බන්ධනාගාරවල ගැටුම් ඇතිවන්නේ ඇයි?

බන්ධනාගාරවල ගැටුම් ඇතිවන්නේ ඇයි?

කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගනී

ශානිට නියෝජ්‍ය පොලිස්පතිකමක් දීම 76 වසරකවත් නොකරපු තක්කඩි වැඩක් | විමල්ගෙන් ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක් (08.08.2026)

සංගීතයෙන් මනස වෙනස් කරන්නේ කොහොමද? (08.08.2026)

බන්ධනාගාරයේදී කාන්තාවන් නිරුවත් කර රහස් ප‍්‍රදේශවලට ටෝච් ගහලා බලනවා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දොස්තර මාරු යලි අර්බුදයක්.. GMOA විරෝධය..


බන්ධනාගාරවල ගැටුම් ඇතිවන්නේ ඇයි?

(08.08.2026 – 20:59 +0530 – sinhala.adaderana.lk)

ජීවිත හානි සිදුකරමින්, රු. කෝටි ගණනක් වටිනා පොදු දේපළ විනාශ කරමින් මෙරට බන්ධනාගාර ආශ්‍රිතව මතුව ඇති ගැටලුකාරි තත්ත්වයන් මේවන විට රටේම අවධානයට ලක්ව තිබේ.

බන්ධනාගාර ආශ්‍රිත එවන් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු කවරේදැයි ‘අද දෙරණ’ විශේෂ සොයාබැලීමක් සිදු කරන ලදී.

‘රජකාලේ දඬුවම්’ යන ක්‍රමවේදයෙන් බැහැරව මෙරටට විධිමත් අධිකරණ ක්‍රියාවලියක් මෙන්ම ඒ ඔස්සේ නිසි බන්ධනාගාර පද්ධතියක් නිර්මාණය වන්නේ රෝම ලන්දේසි නීතිය යටතේය.

එය හුදු දඬුවමට එහා ගොස්, මානව හිමිකම් ආදී සංකල්ප මත ‘සිරකරුවන් පුනරුත්ථාපනය’ යන ක්‍රමවේදයට ද යොමුවීමකි.

එවැනි සංකල්පයක් පැවතියත් මෙරට බන්ධනාගාර තුළ කාලයෙන් කාලයට ඇතිවන ගැටුම් ඉතිහාසයට කළු පැල්ලම් එක් කළේය.

2012 වැලිකඩ බන්ධනාගාර ගැටුම, 2020 මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව හුදු සිරකරු ගැටුම් ම නොව මෙරට බන්ධනාගාර පද්ධතියේ ගැටලු පිළිබඳ රතු එළි ලෙස හඳුනාගත හැකිය.

ඒවාට ඇලවූ පැලැස්තර විසඳුම් නිසා ඉතිරි වී තිබූ අළු යට ගිනි යළි ඇවිළෙන්නේ ඉකුත් ජූලි මස මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවෙනි.

පසුව එය මහර, මැගසින්, කුරුවිට මෙන්ම තරුණ රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ අභිලාෂයෙන්ම ඇරඹි පල්ලන්සේනටත් ව්‍යාප්ත විය.

ජීවිත අහිමිවීම්, රු. කෝටි ගණනක් වටිනා බන්ධනාගාර දේපළ විනාශවීම් දිගින් දිගටම පෙන්වූයේ පවතින ක්‍රමය තුළ මොනයම්ම හෝ ගැටලුවක් ඇතැයි යන ප්‍රශ්නාර්ථයකි.

2012 වැලිකඩ බන්ධනාගාර ගැටුම සහ 2020 මහර බන්ධනාගාරයේ ගැටුමට හේතු සෙවීමට රජය පත්කළ කොමිෂන් සභා ලබාදුන් වාර්තාවල පැහැදිලිව සඳහන් වුණේ බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදය මෙවන් ගැටලු රැසකට පදනම සපයන බවය.

එය බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය සංසරණය වැනි ගැටලු මැද ඇති තවත් දරුණු අර්බුදයක් බව පෙන්වාදිය හැකිය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව, දිවයින පුරා බන්ධනාගාර 36 ක රැඳවිය හැකි උපරිම රැඳවියන් ගණන 10,500 කි.

නමුත් 2026 වසරේ අගෝස්තු 01 වැනිදා වන විට බන්ධනාගාර තුළ 39,400 කට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් සිටීමෙන් එම තදබදය මනාව තහවුරු වේ.

එනම් මෙරට බන්ධගානාගාර තුළ වර්තමානයේ රඳවා සිටින රැඳවියන් ප්‍රමාණය එහි ධාරිතාවට වඩා තුන්ගුණයකටත් අධිකය.

මීගමුව බන්ධගාරයේ ධාරිතාව රැඳවියන් 820 ක් වුවත් ජුලි මාසයේ ගැටුම ඇතිවන අවස්ථාවේදී එහි රැඳවියන් 2418 කට ආසන්න පිරිසක් රඳවා තබා තිබුණි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් 1200 කට පමණක් පහසුකම් ඇතත් එහි වර්තමානයේ සිටින රැඳවියන් ප්‍රමාණය 4078 කට ආසන්නය.

පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 1000 ක් පමණක් රඳවා තැබිය හැකි නමුත් එහි වර්තමානයේ සිටින රැඳවියන් 2000 කට ආසන්න පිරිසක් සිටිති.

මෙවැනි අධික තදබදයක් තුළ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සාර්ථක කටයුත්තක් ද?

ලොව හොඳම බන්ධනාගාර පද්ධතියක් ඇතැයි දැක්වෙන්නේ නෝර්වේ රාජ්‍යයේය.

දඬුවම පමණක් නොව වරදකරුවන් පුනරුත්ථාපනය කිරීම, සමාජානුයෝජනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම මුල් කරගත් ක්‍රියාවලියකින් එරට බන්ධනාගාර ක්‍රමය සමන්විතය.

මෙම ක්‍රමය හේතුවෙන් එරට යමෙක් දෙවරක් බන්ධනාගාරගත වීමේ සම්භාවිතාව 20% ටත් අඩු අගයක් බවයි සමීක්ෂණ වාර්තා පවසයි.

ස්වීඩනය ද එවන් ක්‍රමවේදයක් පවතින රටකි.

මෙවැනි සෑම සාර්ථක බන්ධනාගාර ක්‍රමයකම පවතින මූලික ලක්ෂණයක් වන්නේ බන්ධනාගාරයකට දැරිය හැකි ප්‍රමාණයට පමණක් සිරකරුවන් ඊට ඇතුළත් කිරීමය.

මෙම සෑම ක්‍රමයක්ම ශ්‍රී ලංකාවට 100% ආදේශ කරගත නොහැකි වුවත් ගැටුම් අවම පද්ධතියක් සඳහා මෙරට බන්ධනාගාර ක්‍රමය කඩිනමින් වෙනස් විය යුතු බව නොරහසකි.

කමිටු වාර්තා, වාර්තාවකට පමණක් සීමා නොවී බන්ධනාගාරය අපරාධකරුවන් තනන ස්ථානයක් නොකර වැරදි හදන ස්ථානයක් වන්නේ නම් අදට වඩා හෙට සමාජය සුබදායක වනු ඇත.

+


කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගනී

(08.08.2026 – 19:17 +0530 – sinhala.adaderana.lk)

නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වූ කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම ඔවුන් වෙනත් බන්ධනාගාරවලට මාරුකිරීම ඇතුළු ඉදිරි පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගාර තුනෙහි ඊයේ (07) හා පෙරේදා (06) දිනයන්වලදී ගැටුම්කාරී තත්ත්වයන් හටගන්නා ලදී.

එහිදී රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් රැඳවියන් 54 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ අතර කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් විසින් ඊයේ (07) ඇතිකළ නොසන්සුන්තාව අතරතුරදී සිරමැදිරිවල ඇති වහල කඩා විනාශ කිරීම හේතුවෙන් මේවන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වෙයි.

ඊට හේතුවී ඇත්තේ එම ප්‍රදේශයට නිතර වැසි ඇතිවීම නිසා රැඳවියන් අදාළ ස්ථානවල රැඳවීමට නොහැකිවීමය.

ඒ අනුව අද (08) දිනයේදීත් ඒ පිළිබඳව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ මැදිහත්වීමෙන් ඒ පිළිබඳව සොයා බලා බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර තිබේ.

අදාළ නොසන්සුන්තාව අතරතුරදී රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර ඔවුන්ගේ සිරුරවල වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි තවදුරටත් අමුත්තන් බැලීම සඳහා අවස්ථාව නොමැති බවය.

+


ශානිට නියෝජ්‍ය පොලිස්පතිකමක් දීම 76 වසරකවත් නොකරපු තක්කඩි වැඩක් | විමල්ගෙන් ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක් (08.08.2026)

+


සංගීතයෙන් මනස වෙනස් කරන්නේ කොහොමද? (08.08.2026)

+


බන්ධනාගාරයේදී කාන්තාවන් නිරුවත් කර රහස් ප‍්‍රදේශවලට ටෝච් ගහලා බලනවා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

(08.08.2026 – lankacnews.com)

මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ කාන්තා රැඳවියන් මුහුණ දෙන අතිශය අමානුෂික පරීක්ෂා කිරීම් ක්‍රියාවලියක් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් හෙළිදරව්වක් සිදු කර තිබේ.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ වැලිකඩ ඇතුළු බන්ධනාගාරවල කාන්තා රැඳවියන් දැඩි මානසික සහ ශාරීරික පීඩාවකට ලක්වන බවයි.

ඇය පවසන පරිදි, අධිකරණ කටයුතු නිමවා හෝ වෙනත් බාහිර ස්ථානයක සිට බන්ධනාගාරය වෙත රැඳවියන් රැගෙන එන අවස්ථාවලදී ඔවුන්ව සම්පූර්ණයෙන්ම නිරුවත් කර පරීක්ෂා කිරීම් සිදු කරනු ලබයි.

එහිදී රැඳවියන්ගේ රහස් ප්‍රදේශ පවා විදුලි පන්දම් ආධාරයෙන් පරීක්ෂාවට ලක් කරන බවත්, මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි අශිෂ්ට ක්‍රියාවක් බවත් ඇය අවධාරණය කළාය.

මෙම පරීක්ෂා කිරීම් සිදු කරන ස්ථාන නිසි ලෙස ආවරණය කර නොමැති බව පෙන්වා දෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ඇතැම් අවස්ථාවලදී බන්ධනාගාරය වෙත පැමිණෙන අමුත්තන්ට හෝ නිලධාරීන්ට පවා මෙම දර්ශන දිස්විය හැකි මට්ටමේ පවතින බව සඳහන් කළාය.

තවද, පරීක්ෂා කිරීම් අතරතුර බන්ධනාගාර නිලධාරිනියන් විසින් රැඳවියන්ගේ ශරීර ස්වභාවය පිළිබඳව අපහාසාත්මක සහ ලිංගිකමය ස්වරූපයේ විවේචන එල්ල කරන බවට ද ඇය චෝදනා කළාය.

“සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන්න බන්ධනාගාර තාප්පයට පමණක් සීමා වී ඇති බව පවසන ඇය, මෙවැනි නින්දිත ක්‍රියා හේතුවෙන් රැඳවියන් තුළ බන්ධනාගාර නිලධාරීන් කෙරෙහි දැඩි වෛරයක් සහ ක්‍රෝධයක් නිර්මාණය වන බව පෙන්වා දුන්නාය.

මෑත කාලීනව බන්ධනාගාර තුළ ඇති වූ විවිධ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ගැටුම් සඳහා මෙවැනි අමානුෂික සැලකීම් ද වක්‍රව බලපා ඇති බව ඇයගේ අදහසයි.

විශේෂයෙන්ම දරුවන් සිටින මව්වරුන් සහ විවිධ සමාජ මට්ටම්වල කාන්තාවන් මෙවැනි පරීක්ෂාවලට ලක් කිරීමෙන් ඔවුන් දැඩි මානසික බිඳවැටීමකට ලක්වන බවත්, බලධාරීන් වහාම මැදිහත් වී මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවත් හිටපු මන්ත්‍රීවරිය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

+++

+++

බන්ධනාගාරේ ඇතුලට කුඩු අයිස් ෆෝන් ගේන්නේ නිලධාරීන් – අවුරුදු ගාණක් හිරේ හිටපු නීතිඥයෙක් හෙළිකරයි (08.08.2026)

+


දොස්තර මාරු යලි අර්බුදයක්.. GMOA විරෝධය..

(09.08.2026 – lankacnews.com)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනයයි =

2027 ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සැකසීමේදි මතු වී ඇති ගැටලු පිළිබඳවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දැඩි වෛද්‍ය හිඟය මධ්‍යයේ රට පුරා රෝහල් වල රෝගී සත්කාර සේවා අනවරතව පවත්වා ගැනීම සිදු වන්නේ වෛද්‍යවරුන් තම රාජකාරියට එහා ගොස් ස්වෙච්ඡාවෙන් සිදු කරනු ලබන දැඩි කැපවීම තුලින් වේ. මෙම අනවරත සේවා සැපයීම සඳහා වාර්ෂික ස්ථානමාරු ඔස්සේ සිදු වන වෛද්‍ය ස්ථානමාරු ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරයි.

අවාසනාවට කරුණ නම් 2025 ට පෙර වර්ෂ වල වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කරවීමේ සතියක් ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ස්ථානමාරු නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කලද, එම ක්‍රියාවලිය මේ වන විට අසාර්ථක ප්‍රයත්නයක් බවට පත් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයට ක්‍රියාත්මක කර ගත හැකි වූ වාර්ෂික ස්ථානමාරු ප්‍රමාණය මුලු සංඛ්‍යාවෙන් 50% කටත් අඩු වීම නිසාය.

එසේ අසාර්ථක වී තිබියදි මේ වන විට 2027 වර්ෂයට නියමිත ස්ථානමාරු ලැයිස්තු සකස් කිරීමද ආරම්භයේදිම සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් අර්බුදයකට ඇද දමා තිබේ.

2025 අගභාගයේදි මුහුණපාන්නට සිදු වූ අවාසනාවන්ත දිට්වා අපදා තත්ත්වය නිසා වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම වාර කිහිපයක්ම අත්හිටුවා කල් දැමීම නිසා මාස කිහිපයක්ම ප්‍රමාද වීමද මෙම අර්බුදයට බලපා ඇති ප්‍රධානතම කාරණාවයි.

මෙම ගැටලුව නිසා 2027 වර්ෂයට නියමිත ස්ථානමාරු ලැයිස්තු සැකසීමේදි එම ස්ථානමාරු සඳහා අයදුම් කිරිමට සුදුසුකම් ලබන දිනය පිළිබඳව ස්ථානමාරු මණ්ඩලය විසින් ලබා ගෙන තිබු එකඟතාවය සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් අත්තනෝමතිකව කඩ කිරීම නිසා වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් අගතියටත්, අපහසුතාවයටත් මේ වන විට පත් වී ඇත. ඉන් සමහරක් මෙම ගැටලුව නොවිසදේ නම් සේවයෙන් ඉවත් වීමට හෝ නියමිත කාලයට කලින් සේවයෙන් විශ්‍රාම යෑමට බලාපොරොත්තුවෙන් සිටින බවටද අපහට දැනුම් දී ඇත. ස්භාවික ආපදා තත්ත්වයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා ගත් තීරණ මත වෛද්‍යවරුන් අසාධාරණයට ලක් කිරීම පිළිගත නොහැකි කාරණයක් වේ.

එමෙන්ම වෛද්‍ය ස්ථානමාරු සඳහා බලපාන සම්මත මෙහෙයුම් පටිපාටිය (Stand Operating Protocol) සකස් කිරීමද නිසි ක්‍රමවේදයට මාරු මණ්ඩල සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිදු නොවීමද මීට බලපා ඇත. ඒ පිළිබඳව අප විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවටද පැමිණිලි කර ඇත.

මෙම ගැටලු සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදි සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් සිදු වී ඇති ඉහත කී අඩුපාඩු සහ වැරදි අප විසින් එතුමාට පෙන්වා දෙන ලදී.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මැදිහත් වීම තුල රට පුරා විහිදි ඇති සෞඛ්‍ය සේවාව බිඳ වැටීමකින් තොරව අනවරතව පවත්වාගෙන යාමටත්, වෛද්‍යවරුන් අපහසුතාවයට පත් නොවන ආකාරයටත් වාර්ශික ස්ථානමාරු ක්‍රියාත්මක කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් සාධනීය ප්‍රතිචාරයක් අප බලාපොරොත්තු වන්නෙමු ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *