මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් – පාරිභෝගික අධිකාරියෙන් වටලයි
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා : දිනන දකුණ
පැලවත්තේ අනුර උතුරු කොරියාවේ නායකයා වගේ – මේ ආණ්ඩුවට ඕන හැම තැනම බලය ගන්න (11.08.2026)
ආණ්ඩුව සිදුකරන බෞද්ධ විරෝධී වැඩ වහාම නතර කළ යුතුයි – මහා සංඝරත්නය (11.08.2026)
මෙන්න හොරෙක් | බයික් එකෙන් ඇවිත් මාලෙට ගේම දුන්න හැටි (11.08.2026)
දෙදින වර්ජනය උඩින්ම සාර්ථකයි, ග්‍රාම නිලධාරීන් ආණ්ඩුවට පාඩමක් උගන්වයි (11.08.2026)
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
(11.08.2026 – hirunews.lk)
බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය තොග වශයෙන් සපයන බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු රුපියල් ලක්ෂ විස්සකට (20) අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.
දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙම මත්ද්‍රවය තොගය සමග ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පුද්ගලයකු වට්සැප් දුරකථන ඇමතුමක් ඔස්සේ ස්ථානය පිළිබඳ ලබා දුන් තොරතුරක් අනුව මෙම මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගත් බවයි.
එම මත්ද්‍රව්‍ය පාර්සලය බොරැල්ල වනාත පාරේදී තවත් පුද්ගලයෙකුට ලබා දීමට නියමිත බවත් සැකකරුගෙන් අනාවරණ වූ අතර එම තොරතුරු අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට රහස් සැලැස්මක් ක්‍රියාත්මක කර සිය නිලධාරින් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබුණා.
එහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් සැකකරු අසලට පැමිණ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය ලබා ගනිද්දී අවට රැක සිටි ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් නියාමකවරයා ඉකුත් ජනවාරි මැගසින් බන්ධනාගාරයේ සේවයට පැමිණි අයෙකු බවත් ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නිරතව සිට ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු තංගල්ල බෙලිඅත්ත පදිංචි අවිවාහක පුද්ගලයෙක් බවයි වාර්තා වෙන්නේ.
+++
+
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් – පාරිභෝගික අධිකාරියෙන් වටලයි
(11.08.2026 – hirunews.lk)
2026 වසරේ මේ දක්වා වැටලීම් 119 කින් අටපිරිකර විවෘත කර සිදුකළ පරීක්ෂාවලදීත් අක්‍රමිකතා අනාවරණය වෙයි : පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවියේදී නීතිමය කරුණු අනුගමන කරන්නේ දැයි පරීක්ෂණ කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝස්තු 10 දින දිවයින පුරා අටපිරිකර හා ඒ ආශ්‍රිත පිරිකර භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන ඉලක්ක කර ගනිමින් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
මෙම විශේෂ වැඩසටහන යටතේ දිවයින පුරා සාර්ථක වැටලීම් 92 ක් සිදු කර ඇති අතර, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මීට අමතරව අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 35 ක් සිදු කර තිබෙන බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව, 2026 වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 127 ක් සිදු කර තිබෙනවා.
2026 අගෝස්තු 10 දින ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහනේ දී 2015.06.11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 55 දරණ විධානය යටතේ අදාළ භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබේ ද යන්න සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපදිනවාද යන්න පරීක්ෂාවට ලක් කළ බවත් එහිදී වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු බිල්පත්, ඉන්වොයිසි සහ අනෙකුත් අදාළ ලේඛන සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියේ.
මෙම විශේෂ වැටලීම්වලදී වාර්තා වූ බහුතර උල්ලංඝනයන් අංක 55 දරන විධානයට අදාළ වන අතර, අටපිරිකර, තනිපට සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම ප්‍රධාන වශයෙන් අනාවරණය වී ඇත.
වැටලීම්වලදී නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩ විශාල ප්‍රමාණයක් (ඒකක 436 ක්) නිලධාරීන් භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම විශේෂ වැඩසටහනේදී අටපිරිකරවල පිටත ඇසුරුම පමණක් පරීක්ෂා කිරීම වෙනුවට, අහඹු ලෙස තෝරාගත් අටපිරිකර විවෘත කර ඒවා තුළ ඇතුළත් කර ඇති භාණ්ඩ ද පරීක්ෂාවට ලක් කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කරනු ලැබීය.
එලෙස සිදුකළ පරීක්ෂාවලදී ඇතැම් අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට (8) සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැදුණු දැලි පිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතා අනාවරණය වී ඇත.
මෙවැනි අක්‍රමිකතා පාරිභෝගිකයාට පිටත ඇසුරුම නිරීක්ෂණය කිරීමෙන් පමණක් පහසුවෙන් හඳුනාගත නොහැකි බැවින්, විශේෂයෙන් ආගමික අවශ්‍යතාවක් සඳහා සම්පූර්ණ අටපිරිකරක් මිලදී ගැනීමේදී එහි ඇතුළත් භාණ්ඩ පිළිබඳවද සැලකිලිමත් වන ලෙස පාරිභෝගිකයන්ගෙන් දැනුම්වත් කරනු ලබන බවයි ඔවුන් පවසන්නේ.
මෙම වැටලීම්වලදී අනාවරණය කරගත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාල වෙළෙඳ ආයතනවලට එරෙහිව අදාල මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරමින් පවතී.
අටපිරිකර හා පිරිකර අලෙවියේ දී භාණ්ඩවල සහ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කිරීම, පාරිභෝගිකයාට ලබාදෙන භාණ්ඩවල නිසි තත්ත්වය තහවුරු කිරීම සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමක් බව ද තවදුරටත් අවධාරණය කරනු ලබන බවයි පවසන්නේ.
අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් මෙවැනි අහඹු වෙළෙඳපොළ පරීක්ෂණ සහ විශේෂ වැටලීම් ඉදිරියටත් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසනවා.
අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධ නීති උල්ලංඝනයක් හෝ අක්‍රමිකතාවක් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දිය හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.
+++
+
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා : දිනන දකුණ
(11.08.2026 – hirunews.lk)
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව ‘දිනන දකුණ’ සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටිනවා.
රජය සිය ආර්ථික අසාර්ථකත්වය වසා ගැනීමට සහ දේශපාලන විවේචන නිහඬ කිරීම සදහා සමාජය තුළ බල පවත්වන ජනප්‍රිය දූෂණ විරෝධී රැල්ල මෙවලමක් ලෙස යොදා ගනිමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය සඳහන් කරන්නේ.
මේ සදහා ආසන්නතම උදාහරණය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහය බවත්, අපහාසාත්මක හෝ වෛරී ප්‍රකාශනයන්ට එරෙහිව කටයුතු කරන්නට සිවිල් නීතිය තුළ අපමණ ප්‍රතිපාදන තිබියදී රජයේ උපදෙස් පරිදි පොලිසිය කටයුතු කරන ලද්දේ අපරාධ නීතිය යටතේ ඔහුට දඩුවම් කරන්නට බවත්, ඔවුන් සඳහන් කරනවා.
එසේම මෙය දේශපාලන ප්‍රතිවාදීන් අධෛර්යමත් කිරීම සඳහා පොලිස් බලය අවභාවිත කිරීම පිළිබද පැහැදිලි උදාහරණයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ආයතනික අඛණ්ඩතාව, ආර්ථික සාධාරණත්වය සහ දූෂණයට එරෙහිවීම බිංදුවේ ඉවසීම යන පොරොන්දු මත ගොඩනැඟුණු ‘අනුරවාදයේ’ ජනවරමට මාස දහඅටක් (18) ගතවන තැන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය විසින් මහජන බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම දිය කරමින් සිටින බවත්, මතුපිටින් පෙන්වන සාර්ව ආර්ථික දත්තවලට පිටුපසින් ඇත්තේ එකතැන පල්වෙන සැබෑ ආදායම, අහස උසට ඉහළ ගිය දරිද්‍රතා රේඛාව සහ ජනතාවගේ පාරිභෝගික ශක්තිය සම්පූර්ණයෙන්ම සිඳී බිඳී දමන ලද වක්‍ර බදු පීඩනයක් බවත්, ඔවුන් පවසනවා.
අසාර්ථක වූ පොරොන්දු සහ වත්මන් පාලනය තුළ සිදුවන මහා පරිමාණ ටෙන්ඩර් අක්‍රමිකතාවලින් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා, රජය විසින් සූක්ෂම මැකියාවෙලියානු මර්දනයක් ආරම්භ කර ඇති බවයි දිනන දකුන සාමුහිකයේ නිරීක්ෂණය වී ඇත්තේ.
සියළු විරෝධතා මැද අත්තනෝමතිකව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන එන්නේ අනාගත මර්ධනකාරී ක්‍රියාපිලිවෙතකට අවැසි අධිකරණමය ආවරණය ගැනීමට බව එම සාමුහිකයේ මතය වන බව ද ඔවුන් සඳහන් කරනවා.
තෝරාගත් නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන දේශපාලන විරුද්ධවාදීන් බියගැන්වීමේ මෙවලම් බවට පත්කරගෙන තිබෙන බවත්, එවැනි සුක්ෂම වැඩපිලිවලක් ඉදිරියට ගෙන යන අතරේම ජනාධිපතිවරයා කියන්නේ නිවැරදිව තීරණය ගන්නා රහස් පොලිසියේ ප්‍රධානියා සහ අල්ලස් කොමිසමේ ප්‍රධානියා විපක්ෂයේ සතුරන් බවට පත්ව ඇති බවත්, එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කර සිටිනවා.
නමුත් පැහැදිලි හා කටුක සත්‍ය වන්නේ නීතිය සාධාරණ බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් තහවුරු කිරීමට එම පුද්ගලයන් අසමත්වීම බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ඔවුන්ගේ එම නිරීක්ෂණය තහවුරු කරනු ලබන තවත් අවස්ථාවක් වන්නේ ප්‍රමුඛ විපක්ෂ දේශපාලන නායකයින් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් අධිකරණයට අපහාස කිරීමේ නීති ප්‍රතිපාදන යටතේ නඩු පැවරීමට දරමින් සිටින උත්සාහයවන අතර, එම ක්‍රියාව නීත්‍යානුකූල ලෙස දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම තහනම් කිරීම සඳහා සිදුකළ බරපතල නීති විරෝධී ක්‍රියාවක් ලෙස එම සාමුහිකය සලකනු ලබනු බව ද සඳහන්.
රජයේ මෙම උත්සාහය ලෙස එම සාමූහිකය දකින්නේ අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය හුවා දක්වමින් පුද්ගලයන්ට තාවකාලික සිරදඩුවමක්, රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් ලබා දීමයි.
ඒ අනුව වර්තමානයේදී විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීම හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට උත්සාහ කිරීම රට තුළ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බවට පත්ව තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වෙනවා.
දූෂණ විරෝධී ජනප්‍රියතාවය කඩතුරාවක් කරගනිමින් විපක්ෂය සහමුලින්ම විනාශ කිරීමට දරන මෙම උත්සාහය, වසර සියයක් පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපති පොලිස් රාජ්‍යයක් දක්වා තල්ලු කිරීමේ පූර්වගාමී පියවරක් බවටයි ‘දිනන දකුණ’ සාමූහිකය අනතුරු අඟවන්නේ.
“පාලන තන්ත්‍රයක් ජනප්‍රියත්වයෙන් ගිලිහී යන විට එය පැවැත්ම සඳහා මර්දනය දෙසට යොමු වේ. රජය විසින් තම විරුද්ධවාදීන් එකින් එක ඉලක්ක කර මර්දනය කරද්දී ජනතාව නිහඬව සිටීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයේම විනාශයයි,” යනුවෙන් එම සාමූහිකය සඳහන් කරනවා.
එබැවින්, රජයේ මෙම ඒකාධිපති ගමනට එරෙහිව නැගී සිටින ලෙසත්, සියවසක් පුරා රැකගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීම සඳහා පෙරට එන ලෙසත්, රජයේ මෙම හැසිරීම දූෂණයට තිත තැබීමට හෝ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සපථ කරන රජයේ සැබෑ වුවමනාව නොවන බවත්, රජය විසින් අටවමින් සිටින දේශපාලනික කෙමන පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙසටත් “දිනන දකුණ” සාමූහිකය සමස්ත සමාජයෙන්, මාධ්‍යවේදීන්ගෙන් සහ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴
පැලවත්තේ අනුර උතුරු කොරියාවේ නායකයා වගේ – මේ ආණ්ඩුවට ඕන හැම තැනම බලය ගන්න (11.08.2026)
+
ආණ්ඩුව සිදුකරන බෞද්ධ විරෝධී වැඩ වහාම නතර කළ යුතුයි – මහා සංඝරත්නය (11.08.2026)
+
මෙන්න හොරෙක් | බයික් එකෙන් ඇවිත් මාලෙට ගේම දුන්න හැටි (11.08.2026)
+
දෙදින වර්ජනය උඩින්ම සාර්ථකයි, ග්‍රාම නිලධාරීන් ආණ්ඩුවට පාඩමක් උගන්වයි (11.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴