ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

ගායක ගායිකා සංගමයේ අරමුදල් රැස්කිරීමේ උත්සවයේ දී සජිත් ප්‍රේමදාස රු.ලක්ෂ 5 ක් පරිත්‍යාග කරයි (10.08.2026)

මාළිගාවත්තේ වෙඩිතැබීමක් – කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

උදය – විමල් – දිලිත් හිරේ යන්න ලෑස්තිද? | සඟවන්න හදන මාලිමාවේ තවත් වත්කම් එළියට (10.08.2026)


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

(10.08.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි අවස්ථාවේදීයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළවයි ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබුණේ.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ දැනුම් දීමට අනුව තමන් පෙරවරු 10:30 ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටින බවයි.

මේ අතර පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට වැරදි අර්ථකථන ලබාදී ඇති බවයි.

+++

+++

+++

අපේ ලේකම් සාගරව අත්අඩංගුවට ගත්තා – පොලිස්පති ආණ්ඩුවට කඩේ යන්න එපා – නාමල් ආණ්ඩුවට අමතයි (10.08.2026)

+++

සාගර කාරියවසම් අත්අඩංගුවට ගත්තේ ඇයි? සම්පූර්ණ කතාව මෙන්න (10.08.2026)

+++

සාගර කාරියවසම්ට ඇප – විදෙස් ගමන් තහනම්

(10.08.2026 – hirunews.lk)

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් මාධ්‍යයේ සිදු කළ ප්‍රකාශයක් තුළින් පොලිස්පතිවරයාට මරණ‍ තර්ජනයක් සිදුව ඇතැයි කියන සිද්ධියකට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (10) නියෝග කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාගර කාරියවසම් යන අය අද (10) මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේදී එම ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.

ඒ අනුව සැකකරු අද (10) පස්වරු 03:30 ට පමණ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කරමින් B-වාර්තාවක් ද සමගින් කරුණු වාර්තා කළා.

එහිදී එම ඒකකයේ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ මුල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විමර්ශන සිදු කරන බවයි.

එහිදි කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා විහාරාධිපතිවරු තිදෙනෙක් (3) පැමිණිලි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉකුත් 06 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර අද (10) දින සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කැඳවීමක් කළ බවත්, එහිදී චෝදනා පහදා දී පෙරවරු 10:45 ට අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම සැකකරුට දණ්ඩ නීති සංග්‍රහයේ 102, 108, 113, 114, 120, 186 සහ 486 යන වගන්ති යටතේ චෝදනා ගොනු කරන බව පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදි අධිකරණයට කරුණු ඉදිරිපත් කළ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය මෙසේ කරුණු ඉදිරිපත් කළා :

  • පොලිසිය : ස්වාමිනි, පොලිස්පතිවරයා අපට පැමිණිල්ලක් කරා මේ පුද්ගලයා ඉකුත් 03 වැනිදා රටේ මිලියන 20 ක ජනතාව ඉදිරියේ කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්. වර්තමාන පොලිස්පතිවරයා දැනට රටේ විශාල අපරාධකරුවන් සම්බන්ධයෙන්, විදෙස්ගත අපරාධකරුවන් සම්බන්ධයෙන් , සංවිධානාත්මක අපරාධකරුවන්, දුෂිත දේශපාලකයන් වගේම නිලධාරීන් සම්බන්ධයෙන් වැඩ කරන කෙනෙක්. ඒ නිසා පොලිස්පතිවරයාට මරණ බියක් තියනවා. මොකද ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්වුණ පොලිපතිවරයා නිසා. මේ සැකකාර පුද්ගලයා නීතිඥවරයෙක්. නමුත් ඔහු එම වෘත්තීය සදාචාරය, ගෞරවය කෙළසමින් තමයි ක්‍රියා කරලා තියෙන්නේ. අපට සැකයක් තියනවා මේ ප්‍රකාශ කරකරන්නේ කිසිවෙකුගේ හෝ වුවමනාවට බව. දැනට හිරු ආයතනය පමණයි සංස්කරණය නොකල දර්ශන ලබා දුන්නේ. ඒ නිසා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරිම සඳහා සැකකරු ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.
  • අධිකරණය : මෙම සැකකරුට එරෙහිව 113, 114 යටතේ චෝදනා පවත්වාගෙන යන්නේ කේසේද? 102, 108, 113 වගන්ති අදාල වන්නේ මොන පදනමකටද? ඒ වගන්ති තුනට ස්වාධීනව පවතින්න බෑ. අනුබල දිම එකක් තැත් කිරිම තව එකක්. එවාට දෙන දඬුවම් වෙනස්. 120 යනු රාජ්‍යට එරෙහිව විරුද්ධත්වය ඇවිස්සීම හෝ තැත් කිරිම, 186 යනු රාජකාරියට බධා කිරිම. චෝදනා පැහැදිලි මදි. සිද්ධියට අදාලව මෙහෙදි චෝදනා ගම්‍ය වන්නේ නෑ.
  • පොලිසිය : ස්වාමිනි, කුමන්ත්‍රණය හා පෙළඹවිම මගින් පොලිස්පතිවරයාගේ ජිවිතයට තර්ජනයක් 296 වගන්තිය යටතේ බැඳි පවතිනවා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මෙසේ පැවසුවා :

“ස්වාමීනී, මේ අයට චෝදනා පවා ගොනු කර ගන්න බෑ. අඩු තරමේ මේ අය මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයවත් හරියට අධ්‍යයනය කරලාවත් නෑ. මං ඉදිරිපත් කරනවා ඒ කරපු ප්‍රකාශය සම්පුර්ණයෙන්ම. මං මේ ප්‍රකාශ යම් තැන් කිහිපයක් පෙන්වා දෙන්න කැමතියි ස්වාමිනි. මේ ප්‍රකාශය කොතැනකවත් පොලිස්පතිවරයාට මරණ තර්ජනයක් කරලා නෑ. මුල ඉඳන් බැලුවොත් ඒක පේනවා. නමුත් ඔබතුමාට ඒක පෙනෙයි කියලා තමයි මේ අය කොටසක් විතරක් පෙන්වන්නේ. මේ සියලු චෝදනා ඇප දිය හැකි චෝදනා. මේ පුද්ගලයාට මීට පෙර කිසිම උසාවියක නඩුවක් නෑ. එන්න කියපු වෙලාවටම විමර්ශනය සඳහා සහය දීමට පැමිණියා. මෙතනදි කියන්නේ මේ ආණ්ඩුව පත්වුනාට පසු 34, 35, 36 යන පොලිස්පතිවරුන්ට අත්වුනු ඛේදනීය ඉරණම මේ පොලිස්පතිවරයාට අත් නොවිමට නම් ආණ්ඩුවට සේවය නොකර ජනතාවට සේවය කරන්න කියලයි.”

  • විනිසුරුවරයා : නමුත් මේ පුද්ගලයා පක්ෂයක නායකයෙක් ලෙස ශිෂ්ඨ සම්පන්න සමාජයක යහපැවැත්ම සඳහා භාෂාව හරියට භාවිත කළ යුතුයි නේද? මේක ප්‍රාථමික ගෝත්‍රික සමාජයක් නෙවෙයි. මේ ප්‍රකාශ ඒ පුද්ගලයාගේ බිරිඳට දරුවන්ට අපකිර්තියක් ගෙන්න පුලුවන්.
  • ජනාධිපති නීතිඥවරයා : නමුත් ස්වාමිනි මේ අවස්ථාවේ ඒ කොටස දිහා විතරක් බලන්න එපා කියලා ඉල්ලනවා.
  • විනිසුරුවරයා : ඔබේ ස්ථාවරය හරි, නමුත් ඒකෙන් කෙනෙකුට රිදෙනවා නම් එක හරි නෑ. මේ පුද්ගලයා මේක කිව්වේ මාධ්‍යයක, ‍සැකකරු දේශපාලන නායකයෙක්.
  • ජනාධිපති නිතීඥවරයා : ස්වාමිනි මේ පැමිණිල්ලේ පරස්පරතා තියනවා. මේ චෝදනා අපහැදිලියි. විශේෂයෙන් ජිවත් වෙලා ඉන්න පුද්ගලයන් සම්බන්ධයෙන් 296 වගන්තිය පවත්වා ගෙන යා නොහැකියි.
  • විනිසුරුවරයා : නමුත් පාරේ ගහලා මරනවා කියන ප්‍රකාශය බරපතලයි. ඒ ගැන ඔබලා කිසිවක් කියන්නෑ.
  • ජනාධිපති නීතිඥවරයා : ස්වාමීනි, අපි කියන්නේ මරනවා කියලා නෙවෙයි. එහෙම දෙයක් වෙනවට කැමති නෑ කියලා.
  • විනිසුරුවරයා : නීතිය බැඳිලා ඉන්නවා ජීවිත සහ දේපළ ආරක්ෂා කරන්න. යමේකුගේ ජිවිතය සම්බන්ධයෙන් ශිෂ්ඨ සම්පන්න ප්‍රවේශයක් තිබිය යුතුයි. කාට හරි හෙට මෙහෙම විනිසුරුවරයාට හෝ නීතිඥවරයෙකුට කියන්න පුළුවන්. ඔබ මේ නඩුවට ඉන්න එපා ගහලා මරයි කියලා. එක ඉතා බරපතලයි. සමාව ඉල්ලා කගාණටුව ප්‍රකාශ කරන්න කැමති නැද්ද?

ජනාධිපති නිතීඥවරයා මේ පිළිබඳව ඒ අවස්ථාවේ දි විත්තිකුඩුවේ සිටි සැකකාර සාගර කාරියවසම් යන අයගෙන් විමසා සිටියා.

  • ජනාධිපති නීතිඥවරයා : මේ සම්බන්ධයෙන් අප පොලිස්පතිවරයාට කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.
  • විනිසුරුවරයා : එහි සමාව කියන කොටස නැද්ද?
  • ජනාධිපති නීතිඥවරයා : අපි ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා පමණයි ස්වාමිනි.

ඉන්අනතුරව විනිසුරුවරයා නියෝගය ලබා දීම හවස 05:30 දක්වා කල්තැබුවා.

පසුව නැවත නඩු කටයුතු ආරම්භ කරමින් කරුණු සලකා බලා සැකකරු ඇප මත මුදා හැරියා.

වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණා ෴

+


ගායක ගායිකා සංගමයේ අරමුදල් රැස්කිරීමේ උත්සවයේ දී සජිත් ප්‍රේමදාස රු.ලක්ෂ 5 ක් පරිත්‍යාග කරයි (10.08.2026)

+


මාළිගාවත්තේ වෙඩිතැබීමක් – කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

(10.08.2026 – 13:56 +0530 – sinhala.adaderana.lk)

මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ‘කංජිපානි ඉම්රාන්’ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ.

+++

+++

+++

+++

මාළිගාවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට – ‘කුඩු අංජු’ගේ වැඩක් බවට සැකයක්

(10.08.2026 – 19:46 +0530 – sinhala.adaderana.lk)

කොටහේන පොලිස් වසමේ මාළිගාවත්ත, ශ්‍රී සංඝරාජ මාවතේ අද (10) දහවල් සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ප්‍රංශයේ රැඳී සිටින ‘කුඩු අංජු’ නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙම වෙඩි තැබීමෙන් 54 හැවිරිදි ‘මොහොමඩ් අස්මින් මොහිදීන්’ නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්විය.

කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් අද (10) දහවල් 01:20 ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවද පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තාගේ සමීපතම ඥාතියෙකු බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය සැක පළ කරන්නේ, ‘කුඩු අංජු’ නමැත්තාගේ සමීපතමයෙකු පසුගියදා රත්මලාන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටය.

වෙඩි තැබීම සිදුකරන ආකාරය යාබද ගොඩනැගිල්ලක CCTV කැමරාවකද සටහන්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


උදය – විමල් – දිලිත් හිරේ යන්න ලෑස්තිද? | සඟවන්න හදන මාලිමාවේ තවත් වත්කම් එළියට (10.08.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *