පැය 24 ක් යන්නත් පෙර බන්ධනාගාර තුනක් (3) නොසන්සුන් වෙයි
තාජුඩීන් මැරුවේ ඇයි? | නීති විභාගය තනියම ලිව්වා ද? | චෝදනාගාරය | Episode-1 (07.08.2026)
ශිෂ්‍යත්ව විභාගය අනිද්දා (09) : මුළු අයදුම්කරුවන් 294,089 ක්
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
පැය 24 ක් යන්නත් පෙර බන්ධනාගාර තුනක් (3) නොසන්සුන් වෙයි
(07.08.2026 – 12:18 +0530 – sinhala.adaderana.lk)
ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනම (3) නොසන්සුන්තාවට පත්වීම මේ වනවිට රටේ දැඩි කතාබහකට ලක්ව තිබේ.
ඊයේ (06) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙන් ඇරඹුණු මෙම සිදුවීම් මාලාව පසුව කුරුවිට බන්ධනාගාරය දක්වාත්, අද (07) දිනයේදී මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වාත් පැතිර ගියේය.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා සාමාජිකයින්ගේද සහාය මේ වන විට ලබාගෙන තිබේ.
ඇතිවූ නොසන්සුන්තාවලින් මේ වනවිට රැඳවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද වාර්තා වේ.
තාප්පයට ඉහළින් ආ පාර්සලයෙන් ඇවිළුණු මැගසින් බන්ධනාගාරය
සිදුවීම් මාලාවේ පළමු උණුසුම වාර්තා වූයේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙනි.
රාත්‍රී 10:20 ට පමණ එහි ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් හදිසියේ වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ නොසන්සුන්තාව ආරම්භ වී තිබිණි.
වාර්තා වන ආකාරයට ගැටුමට මුල් වී ඇත්තේ බන්ධනාගාර තාප්පයට ඉහළින් පිටත සිට ඇතුළට විසි කළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු විසින් සිය භාරයට ගැනීමය.
එම සිදුවීමෙන් පසු මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇති අතර එහිදී සිරමැදිරියක අගුළු කඩා රැඳවියන් 40 කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ බවද වාර්තා විය.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ අතර රැඳවියන් යළි සිරකුටි වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
බන්ධනාගාර පරිශ්‍රයේ සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදා සාමාජිකයින් ද යොදවා තිබූ අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන යානාද යොදා ගැනීමටද පියවර ගැනුණි.
11ක් රෝහලට – රැඳවියෙකු (1) ජීවිතක්ෂයට
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ මෙම නොසන්සුන්තාවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔවුන් අතරින් එක් රැඳවියෙකු අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා විය.
කෙසේ නමුත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ බන්ධනාගාරයේ තත්ත්වය මේ වනවිට පාලනය කිරීමට පියවර ගෙන ඇති බවය.
කෙසේ වෙතත්, සිද්ධියෙන් පසු රැඳවියන් නවදෙනෙකු (9) වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එමෙන්ම පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (07) දිනයේ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා නොදීමටද බන්ධනාගාර අධිකාරීවරයා තීරණය කර ඇත.
මැගසින් උණුසුම මැකෙන්නත් පෙර කුරුවිටත් ඇවිළෙයි
මැගසින් බන්ධනාගාරයේ උණුසුම සම්පූර්ණයෙන් පහව යන්නටත් පෙර ඊයේ (06) රාත්‍රියේම කුරුවිට බන්ධනාගාරයෙන්ද තවත් නොසන්සුන්තාවක් වාර්තා විය.
රාත්‍රියේ තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් සමත් වුවද අද (07) උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාව වර්ධනය වී තිබිණි.
තත්ත්වය වඩාත් උත්සන්න වෙමින් රැඳවියන් විසින් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති අතර, අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.
මෙම නොසන්සුන්තාව හේතුවෙන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර ඔවුන්ගේ අනන්‍යතාව මේ වනතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත. තවත් රැඳවියන් 13 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.
“තත්ත්වය පාලනයට වෙඩි තැබීමට සිදුවුණා” – අධිකරණ ඇමති
කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය භාවිත කිරීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.
‘අද දෙරණ’ කළ විමසීමකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකිරීමට සිදුවූ බවය.
මැගසින්, කුරුවිටින් පසු නොසන්සුන් වූ පල්ලන්සේන
මැගසින් සහ කුරුවිට බන්ධනාගාරවල තත්ත්වය යම් දුරකට පාලනය වෙමින් තිබියදී අද (07) දිනයේ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයෙන්ද තවත් නොසන්සුන්තාවක් වාර්තා විය.
එහි රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මතට නැග විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වූ විය.
මේ වන විට එම තත්ත්වය පාලනය කිරීම සඳහාද ආරක්ෂක අංශ මැදිහත් ව ඇතැයිද සඳහන් වේ.
බන්ධනාගාර සිදුවීම් ගැන පාර්ලිමේන්තුවෙත් අවධානය
බන්ධනාගාර තුනක ඇති වූ නොසන්සුන්තාව අද (07) පාර්ලිමේන්තුවේද අවධානයට ලක් විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේ මෙම සිදුවීම් පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ සභාව දැනුවත් කළ යුතු බවය.
මැගසින් බන්ධනාගාරයේ එක් (1) මරණයක් සහ කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක් (2) වාර්තා වී ඇති බැවින් සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි කරුණු දැක්වීමක් අවශ්‍ය බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මහජන ආරක්ෂක ඇමතිගෙනුත් ප්‍රකාශයක්
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ සම්බන්ධව අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ මීගමුවෙන් ආරම්භ වූ මෙම ගැටුම් මේ වන විට පල්ලන්සේන බන්ධනාගාරය දක්වා ව්‍යාප්ත වී ඇති බවය.
මෙම ගැටුම් සම්බන්ධව මෙතෙක් ලැබි ඇති බුද්ධි තොරතුරු සහ ඇතැම් විමර්ශන මත මෙය යම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව සැකයක් මේ වන විට මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත්ම මේ සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පැවසීය.
මෙම නොසන්සුන්තාවයන් මැඩ පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තුළ කිසිදු රැඳවියෙකුගේ ජීවිත හානියක් සිදු නොවී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා උත්සාහ ගනිමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම බන්ධනාගාර සිද්ධීන් සියල්ල එක්ව ගත් කළ මෙය යම් සැලැස්මක් අනුව සිදුවෙන බව නිරීක්ෂණය වන බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබඳව පූර්ණ විමර්ශන සිදු වෙමින් පවතින බවද වැඩිදුරටත් අදහස් පැවසීය.
+++
+++
+++
+
තුවාල ලැබූ පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 28 ක් වැලිකඩ රෝහලට
(07.08.2026 – 18:08 +0530 – sinhala.adaderana.lk)
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
අද (07) උදෑසන මෙම බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවීමට පියවර ගැනුණි.
තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට පියවර ගත් අතර පසුව බන්ධනාගාරයේ පාලනය නැවත බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගැනීමටද ආරක්ෂක අංශ පියවර ගත්තේය ෴
තාජුඩීන් මැරුවේ ඇයි? | නීති විභාගය තනියම ලිව්වා ද? | චෝදනාගාරය | Episode-1 (07.08.2026)
+
ශිෂ්‍යත්ව විභාගය අනිද්දා (09) : මුළු අයදුම්කරුවන් 294,089 ක්
(07.08.2026 – hirunews.lk)
2026 වසරේ 05 ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගය අනිද්දා (09) පැවැත්වීමට නියමිතයි.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723 කදී මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර, විභාගය සදහා ඉදිරිපත් වන මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 294,089 ක් බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ කියා සිටියා.
එසේම 2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පෙරේදා (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු අතර, එම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වනතුරු බලපැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ෴
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
(07.08.2026 – hirunews.lk)
කොළඹ 07 , කුරුඳුවත්ත විජේරාම මාවතේ පිහිටි පොලිස්පතිවරයාගේ නිල නිවස හා අග විනිසුරුවරයාගේ නිල නිවස අවට මාර්ගය වීඩියෝ ගත කළ පුද්ගලයෙකු ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.
සැකකරු වීඩියෝ ගත කිරීමට යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු මෝටර් රථය නවතා පොලිස්පතිතුමාගේ නිල නිවස අසල මාර්ගයේ සිට වීඩියෝ ගත කරන බවට නිල නිවසේ ප්‍රධාන දොරටුවේ රාජකාරී යෙදී සිටි විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරියෙකුට නිරීක්ෂණය වී තිබෙනවා.
එම නිලධාරියා විසින් ඒ ආසන්නයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුට දැනුම්වත් කිරීමෙන් අනතුරුව එම කොස්තාපල්වරයා විසින් කොළඹ හදිසි ඇමතුම් අංශය දැනුවත් කර තිබූ බවයි වාර්තා වෙන්නේ.
කොළඹ හදිසි ඇමතුම් අංශයේ දැනුම් දීම අනුව ක්‍රියාත්මක වූ කුරුඳුවත්ත පොලිසි ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරක රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී පොලිස්පතිතුමාගේ නිල නිවස සහ ඒ අවට මාර්ගය මෙන්ම අගවිනිසුරුතුමාගේ නිල නිවස සහ ඒ අයට මාර්ගය සටහන්ව තිබූ බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී විනෝදාංශයක් ලෙස වීඩියෝ කළ බව ප්‍රකාශ කළ බවයි උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි ස්ථානය සහ වෙනත් පරස්පර අදහස් ප්‍රකාශ කළ බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
සැකකරු මත්ද්‍රවය පානයට ඇබ්බැහිව සිටින්නෙක් ද යන්න දැනගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිත අතර කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴
රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
(07.08.2026 – hirunews.lk)
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
රවී සෙනවිරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා ෴
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සඳුදා (10) සිට යළි ආරම්භ කෙරේ
(07.08.2026 – hirunews.lk)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අගෝස්තු මස 10 වෙනිදා සඳුදා සිට යළි ආරම්භ කෙරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිල වශයෙන් දැනුම් දෙනවා.
ඒ අනුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල නේවාසික සිසුන්ට 2026 අගෝස්තු මස 09 වන ඉරිදා දින සිට නැවත නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබා දී තිබෙනවා.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාලය ගත් තීරණ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු සිසුන්ට, කාර්ය මණ්ඩලයට සහ දෙමාපියන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය කෘතඥතාව පළ කර සිටිනවා.
2026 අගෝස්තු මස 10 වන සඳුදා සිට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති අතර, සියලු විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කෙරෙන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටින්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴