22 න් පලාත් සභාවලට අධිකරණ බලය..

22 න් පලාත් සභාවලට අධිකරණ බලය..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ‘බහුජන බලය’ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

බණ්ඩාරගම නිවසකින් මත්ද්‍රව්‍ය කිලෝ 18 කට වැඩි තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

අපවත්වී වදාළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද (19) දහවල් වැල්ලවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරයට

ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම අපරාධ වරදක් කිරීමට විදේශ විනිමය පනත සංශෝධනය කෙරේ

අධිවේගයට ආසන පටි අධිවේගයෙන් එයි – 2026 සැප්තැම්බර් 19 සිට අනිවාර්යයි

උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයා CIDයට කොටුවෙයි


22 න් පලාත් සභාවලට අධිකරණ බලය..

(18.08.2026 – lankacnews.com)

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා වෙත අධිකරණ බලය විමධ්‍යගත කිරීමේ සූදානමක් පවතින බව ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසයි.

‘හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ වැඩසටහන’ට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම සංශෝධනය පිටුපස ෆෙඩරල් පාලන ව්‍යුහයකට මගපාදන සැඟවුණු දේශපාලන අරමුණක් පවතින බවට සැකයක් පවතින බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීනාත් පෙරේරා මහතා පෙන්වා දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සහ නඩු ඉක්මන් කිරීම වැනි කරුණු මතුපිටින් පෙනෙන්නට තිබුණද, මෙහි සැබෑ අරමුණ 13 වන සංශෝධනය බලාත්මක කරමින් පළාත් මට්ටමින් අභියාචනාධිකරණ පිහිටුවීම විය හැකි බවයි.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය සහ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස එල්ල වන බලපෑම් හමුවේ රජය මෙම පියවර ගැනීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.

අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාණය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් ඒ මහතා කියා සිටියේ, මේ වන විට මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල නඩු ලක්ෂ අටහමාරකට (8½) අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින්නේ නඩු 3,500 ක් වැනි සුළු ප්‍රමාණයක් බවත්, සාමාන්‍ය ජනතාව පීඩා විඳින පහළ අධිකරණවල නඩු ප්‍රමාදයට විසඳුම් සෙවීම වෙනුවට ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීමට රජය ප්‍රමුඛතාව ලබාදීම ගැටලුසහගත බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, ශ්‍රීනාත් පෙරේරා මහතා තර්ක කළේ මෙය විනිසුරුවරුන් වෙත ලබාදෙන අල්ලසක් වැනි ක්‍රියාවක් බවත්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල විය හැකි බවත්ය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය වැනි පවතින නීති නිසි ලෙස ක්‍රියාත්මක කරමින් පාර්ශවකරුවන් එකඟතාවකට පත්කිරීම හරහා නඩු ප්‍රමාදය අවම කිරීමට පියවර නොගෙන, මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම පිටුපස රට බෙදීමේ දේශපාලන ව්‍යාපෘතියක් පවතින බවට ඒ මහතා වැඩිදුරටත් චෝදනා කළේය ෴


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ‘බහුජන බලය’ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

(19.08.2026 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා ‘බහුජන බලය’ විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතන අතර නිසි සංචරණ හා තුලන පවත්වා ගැනීම අරමුණු කරගත යුතු බව සිවිල් සංවිධානයක් ලෙස සිය ස්ථාවරය වන බව එම සංවිධානය සඳහන් කරයි.

යෝජිත 22 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන මඟින් මෙම මූලධර්මවලට, විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූල ධර්මයට, බලපෑම් ඇතිවිය හැකි බවට මතුව ඇති කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇතැයි ද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන බැවින්, එයට සිදුකරන මූලික වෙනස්කම් ප්‍රමාණවත් විනිවිඳභාවයකින්, පුළුල් මහජන සංවාදයකින් සහ නිසි ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් තුළ සිදුකළ යුතු බව බහුජන බලය අවධාරණය කරයි.

විශේෂයෙන්ම, යම් ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් ආරක්ෂා කර ඇති විධි විධානවලට බලපාන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අවස්ථාවල ජනමත විචාරණයක් මඟින් ජනතාවගේ සෘජු අනුමැතියටද ඉදිරිපත් කළ යුතු බවද අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේද අවධානය යොමුව තිබීම සැලකිල්ලට ගත යුතු කරුණක් බවත් Commonwealth Lawyers Association (CLA), LAWASIA, International Association of Judges (lAJ) ඇතුළු ආයතන සහ විනිසුරුවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකාරිනි Margaret Satterthwaite විසින් යෝජිත වෙනස්කම් අධිකරණ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූලධර්මයට ඇති කළ හැකි බලපෑම පිළිබඳ කනස්සල්ල පළ කර ඇති බවද අදාළ නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

මෙතරම් වැදගත් ව්‍යවස්ථාමය වෙනසක් සඳහා පැහැදිලි ජනවරමක් තිබිය යුතුය යන්න බහුජන බලයේ ස්ථාවරය බවත් යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ජනතාව වෙත ඉදිරිපත් කර නොතිබූ බැවින්, මෙම වෙනස සඳහා සෘජු මැතිවරණ ජනවරමක් පවතින්නේද යන්න පිළිබඳ සාධාරණ ප්‍රශ්නයක් මතුවන බවද ‘බහුජන බලය’ පෙන්වා දෙයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත 22 වන සංශෝධනයේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්නත්, එහි යම් විධිවිධාන සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍යද යන්නත් තීරණය කරන ලෙස බහුජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

බහුජන බලය ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවන බවත් ඕනෑම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ජනතාවගේ අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කරන ආකාරයෙන් සිදුකිරීම තහවුරු කිරීම සිය සංවිධානයේ අදහස බවද අදාළ නිවේදනය මඟින් සඳහන් කර ඇත.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු ආණ්ඩුවකට හෝ දේශපාලන පක්ෂයකට අයත් ලේඛනයක් නොවන අතර එය රටේ ජනතාව සතු උත්තරීතර නීතිය වන බැවින් එය වෙනස් කරන සෑම අවස්ථාවකම අවසාන වශයෙන් ආරක්ෂා විය යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍යයයි” බහුජන බලය අවධාරණය කරයි ෴


බණ්ඩාරගම නිවසකින් මත්ද්‍රව්‍ය කිලෝ 18 කට වැඩි තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

(19.08.2026 – hirunews.lk)

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ඩුබායි රවිෂ්ක’ නමැත්තා විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන අනුගාමිකයෙකු බණ්ඩාරගම, මස්විල, වෙන්දේසි වත්ත ප්‍රදේශයේදී රුපියල් කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ (18) අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.

එහිදී අදාළ නිවසේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 යි ග්‍රෑම් 672 ක විශාල තොගයක් සොයාගැනීමටයි නිලධාරීන් සමත්ව ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ බෙදාහැරීමේ කටයුතු සඳහා යොදාගත් බවට සැකකෙරෙන විද්‍යුත් තරාදියක් (1) සහ ජංගම දුරකථන 2 ක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු මස්විල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මොහු පානදුර ‘කුඩු සළිඳු’ගේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ, දැනට ඩුබායි හි සැඟව සිටින ‘ඩුබායි රවිෂ්ක’ගේ මෙරට ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු, මත්ද්‍රව්‍ය තොගය සහ නඩුවට අදාළ භාණ්ඩ ඉදිරි දීර්ඝ විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාරදී තිබෙනවා ෴


එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(19.08.2026 – hirunews.lk)

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මගින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු නොවූ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොහු 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


අපවත්වී වදාළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද (19) දහවල් වැල්ලවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරයට

(19.08.2026 – hirunews.lk)

බොදු ගී ඇතුළු අර්ථාන්විත ගීත රැසකින් ශ්‍රී ලාංකේය කලාකෙත පෝෂණය කළ ප්‍රවීන ගේය පද රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය අද (19) දහවල් උන්වහන්සේ විහාරාධිපතිව වැඩ වෙසෙන වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

කළක් පුරා පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඊයේ (18) අපවත් වනවිට 76 වන වියෙහි පසු වුණා.

1950 වසරේ මැයි 22 වැනිදා දෙනියාය රඹුකන ග්‍රාමයේ උන්වහන්සේ උපත ලැබුවා.

මොරවක, වැලිව, බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මෙන්ම පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ, ලාංකේය ගීත කලාවේ අපූර්ව සටහන් තබන්නේ තමන්ටම ආවේණික රටාවකින් මානව සිත් තුළ අපූර්ව සැදැහැ සිතුවිලි ජනිත කරමින්.

ගුණදාස කපුගේ ශූරීන් ගැයූ ‘පිහිටක් නැති – සරණක් නැති’, ‘සද්ධර්ම මකරන්ද’ ගීත මෙන්ම වික්ටර් රත්නායකයන් ගැයූ ‘බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති’, ‘කාසිවලට ගන්නත් බැහැ’ ගීතය ද උන්වහන්සේගේ පන්හිඳෙන් ලියවුණා.

විශාරද මාලිනි බුලත්සිංහල ගායනා කළ ‘හිමි සණරාමර’, ‘පිපෙනා මලකට’, ‘සෙනෙහස පුදා’ මෙන්ම ‘බුදු බණ ඇසුවා’ ගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා ගයන ‘ලා දළු බෝපත්’ මෙන්ම ‘වෙහෙරක් වගේ’ ගීතය ද උන් වහන්සේ රචනා කළ ගීත අතර වනවා.

තම ගීත කලාව එක් පැතිකඩකට සීමා නොකළ සිද්ධාර්ථ හිමියන් ‘පන්සලේ – පල්ලියේ’, ‘බණ කියන රටක්’, ‘මේ ප්‍රේම කතා නවතා මොහොතක්’, ‘මේ ඉර හඳ යට’, ‘සියක් ආයු ලැබ’, ‘අව්වට වැස්සට හුරු මිනිසුන්නේ’, ‘අනුරාධපුරේ අනුරාව නැගූ’ මෙන්ම, ‘සඳ තරු මල්’, ‘මට දන් දුන්’ වැනි ගීත ද දායාද කළා.

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය පිළිබඳ පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් වැඩිදුරටත් කියා සිටියේ ෴

+++

+

+


ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම අපරාධ වරදක් කිරීමට විදේශ විනිමය පනත සංශෝධනය කෙරේ

(19.08.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදු කෙරෙන අනවසර අරමුදල් මාරු කිරීම් අපරාධ වරදක් ලෙස හඳුන්වා දීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ගෙවීමක් ලෙස රටින් බැහැරට අරමුදල් ප්‍රේරණය කර, ඉන් අනතුරුව සාධාරණ කාලසීමාවක් තුළ ඊට අනුරූප භාණ්ඩ මෙරටට ආනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්, එය රටින් බැහැරට සිදු කළ අනවසර විදේශ විනිමය මාරු කිරීමක් ලෙස සැලකිය හැකිය.

වර්තමානයේ පවතින විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන අනුව, මෙවැනි අනවසර මුදල් මාරු කිරීමක් සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ප්‍රේරණයේ වටිනාකමට සමාන මුදලක් මූල්‍ය දඩයක් ලෙස පැනවීම පමණි. එය අපරාධ වරදක් ලෙස අර්ථ දක්වා නොමැති බැවින්, අපරාධ නඩු පැවරීම සඳහා වන නෛතික ප්‍රතිපාදන ද පනතේ අඩංගු වී නොමැත.

මෙම පනත් සංශෝධනය හරහා අදාළ සිදුවීම් අපරාධ වරදක් ලෙස ස්ථාපිත කිරීම මගින් විමර්ශන ආයතනවලට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නීතිමය රාමුව යටතේ වඩාත් ඵලදායී ලෙස පියවර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴


අධිවේගයට ආසන පටි අධිවේගයෙන් එයි – 2026 සැප්තැම්බර් 19 සිට අනිවාර්යයි

(19.08.2026 – sinhala.adaderana.lk)

2026 සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බව පොලීසිය පවසයි.

අධිවේගයේ රියදුරන්ට සහ මගීන්ට ආසනපටි පැලඳීම ගැන විශේෂ දැනුම්වත් කිරීමක් මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසා සිටියේ, සියලු මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය වන අතර එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවය.

ආසනපටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රු. 1,000 ක දඩ මුදලක් පැනවිය හැකි බවද ඒ මහතා පැවසීය.

අධිවේගී බස් රථවල ආසනපටි නොපැලඳ සිටින මගීන්ගෙන් එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාවක් පවතින බවද පැවසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා, ආසනපටි පැලඳීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික ජනතාව දැඩිව තේරුම් ගත යුතු බවද කියා සිටියේය.

සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, මේ වනවිට සිදුවන අනතුරුවලින් ආසනපටි නොමැති වීමෙන් සිදුවන ජීවිත හානි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, මංජුල කුලරත්න මහතා පවසා සිටියේ, ආසන පටි නොමැති වාහන සඳහා ආසනපටි සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් මස 19 වන දිනෙන් අවසන් වන බවය.

2025 සැප්තැම්බර් මස 25 දින නිකුත් කළ 2455/29 දරණ ගැසට් නිවේදනය අනුව අධිවේගයේ සියලු වාහන සඳහා ආසනපටි පැලඳීමේ නීතිය ක්‍රියාත්මක වීමට නියමිත බවය.

+


උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයා CIDයට කොටුවෙයි

(19.08.2026 – sinhala.adaderana.lk)

මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ 19 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස මුදල් ගණුදෙනු (උණ්ඩියල් ක්‍රමයට) සිදුකරන පුද්ගලයෙකු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (18) සවස වේල්ලවීදිය පොලිස් වසමේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී රුපියල් 10,467,000 ක මුදලක් උපයාගැනීම සම්බන්ධව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ සහ ව්‍යාජ රුපියල් 1000 නෝට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 19 ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

‘මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය’ විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *