විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට ‘රතු නිවේදන’

විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට ‘රතු නිවේදන’

මිද්දෙණියේදී ‘බැකෝ සමන්ගේ’ මවට වෙඩි තබා මරා දමන්නේ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට පළිගැනීමට දැයි සැකයක්

‘වැට් බද්ද’ ගැන විශේෂ දැනුම්දීමක්

කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ

නිවාස ඉදිකිරීම් සිදුකරන බව පවසා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ ‍‍හිටපු ‘පීසී’ ‍ඇතුළු දෙදෙනෙක් (2) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට

තම මවට අපහාස කළ බව කියා ජපානයේදී ශ්‍රී ලංකා සිසුවෙකු තවත් ශ්‍රී ලාංකීක සිසුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරලා

මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරයන් තිදෙනෙක් (3) කොටුවෙති

සයිබර් අපරාධවලට විදේශිකයන් 1,093 ක් මෙම (2026) වසරේ අත්අඩංගුවට


විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට ‘රතු නිවේදන’

(13.08.2026 – hirunews.lk)

විදෙස් රටවල සැඟව සිටින මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ රටම එකට ජාතික මෙහෙයුමට අදාළව ත්‍රිවිධ හමුදාවල හා පොලිසියේ දායකත්වය හා ප්‍රගතිය පිළිබද දැනුවත් කිරීම සඳහා කොළඹ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පසුගිය කාලසීමාව තුළ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ ඒවා විනාශ කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කළා.

ඒ අනුව, 2025 ඔක්තෝබර් 30 වන දින සිට ඊයේ (12) දක්වා කාලය තුළ,

  • හෙරොයින් : කිලෝග්‍රෑම් 2,259 යි ග්‍රෑම් 129 ක්,
  • අයිස් (Ice) : කිලෝග්‍රෑම් 2,653 යි ග්‍රෑම් 545 ක්,
  • කොකේන් : කිලෝග්‍රෑම් 293 යි ග්‍රෑම් 755 ක්
    පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, අධිකරණමය ක්‍රියාමාර්ග සහ නෛතික කටයුතු අවසන් වීමෙන් අනතුරුව, පසුගිය වසර තුනක කාලය (2024, 2025 සහ 2026) තුළ අත්අඩංගුවට ගන්නා ලද විෂ මත්ද්‍රව්‍ය අතුරින් කිලෝග්‍රෑම් 4,652 යි ග්‍රෑම් 857 ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පියවර ගෙන ඇති බවද සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළා ෴

+++

විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගන්න ‘රතු නිවේදන’

(13.08.2026 – 14:42 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රටවල සැඟවී සිටින, මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.

‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අද (13) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2024, 2025 සහ මෙම වසරේ ගතවූ කාලය තුළ මෙම රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඊට අමතරව, පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත තවත් ප්‍රමුඛ පෙළේ නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට හැකිවූ බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙලෙස මෙරටට ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්‍රන් සහ ඉඩම් ඇතුළු විශාල දේපොළ ප්‍රමාණයක් රාජසන්තක කිරීමේ විශේෂ වැඩසටහනක්ද මේ වනවිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව 2024 වසරේදී රුපියල් මිලියන 1,490 ක දේපොළ සහ 2025 වසරේදී රුපියල් මිලියන 1,549 ක දේපොළ රජයට පවරාගැනීමේ මූලික පියවර ලෙස එම දේපොළ අක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

තවද 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 839 ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජය සතු කරගැනීම සඳහා වන මූලික නීතිමය ප්‍රවේශයන්ද මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

+


මිද්දෙණියේදී ‘බැකෝ සමන්ගේ’ මවට වෙඩි තබා මරා දමන්නේ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට පළිගැනීමට දැයි සැකයක්

(13.08.2026 – hirunews.lk)

මිද්දෙණිය – උලහිටියාව ප්‍රදේශයේ දී අපරාධ කල්ලි සාමාජික ‘බැකෝ සමන්’ගේ මව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් සහ ගිනි අවිය ලබා දී ඇත්තේ ‘කරන්දෙණියේ සුද්දා’ගේ පාර්ශ්වය විසින් බවට පොලිසිය සැක පළ කරනවා.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ ‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයට පලිගැනීමක් ලෙස බවටත් විශ්වාස කෙරෙනවා.

මිද්දෙණිය – උලහිටියාව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් එම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට රැඳී සිටි කාන්තාවක ඉලක්කකර මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පළාගොස් තිබුණේ ඊයේ (12) සවස් කාලයේදීයි.

වෙඩිතැබීමෙන් පපු ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබූ අදාල කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න’ නොහොත් ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඇයගේ සිරුරට වෙඩි ප්‍රහාර 7 ක් එල්ලවී ඇති බවයි වාර්තා වෙන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ ‘බැකෝ සමන්’ නමැත්තා මෙ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

‘අරුණ විදානගමගේ’ හෙවත් ‘මිද්දෙණියේ කජ්ජා’ සහ දරු දෙදෙනා (2) ඝාතනය කිරීමේ සිදුවීමට චෝදනා එල්ලවන්නේ ‘බැකෝ සමන්’ නමැත්තාටයි.

පසුගිය (2025) වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ ඝාතනය කෙරුණු අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනය සැළසුම් කිරීමේදී සහ ඝාතනයෙන් පසු වෙඩික්කරුවන්ට සහ ඝාතනයට අධාර අනුබල දුන් පිරිස් වෙත රැකවරණය ලබාදීමේ චෝදනාවද එල්ලවන්නේ ‘බැකෝ සමන්’ නැමැත්තාටයි.

ඒ හේතුවෙන් ‘ගනේමුල්ල සංජීව’ පාර්ශ්වයෙන් කලක සිට ‘බැකෝ සමන්’ නැමැත්තාගේ සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ඥාතීන් ඉලක්කකර ප්‍රහාර දියත් කිරීමට සැළසුම් සකස් කර ඇති බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට පලිගැනීමක් ලෙස ‘ගනේමුල්ල සංජීව’ගේ පාතාල හිතවතෙකු වන ‘කරන්දෙණියේ සුද්දා’ගේ පාර්ශ්වයෙන් මෙම වෙඩි තැබීම කරන්නට ඇති බවයි පොලිසිය සැක පළකරන්නේ.

වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ ‘ස්ථානීය පරීක්ෂණය’ වලස්මුල්ල මහෙස්ත්‍රාත්වරිය විසින් අද (13) උදෑසන සිදුකෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් (2) යොමුකර ඇති බවයි මිද්දෙණිය පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීමත් සමග (2026) වසරේ මේ දක්වා සිදුවූ සංවිධානාත්මක වෙඩි තැබීමේ සිදුවීම් ගණන 28 දක්වා ඉහළ යන අතර එම සිදුවීම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ෴

සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මවට වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයා ගත් බව ඌරුබොක්ක පොලිසිය පවසනවා.

මෙම යතුරුපැදිය, ඌරුබොක්ක – මාතර මාර්ගයේ දම්පහල, පොල්වත්ත ප්‍රදේශයේ බෝක්කුවක් අසලින් තේ ඉඩමකට දමා ගොස් තිබියදී අද (13) උදෑසන පොලීසිය විසින් සොයාගනු ලැබ තිබුණා.

Yamaha FZ වර්ගයට අයත් මෙම යතුරුපැදිය සමඟ රතු සහ කළු වර්ණයෙන් යුත් හෙල්මට් දෙකක් (2) සහ කළු පැහැති බෑගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සොයාගත් යතුරුපැදිය වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි යතුරුපැදියම දැයි තහවුරු කරගැනීම සඳහා ඌරුබොක්ක පොලීසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා ෴


‘වැට් බද්ද’ ගැන විශේෂ දැනුම්දීමක්

(13.08.2026 – hirunews.lk)

2026 වසරේ ජූලි මාසය සඳහා වන ‘එකතු කළ අගය මත බද්ද’ (VAT) අගෝස්තු 20 වන දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ නියම කරන බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

චෙක්පතකින් හෝ බැංකු අණකරයකින් හෝ ගෙවීම් ඇණවුමකින් සිදු කරන ලබන ගෙවීමක් නියමිත දිනය පසුවී ලැබීම ද ප්‍රමාද ගෙවීමක් ලෙස සලකනු ලබනවා.

ජූලි මාසය සඳහා වන වැට් වාර්තා භාරදීම අගෝස්තු මස 31 වන දින හෝ එදිනට පෙර සිදු කළ යුතු බවත් එම වාර්තා මාර්ගගත ක්‍රමය මගින් භාරදිය යුතු බව‍යි සඳහන් වන්නේ.

මේ අතර ‘රඳවාගත් බදු’ අගෝස්තු මස 15 වෙනිදාට හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා ෴


කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ

(13.08.2026 – hirunews.lk)

දෙහිවල ප්‍රදේශයේ කල් ඉකුත් වූ ක්‍රීම් වර්ග සහ ආලේපන භාවිතා කරමින් පවත්වාගෙන ගිය බව කියන රූපලාවණ්‍ය ආයතනය වටලා එහි හිමිකරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී එම ස්ථානයේ තිබී කල් ඉකුත් වූ ආලේපන සහ හිස සම්භාහනය කිරීමට යොදා ගන්නා ක්‍රීම් වර්ග පාරිභෝගික සේවා පිළිබඳව අධිකාරිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ භාවිතා කරන ලද අමුද්‍රව්‍ය පාරිභෝගික කටයුතු අධිකාරිය ඔවුන් බාරයට ගත් අතර එම රූපලාවණ්‍ය ආයතනයේ හිමිකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමටට නියමිතයි ෴


නිවාස ඉදිකිරීම් සිදුකරන බව පවසා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

(13.08.2026 – 13:59 +0530 – sinhala.adaderana.lk)

නිවාස ඉදිකිරීම් සිදුකරන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු මිරිහාන විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා විසින් වංචා කළ මුදල රුපියල් කෝටි දෙකහමාර (2½) ඉක්මවන බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිවාස ඉදිකිරීම් සිදු කරන බව පවසා මෙම වංචා සිදුකර ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි 15 ක් ලැබී තිබූ බව මිරිහාන විශේෂ විමර්ශන අංශය සදහන් කළේය ෴


ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ ‍‍හිටපු ‘පීසී’ ‍ඇතුළු දෙදෙනෙක් (2) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට

(13.08.2026 – hirunews.lk)

ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසමින්, රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අය කළ පුද්ගලයින් දෙදෙනෙක් (2) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදීම එහි විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා තමන්ට ලබාදිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ රැඳී සිටින පුද්ගලයින්ගෙන් මුදල් අය කරන බවට, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රට ලද තොරතුරක් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක කර තිබූ බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

මෙම තොරතුර මත ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් කාර්යාංශයේ පළමු මහලේදී මෙම සැකකරුවන් දෙදෙනාව (2) ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් පළමු සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර, අනෙක් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 7 ක් සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද නිලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් විසින් රැකියා අපේක්ෂිතයින් කිහිපවරක් කාර්යාංශය තුළට කැඳවා, රැකියා ලබාදිය හැකි බවට විශ්වාසය ඇතිවන පරිදි සහ කාර්යාංශයේ නිලධාරීන් ලෙස හැඟී යන අයුරින් කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මීට පෙර ඊශ්‍රායල් රැකියා ජාවාරමේ නිරත වීම හේතුවෙන් කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම වී සිටින ‘චාන්දනී මැණිකේ’ නම් කාන්තාවක් විසින් මෙම සැකකරුවන් මෙහෙයවා ඇති බවද විමර්ශන නිලධාරීන්ට තොරතුරු වාර්තා වී ඇතැයි පැවසේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

කාර්යාංශය මගින් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට අවශ්‍ය සේවාව ලබාගැනීම සඳහා අදාළ අංශවල සේවය කරන නිලධාරීන්ගෙන් පමණක් සේවාවන් හා තොරතුරු ලබාගන්නා ලෙසත්, එසේ නොමැති නම් පිළිගැනීමේ කවුළුවේ සිටින නිලධාරීන්ගෙන් සේවය ලබාගන්නා ලෙසත් කාර්යාංශය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

එසේම, කොරිඩෝව තුළ හෝ පිටත රැඳී සිටින කිසිඳු පුද්ගලයෙකු සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙසද කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරනවා ෴


තම මවට අපහාස කළ බව කියා ජපානයේදී ශ්‍රී ලංකා සිසුවෙකු තවත් ශ්‍රී ලාංකීක සිසුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරලා

(13.08.2026 – hirunews.lk)

ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයාමා (Nagareyama) නගරයේ පිහිටි නිවසකදී, 21 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් එම නිවසේම ජීවත් වූ 18 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික සිසුවෙකු ජපාන පොලිසිය විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ජපාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම සිද්ධිය සිදුව ඇත්තේ අදාළ නිවසේදීයි.

සැකකරු විසින් හදිසි ඇමතුම ලබා දී ඇති අතර, බරපතළ තුවාල ලැබූ 21 හැවිරිදි තරුණයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ සිටි 18 හැවිරිදි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු අනෙක් සිසුවාට පිහියෙන් ඇන ඝාතනය කළ බව පිළිගෙන ඇති අතර, ඒ සමගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනා හිතවතුන් වන අතර, තමාට අපහාසාත්මක වචන පවසා තම මවට අපහාස කර පහර දීම නිසා තමාට දැඩි ලෙස කේන්ති ගොස් මෙම අපරාධය සිදු කළ බව සැකකරු ප්‍රකාශ කර ඇති බව පොලිසිය සඳහන් කරනවා ෴


මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරයන් තිදෙනෙක් (3) කොටුවෙති

(12.08.2026 – hirunews.lk)

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනයේ යෙදුණු බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරයන් තිදෙනෙකු (3) පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක නගරය හරහා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරයන් ඉලක්ක කරගනිමින් අද (12) මෙම විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාව පවත්වා තිබෙනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පාදුක්ක පොලිසිය එක්ව සංවිධානය කළ මෙම මෙහෙයුමේදී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරයන් 100 කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) හෙට (13) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


සයිබර් අපරාධවලට විදේශිකයන් 1,093 ක් මෙම (2026) වසරේ අත්අඩංගුවට

(13.08.2026 – 17:04 +0530 – sinhala.adaderana.lk)

සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ විදෙස් ජාතිකයන් 1,093 දෙනෙකු මෙම (2026) වසරේ ගතවූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

ඔහු පවසා සිටියේ 2024 වසරේ දී සිදුවීම් 26 කින් විදෙස් ජාතිකයන් 573 ක් සහ 2025 වසරේ සිදුවිම් 2 කින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙම (2026) වසරේ ගතවූ කාලසීමාව තුළ සිදුකළ වැටලීම් 24 කින් 1,093 දෙනෙකු අත්ඩංගුවට ගැනීමට හැකිවූ බව හෙතෙම පැවසීය.

කෙසේ නමුත් එම සියලු විදෙස් ජාතිකයන් පිටුවහල් කිරීමට අවශ්‍ය පියවරගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *