නෝර්වුඩ් අස්වැසුම මංකොල්ලය රු. කෝටි 1.6 ඉක්මවයි; තවත් නිලධාරීන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට සොයයි
සලේගේ නඩු විභාගයේ අතරමැදි පෙත්සම් සලකා බැලේ – සම්පූර්ණ විස්තරය
“බුද්ධාගම ඉගෙන ගත්තාට උන් දුවගෙන් පළිගත්තා” ෆාතිමාට අත් වූ ඉරණම (06.08.2026)
නෝර්වුඩ් අස්වැසුම මංකොල්ලය රු. කෝටි 1.6 ඉක්මවයි; තවත් නිලධාරීන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට සොයයි
(06.08.2026 – hirunews.lk)
දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසක් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් වංචා කිරීමේ ජාලය රුපියල් එක්කෝටි හැටදෙලක්ෂයක් (1,62,00,000) දක්වා ඉහළ ගොස් ඇති බව විගණන පරීක්ෂණවලින් හෙළිව ඇතැයි වාර්තා වෙනවා.
මෙම මුදල් වංචාවට එම කාර්යාලයේ තවත් නිලධාරීන් තිදෙනෙකු (3) සම්බන්ධ බවට අනාවරණය වීමත් සමඟ, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (06) වන පැමිණිල්ලක් ගොනු කර ඇති බව පොලිසිය පවසනවා.
මීට ප්‍රථම ප්‍රාදේශීය ලේකම්වරයා කළ පැමිණිල්ලක් මත, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ භාරව කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙක් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබ හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එම සැකකාරිනියන් දෙදෙනා (2) මේ මස (11) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.
මෙම වංචාව අනාවරණය වී ඇත්තේ, අස්වැසුම දීමනාව නොලැබුණු බවට ප්‍රතිලාභීන් විසින් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් වෙත නිර්නාමිකව යොමු කරන ලද ලිපියක් පදනම් කරගෙන බවයි වාර්තා වුණේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරිය, සැකකාරිනියන් දෙදෙනා (2) දිස්ත්‍රික්කයේම වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කර, නුවරඑලිය දිස්ත්‍රික් සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශවල නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා 2023 සිට 2025 දක්වා කාලය තුළ විශේෂ විගණන පරීක්ෂණයක් සිදු කර තිබූ බවයි සඳහන් වන්නේ.
විගණන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම රැඳී සිටිමින් අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන අතර, මේ වන විට එම කාර්යාලය යටතේ සේවය කරන සියලුම ග්‍රාම සේවා නිලධාරීන්ගේ, අස්වැසුම අංශයේ අනෙකුත් නිලධාරීන්ගේ සහ ප්‍රතිලාභීන් රැසකගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.
අස්වැසුම මුදල් නොලැබීම සම්බන්ධයෙන් ප්‍රතිලාභීන් කාර්යාලයට ගොස් විමසූ අවස්ථාවේදී, “මුදල් ලැබුණා නම් ගිණුමට බැර කරනවා, ආයෙත් කාර්යාලයට නොපැමිණෙන්න” යැයි පවසමින් සැකකාරිනියන් එම ප්‍රතිලාභීන්ට තර්ජනය කර ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබුණා.
සැකකරුවන් විසින් අස්වැසුම මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර, එම මුදල් ණය මුදලක් ලෙස පෞද්ගලිකව අතමාරු මඟින් ලබා දී ඇති බවත්, එම මුදල් නැවත පොලී රහිතව වාරික වශයෙන් ලබා ගත් අයගෙන් මාසිකව එකඟ වූ මුදලක් අය කරගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලිසිය පැවසුවා. (?)
මේ අතර, නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 කම අස්වැසුම, දිවිනැඟුම සහනාධාර, සමෘද්ධි දීමනා, කොරෝනා ව්‍යසන සමයේ රජය ලබා දුන් රු. 5,000 දීමනාව ඇතුළු ප්‍රතිලාභ නිසි ලෙස ගෙවා ඇද්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ විගණන කණ්ඩායමක් පත් කිරීමට කටයුතු කරමින් සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි ප්‍රකාශ කළා ෴
සලේගේ නඩු විභාගයේ අතරමැදි පෙත්සම් සලකා බැලේ – සම්පූර්ණ විස්තරය
(06.08.2026 – 21:24 +0530 – sinhala.adaderana.lk)
ශානි අබේසේකර හා රවී සෙනෙවිරත්න යන මහත්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් කිසිදු බලපෑමක් කර නොමැති බව ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පවසයි.
ජනාධිපති නීතීඥවරයා මේ බව සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණු අවස්ථාවේදීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව තමන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමට ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.
එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා :
“ස්වාමීනි, පසුගිය නඩු දිනයේ අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් කෙරෙහි ඔබතුමන්ලාගේ අවධානය යොමු කළා. එහිදී සභානායකවරයා සඳහන් කර තිබුණා ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මෙම කටයුතුවලට පත් කළේ කතෝලික ප්‍රජාවගේ නායකයා වන කාදිනල් හිමිගේ ඉල්ලීමකට අනුව බවට. ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට එරෙහිව අපරාධ නීතිය යටතේ අධි චෝදනා ගොනු කරන ලෙස ජයකී ද අල්විස් කමිටුව නිර්දේශ කර තිබෙනවා. එම වාර්තාව මා අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වගේම කාදිනල් තුමා සිය අතරමැදි පෙත්සම තුළින් වැරදි කරුණක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. උන්වහන්සේ සිය අතරමැදි පෙත්සමේ 18.1 ඡේදයේ සදහන් කර තිබෙනවා පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී පෙත්සම්කාර සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ බවට. මෙය නිවැරදි කරුණක් නොවේ. දිවුරුම් පිට තමයි උන්වහන්සේ මේ ප්‍රකාශය සිදුකර තිබෙන්නේ.”
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවේය :
“චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා. එම නාලිකාව ප්‍රකාශ කර තිබුණා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ බවට. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු විය යුතුයි. පසුගිය කාලයේ විධිමත් විමර්ශනයක් සිදු වුණේ නැහැ. වර්තමානයේ තමයි විධිමත් විමර්ශනයක් සිදු වන්නේ. එය තමා වින්දිතයින් අපේක්ෂා කරන්නේ. ඊට බාධා සිදු වන ආකාරයේ ක්‍රියා සිදු නොවිය යුතුයි. එම නිසයි කාදිනල්තුමා අධිකරණය හමුවට පැමිණියේ. ශානි අබේසේකර හා රවී සෙනෙවිරත්න පත් කිරීම සම්බන්ධයෙන් කාදිනල්තුමා කිසිදු බලපෑමක් කරලා නෑ. වින්දතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා විමර්ශන අඛණ්ඩව ඉදිරියට ගමන් කළ යුතුයි”
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවේය :
“සභානායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ශානි අබේසේකර මෙම විමර්ශනය සඳහා පත් කළේ කාදිනල්තුමාගේ ඉල්ලීමකට අනුව බවට. මේ ශානි අබේසේකර ප්‍රංශයට ගොස් වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැදවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. පොලිස් නිලධාරියෙකුට මේ ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්ද ස්වාමීනි ? ආරක්ෂක අංශ නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම ජනතා පරමාධිපත්‍යයට පටහැනි ක්‍රියාවක්. මෙම තත්ත්වයට එරෙහිවයි මගේ සේවාදායක ස්වාමීන් වහන්සේ අධිකරණයට පැමිණියේ.”
ඉන් අනතුරුව තවත් අතරමැදි පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද කරුණු ඉදිරිපත් කළ අතර වැඩිදුර අතරමැදි පෙත්සම් සලකා බැලීම අගෝස්තු 10 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය ෴
“බුද්ධාගම ඉගෙන ගත්තාට උන් දුවගෙන් පළිගත්තා” ෆාතිමාට අත් වූ ඉරණම (06.08.2026)
+
Hiru TV Balaya Live | Episode 653 | 2026-08-06
+
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
(06.08.2026 – 23:14 +0530 – sinhala.adaderana.lk)
බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ අද (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
රාත්‍රී 10:20 ට පමණ බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇත.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය තරමක් දුරට පාලනය කර ඇති බවත්, බන්ධනාගාරය තුළ පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
+++
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴