නැගෙනහිරට යැවූ රු. ලක්ෂ 8 ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා : ලොරි රියදුරු අත්අඩංගුවට
නැගෙනහිරට යැවූ රු. ලක්ෂ 8 ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා : ලොරි රියදුරු අත්අඩංගුවට
(14.08.2026 – hirunews.lk)
නැගෙනහිර පළාතේ පාසල්වල පළමු (1) වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ 19,892 ක් වූ මෙම පොත් තොගය කිලෝග්‍රෑම් 1600 ක බරට විකුණා රුපියල් 47,000 ක මුදලක් ලබාගෙන ඇති බවයි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12 ක් වෙත බෙදා හැරීම සඳහා මෙම පොත් තොගය 2026 මැයි 24 වන දින බාර දී ඇත්තේ බියගම, සියඹලාපේ ප්‍රදේශයේ ආයතනයක් සඳහායි.
නමුත් අදාළ පොත් තොගය නියමිත පරිදි නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන වෙත ලැබී නොමැති බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයේ නැගෙනහිර පළාත් බාර නිලධාරී ජගත් වන්නිහාරච්චි විසින් ඉකුත් 07 වන දින අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (නිෂ්පාදන හා බෙදාහැරීම්) එන්.ඩබ්ලිව්.ඩී. හිරෝෂි ගුණවර්ධන විසින් ඉකුත් 12 වන දින තලංගම පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලට අනුව සැකකාර රියදුරු දොම්පේ, කුඩාමාපිටිගම පිහිටි සිය නිවසේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මැයි 24 වන දින බාරගත් පොත් තොගය දොම්පේ පිහිටි තමන්ගේ නිවස වෙත රැගෙන ගොස් ගබඩා කර තබාගෙන ඇති බවයි.
අනතුරුව දින කිහිපයකට පසු පරණ පත්තර සහ ප්ලාස්ටික් එකතු කිරීමට පැමිණි ලොරි රථයකට කිලෝ බරට විකුණා රුපියල් 47,000 ක මුදලක් සැකකරු විසින් ලබාගත් බව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
එහිදී, අදාළ පොත් මිලදී ගත් පුද්ගලයා විසින් ඒවා පෑලියගොඩ පිහිටි පරණ පත්තර සහ කඩදාසි අඹරන ආයතනයකට විකුණා ඇති අතර, විමර්ශන කණ්ඩායම් අදාළ ආයතනය වෙත ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම පොත් තොගය අඹරා දින කිහිපයකට පසු ඉන්දියාවට පවා අපනයනය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් හයදෙනෙකු (6) ගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
ජනපතිගේ තර්කවලට දිනන දකුණෙන් චෝදනා
(14.08.2026 – hirunews.lk)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අධිකරණ ස්වාධීනත්වය සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය පිළිබඳව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන තර්කවල ගැඹුරක් නොමැති බව ‘දිනන දකුණ සාමූහිකය’ අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ‘දිනන දකුණ සාමූහිකය’ පවසන්නේ, ජනාධිපතිවරයා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී පළ කළ අදහස් ඒකපාර්ශවිකව නිකුත් කිරීම ගැටලු සහගත බවයි.
+++
= මාධ්‍ය නිවේදනය – 2026-08-14 =
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ගෙන ඒම සදහා අධිකරණ ස්වාධීනත්වය සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය වෙනුවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන තර්කයන් තුල ගැඹුරක් නැත!
අධිකරණ පත්වීම්, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ප්‍රසිද්ධ තර්කයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, සහ ඒ පිලිබදව ගැඹුරින් සිතා බලන්නට සමාජයට ආරාධනා කරමින් දිනන දකුණ සාමූහිකය විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලබයි.
ජනාධිපතිවරයා, නීතිඥ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී පල කල අදහස් ඒක පාර්ශවිකව සමාජයට මුදා හරින්නට කටයුතු කොට තිබුණේ තමන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.
ජනාධිපතිවරයාගේ කථාවේදී නීතීඥ සංගමය ඒක පාර්ශවිකව කටයුතු කරමින් තම මතය සාකච්ඡාවට පෙර සමාජයට මුදා හැරීම පිලිබදව අවලාද නගා තිබුණද, එම අවස්ථාවේදී සමස්ත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියම ඒක පාර්ශවික හා අත්තනෝමතික ක්‍රියාවලියක් බව ජනාධිපති තුමන්ට දිනන දකුණ සාමූහිකය සිහිපත් කොට සිටී.
එවැනි පසු බිමක සිට ජනාධිපතිගේ ඉහත ප්‍රකාශයන් තුල පවතින අලංකාරෝක්තීන් දිනන දකුණ සාමූහිකයේ අවධානය යොමු කොට සිටින්නේ ඒ පිලිබදව සමාජය තුල පවතින මෝහය තුරන් කිරීමට බව කිව යුතුව තිබේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ
- අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා අවදානම් ගැනීමට ජනාධිපතිවරයා දක්වන ලැදියාවක් පවතින බවය.
- නඩු ප්‍රමාදය සහ අධිකරණයේ පවතින පමාකිරීම් විසඳීම සදහා පවතින කැපවීම පෙන්නුම් කිරීමට 22 සංශෝධනය ගෙන එන බවය.
- මහාධිකරණය ඉදිරියේ පවතින ජාතික වැදගත් කමක් සහිත නඩු විභාග හේතුවෙන් ඉහළ අධිකරණ සදහා උසස්වීම් පමා කිරීමට තම අභිමතය භාවිතා කරනු ලැබූ බවය.
- ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ පුරප්පාඩු පිළිබඳව ලැබී ඇති උපදෙස් අනුව කටයුතු කල බවය.
- අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව පිළිබඳ අභිප්‍රාය පිලිබද සද්භාවී කැපවීමක් පවතින බවය.
අප සාමූහිකය ආරම්භයේදීම කියා සිටින්නේ අධිකරණයේ කාර්යක්ෂමතාවයේ නාමයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම සදහා පරිපාලනමය හෝ සංවර්ධන ක්‍රියාමාර්ගයකදී ගනු ලබන අවධානමකට සමාන කිරීම ජනාධිපතිවරයා පෙර කියු පරිදි ඉගෙන ගනිමින් වැඩ කිරීම සහ වැඩකරමින් ඉගෙනගැනීමෙන් ලබා ගන්නා ලද අදහසකට සමපාත වන අදහසක් වන බවය.
අප අවධාරණය කරන්නේ ජනතා පරමාධිපත්‍යයේ කොටසක් වන අධිකරණයේ ස්වාධීනත්වයට අදාලව එවැනි අවධානමක් ගැනීම කිසිසේත්ම සිදු කල නොහැක්කක් බවය.
ජනතා පරමාධිපත්‍යයේ අත්‍යන්ත කොටසක් වන අධිකරණයේ ස්වාධීනත්වය පිලිබදව එවැනි අවධානමක් ගැනීම මහජනතාව සතු පරමාධිපත්‍ය බරපතල අනතුරේ හෙලීමක් පමණක් නොව එවැනි අවධානමක් ගනිමින් 22 සංශෝධනය හදුන්වා දීමට විධායකය දරන උත්සාහයම, අධිකරණයේ ස්වාධීනත්වයට, මෙන්ම ජනතා පරමාධිපත්‍යයට සිදුවිය හැකි බරපතල බලපෑමක් පිලිබදව සිදු කරන්නාවු පරදු තැබීමක් බව අප සාමූහිකය අවධාරණය කොට සිටී.
අධිකරණයේ ස්වාධීනත්වය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය යටතේ ආරක්ෂා කර ඇති ජනතාවගේ පරමාධිපත්‍යයේ අනිවාර්ය කොටසකි. සමාජීය-ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලදී විධායකයට දේශපාලන අවදානම් ගත හැකි වුවද, අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තබා විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එවැනි “අවදානම්” ගැනීම මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුවම අනතුරේ හෙළීමකි. අධිකරණ පද්ධතිය කලමණාකරනය කිරීම සදහා දේශපාලන ප්‍රතිපත්තිමය අවදානමක් ගැනීම රටක අනාගතය පරදුවට තැබීමක් ලෙසටද අප අවධාරනය කොට සිටී.
යෝජිත 22 වන සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය, අධිකරණය කෙරෙහි විධායකයේ බලපෑම යථාර්තයක් කරන බව අපගේ විශ්වාසයයි.
විශ්‍රාම වයස සහ විශ්‍රාම යෑමෙන් පසුව පවතින වරප්‍රසාදීත අවස්ථාවන් විධායකයේ අභිමතය පරිදි තීරණය වන විට, ආයතනික බලතල තුලනය සිදුවන තුලන හා සංවරන පද්ධතිය අස්ථාවර වන බව අපගේ විශ්වාසයයි.
එමගින් අවසානයේදී සිදුවන්නේ අධිකරණය විධායකයේ බලපෑමට හසුවී අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණයටම අහිමි වීම වන්නේය.
ජනාධිපති වරයා ප්‍රකාශයට පත් කරන අවධානමෙහි පිටුපස පවතින සැබෑ අරුථ වන්නේ එම ස්වාධීනත්වය අහිමිවීමයි.
ඉහත කරුණට සමාන්තරව ජනාධිපතිවරයා අධිකරණ පුරප්පාඩු පිරවීම පිළිබඳව සිදුකරන ප්‍රකාශයන්ද පරස්පර විරෝධී වන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම නොකරන ලෙස තමාට උපදෙස් ලැබී ඇති බව ජනාධිපතිවරයා මීට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
දැන් මහාධිකරණයේ පවතින නඩු විභාග ගැන සඳහන් කරමින් එම ස්ථාවරය වෙනස් කිරීම, විනිවිද පෙනෙන පාලනයට හානි කරන්නාවු ප්‍රකාශයක් මෙන්ම නීතිය ඉදිරියේ සාධාරණීකරණය කළ නොහැකි පරස්පර විරෝධී ප්‍රකාශයන් බව අපගේ නිරීක්ෂණය වන්නේය.
අප දකින්නේ ජනාධිපති වරයාගේ මතයට අනුව විනිසුරුවරුන්ගේ උසස්වීම් අත්තනෝමතික ලෙස ප්‍රමාද කිරීම හෝ අත්හිටුවීම එම විනිසුරු වරුන්ගේ සාධාරණ නෛතික අපේක්ෂාවන්ට (Legitimate Expectations) ගරු කිරීමට ඇති අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙසටය.
අභියාචනාධිකරණ විනිසුරු ගණේපොළ මහතා වැනි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය තුල ඇබෑර්තු පවතිද්දී විශ්‍රාම යාමට ඉඩ හැරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානාත්මතාවයේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් වන අතර එවැනි අමානුෂික ක්‍රියා තුලින් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයක් ඇති වීම කෙසේ වෙතත් එම පද්ධතියේ කඩාවැටීමට හේතු වන බව අපගේ මතයයි.
එසේම මහාධිකරණයේ පවතින නඩු (පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ නඩු වැනි) පදනම් කරගෙන උසස්වීම් අත්හිටුවීම මගින් විනිසුරුවන්ගේ උසස්වීම් සඳහා අත්තනෝමතික නිර්නායක ඇතුළත් කිරීමට ජනාධිපති වරයා කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
විනිසුරුවරුන් මෙලෙස කොන්දේසි සහිතව උසස්වීම් සදහා සලකා බැලීමත්, තෝරාගත් නිර්නායක ඔස්සේ වෘත්තියක් තුල ඉහලට යාම අත්හිටුවීම්වලට ලක්කිරීමත් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් යටතේ ගැනෙන විනිසුරු වරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ ගෞරවය කෙළෙසීමක් ලෙස අප දකින්නෙමු.
කෙසේ නමුත් ජනාධිපතිවරයා ඉදිරිපත් කල එකදු හෝ තර්කයක් තුළින් අභියාචනාධිකරන සහ මහාධිකරණ විනිසුරුවරුන් මත පටවා ඇති මෙම වෘත්තීය පමාකිරීම සාධාරණීකරණය කිරීමට හැකිවුයේ නැති බව අපගේ විශ්වාසයයි.
ජනාධිපතිවරයා නැවත නැවතත් තහවුරු කරන ලද්දේ තමන්ගේ අත්තනෝමතික අවශ්‍යතාවයක් සදහා විනිසුරු වරයන්ගේ සහජ වෘත්තීය ඉදිරිගමන අත්හිටුවමින් සමස්ත අධිකරණ පද්ධතියම ව්‍යාකූල කරමින් අධිකරණ පද්ධතිය විධායකයේ අණසකට ගැනීම සදහා තමන් විසින් ඕනෑම අවධානමක් ගැනීමට පසුබට නොවන බවය.
අවසාන වශයෙන් අප සාමූහිකය නිරීක්ෂනය කරන්නේ ජනාධිපති වරයාගේ අලංකාරෝක්ති හරහා 22 වන සංශෝධනය ගෙන ඒම මගින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සමග නඩු ප්‍රමාදය අඩු කිරීමේ උත්සාහය සමග කිසිදු තාර්කික සබදතාවක් ගොඩනගන්නට හැකියාවක් ලැබී නොමැති බවය.
එසේම විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණයේ ක්‍රියාකාරී වේගය වැඩි කරන බවට කිසිදු ප්‍රායෝගික හෝ තාර්කික පදනමක් පවතින බව තහවුරු කිරීමට ජනාධිපතිවරයා සමත්ව තිබුනේ නැත.
අප කියා සිටින්නේ අධිකරණ කාර්යක්ෂමතාව සඳහා අවශ්‍ය වන්නේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, ඩිජිටල් යටිතල පහසුකම්, පහළ අධිකරණවල විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීම සහ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ලබා දීම මිස විනිසුරන්ට තම ධුර කාල දීර්ඝ කිරීම් නොවන බවය.
එම නිසා දිනන දකුන සාමූහිකය අවධාරනය කරන්නේ ජනාධිපතිවරයා 22 වන සංශෝධනය මහජන යහපත උදෙසා ගන්නා ලද “අවදානමක්” ලෙස හඳුන්වන විට, ජනතාව මෙහි ඇති දේශපාලන යථාර්ථය තේරුම් ගත යුතුව තිබෙන බවය.
අප විශ්වාස කරන්නේ අධිකරණ පද්ධතිය තුළ පවතින ගැටළුකාරී වාතාවරණයක් දඩමීමා කරගනිමින් විනිසුරුවන්ගේ විශ්‍රාම ගන්වනු ලබන කාලය වෙනස් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයකට වඩා කෙටිකාලීන දේශපාලන බලය තහවුරු කරගැනීමට දරන උත්සාහයක් ලෙසටය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් යහපත් චේතනාවෙන් කළ ඒවා බව පැවසුවද, දේශපාලනිකව බුද්ධිමත් ජනතාව එම ප්‍රකාශවල මතුපිට දෙස නොව එහි පිටුපස පවතින කටුක යථාර්තය සොයා බලන ලෙසට අප සමාජයට ආරාධනා කරන්නෙමු.
එම නිසා අප සාමුහිකය ජනාධිපතිවරයාට කියා සිටින්නේ අධිකරණය කෙරෙහි බලපානු ලබන වංචා සහගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දේශපාලන මෙවලමක් ලෙස භාවිත කිරීම වහාම නතර කරන ලෙසටය.
එසේම ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ව්‍යවස්ථාපිත සහතික කිරීම්වලට ගරු කරමින් එවැනි සංශෝධනයක් ගෙන එන ලෙසටය.
දිනන දකුණ සාමුහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.
(FB : Dinana Dakuna)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴