අ.ඩො. බිලියනයක් නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට පෞද්ගලික බැංකු හතරක (4) කළමනාකරුවන් සිව්දෙනෙකු (4) FCID අත්අඩංගුවට

අ.ඩො. බිලියනයක් නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට පෞද්ගලික බැංකු හතරක (4) කළමනාකරුවන් සිව්දෙනෙකු (4) FCID අත්අඩංගුවට

‘රෝයල් නර්සින් හෝම්’හි ප්‍රධාන කාර්යාලය කොළඹ 07 – බාන්ස් පෙදෙසේ විවෘත වේ

ග්‍රෙගරි වැවේ අනතුරට පත් දරුවන් දෙදෙනෙක් (2) නාවික හමුදාවෙන් බේරා ගනියි

අතුරුදන් වූ ලුතිනන් තිළිණ සංදේශ් සොයා මෙහෙයුම්

රු. ලක්ෂ 5 ක අල්ලසකට ගංජා ජාවාරම්කරු බේරපු පොලිසියේ 4 ක් අත්අඩංගුවට

වැලිකන්ද ඉසෙඩ්-ඩී ඇළට වැටුණු වන අලියෙක් සොරොව්වක සිරවී මරුට

ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

Online ක්‍රමයට ආදායම් උපයන අයගෙන් බදු අයකරන හැටි

ජනාධිපති හැමදාම ජනාධිපති පුටුවේ ඉන්නේ නෑනේ – ගම්මන්පිල කරන ආන්දෝලනාත්මක කතාව (17.08.2026)


අ.ඩො. බිලියනයක් නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට පෞද්ගලික බැංකු හතරක (4) කළමනාකරුවන් සිව්දෙනෙකු (4) FCID අත්අඩංගුවට

(17.08.2026 – 13:07 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකානු ඩොලර් බිලියනයක (1) පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක (4) කළමනාකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

ඔවුන් සිව්දෙනාම (4) අදාළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙවැනි අත්අඩංගුවට ගැනීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු අවස්ථාව මෙය බවෙ පොලීසිය සඳහන් කළේය.

අදාළ නිලධාරීන් හතරදෙනාට (4) මෙම ජාවාරම් සිදුකළ ප්‍රධාන පුද්ගලයා විසින් සතිපතා මුදල් ලබාදීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය (100,000) බැගින් මුදල් ලබාදී ඇති බවත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනා (4) ගෙන් එක් (1) අයෙකුට රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලකුත් එක් අවස්ථාවක ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි ෴

අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට අත්අඩංගුවටගත්, ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක (4) කළමනාකරුවන් සිව්දෙනා (4) එළැඹෙන අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් සිව්දෙනා (4) අද (17) පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කළ බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

+


‘රෝයල් නර්සින් හෝම්’හි ප්‍රධාන කාර්යාලය කොළඹ 07 – බාන්ස් පෙදෙසේ විවෘත වේ

(17.08.2026 – hirunews.lk)

දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී විවෘත කෙරිණි.

ඉන්දියාවේ පෝර්ටියා වෛද්‍ය ආයතනය අභිබවා යමින් ස්ථිර සෞඛ්‍ය සේවකයන් 1,600 කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත රෝයල් නර්සින් හෝම් සමාගම, ගල්කිස්ස, මහරගම, පන්නිපිටිය, කඩුවෙල, මාලඹේ, හංවැල්ල, අතුරුගිරිය සහ එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය ආශ්‍රිතව හෙද නිවාස අටකින් සමන්විත පුළුල් සේවා ජාලයක් පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් විශාලතම ගිලන් රථ සේවා ජාලයටද හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් සමාගම, මෙම සුවිශේෂී වර්ධනයත් සමඟ දකුණු ආසියාවේ විශාලතම වැඩිහිටි සත්කාර සේවා ආයතන අතරට එක්වී ඇත.

හෙද සේවකයන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ 2007 දී සභාපති මනුජ හේවාවසම් මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගම, දශක දෙකකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ වැඩිහිටි හා රෝගී සත්කාර සේවා ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් සපයා තිබේ. ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වැඩිහිටි සත්කාර සේවා ආයතනය වන එය, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලත් ආයතනයක්ද වේ.

කොළඹ 07 ස්ථාපිත නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ආයතනයේ වසර 19 ක අඛණ්ඩ සේවා ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් වැඩිහිටි සත්කාර සේවා තවදුරටත් පුළුල් කිරීමේ නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරයි.

https://royalnursinghome.com


ග්‍රෙගරි වැවේ අනතුරට පත් දරුවන් දෙදෙනෙක් (2) නාවික හමුදාවෙන් බේරා ගනියි

(17.08.2026 – hirunews.lk)

නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවක ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී එම යාත්‍රාව පෙරළීමෙන් දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි කුඩා දරුවන් දෙදෙනෙකු (2), නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකය මඟින් ඊයේ (16) නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි නාවික හමුදාව සඳහන් කරනවා.

ග්‍රෙගරි වැවේ ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටින නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකයේ නාවිකයන් විසින් මෙම අනතුර නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව, එම කණ්ඩායම කඩිනමින් අනතුර සිදුවූ ස්ථානය වෙත ළඟා වී දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනා (2) මුදා ගැනීමට සමත්ව තිබුණා.

මෙලෙස මුදාගනු ලැබ ඇත්තේ වයස අවුරුදු 11 සහ 13 අතර පසුවන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙක් (2).

දරුවන් දෙදෙනා (2) නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් අනතුරුව, වැඩිදුර නිතිමය කටයුතු සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

+++

+


අතුරුදන් වූ ලුතිනන් තිළිණ සංදේශ් සොයා මෙහෙයුම්

(17.08.2026 – hirunews.lk)

අඟුලාන මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් නාවික හමුදා ඩෝරා යාත්‍රාව මේ වන විට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් සහ යාත්‍රා උපයෝගී කරමින් කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතිනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් යාත්‍රාව රැගෙන ඒම තරමක් අසීරු කටයුත්තක් වී ඇති බවයි.

එමෙන්ම අනතුරින් අතුරුදන් වූ නාවික හමුදා නිලධාරියා සොයා අද (17) තෙවැනි (3) දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ යාත්‍රාවේ දෙවැනි අණභාර නිලධාරී ලෙස කටයුතු කළ ‘ලුතිනන් තිළිණ සංදේශ් උදයප්‍රිය’ නමැති නාවික හමුදා නිලධාරියායි. ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මේ අතර අ නතුරට පත් වූ නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ඒමේ කටයුතු ඊයේ (16) ආරම්භ කෙරුණු අතර ඒ අනුව ‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායම’ ද අදාළ ඩෝරා යාත්‍රාව මුහුදුබත් වූ මුහුදු ප්‍රදේශය වෙත ඊයේ (16) යාත්‍රා කළා.

කෙසේ වෙතත් මුහුද රළු වීම හේතුවෙන් ඊයේ (16) පස්වරුවේ යාත්‍රාව දෙහිවල සහ බම්බලපිටිය අතර මුහුදු ප්‍රදේශයේ නවතා තැබුණා.

ඒ අනුව අද (17) උදෑසන යළිත් එම යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ඒමේ කටයුතු ආරම්භ කෙරුණා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් යාත්‍රාව රැගෙන ඒම තරමක් අසීරු වී ඇති බවයි ෴


රු. ලක්ෂ 5 ක අල්ලසකට ගංජා ජාවාරම්කරු බේරපු පොලිසියේ 4 ක් අත්අඩංගුවට

(17.08.2026 – hirunews.lk)

තණමල්විල, නිකවැව දෙමෝදර වැව ප්‍රදේශයේ ගංජා හේනක් වටලා, එම සැකකරුගෙන් රුපියල් ලක්ෂ 5 ක අල්ලස් මුදලක් ලබාගෙන නීත්‍යානුකූල පියවර නොගෙන සිටි බව කියන මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු (4) තණමල්විල මූලස්ථාන පොලිසිය මඟින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මොනරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක වන කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්ලා දෙදෙනෙක් (2), කොස්තාපල් රියදුරෙක් (1) සහ තවත් පොලිස් කොස්තාපලයෙක් (1).

තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකට ලැබුණු තොරතුරකට අනුව පසුගිය (11) වැනිදා සිදුකළ වැටලීමකදී ගංජා හේනක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී අනාවරණය වූ වැඩිදුර තොරතුරු මත එම ස්ථානය ආසන්නයේ තිබී තවත් ගංජා හේන් තුනක් (3) සොයාගත් අතර, මීට පෙර කපා ගිනි තබා තිබූ තවත් හේනක් පිළිබඳව කළ ප්‍රශ්න කිරීමේදී මෙම වංචාව හෙළි වී තිබෙනවා.

මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය (10) වැනිදා අදාළ ස්ථානය වටලා, සැකකරුගෙන් රුපියල් ලක්ෂ 5 ක අල්ලස් මුදලක් ලබාගෙන ඔහුව මුදාහැර ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබුණා.

එහිදී එම නිලධාරීන් එක් (1) හේනක තිබූ ගංජා ප්‍රමාණයෙන් සුළු කොටසක් පමණක් විනාශ කර ඉතිරිය රැගෙන ගොස් ඇති බවද වාර්තා වුණා.

මෙයට අමතරව රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත නිකවැව ප්‍රදේශයේ පදිංචි ‘කළු’ නමැති පුද්ගලයෙකු ගංජා වියළමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් වෙත මෙම ගංජා තොගය වියළීම සඳහා ලබා දුන්නේ ද අදාළ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් බව ඔහු ප්‍රකාශ කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනා (4) අත්අඩංගුවට ගත්තා.

සැකකාර පොලිස් නිලධාරීන් සිව්දෙනා (4) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++

+


වැලිකන්ද ඉසෙඩ්-ඩී ඇළට වැටුණු වන අලියෙක් සොරොව්වක සිරවී මරුට

(17.08.2026 – hirunews.lk)

වැලිකන්ද ඉසෙඩ්-ඩී ඇළට වැටුණු වයස අවුරුදු 12 ක් පමණ වන වන අලියෙකු මෛත්‍රීගම ප්‍රදේශයේදී සොරොව්වක සිරවී දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි වැලිකන්ද වනජීවී කාර්යාලය පවසනවා.

ජලය පානය කිරීමට ඉසෙඩ් ඩී ඇළට ඊයේ (16 දා) උදෑසන 06:00 ට පමණ මෙම වන අලියා පැමිණි අවස්ථාවේ ඇළට වැටී ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අඩි 7 ක් සහ අඟල් 4 ක පමණ උස වන අලියෙක් බවයි වාර්තා වන්නේ.

ඇළේ ගසාගෙන ගිය අලියා මෛත්‍රීගම ප්‍රදේශයේ කාෂන් වැවට ජලය සපයන සොරොව්වක් අසලට ගසාගෙන ගොස්, එහි සිරවී දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

කාෂන් වැවෙන් ජලය මුදාහරින ඇළේ ජල මට්ටම හදිසියේ අඩුවීම පිළිබඳව සොයා බැලීමට ගිය ගම්වාසීන්ට සොරොව්ව අසල අලියා සිරවී සිටින අයුරු දැක තිබෙනවා.

පසුව ඔවුන් ඒ බව වැලිකන්ද වනජීවී කාර්යාලයට දැනුම් දී තිබුණා.

ඒ අනුව එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් අලියා සොරොව්වෙන් ගොඩට ගත් නමුත්, ඒ වන විටත් අලියා මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුම සඳහා වැලිකන්ද වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි සහකාර ඩබ්ලිව්.එම්.සී.ඒ. වනසිංහ, නියාමක ඩී.ජී.ඩී.කේ. දෙහිගහගෙදර සහ රියැදුරු ඩබ්ලිව්.ඩී.සී. ශ්‍රීමාල් යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එක්වූණා.

මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරී කළිඳු ආරච්චි විසින් අද (17 දා) උදෑසන සිදුකිරීමට නියමිතව තිබිණා ෴


ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

(17.08.2026 – 13:48 +0530 – sinhala.adaderana.lk)

ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ඒ ග්‍රාම නිලධාරීන්ගේ සංගම් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා සමග අද (17) පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ වූ බවත් එහිදී එළැඹෙන අයවැයෙන් මෙම ඉල්ලීම් ලබා දීමට පියවර ගන්නා බව පැවසූ බවද ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තමන් තීරණය කළ බවද ඔවුන් පැවසීය.

අද (17) දිනයේදී වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමෙන් අනතුරුව සියලුම ග්‍රාම නිලධාරීන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල නැවත සුපුරුදු පරිදී රාජකාරිවල නිරතවීම සිදුකරන බවද ඔවුන් සඳහන් කළේය ෴


Online ක්‍රමයට ආදායම් උපයන අයගෙන් බදු අයකරන හැටි

(17.08.2026 – 13:45 +0530 – sinhala.adaderana.lk)

2025/2026 තක්සේරු වර්ෂයේ සිට සේවා අපනයනය මඟින් උපයන ආදායම බද්දට යටත් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත්, එම ආදායම සාමාන්‍ය ආදායම් බදු අනුපාත වන සියයට 18, 24, 30 සහ 36 යටතේ බදු අය නොකරන බව ‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහන එක්වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, ඩිජිටල් මාධ්‍ය හෝ වෙනත් ක්‍රමවේද ඔස්සේ සේවා අපනයනය කරමින් උපයන ආදායම සඳහා උපරිම වශයෙන් සියයට 15 ක බද්දක් අදාළ වන බවය.

ඒ අනුව, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ආදායම් උපයන පුද්ගලයින් තමන් උපයන ආදායම ස්වතක්සේරු බදු වාර්තාව හරහා නිසි පරිදි ඉදිරිපත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

සාමාන්‍ය ආදායම් මත අය කෙරෙන බදු අනුපාතවලට සාපේක්ෂව සේවා අපනයනයෙන් උපයන ආදායම සඳහා අදාළ වන්නේ අඩු බදු අනුපාතයක් බවත්, එම සියයට 15 ක බද්ද ගෙවීම ඩිජිටල් මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රමවේද හරහා සේවා අපනයනයෙන් ආදායම් උපයන පුද්ගලයින්ගේ වගකීමක් බවත් හිරාන් මෙනේරිපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය ආදායම් දොපාර්තමේන්තුවේ ජ්‍යෙෂඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා :

“2025 – 2026 තක්සේරු වර්ෂයේ ඉඳලා සේවා අපනයනය මත උපනය ආදායම බද්දට යටත් වෙනවා, හැබැයි ඒක සාමන්‍ය අනුප්‍රමාණය යටතේ සීයයට 18, 24, 30, 36 දක්වා අනුපාතයට බද්දට යටත් වෙන්නේ නැහැ. ඩිජිටල් මාධ්‍යයෙන් හෝ වෙනත් ආකාරවලින් සේවා අපනයනය මත උපයන ආදායම මේ වෙනකොට උපරිම 15% බද්දට යටත් වෙන්නේ හැබැයි දැන් ඩිජිටල් මාධ්‍යයෙන් ආදායම් උපයන අය ඇත්තටම ඒ අයට වගකීමක් තියෙනව. ඒ ආකාරයෙන් උපන ආදායම ඒ අයගගේ ස්වතක්සේරු බදු වාර්තාව හරහා ඉදිරිපත් කරලා, ඒ අයට අනික් අයට සාපෙක්ෂව අඩු බදු ප්‍රමාණයක් තියෙන්නේ ඒ 15% ක බදු ප්‍රමාණය ගෙවීමේ වගකීම ඩිජිටල් මාධ්‍යය ක්‍රමවේදයන් හරහා ආදායම් උපයන අයට අදාළ වෙනවා. සහ ඒ අය ඒ සබන්ධයෙන් බදු ගෙවීමට බැඳී සිටිනවා.”

+


ජනාධිපති හැමදාම ජනාධිපති පුටුවේ ඉන්නේ නෑනේ – ගම්මන්පිල කරන ආන්දෝලනාත්මක කතාව (17.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *