‘කොස් මල්ලි’ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

‘කොස් මල්ලි’ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

බියගුළු පොලිස්පති ඉවතට, ශානි පොලිස්පති ධුරයට | මාලිමාව වැරදි බව ජනපති පිළිගනී (15.08.2026)

ගල්කිස්සේ පත්තු වූ වෙඩිල්ලෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම ‘හිරු CIA’ හෙළි කරයි

පලෙයි කැලේ පුහුණු කදවුරක්.. LTTE කදවුරක් යයි සැකයක්..

රජයේ කතෝලික පාසල් කියලා ජාතියක් නෑ – කතෝලික සභාවට මේවට ඇඟිලි ගහන්න බෑ (15.08.2026)

ගෝල්ෆේස් පිටියේ සූදු පිටියක් දමයි – ආණ්ඩුවේ කිසි කෙනෙක් මේවා බලන්නේ නෑ (15.08.2026)

මාඔයේ දියනෑමට ගිය තිදෙනෙකු (3) දියේ ගිලෙයි

ජනපති සමග සාකච්ඡාවෙන් පසු | රජීව් අමරසූරිය සමග (12.08.2026)

වසර 6 ක් තුළ බන්ධනාගාර රැඳවියන් 1,178 ක් පැනලා

මැර කල්ලි දෙකක් (2) හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුධ සමග STF දැලේ


‘කොස් මල්ලි’ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(15.08.2026 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තාගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කර සිටි පුද්ගලයෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ ද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන දින 7 ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි බොරැල්ල – වනාත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු නව මැගසින් බන්ධනාගාරයේ ගැටුම ඇති වීමට දින 2 කට පෙර ඇප ලබා පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු, පසුගිය (2025) වසරේ දෙහිවල වටරප්පල පාරේදී සිදුකළ ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වනවා.

නව මැගසින් බන්ධනාගාරයේ පසුගිය 06 වැනිදා ඇතිවූ ගැටුම අතරතුරදී මියගිය ‘මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන්’ නමැත්තා ‘කොස් මල්ලි’ගේ වෙඩික්කරු බවටයි අනාවරණ වුණේ.

එම සිද්ධියට පලිගැනීමක් ලෙස ‘කොස් මල්ලි’ විසින් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුට පවසා ඇත්තේ බන්ධනාගාර නිලධාරින්ගේ නිවෙස් සොයා ඒ පිළිබඳ තමන්ට දැනුම් දෙන ලෙසටයි.

ඒ අනුව සැකකරු විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරියෙකු සම්බන්ධයෙන් තොරතුරු ‘කොස් මල්ලි’ නමැත්තාට වට්ස්ඇප් ඔස්සේ යවා තිබෙනවා ෴


බියගුළු පොලිස්පති ඉවතට, ශානි පොලිස්පති ධුරයට | මාලිමාව වැරදි බව ජනපති පිළිගනී (15.08.2026)

+


ගල්කිස්සේ පත්තු වූ වෙඩිල්ලෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

(15.08.2026 – 22:51 +0530 – sinhala.adaderana.lk)

ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී අද (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.

මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් (2) අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

+++

+++


මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම ‘හිරු CIA’ හෙළි කරයි

(15.08.2026 – hirunews.lk)

මහවැලි ගගේ ඉවුරු වනසමින් ත්‍රීකුණාමලයේ – කින්නියා ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථ යොදා මහා පරිමාණයෙන් වැලි ජාවාරම් ක්‍රියාත්මක වන බවට ‘හිරු CIA’ වෙත තොරතුරු වාර්තා වුණා.

මෙම ප්‍රදේශයේ වැලි ජාවාරම් මැඩලීමට පොලිස් මුරපොලක් ස්ථාපිත කර ඇති පසුබිමක රාත්‍රී කාලයේ ද ජයටම වැලි ජාවාරම් සිදුවන අයුරු පිළිබඳවයි අද (15) ‘හිරු CIA’ අනාවරණය.

මෙරට පරිසර නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ – කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සෙම්බල් සෙට්ටි හා මඩක්කු සෙට්ටි නමින් හඳුන්වන වැලි තොටුපලවල් හරහා මහවැලි ගඟේ ඉවුරු මේ වනවිට මුළුමනින්ම වනසා දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මකයි.

මෙහි සුවිශේෂීම කරුණ වන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් වැලි කැණීම් බලපත්‍ර ලබා ගත් පිරිසක් විසින්ම මෙම විනාශයන් සිදු කිරීමයි.

මෙම ප්‍රදේශයට වැලි කැණීම් බලපත්‍ර 59 ක් කාර්යාංශය මගින් නිකුත් කර ඇති අතර ඉන් එක් බලපත්‍රලාභියෙකුට මාසයක් සඳහා ගොඩදැමිය හැක්කේ වැලි කියුබ් 45 ක් පමණයි.

නමුත් මසකට ඇති කියුබ් ප්‍රමාණය දිනකින් ගොඩදමන මොවුන් රජයට ලැබිය යුතු රාජ්‍ය භාගය මුළුමනින්ම අහිමි කරන්නේ මහවැලි ගගේ ඉවුරු ප්‍රදේශය ද වනසා දමමින්.

සතියේ දින තුනක් (3) පමණක් වැලි ගොඩදැමීමට නීතියෙන් අවසර දී තිබුණ ද කිසිදු බාධාවකින් තොරව සතියේ සෑම දිනකම මොවුන් නීති විරෝධී ලෙස ට්‍රැක්ටර් රථ ගඟ තුලටම ඇතුළත් කර වැලි පැටවීම් සිදුකරනවා.

මෙහි වැලිගොඩදැමීම්වල නීත්‍යනුකූල භාවය නිරීක්ෂණයට භූ විද්‍යා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන් යෙදවා තිබුණ ද ඔවුන් දිගු කාලයකින් මෙම ස්ථාන නිරීක්ෂණය කර නොමැති බවට පැහැදිලි සාක්ෂි පවතිනවා.

නිලධාරීන් එලෙස රාජකාරී පැහැර හැර ඇති පසුබිමක පිටකොට්ටේ පිහිටි භූ විද්‍යා කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් මෙහි වැටලීමක් සිදු කළා.

එහිදී හෙළිවුයේ ජාවාරම්කරුවන් වැලි කියුබ් 8,000 කට වැඩි තොගයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමිවල නීති විරෝධීව ගොඩගසා ඇති බවයි.

+


පලෙයි කැලේ පුහුණු කදවුරක්.. LTTE කදවුරක් යයි සැකයක්..

(16.08.2026 – lankacnews.com)

පලෙයි ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක අක්කර 49 ක පමණ භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් රහසිගත පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සැකයක් පවතින බව අන්තර් මහාද්වීපික මානව හිමිකම් කොමිසම (IC Human Rights Commission) පවසයි.

එම කොමිසමේ විධායක අධ්‍යක්ෂ සංගීත් ඩයස්සේකර මහතා බවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවය.

පලෙයි ප්‍රදේශයේ අදාළ රක්ෂිතය තුළ කිසිදු රජයේ අනුමැතියකින් තොරව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බවත්, එහි පුද්ගලයින් 100 ත් 150 ත් අතර පිරිසක් සේවය කරන බවත් ඔහු අනාවරණය කළේය.

මෙය එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදනාගාරයක් ලෙස භාවිත කිරීමට සූදානම් වන්නේ ද යන්න පිළිබඳව ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් අතර දැඩි සැකයක් මතුව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘතිය පිටුපස රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙය විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බවට සැක කරන බවත් ඩයස්සේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් අඩවි වන නිලධාරියාට සහ ඔහුගේ බිරිඳට යම් කණ්ඩායමකින් මරණ තර්ජන එල්ල වී ඇති බවත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම කුරුණෑගල ප්‍රදේශයට මාරු කර යවන ලෙසත් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ස්ථානය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔහු මෙහිදී අවධාරණය කළේය ෴


රජයේ කතෝලික පාසල් කියලා ජාතියක් නෑ – කතෝලික සභාවට මේවට ඇඟිලි ගහන්න බෑ (15.08.2026)

+


ගෝල්ෆේස් පිටියේ සූදු පිටියක් දමයි – ආණ්ඩුවේ කිසි කෙනෙක් මේවා බලන්නේ නෑ (15.08.2026)

+


මාඔයේ දියනෑමට ගිය තිදෙනෙකු (3) දියේ ගිලෙයි

(16.08.2026 – 08:49 +0530 – sinhala.adaderana.lk)

මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයේ දී මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු (3) දියේ ගිලී එක් (1) අයෙකු මියගොස් තවත් අයෙකු (1) අතුරුදන්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (15) පස්වරුවේ මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු (3) දියේ ගිලී ඇති අතර ඉන් දෙදෙනෙකු (2) ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවය.

එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ එක් (1) අයෙකු මියගොස් ඇති අතර ඔහු 19 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්ය.

දියේ ගිලී අතුරුදන් වූ අනෙක් පුද්ගලයා (1) සොයා මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි ෴


ජනපති සමග සාකච්ඡාවෙන් පසු | රජීව් අමරසූරිය සමග (12.08.2026)

+


වසර 6 ක් තුළ බන්ධනාගාර රැඳවියන් 1,178 ක් පැනලා

(16.08.2026 – hirunews.lk)

ගතවූ 2019 වසරේ සිට 2025 වසර දක්වා වසර 6 ක කාලය තුළ මෙරට බන්ධනාගාරවලින් රැඳවියන් 1,178 දෙනෙකු පලා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වාර්තාවක දැක්වෙනවා.

වසර2019202020212022202320242025
පැනගිය රැඳවියන්153110103231207188186


එලෙස පැනගිය රැඳවියන්ගෙන්, 474 දෙනෙකු නැවත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර තවත් රැඳවියන් 704 දෙනෙකු නැවත අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා ෴


මැර කල්ලි දෙකක් (2) හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුධ සමග STF දැලේ

(16.08.2026 – hirunews.lk)

විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (15) සිදු කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ සැකකරුවෙක් (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උප්පුවේලි පොලිස් වසමට අයත් ත්‍රිකුණාමලය, පුලියමන්කුලම, දේවනගර්, මදුමෙයි වීදියේ පිහිටි නිවෙසක මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක්, කඩුවක් සහ යකඩ බටයකට යකඩ දැති රෝදයක් සවිකර සකස් කරන ලද තියුණු ආයුධයක් සොයාගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, පුලියමන්කුලම, දේවනගර් ‍ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් දේවනගර් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ‘කුට්ටි පුලි’ සහ ‘විජේ ටීම්’ යනුවෙන් මැර කල්ලි දෙකක් (2) නිර්මාණය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

එම කල්ලි දෙකෙහිම (2) නායකයා ලෙස කටයුතු කරමින් ඔහු ප්‍රදේශවාසීන් බියගැන්වීම් හා විවිධ අපරාධයන්හි නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤