‘හබරකඩ කසුන්’ගේ ඥාතියකුට වෙඩි ප්‍රහාරයක්! (CCTV)

‘හබරකඩ කසුන්’ගේ ඥාතියකුට වෙඩි ප්‍රහාරයක්! (CCTV)

ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිසිය ලෙස පෙනී සිටිමින් සිදු කරන නව මූල්‍ය වංචාවක්!

ඕමානයේ සිට මෙරටට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා CCDයට භාරදෙයි

අතුරුදන් වූ නාවිකයා සොයා සිව්වන (4) දිනටත් මෙහෙයුම්

කාදිනල්තුමාගේ රීලෝඩ් ඉවරයි. මී ලඟ කොළඹ අගරදගුරු කවුද? | පාර්ලිමේන්තු කැන්ටිමේ සුපිරි කෑමක් එළියට (18.08.2026)

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති

ලංකාවේ කළු සල්ලි සුදු කරන හැටි. ඩො.මි. 700 ක් රටින් පිටකළේ කොහොමද? (17.08.2026)

බැංකු කළමනාකරුවන් සිව්දෙනා (4) ගැන තවත් කරුණු රැසක් නලින්ද හෙළි කරයි

22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දිනයේම පෙත්සම් 6 ක්


‘හබරකඩ කසුන්’ගේ ඥාතියකුට වෙඩි ප්‍රහාරයක්! (CCTV)

(18.08.2026 – sinhala.srilankamirror.com)

අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ සීලාලංකාර මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හෝටල් හිමිකරුවෙක් බවට තොරතුරු වාර්තා වෙයි.

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ඩුබායි හි සැඟව සිටින බව කියන ‘හබරකඩ කසුන්’ නැමැත්තාගේ ඥාතියෙකු (මස්සිනා) බව පැවසේ.

තුවාලකරු මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ති‌බේ.

නොම්බර 53/3, මළවියකන්ද වත්ත, මුල්ලේගම පදිංචිව සිටි ‘රණසිංහගේ ලහිරු අශාන්’ නැමැත්තෙකට මේ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.


ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිසිය ලෙස පෙනී සිටිමින් සිදු කරන නව මූල්‍ය වංචාවක්!

(18.08.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) වැනි ප්‍රධාන පෙළේ ආයතනවල නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් සහ ඒවායේ ලිපි ශීර්ෂ අයුතු ලෙස භාවිත කරමින් සිදු කෙරෙන නව මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය විසින් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මෙම වංචනිකයන් පළමුව ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය හරහා පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ ජංගම සහ ස්ථිර තැන්පතු පිළිබඳ විමසීම් සිදු කරනවා.

පසුව, එම තැන්පතු මුදල් වංචා සහගත ලෙස උපයාගත් ඒවා බවට අසත්‍ය චෝදනා නඟා, මූල්‍ය අපරාධ විමර්ශන අංශය හරහා පරීක්ෂණ පවත්වන බවට තර්ජනය කරමින් වින්දිතයන් බියට පත් කිරීම ඔවුන්ගේ ක්‍රමවේදයයි.

එමෙන්ම, ව්‍යාජ ලෙස සකස් කරන ලද මහ බැංකු ලිපි ශීර්ෂ, නිලධාරීන්ගේ අත්සන් සහ රබර් මුද්‍රා යොදාගත් ලිපි පෙන්වා තවදුරටත් භීතියට පත් කරන මෙම ජාවාරම්කරුවන්, විමර්ශන කටයුතු සඳහා යැයි පවසමින් මුදල් ප්‍රමාණයක් වෙනත් පුද්ගලික බැංකු ගිණුමකට බැර කරන ලෙස උපදෙස් දෙනවා.

මෙම සූක්ෂ්ම වංචාවන් සඳහා විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන් වැඩි වශයෙන් ඉලක්ක වන බැවින්, ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, එවැනි තත්ත්වයන් හමුවේ අදාළ නිල ආයතන වෙත වහාම දැනුම් දෙන ලෙසත් ‘ශ්‍රී ලංකා CERT’ ආයතනය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.


ඕමානයේ සිට මෙරටට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා CCDයට භාරදෙයි

(18.08.2026 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘දිමුතු චතුරංග’ හෙවත් ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගීන් ඔහුව අත්අඩංගුවට ගත්තා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබලදීම ඇතුළු තවත් බරපතල ගණයේ විවිධ අපරාධ චෝදනා, අත්බෝම්බ ළඟ තබාගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ද ඔහුට එල්ල වී තිබෙනවා ෴


අතුරුදන් වූ නාවිකයා සොයා සිව්වන (4) දිනටත් මෙහෙයුම්

(18.08.2026 – 11:09 +0530 – sinhala.adaderana.lk)

අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයාගැනීමේ මෙහෙයුම් සිව්වන (4) දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

අඟුලාන ප්‍රදේශයට ඔබ්බෙන් සිදුකළ සාමාන්‍ය මුර සංචාරයකින් ආපසු පැමිණෙමින් සිටියදී, පසුගිය 15 වනදින පෙරවරු 11:40 ට පමණ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනපේක්ෂිත සමුද්‍රීය හදිසි තත්ත්වයකට මුහුණ දුන්නේය.

එම අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව, අඟුලාන පොලීසියේ සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහාය ඇතිව යාත්‍රාවේ සිටි පුද්ගලයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු සාර්ථකව බේරා ගැනීමට සමත් විය.

ඒ සමඟම, අතුරුදන් වූ නිලධාරියා සොයා ගැනීම, යාත්‍රාව ගොඩගැනීම සහ සිදුවීමට අදාළ නිශ්චිත තත්ත්වයන් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් විශේෂිත සම්පත් යෙදවීමට නාවික හමුදාව කටයුතු කළේය.

16 වන දින අලුයම සිට දැරූ වෙහෙසකර උත්සාහයකින් අනතුරුව, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අදාළ යාත්‍රාව සාර්ථකව ගොඩගන්නා ලදී.

කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළ පැවති රළු මුහුදු තත්ත්වය හේතුවෙන් යාත්‍රාව ඇදගෙනයාමේ කටයුතුවලට බාධා එල්ල වූ අතර, ඒ සඳහා වන උත්සාහයන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

බේරාගත් පුද්ගලයින්ගෙන් ලබාගත් මූලික තොරතුරු මත පදනම්ව, යාත්‍රාව එම ප්‍රදේශයේ තිබූ ජලයේ ගිලීගිය නෞකා සුන්බුන් කොටසක ගැටී තිබිය හැකි බවට සැකයක් පවතී.

ඒ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.

මේ අතර, මෙම සිදුවීම පිළිබඳ මූලික විමර්ශනයක් සිදුකිරීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත්කර ඇත.

බේරාගත් නාවික හමුදා සාමාජිකයින් 11 දෙනා තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බව සඳහන් වෙයි ෴


කාදිනල්තුමාගේ රීලෝඩ් ඉවරයි. මී ලඟ කොළඹ අගරදගුරු කවුද? | පාර්ලිමේන්තු කැන්ටිමේ සුපිරි කෑමක් එළියට (18.08.2026)

+


පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති

(18.08.2026 – hirunews.lk)

ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරයකු මෙන්ම බෞද්ධ සාහිත්‍යයට අසමසම මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී තිබෙනවා.

‘ලා දළු බෝපත්’, ‘සෙනෙහස පුදා’, ‘සඳ තරු මල්’, ‘සංසාරේ අපි’ ඇතුළු බෞද්ධ ආගමික, සමාජීය සහ සංවේදී තේමා රැසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් පද රචනය කරමින් උන්වහන්සේ දේශීය සුගන්ධවත් ගීත කලාව පෝෂණය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි උන්වසහන්සේ අපවත් වුණේ.

අපවත්වෙන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76 ක් ෴


ලංකාවේ කළු සල්ලි සුදු කරන හැටි. ඩො.මි. 700 ක් රටින් පිටකළේ කොහොමද? (17.08.2026)

+


බැංකු කළමනාකරුවන් සිව්දෙනා (4) ගැන තවත් කරුණු රැසක් නලින්ද හෙළි කරයි

(18.08.2026 – 15:08 +0530 – sinhala.adaderana.lk)

මෙරටින් පිටට නීතිවිරෝධීව අමෙරිකානු ඩොලර් බිලියන ගණනක මුදලක් ‘උණ්ඩියල් ක්‍රමය’ යටතේ ප්‍රේෂණය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු කළමනාකරුවන් 4 දෙනා සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (18) කරුණු රැසක් අනාවරණය කරනු ලැබීය.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදී මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස :

“2026 ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් FCID එකට කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව විමර්ශන කටයුතු ආරම්භ කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාම ගිණුම් 210 ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්න අධිකරණ අවසරය ලැබිලා තියෙනවා. ඒ සිදුකර ලද විමර්ශනයේදී 2026-06-19 වන දින මීගමුවෙන් එක් (1) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා ඔහුට දින 7 ක රඳවා ගැනීම් නියෝග ලබා දීලා දැන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. ගිණුම් 89 ක් මගින් මුදල් ප්‍රේෂණය කරලා තියෙනවා අවස්ථා 10,151 කදී. රටින් පිටකර තිබෙන සමස්ත මුදලේ වටිනාකම රුපියල් බිලියන 74 ක්. එම විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ පෞද්ගලික බැංකු 4 ක කළමනාකරුවන් ඇතුළු විධායක නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ දියත් කරමින් පවතින්නේ. මේ අයට මුදල් විශුද්ධීකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතිනවා ‘ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර්’ යටතේ මෙය සිදුකරලා තිබෙන්නේ.”


22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දිනයේම පෙත්සම් 6 ක්

(18.08.2026 – hirunews.lk)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ශ්‍රී ලංකා නිතීඥ සංගමය ඇතුළු විවිධ පාර්ශව විසින් අද (18) දිනයේදීම පෙත්සම් 06ක් ගොනුකර තිබෙනවා.

(1) ඒ අනුව, ‘ශ්‍රී ලංකා නීතීඥ සංගමය’ වෙනුවෙන් භාණ්ඩාගාරික පසිදු සිල්වා හා සහකාර ලේකම්වරයා විසින් මුල්ම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.

එසේම, අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද ඉල්ලා තිබෙනවා.

අදාළ පෙත්සම, පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසටද ඔවුන් එමඟින් ඉල්ලා තිබුණා.

අදාළ පෙත්සමේ වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.

(2) මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ‘සමගි ජන බලවේගය’ ද අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කර තිබූ අදාළ පෙත්සමෙන් සඳහන් කර තිබුණේ, මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සහ එහි ව්‍යවස්ථානුකූලභාවය මෙන්ම පවතින ගැටලු පිළිබඳ අධිකරණයේ මතය ලබා ගැනීම සඳහා අදාළ පෙත්සම ගොනු කළ බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය, බලතල බෙදීම සහ ජනතා අයිතිවාසිකම් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය යුතු බව ද සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

(3) එසේම, මෙම සංශෝධනයට එරෙහිව ‘හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීර්ස්’ ද අද (18) පෙත්සමක් ගොනු කළ අතර එමඟින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට ලබා දෙන තාවකාලික ප්‍රතිලාභයක් හෝ දිරිගැන්වීමක් නිර්මාණය කරන බවයි.

මෙම නඩුව විමර්ශනය කිරීම සඳහා සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ පෙත්සම් විනිශ්චය සභාවක් පිහිටුවන ලෙස ද හිටපු අමාත්‍යවරයා සිය පෙත්සම තුළින් ඉල්ලා සිටිනවා.

(4) ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ නියෝජනය කරමින් එහි සභාපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ද අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ගොනු කර තිබුණා.

මෙම 22 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවටත් තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ.

(5) එමෙන්ම 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ‘සර්වජන බලය පක්ෂය’ සහ

(6) තවත් පාර්ශවයක් විසින් ද අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *