilankamirror.com)
මුද්‍රිත පොත් සඳහා පනවා ඇති අධික බදු බර හේතුවෙන් ගතවූ වසර තුනක (3) කාලය තුළ මෙරට ලේඛකයන්ගෙන් සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් තම වෘත්තියෙන් ඉවත්ව වෙනත් රැකියාවලට යොමුවී ඇති බව ‘ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය’ පවසයි.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට පොත් ප්‍රකාශන ආයතනවලින් සියයට 40 ක් පමණ ක්ෂේත්‍රය හැරගොස් ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.
මුද්‍රිත පොත් සඳහා ප්‍රථම වරට 2023 වසරේදී පනවන ලද එකතු කළ අගය මත බද්දසහ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් පොත්වල නිෂ්පාදන පිරිවැය සහ වෙළෙඳපොළ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, එය අලෙවිය දැඩි ලෙස පහත වැටීමට ප්‍රධාන හේතුව වී තිබේ.
ලෝකයේ රටවල්වලින් සියයට 95 ක ප්‍රමාණයක මෙන්ම ආසියානු කලාපයේ කිසිදු රටක මුද්‍රිත පොත් සඳහා මෙලෙස බදු අය නොකරන බව ද ප්‍රකාශකයින්ගේ සංගමය පෙන්වා දෙයි.
මෙරට අධ්‍යාපන හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම උදෙසා මුද්‍රිත පොත් මත පනවා ඇති වැට් ඇතුළු සියලු බදු කඩිනමින් ඉවත් කර සහනයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ගාමිණී මොරගොඩ මහතා වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴