උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් – විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන්

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් – විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන්

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක් – විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන්

විපක්ෂයේ පිරිසක් ඝාතනයට බන්ධනාගාර ගැටුම් යොදා ගැනීමේ තැතක් | හේමසිරි – පූජිතට මරණ දඬුවම සාධාරණ ද? (08.08.2026)

විපක්ෂය හිරේ ඇතුළේදී ඝාතනය කරන තැනටයි මේ බන්ධනාගාර ගැටුම් යන්න හදන්නේ – මිලින්ද කියයි (08.08.2026)

මාලිමාවේ කොට අය රජීව්ගේ උසටත් ඉරිසියයි | බහුජන බලයේ කුමුදුනි ආණ්ඩුවට දැම්ම නෝණ්ඩිය (08.08.2026)

වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් (2) කොටුවෙයි

ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි

පිරිමින් වරදට පොළඹවන ඔන්ලයින් ජාවාරමක් – අසුවෙන්න එපා!


උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් – විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන්

(08.08.2026 – 09:43 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටී.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත ද තැපැල් කර ඇති බවද ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙහිදී පැවසීය.

විභාග ශාලාවට පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ගේ අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්ය වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.

එහිදී ඇය සඳහන් කර සිටියේ ප්‍රවේශ පත්‍රය අස්ථානගත වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් එය නැවත භාගත කර ගැනීමේ හැකියාව පවතින බවය.

විභාගය සඳහා අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය පමණක් භාවිත කළ හැකි බවද ඒ මහත්මිය පැවසීය.

ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පත සඳහා භාවිත කරන ඡායාරූප දෙකක් (2) පාසල් අයදුම්කරුවන් විදුහල්පති ලවා ද, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී ලවා ද සහතික කරවාගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

විභාග කාලසටහන කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් විභාගය ආරම්භ වීමට පැයකට (1) පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම් දී තිබේ.

එසේම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත්, පසුගිය වසරවල ද විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වූ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

+++

+


ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක්

(08.08.2026 – 09:14 +0530 – sinhala.adaderana.lk)

හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බවය.

මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366 ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටී.

මෙම විභාගයට අදාළ උපකාරක පන්ති සිදු කිරීම අගෝස්තු 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, විභාගය නිමා වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්වයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ද ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දෙමාපියන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවසර හිමි නොවන බවය.

දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට (1) පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී සිටී.

ප්‍රථමයෙන්ම දෙවන (2) ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර එය පෙරවරු 09:30 ට ආරම්භ වී පෙරවරු 10:45 ට අවසන් වීමට නියමිතය.

අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11:15 සිට දහවල් 12:15 දක්වා පැයක (1) කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමි වේ.

විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර සිටී.

එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.

+++

+


විපක්ෂයේ පිරිසක් ඝාතනයට බන්ධනාගාර ගැටුම් යොදා ගැනීමේ තැතක් | හේමසිරි – පූජිතට මරණ දඬුවම සාධාරණ ද? (08.08.2026)

+


විපක්ෂය හිරේ ඇතුළේදී ඝාතනය කරන තැනටයි මේ බන්ධනාගාර ගැටුම් යන්න හදන්නේ – මිලින්ද කියයි (08.08.2026)

+


මාලිමාවේ කොට අය රජීව්ගේ උසටත් ඉරිසියයි | බහුජන බලයේ කුමුදුනි ආණ්ඩුවට දැම්ම නෝණ්ඩිය (08.08.2026)

+


වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට

(08.08.2026 – hirunews.lk)

මෙරට සංචාරයක නිරත ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ප්‍රාන්ත මන්ත්‍රී වරයෙකුට සහ තවත් පුද්ගලයෙකුට මෙන්ම ඔවුන් ගමන් ගත් වෑන් රථයට පහර දුන් බව කියන පුද්ගලයෙකු වැලිගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් මෙරට සංචාරයක් සඳහා ඉකුත් (03) වැනිදා මෙරටට පැමිණ තිබුණා.

එම පිරිස කුලී වෑන් රථයකින් විවිධ ප්‍රදේශවල සංචාරය කොට (06) වැනිදා වැලිගම ප්‍රදේශයට පැමිණ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

අනතුරුව 07 වැනිදා පස්වරුවේදී එම පිරිස වැලිගම වෙනත් හෝටලයකට ගොස් නැවත ලැඟුම් ගෙන සිටි හෝටලයට වෑන් රථයෙන් පැමිණෙමින් සිටියදී ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම පැලෑන වටරවුම ආසන්නයේදී ලොරි රථයක් නිසා මාර්ගය හරස්වීම හේතුවෙන් අදාළ වෑන් රථය නවතාගෙන සිට තිබෙනවා.

එහිදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෑන් රථයේ බඳට පහරදී ඇති අතර එම අවස්ථාවේ වෑන් රථයේ සිටි ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිස වෑන් රථයෙන් බැස එම පුද්ගලයා අසලට ගමන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ සැකකරු ආරක්ෂක හිස් වැසුමෙන් හා යකඩ පොල්ලකින් පහරදී ඇති ඇතැයි වාර්තා වනවා.

මේ පිළිබඳව ඉන්දියානු ජාතිකයන් පිරිස වැලිගම මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කොට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම මූලස්ථාන පොලිසිය මගීන් පරීක්ෂණ ආරම්භ කර ඇති පසුබිමක එම සැකකරු අද (08) නීතීඥයෙකු මාර්ගයෙන් පොලිසිය වෙත භාරවි තිබෙනවා.

එම සැකකරු වයස 33ක් වූ මිරිස්ස ප්‍රදේශයේ ධීවරයකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු හෙට (09) මාතර මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් (2) කොටුවෙයි

(08.08.2026 – hirunews.lk)

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට සැකකටයුතු පාර්සලයක් බන්ධනාගාර තාප්පයට ඉහළින් විසි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ පාර්සලයේ තිබී ‘අයිස්, හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය’, ලයිටර් 10 ක්, දුරකථන 02 ක්, දුරකථන චාජර් 02 ක් සහ කරාබු ජෝඩු 10 ක් ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴


ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි

(08.08.2026 – hirunews.lk)

ඉන්දියාවේ උත්තරාකණ්ඩ ප්‍රාන්තයේ පදිංචි ‘රේණු ධාරියල්’ (Renu Dhariyal) නමැති තරුණියක් ජීවත්ව සිටින කාන්තාවකගේ දිගම කෙස් කළඹ සඳහා වන ගිනස් ලෝක වාර්තාව (Guinness World Record) බිඳ දැමීමට සමත් වී තිබෙනවා.

ඇයගේ හිසකෙස්වල දිග අඩි 8 යි අඟල් 10 ක් (සෙන්ටිමීටර 271.5 ක්) වන අතර, මීට පෙර යුක්‍රේන ජාතික කාන්තාවක් සතුව තිබූ වාර්තාව මෙලෙස ඇය විසින් අභිබවා ගොස් ඇති බව සඳහන්.

2015 වසරේදී කිසිදු දිනක හිසකෙස් නොකැපීමට තීරණය කළ ඇය, ඉන්දියානු සංස්කෘතිය තුළ අලංකාරය සහ අනන්‍යතාවය සමඟ බැඳී ඇති දිගු හිසකෙස් කෙරෙහි ඇති ඇල්ම නිසා මෙම ගමන පැමිණ තිබෙනවා.

මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කරනවා වෙනුවට, රසායනික ද්‍රව්‍යවලින් තොර සාම්ප්‍රදායික ගෙදර දොරේ නිෂ්පාදන සහ තෙල් වර්ග භාවිත කරමින් හිසකෙස් රැකබලා ගන්නා බව ඇය පවසන්නේ.

කෙසේ වෙතත්, මෙතරම් දිගු කෙස් කළඹක් දෝවනය කිරීම, වියළීම සහ පීරීම සඳහා දැඩි පරිශ්‍රමයක් සහ ඉවසීමක් අවශ්‍ය වන බවද ඇය පවසනවා.

ඇයගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය ගිනස් ආයතනය විසින් නිල වශයෙන් තහවුරු කර ඇති අතර, කුඩා උත්සාහයක් සහ අඛණ්ඩ කැපවීමකින් ඕනෑම ඉලක්කයක් ජයගත හැකි බවට ඇය ආදර්ශයක් වී තිබෙනවා ෴


පිරිමින් වරදට පොළඹවන ඔන්ලයින් ජාවාරමක් – අසුවෙන්න එපා!

(08.08.2026 – 12:17 +0530 – sinhala.adaderana.lk)

Facebook, Messenger, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.

ඉන්දියාවේ සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම වංචනිකයන් අදාළ පුද්ගලයන් ගොදුරු කරගැනීමට පෙර, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් සහ හිතවතුන් තම මිතුරු ලැයිස්තුවට එකතු කරගැනීමට පියවර ගෙන තිබේ.

ජාවාරමේ ආරම්භක පියවර ලෙස ප්‍රථමයෙන් Instagram හරහා සුරූපී තරුණියකගේ රූපයක් සහිත ගිණුමකින් ‘Hi’ යනුවෙන් කෙටි පණිවුඩයක් යොමු කෙරේ.

එම පණිවිඩයට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටින ජාවාරම්කරුවන්, දින කිහිපයකට පසු නැවත සංවාදයට පිවිසෙයි.

තරුණියගේ ඡායාරූපයේ සුරූපි බව නිසාම යළි ඔවුන් එම පණිවිඩයට ප්‍රතිචාර දැක්වීම සිදුකරනවා.

අනතුරුව තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් යොමු කරමින්, අනෙක් පාර්ශවයේ ද නිරුවත් ඡායාරූප හෝ WhatsApp වීඩියෝ ඇමතුම් හරහා දර්ශන ලබාගැනීමට ඔවුන් පොළඹවා ගනියි.

පසුව එම නිරුවත් වීඩියෝවල දර්ශන ලබාගෙන, ඒවා අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යවන බවට තර්ජනය කරමින් කප්පම් ගැනීම සිදු කරන බවට අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් නොහඳුනන ගිණුම්වලින් හෝ අංකවලින් ලැබෙන කෙටි පණිවිඩ, මිතුරු ඇරයුම් සහ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී අතිශයින්ම සුපරීක්ෂාකාරී වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *